ලාංකිකයෙක් ප්‍රධාන නළුවා වූ විදෙස් චිත්‍රපටයක් හෙට සිට මෙරට තිරයට...

මාර්තු 18, 2021

 

ලාංකික නළුවෙකු ප්‍රධාන චරිතය මැවූ විදෙස් රටක නිර්මාණය වූ සිනමාපටයක් මින් පෙර මෙරටදී තිරගත වුණත් එවැනි අවස්ථාවන් උදාවන්නේ කලාතුරකිනි.

එවන්වූ සිනමා අත්දැකීමක් විඳීමට මෙම මස 19 වැනිදා ශ්‍රී ලාංකේය සිනමාලෝලීන්ට හැකියාව උදාවනු ඇත. එම සිනමාපටය ද බිලියනෙර් නම්වේ. එයට පාදක වී තිබෙන්නේ ලෝ ප්‍රකට නාට්‍යවේදී ජෝර්ජ් බර්නාඩ් ෂෝගේ  the millionairess නාට්‍යය වේ. එහි අනුවර්තනයක් ලෙසින් නිමැවූණු ද බිලියනෙර් සිනමාපටය නිර්මාණය වන්නේ මුල් කෘතියෙන් ගත් ආභාසය කාලානුරූපීව යම් යම් වෙනස්වීම් වලට භාජනය කොටය. බර්නාඩ් ෂෝගේ එම නාට්‍යය එකල මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කිරීමට සමත් වූ නිර්මාණයකි. විවාහය, වෙන්වීම සහ නැවත විවාහ වීම වෙනස් කෝණයකින් අර්ථ කථනය කළ එම කෘතිය සිනමාපටයට නැගෙද්දී ලිංගිකත්වය ප්‍රේමය සහ ආදර සබඳතා පිළිබඳ නව අර්ථයෙන් නිරූපණය ඉදිරිපත් කොට තිබේ. වර්තමාන ලෝකයේ ඇතැම් චරිතවල ස්ත්‍රී, පුරුෂ භාවය සහ ලිංගික දිශානතිය, ද බිලියනෙයර් සිනමාපටයේ සමරිසි සහ අලිංගික සබඳතා බවට පරිවර්තනය කොට ඇත. මේ ගෙවෙන්නේ විසි එක් වෙනි ශත වර්ෂය වුවද සමලිංගික විවාහ, සහ සබඳතා විෂමලිංගික, ස්ත්‍රී පුරුෂ විවාහ සබඳතා තුළ පවතින සංකීර්ණතා සූක්ෂ්ම බව නිර්මාණයට නැගෙන්නේ ඉතා අල්ප වශයෙනි. එකී තත්ත්වය මෙම සිනමාපටයෙන් වෙනස් කොට තිබේ. දකුණු ආසියානු සම්භවයක් ඇති තරුණ බිලියනපතියෙකි. ඔහු ආදරය නැමැති හැඟීම පිළිබඳ සිතන්නේ සීමා රහිතවය.

ඔහු විවාහය ගැන තැකීමක් නොකරයි. එහෙත් ඔහුගේ මියගිය පියා තමන්ගේ පුතා ගැන හොඳීන් දන්නා නිසා මියයන්නට ප්‍රථම පවසා ඇත්තේ කෙදිනක හෝ හොඳ විවාහ දිවියක් ගත කරන ලෙසය. සීමාරහිතව සිතන බිලියනපතියා නිදහසේ ඉන්න උත්සාහ කළත් නිතර පියාටවූ පොරොන්දුව මතක් වේ. ද බිලියනෙයර් කතාව දිගහැරෙන්නේ එලෙසිනි. 2020 වසරේ සැප්තැම්බර් මස කැලිෆෝනියාවේ burbank  අන්තර්ජාතික සිනමා උළෙලේ  best comdy feature film (හොඳම ප්‍රහසන සිනමාපටය) ලෙස සම්මාන ලැබීමටද බිලියන සිනමාපටයට හැකියාව ලැබිණ. එමෙන්ම ඔස්කා සහ ගෝල්ඩන්, ග්ලෝබ් සම්මාන සඳහා සුදුසුකම් ලැබීමටද එය සමත් විය. මෙම සිනමා පටය burbank අන්තර්ජාතික සිනමා උළලේ තරඟ වදින්නේ හොලිවුඩයේ අයන් මෑන් 03 වැනි සිනමාපට නිර්මාණය කළ විෂෙන් බ්ලැක් ඇතුළු සුප්‍රසිද්ධ සිනමාකරුවන් කළ නිර්මාණ සමඟය. මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ගෙහාන් කුරේවේ මෙම සිනමාපටය නිර්මාණය කිරීමට මූලිකත්වය ගන්නේ ද ඔහුය. වර්තමානයේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර වාසය කරන ගෙහාන් ද බිලියනෙයර් සිනමාපටයේ විධායක නිෂ්පාදකවරයා මෙන්ම සංස්කාරක ශිල්පියා සහ පසු නිෂ්පාදන අධීක්ෂක ලෙස කටයුතු කරනු ලැබීය. මිනිත්තු එකසිය දහසයක් පුරා විහිදෙන මෙම සිනමාපටයක් අධ්‍යක්ෂණය කොට ඇත්තේ මයිකල් පිලිප් විසිනි.

ගෙහාන් සමඟ හොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පීන් වන ජෝර්ඩන් බෙල්ෆි, රැන්ඩි වේන්, ඩෙව් සැන්ටොස්, හෙදර් ටොම්, ස්පෙන්සර් ස්කුවර්, බ්‍රියන් ස්කොට්, ඩෙරික් කාර්ලේ, කිට් චෙස්ටර් ආදීහු ද බිලියනෙර් සඳහා රංගනයෙන් දායක වෙති. ස්ටීවන් චන්ඩ්ල් වයිට්හෙඩ් කැමරා අධ්‍යක්ෂවරයාය. දිනේෂ් වික්ස් සංගීත අධ්‍යක්ෂණයෙන් දායකවිය. සිනමාශාලා නැවත විවෘත වුවහොත් මෙම මසදී ලොස් ඇන්ජලීස් ලැම්ල් තියටර්හිදී මෙම සිනමාපටය තිරගත කිරීමට සැලසුම් කොට ඇත. මෙම සිනමාපටය නිර්මාණය කිරීමට මූලිකත්වය ගත් ජෙහාන් කුරේ ඇමරිකාවේ ජෝර්ජ් ලූකස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ලොව ඉහළ ගණයේ චිත්‍රපට පාසලක් වන යූ. එස්. පාසලෙහි සිනමාව හැදෑරූ ඔහු තවත් සිනමාපට ඉදිරියේ දී නිර්මාණය කිරීමට සැලසුම් කොට තිබේ.