පක්ෂියෙක් පිළිබඳ Penguin Bloom

මාර්තු 18, 2021

පෙන්ගුයින් බ්ලූම් යනු ග්ලෙන්ඩින් අයිවින් විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයකි. ෂෝන් ග්‍රාන්ට් සහ හැරී ක්‍රිප්ස් විසින් තිර රචනය කර ඇති එය කැමරන් බ්ලූම් සහ බ්‍රැඩ්ලි ට්‍රෙවර් ග්‍රීව් විසින් රචිත එම නමින් යුත් කෘතිය ඇසුරින් නිර්මාණය වී ඇත. නයෝමි වොට්ස්, ඇන්ඩෘ ලින්කන් සහ ජැකී වීවර් පෙන්ගුයින් බ්ලූම්හි රංගනයෙන් දායක වෙති. පොත සහ චිත්‍රපටයට පදනම් වී ඇත්තේ සෑම් සහ කැමරන් බ්ලූම්ගේ පවුල සහ 'පෙන්ගුයින්' නම් මැග්පී පක්ෂියකු පිළිබඳ වූ සත්‍ය කතාවකි. පෙන්ගුයින් බ්ලූම් චිත්‍රපටය පසුගිය ජනවාරි 21 වන දින ඕස්ට්‍රේලියාවේදී සහ ජනවාරි 27 වන දින නෙට්ෆ්ලික්ස් විසින් නිකුත් කරන ලදී.


වලස් ආත්මයක් Teddy

ටෙඩි යනු මාර්තු 12 වැනිදා නිකුත් වූ දෙමළ චිත්‍රපටයකි. ශක්ති සවුන්දර් රාජන් විසින් අධ්‍යක්ෂණය කළ එහි ආර්යා, සයීෂා සයිගල්, සක්ෂි අගර්වාල් සහ කරුණානන් රංගනයෙන් දායක වී ඇත. තරුණියක රෝහලකින් පැහැරගෙන සුළු සැත්කමක් සඳහා ගෙන යන අතර ඇයව කෝමා තත්ත්වයක තබාගෙන සිටී. එහිදී ඇයගේ ආත්මය සෙල්ලම් වලස් පැටවෙකුගේ ශරීරයට ඇතුල් වේ. ටෙඩි චිත්‍රපටය හොට්ස්ටාර් ඔස්සේ නැරඹිය හැකිය.


අපූරු ආදර කතාවක් Khaali Peeli

ඛාලි පීලි යනු ක්‍රියාදාම, ප්‍රහසන, ආදර කතාවක් රැගත් හින්දි චිත්‍රපටයකි. මැක්බූල් ඛාන් විසින් අධ්‍යක්ෂණය කරන ලද එහි ඉෂාන් ඛේතර්, අනන්යා පාණ්ඩේ, ජයදීප් අහල්වට් සහ සතීෂ් කෞෂික් රංගනයෙන් දායක වී ඇත. පසුගිය ඔක්තෝබර් 2 වැනිදා සී5 ඔස්සේ නිකුත් වූ එහි කුළි රථ රියදුරෙකු සහ තරුණියක වටා ගෙතුණු කතාවක් දිග හැරේ.


කතන්දර හතරක් Pitta Kathalu

පිට්ටා කතලු පසුගිය පෙබරවාරි මස නිකුත් වූ තෙළිඟු චිත්‍රපටයකි. තරුන් භාස්කර්, නාග් අශ්වින්, නන්දිනි රෙඩ්ඩි සහ සංඛල්ප් රෙඩ්ඩි විසින් අධ්‍යක්ෂණය කළ එහි ඊෂා රෙබ්බා, ලක්ෂ්මි මන්චු, අමලා පෝල් සහ ශෘති හසන් රංගනයෙන් දායක වී සිටී. ප්‍රේමයේ අඳුරු, රැවටිලිකාර පැති ගවේෂණය කරන රහස් සහ බොරුවල සිට ඊර්ෂ්‍යාව පාලනය දක්වා කතන්දර හතරක් මෙහි ඇතුළත් වී ඇත. පිට්ටා කතලු චිත්‍රපටය නෙට්ෆ්ලික්ස් ඔස්සේ නැරඹිය හැකිය.

යතේජා