ආලෝකය අවියක් කළ ‘Shadow and Bone’

මැයි 6, 2021

ඇලිනා ස්ටාර්කොව්, රව්කා රාජධානියේ කෙරම්සින්හි අනාථ නිවාසයක මාලියන් ඔරෙට්සෙව් සමඟ හැදී වැඩුණු යෞවනියකි. මේ කතාව ආරම්භ වන්නේ ඔවුන් සදා අඳුරු වූ ද, නිසරු වූ ද, රව්කා මුහුදෙන් කොටසක් වූ ද, අහස උසට විහිදෙන දැවැන්ත බිම් තීරුවක් වන 'අන්සියාව' හරහා ගමන් කරන දිනයකදීය. භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා වරින් වර මෙම භයංකර බිම් තීරුව හරහා යන යාත්‍රිකයෝ වොල්ක්‍රා නම් රාක්ෂයන් ගෙන් බොහෝ විට පීඩා විඳීති. අද දින මේ කණ්ඩායමද වොල්ක්‍රා ප්‍රහාරයට ලක්වෙති. වොල්ක්‍රාවන්ගෙන් මාලියන් බේරා ගන්නා ඇලිනා එම සටනේදී 'ග්‍රීෂා' වර්ගයට අයත් අසාමාන්‍ය දක්ෂතාවයක් පෙන්නුම් කරයි. ග්‍රීෂා දක්ෂතාවන් ඇති පුද්ගලයිනට ගින්න, සුළඟ, හදවත යනාදී යම් දෙයක් අවශ්‍ය විටෙක ආයුධයක් ලෙස භාවිතා කිරීමේ හැකියාව ඇත. අප කතා නායිකාව ඇලීනාට ඇති බලය නම් ආලෝකය හැසිරවීමට ඇති හැකියාවයි.

එරික් හයිසෙරර් විසින් නෙට්ෆ්ලික්ස් සඳහා නිර්මාණය කෙරුණු ඇමරිකානු කල්පිත (Fantasy)  ප්‍රවාහ රූපවාහිනී කතා මාලාවක් වන ‘Shadow and Bone’ මෙලෙස ඇරඹෙන අතර කොටස් අටකින් සමන්විත එහි පළමු අදියර 2021 අප්‍රේල් 23 වන දින නෙට්ෆ්ලික්ස් විසින් මුදා හරින ලදී. ඉහත දැක්වෙන්නේ එහි ආරම්භක ජවනිකාවයි.

ඇමරිකානු කල්පිත නවකතා ලේඛිකාවක වන ලී බාර්ඩුගෝ විසින් රචිත නවකතා මාලාවක Shadow and Bone  සහ  Six of Crows යන නවකතා පාදක කරගෙන මෙම කතා මාලාව නිර්මාණය වී ඇත. ඇලිනා නම් අනාථ තරුණිය රුසියාවට බොහෝ සෙයින් සමාන පරිසරයක් ඇති මනඃකල්පිත 'රව්කා' නම් දේශයේ හැදී වැඩෙන අතර අනපේක්ෂිත ලෙස සොයා ගන්නා ඇය සතු අද්භූත බලය සමඟ ඇය ලබන ත්‍රාසජනක අත්දැකීම්වලින් මෙම කතාව සමන්විත වේ.

එංගලන්තයේ උපත ලද නිළියක වන ජෙසී මේ ලී මෙහි ඇලීනාගේ චරිතයට පණ පොවන අතර ආචී රෙනෝක්ස්, ෆ්‍රෙඩි කාටර්, නේපාල ජාතික නිළියක වන අමිතා සුමන්, කිට් යන්ග්, බෙන් බාන්ස්, සහ සෝයි වනමකර් ඇතුළු පිරිසක් සෙසු චරිතයන්ට පණ පොවති. ලී බාර්ඩුගෝ, පූයාෂා බාසියන්, ජොෂ් බැරී ඇතුළු සත් දෙනෙකුගේ නිෂ්පාදනයක් වන මෙම නාට්‍ය මාලාව නිර්මාණයේදී විවිධ රාජ්‍යයන්ට අයත් ශිල්පීන්ගේ දායකත්වය කැපී පෙනෙයි. එලෙසම මෙය ලොව වටා යමින් හංගේරියාව, බුඩාපෙස්ට්, වැන්කුවර්, බ්‍රිතාන්‍ය, කොලොම්බියාව, කැනඩාව ආදී විවිධ ස්ථානයන්හි රූගත කිරීම් කරන ලද නාට්‍ය මාලාවකි. .

විචාරකයන්ගෙන් බොහෝ ධනාත්මක ප්‍රතිචාර දිනාගත් මෙම කතා මාලාවේ දැනට නිකුත් වී ඇති පළමුවන අදියරට රොට්න් ටෝමැටෝස් අඩවි දර්ශකයේ ලැබී ඇති සාමාන්‍ය අගය 7.14/10 කි. විචාරකයන් 58 දෙනෙකුගෙන් 86%ක් මෙය අනුමත කර ඇත. එහි පොදු විචාරයට අනුව මෙය එහි පළමු නිර්මාණයේ (නවකතා මාලාව) රසිකයන්ට සේම ඊට ආගන්තුක වූ නවකයන්ටද එක හා සමානව රස විඳීය හැකි වන අයුරින් නවකතාවෙන් තවත් ඔබ්බට නිර්මාණාත්මක ලෙස වර්ධනය කර ඇත.