බලනවා නම් චිත්‍රපට

ජුනි 17, 2021

 

ඔන්න මේ සතියේත් සංචරණ සීමා නිසා ගෙදර ඉන්න ඔබට චිත්‍රපට තෝරා ගන්න අත්වැලක් සපයන්න අපි හිතුවා. බලමු සමහර විට මේ චිත්‍රපට අතරින් කීපයක් ඔබ මේ වන විට දැක ඇතුවාට සැක නැහැ. නැත්නම් ‌සොයා ගෙන බලන්න.

 

SOUND OF METAL


 

ඩ්‍රම්ස් වාදකයකු වන රූබන් ශ්‍රවණාබාධයකට පත්වන්නට පටන් ගෙන බව ඔහුට දැනෙනන්ට පටන් ගත්තේ එකවරම. එබන්දෙකුගේ වෘත්තිය ජීවිතය මෙන්ම පෞද්ගලික ජීවිතයත් එකවරම දරුණු අර්බුදයකට ලක්වීම ස්වභාවිකයි. මෙහෙම වන්නේ, රූබන් ස්ටෝන් නම් විශිෂ්ට ඩ්‍රම්ස් වාදකයාට. ඔහු මුහුණ දුන් ජීවිත අරගලය පාදක කර ගෙන තැනුණු 'ද සවුන්ඩ් ඔෆ් මෙට්ල්' චිත්‍රපටය පසුගිය සමයේ අමෙරිකාවේ තැනුණු විශිෂ්ටම චිත්‍රපටයක් ලෙස සම්භාවනට පාත්‍ර වෙනවා. එහි රිස් අහමඩ් කළ විශිෂ්ට රංගනය ඉහළින්ම අගය කළ යුතුයි. එය මෙවර ඇකඩමි සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය, හොදම නළුවා, හොදම තිර නාටකය, හොඳම සහාය නළුවා, හොඳම සංස්කරණය ඇතුළු සම්මාන රාශියක් සඳහා නාමයෝජනා දිනා ගත්තා. මේ කාලයේ අපූර්වතම සිනමා අත්දැකීමක් ලබන්නට සවුන්ඩ් ඔෆ් මෙටල් හොඳ අවස්ථාවක්. ඩේරියස් මාර්ඩර් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ ඔලිවියා කූක්, පෝල් රාසි, ලෝරන් රිඩ්ලොෆ් ආදි රංගවේදීන් රැසක් චරිත මවනවා. ඇමේසන් ප්‍රයිම් ඔස්සේ සවුන්ඩ් ඔෆ් මෙට්ල් දැක ගත හැකියි.

 

 

AADAI

හිතන්න එක් උදෑසනක නිවසින් පිටත තැනක ඔබ පිබිදෙන විට ඔබ සතු සියලු ඇඳුම් අහිමි වෙලා. එපමණක් නොවෙයි. කාට හරි කතා කරන්නට ජංගම දුරකථනයත් නෑ. සතයක්වත් ඇත්තේත් නෑ. මෙලෝ දෙයක් සත පහකටවත් ගණන් ගන්නේ නැති හිතුවක්කාර සුන්දර කෙල්ලක වූ සුදන්දිරා හෙවත් කාමණීට අත් වන්නේ ඒ ඉරණමයි. තමන්ගේ කාර්යාලය අලුත් තැනකට ගෙන යද්දී පැරැණි ගොඩනැඟිල්ලේ සාදයක් පවත්වන්නට එහි සේවය කළ සුදන්දිරා ඇතුළු යහළු යෙහෙළියන් සැරසෙනවා. වැඩේ නැගල යන වැඩක්. හැබැයි පාන්දර නැගිටින විට සුදන්දිරා දකින්නේ තමන්ගේ සියලු යහළු යෙහෙළියන් ඇය අතහැර ගොඩනැගිල්ලේ තනිකර ගොහින්. නිකම්ම නෙවේ ඇයගේ ඇඟේ නූල් පොටක් වත් නැහැ. දැන් සිදුවන්නේ කුමක්ද? එසේ ඇයට සිදුවූයේ ඇයි? මේ දෙමළ චිත්‍රපටයේ මලයාලම් නිළි අමලා පෝල් අභියෝගාත්මක රංගනයක යෙදෙනවා. විවේක් ප්‍රසන්නා, රම්‍යා සුබ්‍රමානියම්, ආදින් චරිත මවන මේ චිත්‍රපටය ඔබට මතක හිටින චිත්‍රපටයක් වනු නොඅනුමානයි. මුල් ටික නම් ටිකක් කම්මැලි හිතෙයි. ඒ වුණත් ටික වේලාවකින් ඒ සියල්ල මඟ හැරේවි. රත්න කුමාර් මෙහි අධ්‍යක්ෂවරයායි. දැක ගත හැක්කේ ඇමේසන් ප්‍රයිම් ඔස්සේයි.

 

 

 

AB AANI CD

චන්ද්‍රකාන්ත් දේශ්පාන්ඩේ විශ්‍රාමික චිත්‍ර ගුරුවරයෙක්. එහෙත් මේ වන විට ලේලියගෙන් ඔහුට ලැබෙන්නේ අඩු සැලකිල්ලක්. කොටින්ම ඔහු විසින් අඳීන ලද පැරණි චිත්‍ර ගලවා දමන ඇය අලුත් චිත්‍රවලින් බිත්ති සරසනවා. තමන්ගේම නිවසේ ඔහු දෙවැනි පන්තියට වැටෙනවා. එහෙත් එකවරම මේ තත්ත්වය වෙනස් වන්නේ සුපිරි නළු අමිතාබ් බච්චන් ගේ අත්සනින් යුත් ලියුමක් ලැබීමෙන්. ඒ බච්චන්ගේත් චන්ද්‍රකාන්ත්ගේත් ගුරුවරයාගේ උපන් දින සැමරුමට අලහබාද්වල ඔවුන් උගත් පාසැලට එන ලෙස කරන ලද ආරාධනයක් සමඟ. එපමණක් නොවේ. ඒ කාලයේ බච්චන් සමඟ පාසැලේදී ගත් ඡායාරූපයකුත් බච්චන්ගෙන් ලැබෙනවා. එහෙත් තමා කිසිවිටෙකත් අලහබාද් පාසැලක ඉගෙන නොගත් බවත් බච්චන් සමඟ පැසලේදී කොයි හැටි වෙතත් මේ ජීවිත කාලයේදීවත් ඔහු හමුවී නැති වගක් චන්ද්‍රකාන්ත්ට විශ්වාසයි. ඔහු ඒ ගැන පරසක්වල ගසා කතා කළත් කිසිවකු හෝ එය පිළිගන්නට කැමැති නැහැ. හැබැයි ඉතින් චන්ද්‍රකාන්ත් ගේ ජීවිතයට අලුත් සැලකිල්ලක් ඇති වෙනවා. ඇත්තටම අපූරු සිනමා නිර්මාණයක්. මරාති බසින් තැනුණු මේ චිත්‍රපටය ඔබට දැක ගත හැකිවන්‌නේ ඇමේසන් ප්‍රයිම් ඔස්සේ. මිලින්ද් ලෙලේ විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙහි වික්‍රම් ගෝක්ලේ, සුබෝධ් භාවේ, මෙන්ම අමිතාබ් බච්චන් ද චරිත මවනවා. මේ චිත්‍රපටයේ නමේ තියෙන ඒ.බී කියන්‌නේ අමිතාබ් බච්චන් කියන එක. සී.ඩී කියන්නේ චන්ද්‍රකාන්ත් දේශ්පාණ්ඩේ කියන එක.

 

PIHU

පිහූ කියන්නේ අවුරුදු දෙකක සුරතල් ගැහැණු දරුවෙක්. ඇය ජීවත්වනුයේ මුම්බායි නගරයේ මහල් නිවාස සංකීර්ණයක ඉහළ මාලයක ඇති නිවෙසක. මේ ඇගේ දෙවැනි උපන් දිනය දවසට පහුවදා. ඇය පිබිදෙන්නේ බඩගිනි වෙලා. එහෙත් වෙනදා මෙන් අම්මා නැගිටින්නේ නැහැ. තාත්තා රැකියාවේ සම්මන්ත්‍රණයකට කල්කටා නගරයට ගිහින්. ඇත්තටම ඒ වන විට අම්මා සිය දිවි නසාගෙන. මේ මහල් නිවාසයේ මේ බඩගිනි සැදුණු පුංචි දැරිය පමණයි. මුළු චිත්‍රපටයේම එන එකම චරිතයත් ඇයයි. ඉතින් ඇයට අත්විය හැකි ඉරණම ගැන අපට ඇත්තේ බයක්. ඒ වගේම ආදරයක්. මයිරා විශ්වකර්ම නම් දෙහැවිරිදි දැරිය තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපානුයේ. ප්‍රේමා ශර්මා ඇයගේ මිය ගිය අම්මා පූජා ලෙස රඟපානවා. විනෝද් කැප්රි මෙහි අධ්‍යක්ෂවරයා. ඉතින් මේ සිඟිති සුරතලියට වසඟවෙමින් ඇයගේ ආදරය විඳීමින් ඇය සමඟ පැයක් හමාරක් ගත කරන එක වෙනම අත්දැකීමක්. නෙට්ෆ්ලික්ස් ඔස්සේ දැක ගත හැකි අපූරු සිනමා අත්දැකීමක්.

 

 

 

RED DOT

විශ්වවිද්‍යාලයයේ අවසන් වසරේදී ඩේවිඩ් සිය පෙම්වතිය වූ නදියාට විවාහ යෝජනාවක් ගේනවා. ඇය එයට එකඟ වන්නේ එක පයින්. පළමු අවුරුද්ද වන විට ඇය ගැබිණියක්. එහෙත් ඇය තවමත් අධ්‍යාපනය ලබන නිසා ඒ ගැන ඩේවිඩ්ටවත් හෙළිදරව් කරන්නේ නැහැ. කොහොම වුණත් ඩේවිඩ් ඇය ඈත හිම පිරි පළාතකට රැගෙන යන්නේ නිවාඩුවක් ගත කරන්නට. එහෙත් ඇය මුහුණ දෙන්නේ කිසිවිටෙකත් හීනෙන්වත් නොසිතූ ඉරණමකට. ස්වීඩනයේ තැනුණු මේ චිත්‍රපටය නෙට්ෆ්ලික්ස් ඔස්සේ නරඹද්දී ඔබ සංත්‍රාසයට පත්වනවා නො අනුමානයි. එමෙන්ම ඔබ ඩේවිඩ් හා නදියා බේරා ගන්නට මනසින් උත්සාහ දරනවා නියතයි. ඇලයින් ඩර්බර්ග් අධ්‍යක්ෂණය කළ මෙහි ජොහැන්නස් කූන්ක්, නැනා බ්ලොන්ඩෙල්, ඇනස්ටාසියා සොවුලිස් ආදීන් චරිත මවනවා.

 

 

 

KILOMETERS AND KILOMETERS


 

කේරළයෙන් පටන් අරන් තමිල්නාඩුව, කර්නාටකය හා ගුජරාටය වටා සවාරියක් යන්න කැමතිද,? විශේෂයෙන් මේ සංචරණ සීමා පවතින අතරේ . මෙන්න චාන්ස් එක කිලෝමීටර් ඇන්ඩ් කිලෝමීටර් චිත්‍රපටය නරඹන්න. ජෝස්මන් මලයාලම් ජාතික තරුණයෙක්. ඔහු සිය නැගණියගේ අධ්‍යාපනය හා පවුල ගොඩ ගැනීම වෙනුවෙන් අතට අහුවන එක එක ජාතියේ ඕනෑම දෙයක් කරනවා. ඒ අතරේ ඇමෙරිකානු යුවතියක වන කැතී කේරළයට එනවා. ඇයට වුවමනා රට තොට ඇවිදින්න. ඇය සමඟ මෝටර් සයිකලයෙන් ඇවිදින්නට ලැබෙනුයේ ජෝස්මන්ට. කිලෝමීටර් සිය ගණනක් ගෙවන මේ ගමන සෙල්ලමක් නොවේ. විවිධ දේශගුණයන්, විවිධ මිනිසුන්, විවිධ භාෂාවන් එහිදී මුණ ගැසෙනවා. ඒ මදිවාට කොල්ලාට ඉංග්‍රිසි බැහැ. කෙල්ලට මලයාලම් බැහැ. ඒ අතරවාරයේ දෙන්නාගේ සිරිත් විරිත් අහසට පොළොව වගේ. මලයාලම් චිත්‍රපටයක් වූ කිලෝමීටර් ඇන්ඩ් කිලෝමීටර් චිත්‍රපටයේ ටොවිනෝ තෝමස්, ඉන්ඩියා ජාවිස්, ජෝජු ජෝර්ජ්, සිද්ධාර්ත් ශිවා, ආදින් චරිත නිරූපණයේ යෙදෙනවා. ජියෝ බේබි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ. නෙට්ෆ්ලික්ස් තිරගත කිරිමක්.

 

 

THE BOY WHO HARNESSED THE WIND


 

මලාවිය කියන්නේ අප්‍රිකාවේ තිබෙන දිළිඳු රටක්. නියඟයෙන් එහි ගැමියෝ බැට කනවා. අහස් වැස්ස ටික කලකින් හරියට ලැබුණෙත් නැහැ. මේ නිසා විලි නම් දරුවාගේ පවුලටත් මේ ඉරණමෙන් ගැලවෙන්නට බැහැ. ඔහුගේ අධ්‍යාපනයටත් තිත වැටිලා. මොකෝ ඒ රටවල ආණ්ඩුවෙන් නිදහස් අධ්‍යාපනය ලබා දෙන්න යෝජනා කරන්න කන්නන්ගර මහත්තයලා වගේ අය ඉඳලා නැහැ. එහෙත් විලිගේ කල්පනාව ගමේ අය මේ නියඟයෙන් ගලවා ගැනීම. හැබැයි සම්ප්‍රදායිකව සිතන මිනිසුන් සමඟ ඒ ගැන කියලා වැඩකුත් නැහැ. ඉතින් ඔහු ඉරණමට අභියෝග කරනවා. එපමණක් නොවෙයි. ඔහු එයින් ජය ගන්නවා. ඒ විතරක් නොවෙයි. ගමේ මිනිසුන්ට තව දුරටත් නියඟයට ශාප කරන්නට වුවමනා නැහැ. විලියම් කම්කවාබා නම් කුඩා දරුවාගේ සත්‍ය ජීවිතය පාදක කරගෙන තැනුණු මේ චිත්‍රපටයේ මැක්ස්වල් සිම්බා විලියම් ගේ චරිතය නිරූපණය කරනවා. බ්‍රිතාන්‍යයේ සුප්‍රකට කළු ජාතික නළුවකු වන ඛ්ඩඪඹඥබඥත ඡ්ණඪධටධප (ෂිවටෙල් ඉජියොෆෝ) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනුයේ එහි විලියම්ගේ පියාගේ චරිතයත් රඟපාන ගමන්. අපූරු සිනමා අත්දැකීමක් වූ මෙය නෙට්ෆ්ලික්ස් ඔස්සේ නැරඹිය හැකියි.

 

 

 

THE SOCIAL DILEMMA

අපට නොදැනී අප මෙහෙයවනු ලබන බලවේගයන් ගැන අප අසන්නේ කුඩා කාලයේ සිට. එහෙත් වර්තමානයේ ‌මේ බලවේගයන් බවට පරිවර්තනයව සිටිනුය් සමාජ ජාලා වෙබ් අඩවි. ඔබ සමාජජාලාවලට ඇබ්බැහිව සිටී නම් මේ විශිෂ්ට වාර්තා චිත්‍රපටය නැරඹිය යුතුමයි. සෝෂල් ඩිලේමා කතා කරනුයේ අපට නොදැනී අපේ ජීවිතය, ආර්ථිකය, දේශපාලනය හසුරුවාලනු ලබන මේ සමාජ මාධ්‍ය නම් බලවේග පිළිබඳවයි. එමඟින් ඒවායේ නිර්මාතෘවරුන් කෙතරම් ලාභයක් උපදවනවාදැයි පැහැදිලිව පෙන්වා දෙනවා. මේ චිත්‍රපටයට සම්බන්ධ කරුණු කියන ඇතැමුන් එය සිදුකරනුයේ පාපොච්චාරණයක් ලෙසින්. ඒ ඔවුන් ද එහි මුල්පුටුවල කොටස්කරුවන් ලෙස කළ අත්දැකීම් ඔස්සේයි. කොහොම වුණත් මේ වාර්තා චිත්‍රපටයේ අදහස් දක්වන අය අතර ලාංකිකයන් දෙදෙනෙකු දසිටිනවා. එක් අයෙක් චමත් පලිහපිටිය. අනෙක් තැනැත්තා රන්දීර් (රැන්ඩි) ප්‍රනාන්දු. ජෙෆ් ඕලොව්ස්කි මේ අපූරු වාර්තා චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයායි. නෙට්ෆ්ලිකස් තිරගත කිරිමක්.

 

 

BHEESHMA

කාබනික පොහොර වගාවන් සඳහා මුල් තැන දෙන භීෂ්ම නම් කාබනික පොහොර සමාගමේ පනස්වැනි සංවත්සරය දවසේ එහි නිර්මාතෘ ප්‍රධාන විධායක නිලධාරියා තමා එම සමාගමේ සියලු ධුරවලින් ඉවත්ව අලුත් තරුණයෙක්ට එම තැන ලබා දෙන බව පවසෙනවා. සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ බොහෝ දෙනා ඒ තනතුර තමන්ට හිමිවෙතැයි සිතනවා. මේ අතරවාරයේ භීෂ්ම ප්‍රසාද් නම් තරුණයෙකු තමන්ට සුදුසු ආදරයක් සොයා යනවා. ඔහු තමන්ව හඳුන්වාලනුයේ භීෂ්ම අයි.ඒ.එස්. යනුවෙන්. (ධ් ඒ(ර්) ඉ(ධ්ව්ට්ඹ්ඡ්)). හැබැයි අතේ සතේ නැති මේ කොල්ලව තමන්ගේ පෙම්වතා කරගන්න කැමැති කොයි කෙල්ලද? මේ නිසාම ඔහුට නොයෙක් අකරතැබ්බවලට මුහුණ දෙන්නට සිදුවෙනවා. එතැනින් එහාට මේ ගැන නොකියා විනෝදාත්මක චිත්‍රපටයක් බලන්න භීෂ්ම නරඹන එක හොඳයි. නිතින්, රශ්මිකා මන්දානා, අනන්ත් නාග්, ජිශ්ශු සෙන්ගුප්තා, සම්පත්රාජ්, වැනි ජනප්‍රිය තෙළිඟු නළුනිළියන් රැසක් රඟන මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ වෙන්කි කුදුමාලා.

 

 

RANGASTHALAM


ශ්‍රවණාබාධයක් කියන්නේ බරපතළ කාරණයක් තමයි. හැබැයි එය වාසියට සිටින අවස්ථාත් තිබෙනවා. රංගස්තලම් නම් ගම්මානයේ වෙසෙන චිට්ටි බාබු නම් කඩවසම් තරුණයාටත් එහෙමයි. මේ කතාව ගෙතෙන්නේ ඔහු වටා. ශ්‍රවණාබාධය නිසා ඔහුට වාසි මෙන්ම අවාසිත් ගැටලුවලටත් මුහුණ දෙන්න වෙනවා. පවුලේ කතාවක් ඇතුළත් ත්‍රාසජනක චිත්‍රපටයක් නරඹන්නට කැමැති ඔබට රංගස්තලම් හොඳ තෝරා ගැනීමක්. තෙළිඟු සිනමාවේ සුපිරි තරුවක් වූ. රාම් චරන්, සමන්තා අක්කිනේනි, ආදි පිනිසෙට්ට්, ජගපති බාබු, නරේෂ් වැනි නළු නිළියන් රැසක් චරිත මවන චිත්‍රපටය සුකුමාර්ගේ අධ්‍යක්ෂණයක්. රංගස්තලම් දැක ගත හැක්කේ ඇමේසන් ප්‍රයිම් ඔස්සේයි.

 

 

SOMETIMES

හත්දෙනා සමාජතලයන් හතක. එකෙක් වැඩිහිටියෙක්. අලුත විවාපත් තරුණයෙක්, සාමාන්‍ය තරුණයෙක්, විවාහාපේක්ෂිත යුවතියක්, පොලිස් නිලධාරියෙක්, නීතිඥයෙක්, හා දේපළ වෙළෙඳාමේ යෙදෙන්නෙක්. ඒ ඔවුන් හත් දෙනාම බලා සිටිනුයේ එකම අරමුණක. ඔවුන් සියලු දෙනාම තමන්ට ඒඩ්ස් වැලඳී ඇතැයි සැක කොට ඒ සඳහා ලේ පරීක්ෂණය කොට බලාසිටින්නේ තමන්ගේ වෛද්‍ය වාර්තා එනතුරු. ඔවුන් කෙතරම් කම්පාවට පත්ව ඇත්දැයි කියන්නේ නම් හැන්දෑවේ නිකුත් කරන වෛද්‍ය වාර්තා එනතුරු රසායනාගාරය අසලම රැඳී සිටිනවා. ඒ ජීවිතය හා මරණය අතර ගැටලුවක් ඔවුන්ට ඇති නිසා. මේ සමඟ ඇති කරනු ලබන සමාජ ආකල්ප ප්‍රශ්න ලංකාවට මෙන්ම ඉන්දියාවටත් පොදුයි. මේ අතරවාරයේ කලින් වාර්තා ලබා ගන්නට කළ උත්සාහයක් නිසා දැන ගන්නට ලැබෙන්නේ හත් දෙනාගෙන් එක් අයෙක් ඒඩ්ස් ආසාදිතයෙක් විත්තියයි. ඒ පුද්ගලයා කවුද? අතිශය ජනප්‍රිය හින්දි, මලයාලම් හා දෙමළ චිත්‍රපට රැසක් තැනූ ප්‍රියදර්ශන් විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටය ඔහුගේ සිනමා නිර්මාණ අතර වෙනස්ම සිනමා කෘතියක් මෙන්ම ඔබටත් අපූරු අත්දැකීමක් ගෙන එනවා. ප්‍රකාශ් රාජ්, ශ්‍රීයා රෙඩ්ඩි, අශෝක් සෙල්වන්, නසාර්, එම්.එස්.බාස්කර්, අන්ජලි රාඕ, ශන්මුගරාජන් ඇතුළු නළු නිළියන් රැසක් රඟන මේ චිත්‍රපටය නෙට්ෆ්ලික්ස් ඔස්සේ දැක ගත හැකියි.