බලනවා නම් චිත්‍රපට

ජුනි 24, 2021

 ඔන්න මේ සතියේත් සංචරණ සීමා නිසා ගෙදර ඉන්න ඔබට චිත්‍රපට තෝරා ගන්න අත්වැලක් සපයන්න අපි හිතුවා. බලමු සමහර විට මේ චිත්‍රපට අතරින් කීපයක් ඔබ මේ වන විට දැක ඇතුවාට සැක නැහැ. නැත්නම් ‌සොයා ගෙන බලන්න.

 

 

TRIBHANGA
 

නර්ථන ප්‍රසංගයකට සහභාගි වන දක්ෂ කතකලි නර්තන ශිල්පිණියක් වූ බොලිවුඩ් සිනමා තාරකාවකට ලැබෙන පණිවිඩයක්. ඒ ඇගේ මව හදිසියේ කෝමා තත්ත්වයට පත්ව රෝහල් ගත කළ ආරංචිය. මේ මව සුප්‍රකට ලේඛිකාවක්. මවක්, දියණියක් සහ මිනිබිරියක්. මේ තිදෙනාම ජීවිතයේ එකම වයස් පරාසයක් ඇතුළත එකම අරගලයකට මුහුණ දෙන කාන්තාවෝ. මව ලේඛිකාවක්. දියණිය දක්ෂ නර්තන ශිල්පිනියක්. එමෙන්ම මේ තිදෙනාම ජීවිතයේ සියලු අපේක්ෂාවන් යථාර්ථයන් බවට පත් කොට ජයග්‍රහණය කළ අය. එහෙත් ජීවිතය දිනනවා යනු තවත් බොහෝ දේ අහිමි කර ගන්නවා නොවේද? එය වටහා ගත හැක්කේ මේ තරගයෙන් බැහැර වන්නන්ට පමණයි. රේණුකා සහානේ නම් සුප්‍රකට මරාති සිනමා නිළිය (හම් ආප් කේ හේ කෝන් චිත්‍රපටයේ මධුරී ඩික්ෂිත්ගේ වැඩිමහල් සොහොයුරිය ලෙස රගපෑවේ ඇයයි.) නිර්මාණය කළ මේ සිනමා කෘතිය එකිනෙකා වටහාගත නොහැකි මිනිසුන් පිළිබඳ තැනුණු අපූරු නිර්මාණයක්. මෙහි කාජොල් අති විශිෂ්ට චරිතාංග නිළියක බව යළිත් පසක් කරනවා. ඈ සමඟ තන්වී ආස්මී, මිතිලා පල්කාර් හා කුනාල් රෝයි කපූර් මෙහි සෙසු ප්‍රධාන චරිත නිරූපණයේ යෙදෙනවා. ඇත්තටම නෙට්ෆ්ලික්ස් ඔස්සේ බලන්න වටිනා චිත්‍රපටයක්.

 

 

AMBILI
 

අම්බිලි තරුණ වයසට එළැඹුණත් ළමා විය සමඟ ජීවත්වන අපූරු මිනිසෙක්. ඔහු සිතන අන්දමට ලෝකයේ කිසිම තැනක ඔහුට වංචාකාරයන් නැහැ. එහෙත් හැම මිනිහෙකුගේම හැඟිම් ඔහුටත් උරුමයි. ඔහු ගැන සිතන එක් තනැත්තියක් සිටිනවා. කොහොම වුණත් ඔහු අපූරු ගමනක යෙදෙනවා. ඒ තමන් උපන් කේරළයේ සිට කාශ්මීරයට. නිකම්ම නොවේ පාපැදියකින්. එමෙන්ම ඔහුත් සමඟ කිසිසේත් නොගැළපෙන තරුණයෙක් සමඟ. ඔහු කුඩා කල ඔහුගේ මවුපියන් බිම් බෝම්බයකට හසුව මිය යන්නේ කාශ්මීරයේදී. අම්බිලිගේ පියා ඉන්දියානු හමුදා නිලධාරියෙක්. හැතැප්ම දහස් ගණනක් පුරා මේ ගමන ඉන්දියාවේ විවිධ භූවිෂමතාවන් සුන්දරව කැමරාවට නඟන්න සිනමාකරු මෙහිදී සමත් වෙනවා. සෝබීන් සහීර්, නවීන් නස්ලාම්, තාන්වී රාම් වැනි නළු නිළියන් රැසක් රඟන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය ජෝන් පෝල් ජෝර්ජ්ගෙන්. හැබැයි ඉන්දියාවේ සැතපුම් සිය ගණනක් යද්දී අත් විඳීන මේ භූමි විෂමතා, සුන්දරතා අපේ රටේ සැතපුම් දහයෙන් පහළොවෙන් එකට කැටිකොට තිබෙන බව නම් ඔබට සිහියට එයි.

 

 

BULBBUL
 

අද නීතියෙන් තහනම් වුවත් ළමා විවාහ අදටත් ඉන්දියාවේ හොර රහසේ සිදුවන්නක්. 19 වැනි සියවසේ දී බෙංගාලයේ ජීවත් වූ පස් හැවිරිදි බුල්බ්බුල්ට විවාහ වන්නට සිදුවනුයේ තමන්ට වඩා දෙතුන් ගුණයකින් වැඩිමහල් ඉන්ද්‍රනීල් සමඟ. එහෙත් ඇය වැඩියෙන්ම කැමැති වුණේ ඔහුගේ බාල සොහොයුරා වූ තම වයසේ සිටි සත්‍යාට. සත්‍යා ඇය ආසා කරන කතන්දර දන්නවා. වැඩියෙන්ම දන්නේ නපුරු රාස්සයන් ගැන කතන්දර. ඒ වගේම ඇයත් සමග දඟ වැඩ කරන්නටත් සත්‍යා දක්ෂයි. ඉන්ද්‍රනීල්ගේ නිවුන් සොහොයුරා මහේන්ද්‍ර මානසික රෝගියෙක්. අවුරුදු විස්සකට පසු සත්‍යා එංගලන්තයට‌ ගොස් වැඩිපුර අධ්‍යාපනය හදාරා එන විට මේ මහා මන්දිරයේ අබිරහස් ගණනාවක් සිදුවෙලා. ත්‍රිප්ති දිම්රි, රාහුල් බෝස්, අවිනාශ් තිවාරි, පරම්බ්‍රතා චැටර්ජි මෙන්ම විමුක්ති ජයසුන්දරගේ චත්‍රක් චිත්‍රපටයේ ප්‍රධාන චරිත රගපෑ පාඔලි දාම් ප්‍රධාන චරිත රඟන මේ හින්දි චිත්‍රපටයේ අධ්‍යක්ෂණය අන්විතා දත්ගෙන්. චිත්‍රපටයේ නිෂ්පාදනය ජනප්‍රිය නිළි අනුෂ්කා ෂර්මා හා ඇගේ සොහොයුරු කරමේශ් ෂර්මාගෙන්.

 

DUNYA


අද සිනමා තාක්ෂණය කෙතරම් පොහොසත් ද කිවහොත් සිනමා වීරයා තිරයේ වීරයා හැදෙනුයේ රංගනයට වඩා කාර්මික දක්ෂතා හේතුවෙන්. මෙයට දශක දෙකකට පෙර සිනමාවේ තත්ත්වය ඒ නිසාම වෙනස්. ඉන්දියානු සිනමාවේ බිහි වූ විශිෂ්ටතම රංගවේදියකු ලෙස සැලකෙන දිලිප් කුමාර් රඟපෑ 'දුනියා' චිත්‍රපටය එයට උදාහරණයක්. දිලිප් මෙන්ම ඉන්දියානු සිනමාවේ බිහි වූ තවත් විශිෂ්ට පැරැණි නළුවකු වූ අශෝක් කුමාර් මෙහි රංගනයට දායක වෙනවා. දිලිප් හා අශෝක් කුමාර් එකට රඟන දෙවැනි හා අවසාන චිත්‍රපටය මෙයයි. (පළමුව දීදාර් - කොහොමටත් දිලිප් කුමාර් සිනමාවට එන්නේ අශෝක් කුමාර් එවකට පැවැති බොම්බේ ටෝකිස් සමාගමේ චිත්‍රපටවලින් ඉවත් වූ නිසා.) මේ සමඟ රිෂී කපූර්, අම්රිතා සිං, ප්‍රාන්, අම්රිශ් පූරි, ප්‍රේම් චොප්රා ආදින් මෙහි චරිත නිරූපණය කරනවා. 1984 වසරේ තැනුණු මේ චිත්‍රපටය නරඹන්නට අපි යෝජනා කරනුයේ තාක්ෂණය අබිබවා නළු නිළියන්ගේ විශේෂයෙන් එහි දිලිප්ගේ රඟපෑම මැන ගන්නටත් එක්ක. සුපරුදු පවුලේ කතාවක් වුවත් තවමත් බලා සිටිය හැකියි. අධ්‍යක්ෂණය රමේශ් තල්වාර්. නිෂ්පාදනය යාශ් ජොහාර්. ඒ කියන්නේ කරන් ජොහාර් ගේ පියා.

 

 

VINCI DA
 

වින්සි තම දක්ෂතා පිළිබඳ ඉහළම තක්සේරුවක සිටින වේශනිරූපණ ශිල්පියෙක්. මේ නිසාම ඔහුට කිසිම චිත්‍රපටයක වැඩ කරන්නට ලැබෙන්නේ නැහැ. දිනෙක ඔහු හමුවට එන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ලෙස හඳුන්වා දෙනු ලබන අධී බෝස් ඔහුට අලුත් වැඩක් බාර දෙනවා. ඒ මූල්‍ය වංචාවකින් අධිකරණයෙන් ගැලවෙන කෝටිපති ව්‍යාපාරිකයෙක් වූ ශ්‍යාම් සුන්දර් පිළිබඳව තනන චිත්‍රපටයක වේශනිරුපණය. අධි බෝස්ගේ අතීතය එයට වඩා වෙනස්. ඔහු නීතිඥවරයෙක් ලෙසත් පෙනී සිටිනවා. කොහොම වුණත් අධිගේ චිත්‍රපටයේ වෙස් ගැන්වීමේ ආදර්ශක ඉතා ඉහළින් සකසන්නට වින්සි සමත් වෙනවා. එයට මුදලුත් ලැබෙනවා. චිත්‍රපටය කළත් නොකළත් තවත් එවැනිම වූ වැඩ කටයුතු කිහිපයක්ම අධීගේ මෙහෙයවීමෙන් වින්සිට ලැබෙනවා. හැබැයි තමා පටලවා ඇත්තේ ලිහාගත නොහැකි පඹගාලක බව වැටහෙන විට වින්සි එහි බොහෝ දුර ගිහින්. සිතා ගත නොහැකි තරම් සංත්‍රාසයෙන් පිරි කතන්දරයක් දිග හැරෙන්නේ එහෙම. බෙංගාලි බසින් තැනුණු මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ශ්‍රීජිත් මුකර්ජිගෙන්. රුද්‍රානිල් ගෝෂ්, රිට්වික් චක්‍රබෝර්ති, අනිර්බාන් භට්ටාචාර්ය ඇතුළු නළු නිළියන් රැසක් මෙහි චරිත මවනවා.

 

 

AYYAPPANUM KOSHIYUM
 

සේවයෙන් විශ්‍රාම ගෙන එන තරුණ හමුදා නිලධාරියා පළාතේ ප්‍රබල පුද්ගලයෙකුගේ පුතෙක්. එහෙත් ඔහු අතින් එක්තරා වරදක් සිදුවනුයේ ඔහු එන අතරමඟ දී. ඒ නීති විරෝධී ස්ථානයක නැවතී මත් වතුරක රහ බැලීමට යාමෙන්. මේ සමඟ ඔහු ආරවුලකට පැටළෙනවා. ඒ පොලිස් සුරාබදු නිලධාරියා සමඟ. දේශපාලන බලයත්, නීතියේ බලයත් යන දෙකම එක ගාණට පැටළෙනවා. එකෙක්වත් එකෙකුට පරදින්නට කැමැති නැහැ. මේ මලයාලම් චිත්‍රපටය ඔබට සංත්‍රාසය හා වරින් වර හාස්‍යය පිරි කතාවක රසයත් ගේන ගමන් සුපිරි රංගනයක් ද නැරඹීමට අවස්ථාව ලබා දෙනවා. ප්‍රිතිවිරාජ් සුකමාරන්, බීජු මෙනන්, අනික් නෙදුමන්ගල්, ගෞරි නන්දා ඇතුළු මලයාලම් සිනමාවේ ජනප්‍රිය සිනමා තරු රැසක් මේ චිත්‍රපටයට දායක වනවා. සචී මෙහි අධ්‍යක්ෂවරයායි.

 

 

 

MAN OF STEEL
 

සුපර්මෑන් කියන්නේ හැමදාම වීරයෙක් . ඩී.සී කොමික්ස්වලින් ජනප්‍රිය වුණ මේ වීරයා එබඳුම අසාමාන්‍ය බලයක් ඇති මනඞකල්පිත චරිත රැසකට මුල පිරුවා. මුලින් චිත්‍රකතාවක් වූ එය කිහිපවරක්ම සිනමාවටත් නැඟුණා. සුපර්මෑන් චිත්‍රපට මාලාවටම අයත් චිත්‍රපටයක් තමයි, 2013 වසරේ තිරයට ආ මෑන් ඔෆ් ස්ටීල්. එම වසරේම මෙරට තිරගත කළ මේ චිත්‍රපටය යළිත් නරඹන්නට දැන් නෙට්ෆ්ලික්ස් ඔස්සේ ඔබට හැකියාව තිබෙනවා. සැක් ස්නයිඩර් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙහි හෙන්රි කැවිල්, ඇමි ඇඩම්ස්, මයිකල් ෂැනොන්, කෙවින් කාස්ට්නර්, ඩයනි ලේන් ඇතුළු නළු නිළියන් රැසක් චරිත නිරූපණය කළා.

 

 

 

THE OTHERSIDE OF THE WIND
 

ලෝක සිනමාවෙි බිහි වූ විශිෂ්ටතම සිනමාවේදියකු ලෙස සැලකෙන ඕසන් වේල්ස්ගේ අවසාන චිත්‍රපටය වන 'දි අදර්සයිඩ් ඔෆ් වින්ඩ්' සිනමාකරුවකුගේ ආත්මකථනයක් ලෙස සැලකීම නිවැරැදියි. එක් යුගයක කීර්තිමත් සිනමාකරුවකුගේ හැත්තෑවැනි ජන්ම දිනය වන විට ඔහු සතුව ඇත්තේ පැරැණි නම්බුකාරකම පමණයි. ඔහුගේ අවසාන චිත්‍රපටය මුදල් නැති කමින් අඩක් නිම කොට නතර වෙලා. ජන්ම දිනය සමරන්නේ චිත්‍රපටයේ රූපගත කළ කොටස් සමඟ. ඒ සමඟ ඔහුගේ ඉරණම ද ලියැවී තිබෙනවා. වේල්ස්ගේ අවසාන චිත්‍රපටය ඔහුගේ මරණයෙන් වසර තිස් දෙකකට පසුයි එළි දැක්කේ. ඒ නෙට්ෆ්ලික්ස් ඔස්සේ මෙහි තවත් ලෝක ප්‍රසිද්ධ සිනමාකරුවන් වූ ජෝන් හූස්ටන්, පීටර් බොග්දනවිච්, ක්ලවුඩ් චැබ්රොල් ආදින් ද චරිත මවනවා. විශිෂ්ට සිනමා කෘතියක් නරඹන්නට කැමැති ඔබට මේ චිත්‍රපටය අපූරු අත්දැකීමක් වේවි. හැබැයි පවුලේ අයට එකට වාඩි වී බලන්නට නම් අපි නිර්දේශ කරන්නෙත් නැහැ. ඒ වගේම නිකම් ඉන්න ගමන් විවේකයට බලන්නත් එපා.

 

 

 

E.T.


ස්ටීවන් ස්පිල්බර්ග් විසින් නිර්මාණය කරන ලද චිත්‍රපට අතර අතිශය විශිෂ්ටතම සිනමාකෘතියක් මෙන්ම ඒ අවදියේ ලෝකයේ වැඩිම ආදායමක් ලත් චිත්‍රපටය වූයේ ඊ.ටී. කුඩා දරුවකු හා පිටසක්වළින් පැමිණ අතරමං වූ ජීවියකු වටා ගෙතුණ මේ චිත්‍රපටයෙන් පවුලේ සෑම තරාතිරකම අයට නොමඳ ආස්වාදයක් ලැබුණා. අවුරුදු 39 කට පස්සේ වුවත් ඊ.ටී. එදා ගෙනා රසය අදත් නොඅඩුව ලැබිය හැකි චිත්‍රපටයක් ලෙස හඳුන්වා දිය හැකියි. ඩොලර් මිලියන 10.5 ක වියදමින් තැනුව මේ චිත්‍රපටය ඒ අවදියේ පමණක් ඩොලර් මිලියන 792.9ක ආදායමන් ලබා ගත්තා. ඇත්තටම සිනමා උන්මාදයක් ඇති කළ චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අනුකරණය කරමින් ඉන්දියාවේ මෙන්ම ලෝකයේ වෙනත් රටවල චිත්‍රපට තැනුණත් ඒ එකක්වත් ඊ.ටී. ට සම කරන්නට බැහැ. මේ දවස්වල නිවෙසට වී සිටින විට පවුලේ සියල්ල සමඟ ඊ.ටී. යළි යළිත් නැරඹිය හැකියි.

 

 

DRISHYAM -2
 

මතකයි නේද 'ධර්ම යුද්ධය' නැතිනම් එයට පාදක වුණ දෘශ්‍යම් නමැති මලයාලම් චිත්‍රපටය. එය දෙමළ, කන්නඩ, හින්දි ආදි භාෂා රැසකින් තැනුණ ලොව පුරා මහත් ජනප්‍රියත්වයට පත් චිත්‍රපටයක්. හැබැයි ඒ පළමු චිත්‍රපටයේ සියල්ල නීතියෙන් බේරුණා. මතකද අවසානයේ පොලිස් නිලධාරියාට කිසියම් සැකයක් තිබුණා. දැන් ඒ සැකය ඔස්සේ හඹා යන්න සාක්ෂියක් ද ලැබෙනවා. ඒ මිනීමැරුම සිදු වූ දවසේ ඇහින් දුටු සාක්කියක් හින්දා. මොන තරම් පොලිසිය වට කළත් මුල් වතාවේ පවුලම නීතියේ රැහැනෙන් බේරුණත් දැන් කොහොම වෙයිද? දැන් ළමයි දෙන්නම ලොකු වෙලා. මුල් චිත්‍රපටයේ කුඩා වීඩියෝ ශාලාවක් පවත්වාගෙන ගිය ජෝර්ජ් කුට්ටි අවුරුදු හයකට පස්සේ දැන් සිනමාහලක හිමිකරුවෙක්. බොහොම දියුණුවට පත්වෙලා. හැබැයි අපරාධයක් සදහටම සඟවන්න බැහැ කියනවා වගේ, මේ වතාවේ එය වෙන විධියකට මතුවෙලා. පොලීසියත් ඉතා සැලසුම් සහගතව වටලනවා. පැරණි නළු නිළි කණ්ඩායමමයි. බලමු .මේ වතාවේ මේ පවුලට මොකද වෙන්නේ කියලා. මොහාන් ලාල්, මීනා, අන්සිබා හසන්, සිද්දික්, අන්ජලි නායර් ඇතුළු නළු නිළියන් රැසක් රඟන මේ චිත්‍රපයේත් තිරනාටකය ලියා අධ්‍යක්ෂණය කරන ලද්දේ ජීතු ජෝශප්. මේ චිත්‍රපටය තිර ගත කරන ලද්දේ ඇමේසන් ප්‍රයිම් ඔස්සේයි.

 

 

DAAG

ළඳුනි මට සමාවන්න. මා ඔබට ද්‍රෝහී වූවා නොවේ. පියෙකු නැති දරුවකුට පියෙකු වූවා පමණි. 1975 අවුරුද්දේ විතර මෙරට ගුවන් විදුලියට සවන් දුන් ශ්‍රාවකයන්ට මතක හිටින චිත්‍රපට දැන්වීමක තමයි එහෙම තිබුණේ. මෙරට චිත්‍රපට දැන්වීම් සඳහා භාවිත කරන ලද එතෙක් මෙතෙක් සිටි නිවේදකයන් අතර, ගැඹුරුම කටහඬ හිමි බණ්ඩාර කේ. විජයතුංගගේ හඬින් බැබළුණු මේ දැන්වීම සමඟ ඒ කාලයේ සිනමා ප්‍රේක්ෂකයන් මේ අපූරු චිත්‍රපටය නරඹන්නට මරදානේ ඔලිම්පියා සිනමාහල ඉදිරිපිට පෝලිම් ගැහුණේ කිලෝමීටර් ගාණක් දුරට. දැන් මේ චිත්‍රපටය පෝලිමේ නොගොස් ඇමේසන් ප්‍රයිම් ඔස්සේ දැකගත හැකියි. රාජේශ් ඛන්නා, ශර්මිලා තාගෝර්, රාඛී, ප්‍රේම් චොප්රා, ඇතුළු නළු නිළියන් රැසක් චරිත මැවූ දාග් චිත්‍රපටයේ සංගීතය ලක්ෂ්මී ක්‍යාන්ත් ප්‍යාරේලාල් දෙදෙනාගෙන්. දාග් හැමදාම තාරුණ්‍යයෙන් පිරි චිත්‍රපට තැනූ යාශ් චොප්රාගේ අධ්‍යක්ෂණයක්. මේ සඳහා පාදක වුණේ තෝමස් හාඩිගේ 'ද මේයර් ඔෆ් කැස්ටර්බ්‍රිජ්' නවකතාවයි.