අතීත දවසක වනන්තරේ

ජූලි 1, 2021

මීට වසර දහසයකට පෙර ලෝකය වෙලාගත් "ද ග්‍රේට් ක්‍රම්බල්" නම් වසංගතය හේතුවෙන් ලෝකයේ බොහෝ දෙනා ජීවිතක්ෂයට පත් වූහ. මේ සමඟම තවත් අපූරු දෙයක් සිදුවිය. එනම් කොටසක් මනුෂ්‍ය වූද, කොටසක් යම් සත්ත්ව කොට්ඨාසයකට අයත් වූද 'දෙමුහුන්' ළදරුවන් උපත ලැබීමයි. දෙමුහුන් ළදරුවන් වෛරසයට හේතුවක්ද වෛරසයේ ප්‍රතිඵලයක්ද යන්න කිසිවෙකුත් නොදත්හ. ඒ නිසා බොහෝ මිනිස්සු මේ දෙමුහුන් දරුවන්ට බිය වුණු අතර ඔවුන් දඩයම් කර ඝාතනය කළහ.

අර්ධ මුව - අර්ධ මිනිස් දෙමුහුන් දරුවකු වන 'ගුස්' තම පියා සමඟ පාළු වනාන්තරයේ ජීවත් වුණු අතර, ගුස්ට වයස නවයක් වන විට වසංගතය හේතුවෙන් ඔහුගේ පියා මිය යයි. මේ අතර ගුස් 'කොලරාඩෝ' යන වචනය කොටා ඇති ගසක් යට තම පියා විසින් වළලනු ලැබූ, ගුස් ගේ මවගේ යයි විශ්වාස කළ හැකි පින්තූරයක් සහිත පෙට්ටියක් සොයා ගනී. තම පියාගේ මරණයෙන් වසරකට පසු කුඩා ගුස් නිර්භීත තීරණයකට එළඹෙයි. එනම් කෙසේ හෝ සිය මව සොයා ගැනීමයි. පිටව යාමට පෙර ගුස් 'කොලරාඩෝ' ගස ගිනි තබන අතර ගින්න දර්ශනය වන නපුරු දඩයක්කරුවෝ පිරිසක් ගුස් පසුපස හඹා එති. ටොමී ජෙපර්ඩ් නම් හුදකලා සංචාරකයෙකු දඩයක්කරුවන්ගෙන් ගුස් බේරා ගනී. ජෙපර්ඩ්ගේ බලවත් අකමැත්ත පිට සිය මව සොයා ගැනීම පිණිස ගුස් පිටව යන්නේ ජෙපර්ඩ් සමඟිනි. පැණිරස කෑමට ගුස්ගේ ඇති ගිජුකම නිසා ජෙපර්ඩ් ඔහුට ‘Sweet Tooth’ (පැණිරසට කැමති) ලෙස නම් තබයි.

කැනේඩියානු කාටූන් චිත්‍ර ශිල්පී ජෙෆ් ලේමියර් විසින් නිර්මාණය කරන ලද එනමින් යුත් චිත්‍රකතා මාලාවක් පදනම් කරගෙන, ජිම් මිකෙල් විසින් නිර්මාණය කරන ලද Sweet Tooth ඇමරිකානු මනඞකල්පිත (ටචදබචඵර) රූපවාහිනී කතා මාලාව මෙලෙස ඇරඹේ. ජෙෆ් ලෙමයර් විසින්ම තිර රචනය වූ මෙම නාට්‍ය මාලාව 2021 ජුනි 4 වැනි දින නෙට්ෆ්ලික්ස් හි මුදා හැරිණි. බ්‍රිතාන්‍ය නළු නොන්සෝ අනොසි, ටොමී ජෙපර්ඩ් ලෙසත් 11 හැවිරිදි කැනේඩියානු ළමා නළු ක්‍රිස්ටියන් කොන්වරි ගුස් ලෙසත් චරිත නිරූපණය කරන මෙම කතා මාලාවේ අඩීල් අක්තාර්, ස්ටෙෆානියා ලාවි ඕවන්, ඩැනියා රමිරෙස්, ඇලීසා වෙල්ලනි, ජේම්ස් බ්‍රොස්ලින් සහ විල් ෆෝර්ට් ඇතුළු පිරිසක් සෙසු චරිත රඟ දක්වති.

Sweet Tooth විචාරකයන්ගෙන් ඉතා ඉහළ පැසසුම් ලත් කතා මාලාවකි. රොට්න් ටොමැටෝස් අඩවියේ විචාරකයන් 50 දෙනෙකුගෙන් 98%ක් මෙම කතා මාලාව අනුමත කර ඇති අතර දර්ශකයේ සාමාන්‍ය අගය 7.96 / 10 කි. වෙබ් අඩවියේ පොදු විචාරයේ සඳහන් අන්දමට Sweet Tooth හැඟුම්බර සබඳතා, දක්ෂ රංගනයන්ගෙන් සපිරි ඉතාමත් විනෝදජනක කතා මාලාවක් වන අතර මනඞකල්පිත කතාවන්ට කැමති ලොකු කුඩා කාහටත් එකසේ රසවිඳීය හැකි නිර්මාණයකි.