බලනවා නම් චිත්‍රපට

ජූලි 1, 2021

 

ඔන්න මේ සතියේත් සංචරණ සීමා නිසා ගෙදර ඉන්න ඔබට චිත්‍රපට තෝරා ගන්න අත්වැලක් සපයන්න අපි හිතුවා. බලමු සමහර විට මේ චිත්‍රපට අතරින් කීපයක් ඔබ මේ වන විට දැක ඇතුවාට සැක නැහැ. නැත්නම් ‌සොයා ගෙන බලන්න.

 

 

OH BABY

නම බේබි වුවත් දැන් අවුරුදු හැත්තෑවක මිත්තනියක්. ඇයගේ නීති රීති නිසා පීඩා විඳීන්නේ ලේළියත් මිනිබිරියත්. මුනුපුරු නම් ඇයගේ පණ වගේ. එහෙත් එක් දවසක ඇයට ගෙදරින් පිට වන්නට සිදුවනුයේ නොසිතූ ආකාරයේ සිත් වේදනාවක් එක්ක. හැබැයි හදිසියේම ඇයට අවුරුදු විසි එකක තරුණියකගේ පෙනුම ලැබෙනවා. එමෙන්ම ඇයට ජීවිතයේ නොලැබුණු අලුත් අත්දැකීමකට මුහුණ පාන්නට සිදුවනවා. නෙට්ෆ්ලික්ස් ඔස්සේ දැක බලා ගත හැකි තෙළිඟු චිත්‍රපටය එහෙම අමුතු සිදුවීමක් වටා ගෙතුණක්. නව පරපුරේ ජනප්‍රිය නිළි සමන්තා ප්‍රභූ සමඟ සම්මානනීය නිළි ලක්ෂ්මී මේ අපූරු බේබිගේ චරිතය නිරූපණය කරනවා. නාග සෞර්යයා, රාජේන්ද්‍ර පාසාද් ආදින් චරිත මවන මෙහි අධ්‍යක්ෂණය බී.වී.නන්දනී රේඩ්ඩි ගෙන්. කම්මැළිකමක් නැතිව බලන්නට පුළුවන්.

 

 

NEWS OF THE WORLD


අදින් අවුරුදු එකසිය පනහකට පමණ පෙරාතුව පැවැති අමෙරිකානු සිවිල් යුද්ධයේ නියුතු හමුදා කපිතාන්වරයෙක්. මුළු ජීවිත කාලය පුරාම සංග්‍රාම සමග දිවි ගෙවු හමුදා නිලධාරියා මේ වන විට දිනපතා පුවත්පත් වාර්තා මහජනයා හමුවේ කියාපාන පුද්ගලයෙක් . ඔහුට හදිසියේම එරට මුල් ගෝත්‍රිකයන්ට අයත් අතර මං වූ දස හැවිරිදි වියේ පසුවන දැරියක් මුණ ගැසෙනවා. හැබැයි මේ හමුවීමෙන් පසු සිදුවන සිදුවීම් මාලාව විටෙක ත්‍රාසජනකයි. විටෙක ඉතා ළයාන්විතයි. අතීතයේ නරඹා ඇති ගොපලු චිත්‍රපට ඔබට මතක ඇති. මේ නූතන යුගයේ තැනුණු එබඳු අපූරු සිනමා කෘතියක්. සම්මානනීය රංගවේදී ටොම් හෑන්ක්ස් සමඟ හෙලේනා සෙන්ගල් මෙහි ප්‍රධාන චරිත රඟපානවා. පෝල් ග්‍රින්ග්‍රාස් මෙහි අධ්‍යක්ෂවරයායි. දිගු කලකට අමතක නොවන චිත්‍රපට අත්දැකීමක් හැටියට නිවුස් ඔෆ් ද වර්ල්ඩ් සදහන් කළ හැකියි. නෙට්ෆ්ලික්ස් ඔස්සේ මේ චිත්‍රපටය දැක ගත හැකියි.

 

 

MAMMA MIA
 

විසි හැවිරිදි වියේ පසුවන සොෆී විවාහ අපේක්ෂිත තරුණියක්. ඇයගේ විවාහයට ඇයගේ පියාට ආරාධනා කරන්නට ඇයට වුවමනායි. එහෙත් ඇගේ පියා කවුරුන්දැයි ඇය දන්නේ නැහැ. එබැවින් ඇය කරනුයේ තරුණ වියේදී මවගේ පෙම්වතුන්ව සිටි තරුණයන් තිදෙනෙකුට ඇය වසන සුන්දර දිවයිනට ඇගේ විවාහය සදහා ආරාධනා කිරීමයි. ඉතින් මේ තරුණයන් තිදෙනාම තමන්ගේ දියණිය යැයි විශ්වාස කරන යුවතිය හමුවන්නට එනවා. හැත්තෑව දශකයේ ලොව පුරා ප්‍රචලිත වූ ඇබා සංගීත කණ්ඩායාමේ මියුරු ගීතාවලියක් මමා මියා චිත්‍රපටයට ඇතුළත් වෙනවා. 2008 වසරේ නිෂ්පාදිත මේ චිත්‍රපටයේ දෙවැනි කොටසක් ද පසුව නිර්මාණය වුණා. හැබැයි මේ චිත්‍රපටයේ තිබුණු අපූරු අත්දැකීම නම් ඉස්තරම්. සම්මානනීය නිළි මෙරිල් ස්ට්‍රිප්, පියර්ස් බ්‍රොස්නන් , කොලින් ෆර්ත්, ආදින් චරිත මවන මෙහි අධ්‍යක්ෂණය ෆිලිඩා ලොයිඩ්ගෙතන්. නෙට්‌ෆ්ලික්ස් ඔස්සේ මේ චිත්‍රපටය දැක ගත හැකියි. මේ චිත්‍රපටය අප තෝරා ගත්තේ සංගීත චිත්‍රපටවලට කැමැති ඔබ වෙනුවෙන්මයි.

 

 

NOTEBOOK
 

කාශ්මීරයේ සුන්දර විලක් මැද පිහිටි ඉතා අඩු පහසුකම් සහිත පාසැලකට පත්ව එන තරුණ ගුරුවරයෙක්. එය ඔහුගේ මුල්ම ගුරුපත්වීම. ඔහුට එහි ලේ උරුමයක් ද තිබෙනවා. පාසලට යන එක නම් අතිශය දුෂ්කර වුවත් එය දකින විට නම් එහි යන්නට සිතෙනු නො අනුමානයි. ඔහුට පෙර මේ පාසැලේ සේවය කළ තරුණ ගුරුවරිය පාසැලේ ලාච්චුවක අපූරු සිහිවටනයක් තබා ගොසින්. ඒ ඇයගේ සටහන් පොත. කුඩා දරුවන් හත් දෙනෙකු සමඟ අලුත් ගුරුවරයා කෙසේ ඔවුන්ගේ අනාගතය සකසනු ඇතිදැයි බලන්නට නම් මේ චිත්‍රපටය නරඹන්නටම වෙනවා. සහීර් ඉක්බාල්, ප්‍රානුතන් බාල්, ඇතුළු අලුත්ම නළු නිළියන් රැසක් රඟන මේ හින්දි චිත්‍රපටයේ අධ්‍යක්ෂක නිතින් කක්කාර්. නිෂ්පාදනය සල්මන් ඛාන්ගෙන්. ඇමේසන් ප්‍රයිම් ඔස්සේ දැක බලා ගත හැකි චිත්‍රපටයක්.

 

 

FERRY
 

ෆෙරි නෙදර්ලන්තයේ පාතාල ලෝකයේ නම ගිය තැනැත්තෙක්. හදිසියේම ඔහුගේ ලොක්කාගේ පුතු කොල්ලකරුවන් තිදෙනෙකු අතින් මිය යනවා. ෆෙරී මේ අපරාධකරුවන් පසුපස ලුහු බදිනවා. හබැයි මේ පළිගැනීම ඔහුගේ ජීවිතයේ විශාල වෙනසකට මුල පුරනවා. එමෙන්ම ඔහුට ජීවිතයේ අහිමිව තිබුණු තම සහෝදරියගේ අවසාන සමයේ ඇය ළඟින් සිටින්නටත් අලුත් ආදරයක් සමඟ ජීවිත පෙරළියක් ද මේ සමග ෆෙරීට සිදුවනවා. මේ නෙදර්ලන්ත චිත්‍රපටය හොඳ ක්‍රියාදාම චිත්‍රපටයක්. ෆ්‍රෑන්ක් ලැමර්ස්, එලිස් ෂාප්, ආදින් චරිත මවන මෙහි අධ්‍යක්ෂණය සෙසිලියා වර්හේඩන් ගෙන්.

 

 

CRAWL
 

මහා වැසි සුළං සමයක. මුළු පළාතම ගංවතුරින් හා සුළි සුළඟින් පිඩා වුණු මොහොතක පිහිණුම් පුහුණුවක යෙදෙන දියණියක් තම පියා සොයා යනවා. අනපේක්ෂිත මොහොතේ දියණියත් පියාත් මුණ ගැසෙනවා. එහෙත් අධික ගංවතුර පමණක් නොවෙයි අසල කිඹුල් අභය භූමියක කිඹුලන් ද මේ ගංවතුරට ගසා ගෙන ඇවිත්. දෙමහල් නිවෙසේ වහල ළඟටම ගංවතුර ගලලා. සහන සේවකයන් හෝ කිසිවකු නැහැ. තාත්තාත් දියණියත් පමණයි. එමෙන්ම මේ ගංවතුර යනු තව දුරටත් ක්‍රීඩා කරන්නට පිහිණුම් තටාකයක් නොවෙයි. ඇලෙක්සැන්ඩර් අජා විසින් අධ්‍යක්ෂණය කරන ලද නවතම සිනමා කෘතිය මොහොතින් මොහොත ත්‍රාසයෙන් හා භීතියෙන් බැඳ තබා ගන්නා චිත්‍රපටයක්. කායා ස්කොලඩාරියෝ හා බැරී පෙපර් මෙහි පියා හා දුව ලෙස අපූරු චරිත නිරූපණයක යෙදෙනවා.

 

 

GHAWRE BAIRE AAJ

 

හින්දු ජාතික දේශපාලන සාමාජිකයකු වූ සන්දීප් , ඔහු‌ගේ මිතුරු නිදහස් මතධාරි පුවත්පත් කතුවරයෙක් වූ නිකිලේශ් හා නිකිලේශ්ගේ භාර්යාව වූ වටා ගෙතුණ මේ දේශපාලන තේමාවක් සහිත චිත්‍රපටය ඉන්දියානු සිනමාවේ සම්භාවනීය සිනමාවේදිනියක වන අපර්ණා සෙන්ගේ නවතම සිනමා කෘතියයි. මේ චිත්‍රපටය සඳහා පාදක වනුයේ රබීන්ද්‍රනාත් තාගෝරයන්ගේ 'ඝරේ බයිරේ' නවකතාවයි. එය මෙයට පෙර මහා සිනමාකරු සත්‍යජිත් රායි විසින් එනමින්ම සිනමාවට නැංවූවා. කොහොම වුණත් අපර්ණා මේ නවකතාව වර්තමාන සමාජයට ගළපනුයේ මෙයට වසර කිහිපයකට පෙර හින්දු අන්තවාදින් අතින් ඝාතනය වූ කන්නඩ පුවත්පත් කලාවේදිනියක වූ ගෞරි ලන්කේශ්ගේ සිදුවීමත් පාද කර ගනිමින්. ජිහ්නු සෙන්ගුප්තා, අනිර්බාන් බට්ටාචාර්ය, තුහිනා දාස් මෙහි චරිත නිරූපණයේ යෙදෙනවා.

 

 

MANGALA

තල ගොඩේ උපන් තල ගොඩේ හැදුණු කුමාරිකාවෙනි. තල තුටළ තෙල් ආවේ කොහොමද? මේ 1955 වසරේ මෙරට සිනමාවේ බොක්ස්ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපටයක ආ දෙබසක්. පැරැණි සිංහල චිත්‍රපට ලෝලියකුට නම් මේ දෙබස අමතක වන්නේ නැහැ. ඒ මාතලන් නම් සිංහල චිත්‍රපටයෙන්. අවමානයකට ලක් වුණු තරුණියක් සහ ඇයගේ පළිගැනීම වටා ගෙතුණ මාතලන් දෙවැනි වර තිරගත වද්දීත් දින සියය ඉක්ම වූ චිත්‍රපටයක්. එමෙන්ම බ්ලූ රේ මඟින් නිකුත් වූ මුල්ම සිංහල චිත්‍රපටයක් මාතලන් චිත්‍රපටයයි. මේ චිත්‍රපටයට පාදක වනුයේ මංගම්මා සබඳම් නම් ජනකතාව. එනමින් චිත්‍රපටයක් 1946 පමණ තැනුණා. හැබැයි අපේ මාතලන් චිත්‍රපටයට පාදක වනුයේ 1951 වසරේ තැනුණු මේ මංගලා නම් හින්දි චිත්‍රපටය. මදුරාසියේ සුප්‍රකට වාහිනි සමාගම මඟින් හින්දි බසින් නිපද වූ මෙහි රඟපාන්නේ එවකට දෙමළ සිනමාවේ ජනප්‍රිය සිනමා තරු යුගලක් වූ පී.භානුමතී සහ රන්ජන්. මේ පැරැණි චිත්‍රපටය දැන් යූ ටියුබ් නාළිකාව ඔස්සේ නැරඹිය හැකි චිත්‍රපට අතරේ තිබෙනවා.

 

 

C.U.SOON
 

මේ දවස්වල එකිනෙකා හමුවනුයේ අන්තර්ජාලය මඟින්. ඒ මඟින් අලුත් යාළුකම් ඇති වන වග අමුතුවෙන් කියන්නට වුවමනා නැහැ. ඔබටත් මටත් එය පොදු කාරණයක්. මුළු චිත්‍රපටයම එබඳු චැට් කිරිමක් ඔස්සේ ගලා යන අපූරු සිනමා කෘතියක් නරඹන්න කැමැතිද? මෙන්න මේ මලයාලම් සිනමා කෘතිය එයට විශිෂ්ට අවස්ථාවක්. හදිසියේ චැට් කිරිමක් හරහා හමුවන යුවතියක් හා ඇයගේ ජීවිත අත්දැකීම වටා තැනුණු මේ චිත්‍රපටය සම්පූර්ණයෙන් කොවිඩ් වසංගත සමයේ තැනූවක්. මුළු චිත්‍රපටයම ගලා යන්නේ මේ චැට් කිරිම මත. කිසිසේත් කම්මැළිකමක් නැහැ. කුමකින් කුමක්වේදැයි අපට සිතන්නට බැහැ. එමෙන්ම මුළු චිත්‍රපටයම රූප ගත කර ඇත්තේ ඇපල් දුරකතනයකින් බව පැවසෙනවා. ෆහාඩ් ෆාස්ල්, රොෂාන් මැතිව්, දර්ශනා රාජේන්ද්‍රන් ඇතුළු නළු නිළියන් රැසක් රඟන මේ මලයාලම් භාෂිත චිත්‍රපටය සිනමා නිර්මාණකරුවකුගේ අපූරු ප්‍රයත්නයක්. මහේෂ් නාරායනන් මේ අපූරු චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා.

 

 

MAYURAKSHI
 

සුශෝවන් ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයෙක්. වයස අවුරුදු 84ක් වෙනවා. ඔහු බොහෝ මහලු වියේදී උරුම වන අමතකවීම ඇතුළු ලෙඩ රෝගවලින් පෙළෙනවා. මේ අතරවාරයේ මැදි වියේ පසුවන ඔහුගේ පුතා ආර්යනිල් අමෙරිකාවේ සිට පැමිණෙන්නේ දින කිහිපයකට තාත්තා හමුවන්නට. ඒ ඔහුට විසඳගත නොහැකි ගැටලුවලට මුහුණ දෙමින් සිටින අවදියක්. මේ තාත්තා සහ පුතා අතර ඇති සිනමා වෘත්තාන්තය එකිනෙකා අතර අවබෝධය සිනමා කෘතියේ කෙබඳු අවසානයකට ගෙන යාවිද යන ගැටලුව පමණක් නොව අප අතින් අතපසු වන වගකීම් සහ යුතුකම් පිළිබඳ නැවත සිතා බලන්නට අප පොළඹවනවා. අග්‍රගණ්‍ය රංගවේදියකු වන සෞමිත්‍ර චැටර්ජි සමඟ බෙංගාලි සිනමාවේ විශිෂ්ටතම සිනමා නළුවකු වන ප්‍රොසෙන්ජිත් චැටර්ජි චරිත මවන මේ බෙංගාලි සිනමා කෘතිය අතානු ඝෝෂ්ගේ සිනමා කෘතියක්. නෙට්ෆ්ලික්ස් ඔස්සේ දැක ගත හැකියි.

 

 

KADARAM KONDAM
 

මැලේසියාවේ රෝහලක සේවයට යන රවීගේ භාර්යාව ගැබිණියක්. එක් රාත්‍රියක ඔහු සේවය කරන රෝහලට රිය අනතුරකට ලක්වූවෙකු ගෙන එනු ලබනවා. මේ රෝගියා එරට අංක එකේ අපරාධකරුවෙක්. එහෙත් අපරාධකරු හා වටා ගෙතුණ අබිරහස රවී හා ඔහුගේ භාර්යාවට බිහිසුණු අත්දැකීමක් වනවා. සුප්‍රකට දෙමළ නළු වික්‍රම් සමඟ අක්ශරා හාසන්, අභි හාසන් ආදින් චරිත මවන මේ චිත්‍රපටය දිගු කලකට අමතක නොවන ත්‍රාසජනක කතාවක්. එබඳු චිත්‍රපට නරඹන්නට කැමැති ඔබට අප තෝරා දෙන හොඳම දෙමළ චිත්‍රපටයක් තමයි කාදරම් කොන්දම්. රාජේශ් එම්.සෙල්වා අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටය නිෂ්පාදනය සම්මානනීය නළු කමල්හසන්ගෙන්.