බලනවා නම් චිත්‍රපට

ජූලි 8, 2021

 

 

ඔන්න මේ සතියේත් ඔබට චිත්‍රපට තෝරා ගන්න අත්වැලක් සපයන්න අපි හිතුවා.

බලමු සමහර විට මේ චිත්‍රපට අතරින් කීපයක් ඔබ මේ වන විට දැක ඇතුවාට සැක නැහැ. නැත්නම් ‌සොයා ගෙන බලන්න.

 

VENKY MAMA


මවගේ සහෝදරයා බොහෝ විට දරුවන්ට වැඩිපුර ආදරය දක්වන නිසා කියමනට කියන්නේ අම්මාට නැතත් මාමාටත් කිරි එරෙනවා කියලා. කුඩා කලම සිය මව්පියන් අහිමි වූ කාර්තික්ගේ සියලු දේට ඉන්නේ මාමා. මාමාගේ නම වෙන්කටරාමන් මාමා. වෙන්කටරාමන්ගේ තාත්තා ගමේ ධනවතෙක්. හැබැයි තාත්තා තම දියණියගේ විවාහයට කැමැති වුණේ නැහැ. හේතුව හඳහන් නොගැළපීම. දෙන්නාටම මරණය උරුම වන බව තමයි හඳහනේ කියලා තිබුණේ. ඒ වගේම කාර්තික් අතදරුවකුව සිටියදී ඔවුන් මිය යනවා. ඉතින් වෙන්කි මාමා තම බෑනාව රැක ගන්නේ තාත්තාගේ විරෝධය ගැන නොසිතාම. මාමා විවාහ නොවුණෙත් බෑනා නිසා. කාර්තික් ගජ ඉලන්දාරියෙක් වුණාම දෙන්නා හිටියේ යාළුවෝ වගේ. හැබැයි ඉතින් ජීවිතය කියන්නේ හැමදාම එක වගේ තියෙන එකට නොවෙයි නේ. වින්කි මාමා නම් තෙළිඟු චිත්‍රපටයේ එන්නෙත් එහෙම කතාවක්. ඒ වගේම චිත්‍රපටයේ මාමාටයි බෑනාටයි ඉන්නේත් ඇත්ත මාමා -බෑනා දෙන්නෙක්. ඒ ජනප්‍රිය නළු වෙනකටේෂ් හා ඔහුගේ සොයුරියගේ ගේ පුතා වූ නාග චයිතන්‍යා. (සුප්‍රකට නළු නාගර්ජුනගේ පුත්‍රයා) විනෝදාත්මක චිත්‍රපටයක් බලන්න කැමැති ඔබට කේ.එස්. රවීන්ද්‍ර අධ්‍යක්ෂණය කළ වින්කි මාමා රසවත් චිත්‍රපටයක් වේවි. රාශි ඛන්නා, පයාල් රාජ්පුත්‍ර, ප්‍රකාශ්රාජ්, නසාර්, ගීතා වැනි ජනප්‍රිය නළු නිළියන් රැසක් මෙහි චරිත මවනවා.

 

ROH

මළගිය ප්‍රාණකාරයන්. හොල්මන්, අවතාර කොයි රටෙත් මිනිසුන්ගේ අත්දැකීම් අතර රැඳී තිබෙන අපූරු වෘත්තාන්ත. මැලේසියාවේ ඈත හද්දා පිටිසර ගම්මනායක ජීවත් වන පවුලකට අහම්බෙන් දැරියක් මුණ ගැසෙනවා. වනාන්තරය අද්දර ජීවත්වන ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවනුයේ කිසිවිටෙකත් සිහිනෙන් වත් නොසිතන අද්භූත අත්දැකීමකට. අපට නුහුරු භාෂාවක් වුවත් මැලේ බසින් මැලේසියාවේ නිර්මිත මේ භීෂණාත්මක චිත්‍රපටය ත්‍රාසය අතින් නම් දෙවැනි වන්නේ නෑ. එමීර් එස්වාන්ගේ අධ්‍යක්ෂණයක්. ෆාරා අහමඩ්, මියා ෆරානා, හරිත් හසික් වැනි නළු නිළියන් රැසක් චරිත මවන 'රෝ' හෙවත් සිංහලෙන් නම් 'ආත්මය' ඔබ අන්දමන්ද කරවන ජාතියේ චිත්‍රපටයක්.

 

THE DISCIPLE


මිනිසුන්ගේ ජීවිත ඉලක්කයන් හඹා යෑම සහ එම ඉලක්කවලින් වෙන්වීම පොදු කාරණයක්. ඉන්දියානු සම්භාව්‍ය සංගීතය සඳහා සිය දිවිහිමියෙන් කැපවුණු නෙරුල්කාර්. සිය පියාගේ මෙන්ම ගුරුතුමන්ගේ ද දැඩි ශික්ෂණයකින් යුතුව ගත කරන්‌නේ එම ඉලක්කය සපුරා ගන්නටයි. මරාති සිනමාකරු චෛතන්‍ය තම්හානේ මේ චිත්‍රපටයෙන් මතු කරනුයේ මේ ජීවිත අත්දැකීම පිළිබඳව. දිගු කලකට පසු වැනිස් සිනමා උලෙළේ තරගකාරි අංශයට තෝරා ගැනුණු ඉන්දියානු චිත්‍රපටයක් වන මේ චිත්‍රපටය විශිෂ්ට සිනමා අත්දැකීමක්. එමෙන්ම බලසම්පන්න ජීවීත අර්ථකථනයක්. වැනිස් උලෙළේදී හොඳම තිර නාටකයට හිමි සම්මානය මෙන්ම අන්තර්ජාතික විචාරක සම්මානය (ෆ්‍රීපෙස්කි) ද දිනා ගත්තේ මේ චිත්‍රපටයයි.

 

BOMBAIRIYA


මේ දවස්වල ජංගම දුරකතනයක් අස්ථාන ගත වුණහොත් සිදුවන්නේ කුමක්ද? මුම්බායි නගරයේ වෙසෙන චිත්‍රපට නළු නිළි ඒජන්තවරියක වන මේඝනාට සිදුවනුයේ එහෙම සිදුවීමක්. මේ සමඟ මහත් කැලඹිලි ගොඩක් සිදුවනවා. හරියට නූල් බෝලයක් වගේ. ඊළඟට මිනීමැරුමක්. විවාහ අපේකෂාවක්. මේ අතර සිරගෙදර සියලු සැප පහසුකම් සහිතව දේශපාලනය කරන නායකයෙක්. දේශපාලනය කරන මේ සියල්ලම විනොදයෙන් පිරි ජංජාලයකට පාත්‍ර වනවා. රාධිකා ආප්තේ, සිද්ධාර්ත් කපූර්, අක්ෂේ ඔබරෝයි, ආදි හුසේන් ආදින් චරිත මවන බොම්බයිරියා අපූරු හින්දි චිත්‍රපටයක්. පියා සුකන්යා විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටය ප්‍රහසනාත්මක ගණයේ චිත්‍රපටයක්.

 

 

TO LET


කුලී ගෙදරක ඉන්නවා කියන එක ලේසි පහසු වැඩක් නෙවේ. චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන ඉලන්ගෝගේ එක් සිහිනයක් කවදාක හෝ චිත්‍රපටයක් හදන එක. හැබැයි මේ දවස්වල නම් ගැටලුව අලුත් ගෙයකට යන එක. හේතුව මාසය ගතවන්නට පෙර දැන් ඉන්න ගෙයින් යන්න කියලා අයිතිකාරයෝ බිරිඳට දන්වලා. අලුත් ගෙයක් කියන්නේ සෙල්ලමක් නෙවේ. දියණියගේ පාසලට ළඟ වෙන්නත් වුවමනායි. ඉතින් චෙන්නායි නගරයේ කාටත් සිහින දකින්නට සලසන පාට පාට බයිස්කෝප් හදන්න වෙහෙසන ඉලංගෝගෝගේ නිවාස සොයා යන අන්දම තවත් පාට පාට චිත්‍රපටයක් නම් නොවෙයි. සමහර විට මේ අප අතරත් මේ නිවාස ගැටලුවට විසඳුම් සොයා යන අය ඇතුවාට සැකයක් නම් නැහැ. පොදු ප්‍රශ්නයක් ඉස්මතු කරන අපූරු සිනමා කෘතියක්. සන්තෝශ් ශ්‍රීරාම්, ශීලා රාජ් කුමාර්, ධරුන් ආදින් චරිත මවන මේ දෙමළ චිත්‍රපටය අපේ බොහෝ දෙනාට පොදු අත්දැකීමක් වේවි. ඉන්දියානු ජාතික සිනමා සම්මාන උලෙළේදී හොඳම දෙමළ භාෂිත චිත්‍රපටය ලෙස සම්මාන දිනාගත් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ චේලියන්. මෙහි සංස්කරණය සරසවිය සම්මාන දිනූ සංස්කරණ ශිල්පියෙක් වන ශ්‍රීකාර් ප්‍රසාද් විසින් සිදු කරන ලද්දක්.

 

ස්වරූප

අන්තර්ජාලයේ ඇති චිත්‍රපට අතර දැන් ස්ට්‍රීමිං ක්‍රමයට නැරඹිය හැකි සිංහල චිත්‍රපටයක් එක් කරන්නට අප තීරණය කළා. ඒ ආචාර්ය ධර්මසේන පතිරාජ නිර්මාණය කළ ස්වරූප. එක් අලෙවි නියෝජිතයෙක් එක්වරම කෘමියෙක් බවට පත්වෙනවා. මොකද්ද මේ අද්භූත සිදුවීම. මේ හරහා පතිරාජයන් සිනමා මායාව විනිවිද දකිනුයේ කුමක් ද? ඇත්තටම එදා කතා නොකළ එහෙත් කතා කළ යුතු චිත්‍රපටයක්. දැන් කතා කරන මාතෘකාවක් බවට පරිවර්තනය වෙමින් පවතිනවා. ස්වරූප දැකගත හැක්කේ ලාංකික සිනමා ධාරාවක් වූ සිනෙමා සිලෝන් ඔස්සේයි. කැ‌ෆ්කාගේ ඊඩ්ඡ් ර්ඡ්ඊඒර්ර්‍ණඅර්‍ථඩ්ර්‍ණඉධ්ඉ කෘතිය පාදක කරගෙන එරික් ඉලයප්පාරච්චි හා පතිරාජයන් තිරනාටකය ලියූ ස්වරූප චිත්‍රපටයේ තුසිත ලක්නාත්, ලක්ෂ්මන් මෙන්ඩිස්, ඩබ්ලිව්.ජයසිරි, නීටා ප්‍රනාන්දු ඇතුළු ශිල්පීන් රැසක් චරිත මවනවා.

 

LUST STORIES


බොලිවුඩ් සිනමාවේ ප්‍රමුඛ පෙළේ සිනමාකරුවන් වූ කරන් ජොහාර්, අනුරාග් කාශ්‍යප්, සෝයා අක්තාර් හා දිබාකර් බැනර්ජි යන සිවුදෙනා එක්වෙලා. එකම තේමාවකින් යුත් චිත්‍රපට හතරක් හදලා එකට දකින්නට අපට සලස්වනවා. හොඳ සිනමා අත්දැකිමක්. මේ කතා හතර එකම තේමාවකින් යුක්තයි. හැබැයි සිනමාකරුවන් සිවුදෙනා එකිනෙකට වෙනස් අන්දමින් මේ අත්දැකීම අපට ගෙන එනවා. පවුලේ සියල්ලන් එකට ඉඳ නරඹන්න සුදුසුයි කියලා කියන්න බැරි වුණත් අනිවාර්යයෙන්ම බලන්න වටින වැඩක්. රාධිකා අප්තේ, අකාශ් තොස්රා, මනිශා කොයිරාල, සංජේ කපූර්, කියාරා අද්වානි, විකී කෞශාල් ආදින් මෙහි චරිත මවනවා. සිනමා කෘතින් හතරක්. එකම තේමාවක්. එකම රිද්මයක්. අත්දැකීම් හතරක්.

 

 

 

JUNGLE BEAT


ඔන්න එකෝමත් එක වනානාත්රයක පුංචි වඳුරු පැටියෙක් ඉන්නවා. . ඒ වගේම යාළු අලියෙකුත් ඉන්නවා. ඔය වනාන්තරේ කවුරු කවුරුත් සත්තු සීපාවෝ බොහොම දෙනා යාළුකමෙන් ඉන්නවා. හැබැයි කතා බතා මුකුත් නෑ. ඔන්න එකපාරට කට්ටියට එකිනෙකා සමඟ කතා කරන්නට ඉඩ ලැබෙනවා. ඉතින් එක දවසක ජීවිතේට කිසිම විධියකින් දැකලා නැති අමුතුම සතෙකු ඒ අයට මුණ ගැහෙනවා. මේ සතා නම් මේ ලෝකේ කෙනෙක් වෙන්න බෑ. ඒ නිසා තමයි කට්ටියට කතා කරන්න ඉඩ ලැබෙන්නේ. හැබැයි දැන් එයත් ඉන්නේ ගෙදර යන සාංකාවෙන්. දකුනු අප්‍රිකාව හා මොරිෂස් දිවයිනේ පිරිසක් ඒකාබද්ධව නිපද වූ පරිගණක සැකිලි චිත්‍රපටක් වූ මේ චිත්‍රපටය ළමා ලෝකයට විචිත්‍ර අත්දැකීමක් ගෙන දෙන චිත්‍රපටයක්. බ්‍රෙන්ට් දේව්ස් තමයි මේ අපූරු චිත්‍රපටයේ අධ්‍යක්ෂක. ඔහු එය නිර්මාණය කර තිබෙන්නේ මෙනමින් යුත් ටෙලිවිෂන් කතා මාලාවක් ඇසුරෙන්.

 

CAST AWAY


චක් නෝලන්ඩ් ඇමෙරිකාවේ සිට මැලේසියාව බලා පිටත්ව යනුයේ තම වෘත්තිය කටයුත්තකට. ඔහු සේවය කරනුයේ අන්තර්ජාතික තැපැල් සේවා ආයතනයක් වන ෆෙඩෙක්ස් සමාගමේ. කොහොම වුණත් පැසිෆික් සාගරය අතරමඟ ඔහුගේ යානය අනතුරට ලක්වෙනවා. යාන්තම් පණ බේරාගෙන මිනිසුන්ගෙන් තොර පාළු දූපතකට ගොඩ බසින්නට ඔහු සමත් වෙනවා. එයට පස්සේ ඔහුට මුහුණ දෙන්නට සිදුවන ගැටලු දිරිමත් මිනිසකුට විනා වෙන කිසිවකුට හෝ ජයග්‍රහණය කරන්නට නම් බැහැ. අපිට මතක් වෙන්නේ නූතන රොබින්සන් කෲසෝ කෙනෙක් ගැන. සම්මානනීය රංගවේදි ටොම් හෑන්ක්ස්, චක් නෝලන්ඩ් ලෙස ප්‍රධාන චරිතය රගපාන මේ චිත්‍රපටයට දැන් අවුරුදු විසි එකක්. හැබැයි අලුතෙන් හදපු චිත්‍රපටයකටත් වඩා තවමත් නැවුම්. රොබට් සෙමෙක්ස් නම් සම්මානනීය සිනමාකරු ගේ චිත්‍රපටයක්.

 

THE SHADOW OF THE IRIS


මැක්ස් මෝටර් රථ කාර්මික ශිල්පියෙක්. ඔහු හමුවන අයිරිශ් නම් එක් රූමත් ගැහැනියක් අපූරු යෝජනාවක් කරනවා. ඒ තමාව පැහැර ගන්නා ලෙස. ඒ ඇයට ඇගේ සැමියාගේන් මුදලක් කප්පම් වශයෙන් ගන්නට. අන්තිමට ඔහුත් එයට එකග වෙනවා. ඔහුත් ඉන්නේ මුදල් අර්බුදයකට මැදිවෙලා. ඒ අනුව ඇය පැහැර ගනු ලබනවා. සැමියා බැංකු ව්‍යාපාරිකයෙක්. ඉතින් ඔහු මුදල් දීමට කැමැති වෙනවා. මුදල් ගන්නට යන විට තමා පසුපස පොලිසිය ලුහු බදින බව මැක්ස්ට වැටහෙනවා. ඔහු නිවසට යන විට නිවස ඇතුළත ගැහැනිය මරා දමා ඇති වග පේනවා. ඔහු දෙවරක් නොසිතාම ඇය රහසිගත ව වළලා දමනවා. ඒ අතරවාරයේ ඔහු ටෙලිවිෂනයේ දකිනුයේ බැංකු ව්‍යාපාරිකයාගේ භාර්යාව අයිරිශ් පැහැර ගත් විත්තිය කියවන ප්‍රවෘත්තිය. හැබැයි ඔහු පැහැරගත් අයිරිශ් හා ටෙලිවිෂනයේ පෙන්වන අයිරිශ් දෙන්නෙක්. මේ වන විට ඔහු පසුපස පොලිස් නිළධාරින් දෙදෙනෙක් හඹා යනවා. මෙතැනින් එහාට මේ කතාව ඔබට කිව යුතු නැහැ. බලන්න. මේ ප්‍රංශ චිත්‍රපටයක්. ජලීල් ලෙස්පර්ට් විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටයේ රොමේන් ඩූරිස්, චාලට් ලෙ බොන්, සමග ජලීල් ලෙස්පර්ට් චරිත මවනවා.