එන්න චිත්‍රපට බලමු

සැප්තැම්බර් 9, 2021

 

SECTION 375

බොලිවුඩයේ කෘතහස්ත සිනමාකරුවකු වන රෝහන් කුරානා අත් අඩංගුවට ගනු ලබනුයේ සහාය ඇදුම් නිර්මාණ ශිල්පිනියක වන අංජලීට අතවර කිරිමේ චෝදනාව යටතේ. කාන්තාවකට අතවර කිරීම ඉන්දියානු නීති සංග්‍රහයේ 375 වගන්තිය යටතේ බරපතළ වරදක්. ඒ අනුව කුරානා දස වසරක් බරපතළ වැඩ ඇතිව සිර දඬුවමකට ලක් වනවා. එහෙත් කුරානාගේ භාර්යාව කයිනාස් මේ නඩුව දක්ෂ නීතිඥයකු වන තරුන් සලූජාට බාර දෙනවා. අංජලී වෙනුවෙන් පෙනිසිටිනයේ තරුණ නීතිඥවරියක මෙන්ම කලක් තරුන්ගේ සහායිකාවකව සිටි හිරාල් . මේ දක්ෂ නීතිඥවරුන්ගේ තර්ක මැද තීන්දුව කුමක් වනු ඇතිද, එමෙන්ම රට පුරා මහත් ආන්දෝලනයක් මේ නඩුව නිමිති කොට ඇතිව තිබෙනවා. සෙක්ෂන් 375 අනිවාර්යනේම නැරඹිය යුතු අපූරු අත්දැකීමක්. හෘදය සාක්ෂියට එකඟව තීන්දුව දිය යුත්තේ ඔබ යැයි අප විශ්වාස කරන නිසා. අක්ෂේ ඛන්නා ,රීචා චද්දා, මීරා චොප්රා, රාහුල් භාත් , ශ්‍රීස්වරා, ආදින් චරිත මවනු ලබන මේ අපූරු සිනමා කෘතිය අජේ භාල්ගේ අධ්‍යක්ෂණයක්.

CHOPSTICKS

බාහුබලී කියන්නේ සුප්‍රකට චිත්‍රපටයක්. එහි තේරුම සවිමත් අත. ඉංග්‍රසියෙන් නම් ආම්ස්ට්‍රෝංග්, සිංහලෙන් නම් ගජබා කිව්වත් නිවැරැදියි. හැබැයි මේ චිත්‍රපටයේ නම් බාහුබලී ලෙස නම ඇත්තේ පළාතේ චණ්ඩියෙක් වූ ෆයියාස් බාල් සුරතලයට ඇති කරන එළුවෙක්ට. මේ එළුවාට කොච්චර මිනිහා ආදරය කරනවාද යත් උපන්දින සාදයක් පවා පවත්වනවා. හැබැයි එක් දවසක මේ බාහුබලී අතුරුදන් වෙනවා. නිකම්ම නොවේ එය පැහැර ගැනීමක්. එය කරනුයේ චීන භාෂා පරිවර්තිකාවක ලෙස සංචාරක සමාගමක සේවය කරනු ලබන නිර්මා නම් තරුණියක් විසින්. ඇය පෙනුමෙන්වත් හැඩරුවින්වත් එහෙම නිර්භීත තරුණියක නොවේ. එයට හේතුව නිර්මා විසින් බොහෝ ආසාවෙන් ලබා ගත් අලුත් මෝටර් රථය පැහැර ගනු ලබනවා. ඒ ගැන පොලිසියවත් හොයන්නේ නැහැ. වාහනය තියෙන්නේ ෆයියාස් ළඟ. මේ වැඩේදි ඇයට අපූරු උදවුකාරයකුත් මුණ ගැසෙනවා. ඒ තරමක චන්ඩියෙක් මෙන්ම ඉවුම් පිහුම්වලට ආසා කරන තරුණයෙක්. එයාව හදුන්වනුයේ ආටිස්ට් කියලා. මේ අපුරු හාස්‍යෝත්පාදක චිත්‍රපටයේ අ‌භේ ඩියොල්, මිතිලා පල්කාර්, විජය් රාස් ආදින් චරිත මවනවා. සචින් යාර්දි චොප්ස්ටික් අධ්‍යක්ෂණය කළා.

CODA

 

ඇගේ නම රූබි. වයස අවරුදු දාහතයි. ඇගේ පවුලේ අම්මා, තාත්තා හා සහෝදරයා යන තිදෙනාම ගොළුයි. කතා කරන්නට පුළුවන් එකම තැනැත්තිය ඇයයි. මාපියන් ජීවත්වනුයේ ධීවරයන් හැටියට. ඉතින් එකම දවසක ඇයට හොඳීන්ම ගයන්න පුළුවන් බව ඇයට වැටහෙනවා. එමෙන්ම යොවුන් සිතට ආදරයත් එබිකම් කරනවා. ඇගේ ගායනය අසන්නට නම් මවුපියන්ට දෛවය ඉඩ දී නැහැ. ඉතාම සංවේගජනක චිත්‍රපටයක්. එමිලා ජාන්ස්. ඉයුජින් ඩර්බස්, ට්‍රෝයි කට්සූර්, ෆර්ඩියා වොල්ෂ් ෆීලෝ ආදින් චරිත මවන මේ චිත්‍රපටය ඔබට දිගු කලකට අමතක නොවන චිතපටයක් බව නම් විශ්වාසයයි. සියාන් හේඩර් විසින් නිර්මාණය කරන ලද කෝඩා විචාරකයන්ගේත් ප්‍රෙක්ෂකයන්ගේත් ආදරය දිනා ගත් චිත්‍රපටයක්. මෙය ප්‍රංශ චිත්‍රපටයක් ඇසුරෙන් තැනුණු ඉංග්‍රිසි චිත්‍රපටයක් වුවත් මෙයට අවුරුදු විස්සකට පමණ පෙර සිනමාවට ආ සන්ජේ ලීලා බන්සාලි ගේ කාමෝෂ් චිත්‍රපටයත් ඔබට නොඅනුමානවම සිහිපත් වේවි.

WISH DRAGON

ඩින් කියන පුංචි පැංචාගේ පුංචි යෙහෙළිය තමයි ලී. ඉතින් ඒ දවස්වලම එයා තාත්තාත් එක්ක අලුත් පළාතකට යනවා. ලී ගේ තාත්තා හොඳ ධනවතෙක්. ඩින් ජීවත්වනුයේ අම්මා සමඟ. දැන් කාලය ගෙවී ගිහින්. මේ අතරේ අමමාට හොරෙන් ඩීන් අවන්හලක ඩිලිවරි රස්සාවක් කරනවා. අම්මාට වුවමනා ඩීන් හොඳීන් පාසැල් ගොස් ඉගෙන ගෙන ලොකු මහත්තයෙකු වෙනවා දකින්නට. එක් දවසක ඔහුට අරුම පුදුම ගණුදෙනුකරුවෙක් හමුවෙනවා. ඒ ගනුදෙනුකරුවා ඔහුට දෙනවා ලස්සන තේ පෝච්චියක්. හැබැයි තේ පෝචිචියේ සැඟවිලා ඉන්නේ අවූරුදු ගණනාවක් සිරගත කරලා ඉන්න මකරෙක්. මේ පෝචිචිය ගැන දන්නා කෙනෙක් එය ඩැහැ ගන්න කුමන්ත්‍රණයක. මකරා ළඟ තියෙන්නේ ප්‍රාර්ථනාවන් තුනක වරමක්. පවුලේ කාටත් නරඹන්න අපූරු චිත්‍රපටයක්. ක්‍රිස් ඇප්ලහාන්ස් අධ්‍යක්ෂණය කරන ලද පරිගණක සැකිලි රූ චිත්‍රපටයක්.

ROOHI

 

ඉන්දියාවේ බෙගද්පූර් නගරයේ ජීවත් වන භව්රා හා කට්ටානනීගේ රැකියාව තරුණියන් පැහැරගෙන යෑම. ඒ කියන්නේ කාට හරි සිත්ගත් යුවතියක් විවාහ කරගන්නට වුවමනා නම් ඔවුන් කරන්නේ බලෙන් හෝ උස්සා ගෙන ගිහින් තරුණයාට බාර දීම. රූහිත් එබඳු පැහැර ගැනීමකට ලක්වන යුවතියක්. හැබැයි මෙතැන නම් සිද්ධ වෙන්නේ වෙනම සන්තෑසියක්. ඇය පැහැර ගත්තාම සිදුවන්නේ වෙනදා වන අත්දැකීම නෙමේ. රාජ් කුමාර් රාඕ, වරුන් ශර්මා සමඟ ජාන්වි කපූර් මෙහි ප්‍රධාන චරිත රගපානවා. හාර්දික් මෙහ්තා අධ්‍යක්ෂණය කරන ලද රූහි හින්දි චිත්‍රපටය ඔබ ත්‍රාසයෙන් මෙන්ම හාස්‍යයෙන් ද පිනවනවා ඇති.

A SUN

 

2021 වසරේ ඇකඩමි සම්මාන අලෙළේ තායිවාන නියෝජනය වූ මේ චිත්‍රපටය මෑත භාගයේ තායිවාන සිනමා කෘතින් අතර ඉහළම විචාරක අවධානය දිනාගත් චිත්‍රපටයක්. මෙයට පාදක වනුයේ පවුලක් බලාපොරොත්තු නොවුණ ඉරණමකට මුහුණ දීමත් සමඟ ඇතිවන සමාජ ඛේදවාචකයක්. එය වර්තමාන තායිවාන සමාජයේ හරස් කඩක් ලෙස සිනමා විචාරකයන් දක්වනවා. එයට පාදක වන ගැටවරයකු හා ඔහුගේ පවු‌ලේ සාමාජිකයන් වටා ගෙතුණ මේ අගනා සිතුවම ඔබගේ සිනමා අත්දැකීම වෙනම මානයකට ගෙන යන්නක්. චිත්‍රපටයක් රස විඳීන්නේ නම් අනිවාර්යයෙන් නැරඹිය යුතු නිර්මාණයක්. චුන් මොංග් හොංග් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය ඇසුරින් අප නොදකින සමාජ භීෂණයේ එක් පැතිකඩක් සිනමාකරු විසින් හෙළිදරව් කරනුයේ අගනා ජීවිත අත්දැකීමක් බවට පරිවර්තනය කරමින්.

FORENSIC

කේරලයේ අගනුවර වූ තිරුවානන්දපුරම් පොලිසිය කැලඹී යනුයේ පාසැල් වියේ පසුවන දැරියන් කිහිප දෙනෙක් අතුරුදන්වීමත් පසුව ඔවුන් ඝාතනය කොට ඇති බව සොයා ගැනීමත් සමඟ. මේ සිදුවීම් පසුපස සූක්ෂ්ම මොලකරුවෙකු සිටින වග පැහැදිලියි. කාරණාව පැවරෙන්නේ සහකාර පොලිස් අධිකාරිවරියක වූ රිතිකා ක්ෂේවියර්ට. ඇය දක්ෂ නිලධාරිනියක් . ඇයගේ සහායට අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් පත් කරනවා. ඒ අතර තරුණයකු වන සැමුවෙල් ජෝන් ගැන රිතිකාගේ එතරම් ප්‍රසාදයක් නැහැ. එය පෞද්ගලික කරුණක්. ඔහු ඇයගේ හිටපු සැමියාගේ සොහොයුරු. මිනිමරුම් දාමය ගැන කිහිප දෙනෙකුම සැක කළත් ඒ එකක්වත් නිවැරැදි ඉලක්කය නොවේ. කතාව ඔහොම පැවසුවාම ඇති කියලා අපට හිතෙන්නේ. නැත්නම් බලන විට ඇතිවන කුතුහලයක් නැහැනේ. මම්තා මොහාන්දාස්, ටොවිනෝ තෝමස්, රේඛා මොනිකා, සයිජු කුරුප් ආදි මලයාලම් නළු නිළියන් රැසක් රඟන මෙය අකිල් පෝල් සහ අනාස් ඛාන් ගේ අධ්‍යක්ෂණයක්.

CHAOS WALKING

 

මේ ඉතා ඈත අතීතයේවත් ඉතා දුර අනාගතයේ නොවේ. ටොඩ් හෙවිට් නම් තරුණයාට දැක ගන්නට ලැබෙනුයේ වයලා නම් අද්භූත ආගන්තුක කාන්තාවයි. මේ මොහොතේ මේ ග්‍රහ ලෝකයේ කිසිදු කාන්තාවක් නැහැ. දැන් ටොඩ්ගේ වගකීම ඇය රැක ගැනීමයි. පැට්‍රික් නෙස්ගේ සුපකට විද්‍යා ප්‍රබන්ධ ත්‍රිත්වයේ එන 'ද නයිෆ් ඔෆ් නෙවර් ලෙටිං ගෝ' කෘතිය පාදක කර ගෙන තැනුණු මේ අලුත් විද්‍යා ප්‍රබන්ධ සිනමා කෘතිය ත්‍රාසජනක තේමාවකින් යුක්තයි. ඩග් ලීමාන් නිර්මාණය කළ තවත් දැවැන්ත චිත්‍රපටයක් වන මෙහි ඩේසි රිඩ්ලි, ටොම් හොලන්ඩ්, ආදින් චරිත නිරූපණය කරනු ලබනවා.

NAYATTU

මැතිවරණ සමයක කාර්යබහුල වගේම දේශපාලන බලපුළුවන්කාරකම හමුවේ අසරණ වන කොටසක් වනුයේ පොලිස් නිලධාරින්. කේරළයේ පවා තත්ත්වය එහෙමයි. විශ්‍රාම යන්නට ආසන්න වයසේ පසුවන පොලිස් නිලධාරියකු වූ ප්‍රවීන්. තරුණ නිලධාරියකු වූ මානියන් හා නිලධාරිනියක වන සුනීතා මුහුණ දෙන්නේ ජීවිතයේ කිසි කලෙකත් බලාපොරොත්තු නොවන සිදුවීමකට. එය හිතා මතා සිදුවන දෙයක් නොවේ. එහෙත් ඉහළ නිලධාරින්ගේ පාවාදීම්, දේශපාලකයන්ගේ අත් සෝදා ගැනීම් හා දේශපාලන බලය ඉහටත් උඩින් අරගෙන සිටින දේශපාලකයන් ඇතුළු සියලු දෙනාගේ බලපුළුවන්කාර කම් මත මේ තිදෙනොගේ ඉරණම කුමක් විය හැකිද? එමෙන්ම එක් මොහොතක මිනිසුන්ගේ ඉරණම වෙනස් කර ලන්නට හැකි වීම කෙතරම් භයානකද? කුන්චකෝ බෝබන්, ජෝජු ජෝර්ජ්, නීමිෂා සජායන්, ජෆාර් ඉඩුක් ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක් දායක වන මෙය මාර්ටින් ප්‍රකාත්ගේ අධ්‍යක්ෂණයක්.

JALEBI

අයිශා සුප්‍රකට ලේඛිකාවක්. ඇය ජීවත්වනුය් ඇයගේ ධනවත් පියා සමඟ. ඇය මුම්බායි සිට දිල්ලයට යන්නේ දුම්රියෙන්. ඒ ඇයගේ අලුත් ග්‍රන්ථය දොරට වැඩීමේ අවස්ථාවට. මේ දුම්රියේදී ඇයට ජීවිතයේ කිසිකලෙක අමතක නොවන අත්දැකීමක් ලැබෙනවා. මේ එක් ආදර අන්දරයක්. බෙංගාලි නවකතාවක් හා ඒ ඇසුරු කොටගත් බෙංගාලි චිත්‍රපටයක් ඇසුරෙන් තැනුණු හින්දි චිත්‍රපටයක්. වරුන් මිත්‍රා, රෙයා චක්‍රබෝර්ති, දිගම්ගනා සූර්යවංශි ඇතුළු නළු නිළියන් රැසක් රඟන මේ චිත්‍රපටය ජනප්‍රිය චිත්‍රපට රැසක් තැනූ මහේෂ් භාත්ගේ නිෂ්පාදනයක්. පුෂ්පදීප් භාරද්වාජ්ගේ මුල්ම සිනමා කෘතියයි. ආදරය කොයි වගේද? එහි අවසානය කුමන්ද? ජීවිතය ලෙස පෙරළා ලියනුයේ මේ ආදර අත්දැකීම්ද ඔබට හිතා ගන්න බැරිවේවි.