Kung Fu

දැන් අලුත් මුහුණුවරකින්
සැප්තැම්බර් 16, 2021

 

 

චීන-ඇමෙරිකානු යුවතියක් වන නිකී ෂෙන් තම නිවෙසින් පලා යන්නේ මවගේ දළදඬු නීතිරීතිවලින් නිදහස සොයා ගෙනය. චීනයට පැන යන නිකී කාන්තාවන් පමණක් පුහුණු වන ෂඔලින් ආරාමයකට සම්බන්ධ වන අතර එහිදී පී-ලිංගේ ගුරුහරුකම් යටතේ වසර තුනක් ගත කර ප්‍රවීණ සටන්කාමිනියක වන්නීය. ඇගේ ගුරුවරිය හමුදා සෙබළෙකු වූ ශිලාන් විසින් ඝාතනය කෙරෙන අතර ඔහු විසින් ආරාමයද විනාශ කර එහි ඇති පූජනීය කඩුවක් සොරකම් කෙරෙන්නේ මේ අවධියේදීයි. කලකිරුණු නිකී නැවත සැන් ෆ්‍රැන්සිස්කෝ හි සිය නිවෙස වෙත ආපසු යන අතර එහිදී ඇගේ දළදඬු මව නපුරු බාල සොහොයුරු රයන් හැර අන් සියල්ලෝම ඇයව සාදරයෙන් පිළිගනිති. දරුණු මැර ප්‍රහාරයක් හේතුවෙන් නිකීගේ පියා රෝහල්ගත කෙරෙන්නේ මේ අතරතුරදීය. නිකීගේ පවුල මැර නායකයෙකු වන ටෝනි කැන්ග් හට ණයගැති බව දැනගන්නා නිකී, රයන් සහ ඇගේ සොහොයුරිය ඇල්තියා මේ කණ්ඩායම පිලිබඳ තොරතුරු එකතු කරන්නේ ඔවුන් පොලිසියට හසුකර දීම සඳහාය.

හෙන්රි නම් වූ තරුණයෙකු නිකී හා මිතුරු වන්නේ මේ කාලයේදීයි. ශිලාන් විසින් සොරකම් කරන ලද කඩුව අද්භූත ආයුධ අටකින් එකක් බවත් එම ආයුධවල සැබෑ බලය ලබා ගැනීම සඳහා කඩු අටම එකතු කර ගැනීමට ශිලාන් සැලසුම් කර ඇති බවත් හෙන්රි නිකීට පවසයි. නිකීගේ අතෙහි ඇති කැළලක් ශිලාන්ට විරුද්ධ සටනේදී ඇයට උපකාරී වන බවත් හෙන්රි නිකීට පසක් කර දෙයි.

ටයිටස් තොටවත්තයන් ගේ උපසිරැසි සහිතව, මීට දශක කිහිපයකට පෙර ජාතික රූපවාහිනියේ තිරගත වුණු ඩේවිඩ් කැරඩීන් රඟපෑ 'කුංෆු' කතා මාලාව බොහෝ වැඩිහිටියන්ගේ මතකයේ අදටත් පවතී. මෙම කතා මාලාව 1972 දී පළමු වරට තිරගත වූවක් වන අතර ඉන් වසර 50 කට පමණ පසු මෙම කතා මාලාව 'ප්‍රතිප්‍රබන්ධ' (අඥඪථචඨඪදඥ) කර 2021 අප්‍රේල් ඛ්එ නාළිකාවේ 'කුංෆු'යන නමින් ඇමරිකානු - සටන් කලා - ක්‍රියාදාම සහ වික්‍රමාන්විත රූපවාහිනී කතා මාලාව මෙලෙස ආරම්භ වේ. 1972 මුල් කතා මාලාව, 1993 වසරේ තිරගත වුණු එහි දෙවැනි අදියර වූ 'කුංෆු: ද ලෙජන්ඩ් කන්ටිනියුස්' කතා මාලාව සේම 2021 කුංෆු කතා මාලාව ද වෝනර් බ්‍රදර්ස් රූපවාහිනිය විසින් නිෂ්පාදනය කෙරී ඇති අතර මුල් කතා මාලාවේ නිර්මාතෘ එඩ් ස්පීල්මන් ද මෙහි විධායක නිෂ්පාදකවරයෙකි. ක්‍රිස්ටිනා එම් කිම් විසින් නිර්මාණය කෙරුණු මෙම කතා මාලාවේ ඔලිවියා ලියාං, ඛෙං හුවා ටෑන්, එඩී ලියු, සහ ෂැනන් ඩෑන්ග් ඇතුළු ආසියානු - ඇමෙරිකානු නළු නිළි පිරිසක් ප්‍රධාන චරිත රඟ දක්වති.

'කුංෆු' බොහෝ විචාරකයන්ගෙන් ධනාත්මක ප්‍රතිචාර ලබාගත් කතා මාලාවකි. රොට්න් ටොමැටෝස් වෙබ් අඩවියේ මේ කතා මාලාව විවේචකයන් 21දෙනෙකුගේ 86% ක අනුමත කර ඇති අතර දර්ශකයේ සාමාන්‍ය අගය 6.9/10 කි. වෙබ් අඩවියේ පොදු විචාරයේ කතා මාලාව ගැන මෙලෙස පැවසේ. "එක් පසෙකින් මෙහි මුල් කොටස් මීට වඩා අවධානයෙන් යුතුව නිර්මාණය වූවා නම් යහපත් ලෙස හැඟෙන නමුත්, විචිත්‍රවත් ලෙස නිර්මාණය වූ සටන් ජවනිකා සහ ඔලිවියා ලියෑන් ප්‍රමුඛ දක්ෂ නළු නිළියන් ගේ රංගනයන් මෙම කතා මාලාවට දීප්තිමත් අනාගතයක් ඇති බවට පෙන්වා දෙයි".