Only Murders in the Building ඇත්ත යනු අබිරහසකි

නොවැම්බර් 4, 2021

ජනප්‍රිය ගායිකාවක සහ නිළියක වන සෙලීනා ගෝමස් ගොඩනැගිලි ප්‍රතිසංස්කරන්නිය වන මේබල් මෝරාගේ චරිතයට පණ පොවන්නීය.

ප්‍රවීණ හාස්‍ය නළුවකු වන මාර්ටින් ෂෝර්ට් විසින් - ආර්ථික අපහසුතාවලින් පෙළෙන පොඩ්කාස්ට් අධ්‍යක්‍ෂ ඔලිවර් පුට්නම්ගේ චරිතය නිරූපණය කරනු ලැබේ.

චාල්ස්-හැඩන් සැවේජ්, හිටපු රූපවාහිනී නළුවෙකි. ඔලිවර් පුට්නම් අසාර්ථක අධ්‍යක්ෂවරයෙකි. මේබල් මොරා, මහල් නිවාස ප්‍රතිසංස්කරණය කරන්නියකි.

මේ තිදෙනාම 'ආර්කෝනියා' නම් ගොඩනැඟිල්ලේ ජීවත් වෙති. මොවුන් තිදෙනා විදුලි සෝපානයකදී අහම්බෙන් හමු වන අතර එම අවස්ථාවේදීම ටිම් කොනෝ නම් අයෙක් ඔවුන් හා හදිසියේ දුරකතනයෙන් සම්බන්ධ වේ. පසුව අනතුරු ඇඟවීමක් සමඟ නිවැසියන් ගොඩනැගිල්ලෙන් ඉවත් කෙරෙන අතර චාල්ස්, ඔලිවර් සහ මේබල් තිදෙනා තුළම 'සත්‍ය අපරාධ' (True Crime) සඳහා ඇති ළැදිකම නිසා මිතුරු වෙති.

නිවැසියන් ගොඩනැඟිල්ලෙන් ඉවත් කෙරුණේ එහි සිදු වූ හදිසි මරණයක් නිසා බව ප්‍රකාශයට පත් වේ. මියගොස් සිටිනුයේ තමා හා පෙර දුරකථනයෙන් සම්බන්ධ වූ ටිම් කොනෝ බවත්, පොලිස් විමර්ශකයන් විසින් මෙය සියදිවි නසා ගැනීමක් බව විශ්වාස කරන බවත් මිතුරෝ දැනගනිති. එහෙත් සත්‍ය අපරාධ කතා ගැන හිත ගිය මිතුරන්ට නම් මෙය අබිරහසකි. රහසේම ගොඩනැඟිල්ලට ඇතුළු වන ඔවුන් හට මෙය සියදිවි හානිකර ගැන්මකට වඩා මිනීමැරුමක් බව පෙන්වන සාක්ෂි එකින් එක හමුවේ. කෙසේ වෙතත්, මේ තත්ත්වය උග්‍ර වන්නේ චාල්ස්, ඔලිවර් සහ මේබල් ඔවුනොවුන්ව මේ මිනීමැරුම සම්බන්ධයෙන් සැක කිරීමත් සමඟිනි.

ස්ටීව් මාටින් සහ ජෝන් හොෆ්මන් විසින් නිර්මාණය කරනු ලදුව, 2021 අගෝස්තු 31 දින හුලු හිදී මුදාහැරි, Only Murders In The Building - - ඇමරිකානු - අබිරහස් - හාස්‍ය රූපවාහිනී කතා මාලාව ඇරඹෙන්නේ මෙලෙසිනි. එය කොටස් 10 කින් සමන්විත වේ. මෙහි සම අධ්‍යක්ෂ, ප්‍රවීණ, ජනප්‍රිය හාස්‍ය නළු ස්ටීව් මාර්ටින් විසින් - 1990 දශකයේ ජනප්‍රිය රහස් පරීක්ෂක නාට්‍යයක ප්‍රධාන චරිතය රඟපෑ මුත්, වර්තමානයේ කිසිවෙකුත් නොදන්නා පුද්ගලයෙකු වූ චාල්ස්-හැඩන් සැවේජ් ලෙස රඟ දක්වන අතර, තවත් ප්‍රවීණ හාස්‍ය නළුවකු වන මාර්ටින් ෂෝර්ට් විසින්, ආර්ථික අපහසුතාවලින් පෙළෙන පොඩ්කාස්ට් අධ්‍යක්‍ෂ ඔලිවර් පුට්නම්ගේ චරිතය නිරූපණය කෙරේ. ජනප්‍රිය ගායිකාවක සහ නිළියක වන සෙලීනා ගෝමස් ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය කරන්නිය වන මේබල් මෝරාගේ චරිතයට පණ පොවන්නීය.

මේ කතා මාලාවේ මාර්ටින්, ෂෝට් සහ ගෝමස්ගේ රංගනයන් බොහෝ විචාරකයන්ගේ පැසසුමට ලක්වී ඇත. රෝට්න් ටොමාටෝස් වෙබ් අඩවියේ විචාරකයන් 61 දෙනෙකුගෙන් සියලු දෙනාම (100%) මේ කතාව අනුමත කර ඇති අතර දර්ශකයේ සාමාන්‍ය අගය 7.8/10 කි. වෙබ් අඩවියේ පොදු විචාරයේ මෙලෙස සඳහන් වේ: "මේ කතා මාලාව මඟින් 'සත්‍ය-අපරාධ' සාහිත්‍යයට එක් කරන ලද හාස්‍යෝත්පාදක ප්‍රවේශය එහි ප්‍රධාන චරිත ත්‍රිත්වයෙන් තව තවත් වර්ණවත් වී ඇත".