වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
නොවැම්බර් 02 වැනි දා සිට ඇමසන් ප්‍රයිම් ඔස්සේ Jai Bhim සැමට එකම නීතියක්

“කේ. චන්දෘ හට අවශ්‍ය වූයේ තරු පහේ නීතිඥයෙකු වීමට නොව දුප්පතුන් වෙනුවෙන් සේවය කිරීමටය. විනිසුරුවරයෙකු ලෙස ඔහු මානව හිමිකම් සම්බන්ධ සුවිශේෂී තීන්දු කිහිපයක් සමඟින් නඩු 96,000ක් පමණ විසඳා ඇත. පොදු සුසාන භූමි වෙත කුල භේදයකින් තොරව සැමට ප්‍රවේශ විය හැකිවිය යුතුය යන්න පිළිබඳ තීන්දුව ඔහුගේ විනිශ්චයන් අතර සුවිශේෂී එකකි.
ඔහු නීතීඥයෙකු ලෙස කටයුතු කරන කාලය තුළ කිසි දිනක නඩු සඳහා රුපියලක්වත් අය කර නොමැත. විශේෂයෙන් කුඩා නගරවල, අඩු ආර්ථික පසුබිමක සහ සමාජය විසින් පහත් ලෙස සැලකූ ප්රජාවන්ගේ කාන්තාවන් වෙනුවෙන් ඔහු බොහෝ නඩු වලට එරෙහිව සටන් කළේය. 2006 ජුලි 31 වැනි දින මහාධිකරණයේ අතිරේක විනිසුරුවරයෙකු වූ කේ. චන්දෘ 2009 නොවැම්බර් 9 වැනි දින ස්ථිර විනිසුරුවරයෙකු ලෙස පත්වීම් ලබා 2013 මාර්තු මාසයේදී විශ්‍රාම ගියේය. විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු තම නිල වාහනය භාර දී නිවෙස බලා පිටත්ව ගියේ දුම්රියෙනි. 'ජායි භීම්' චිත්‍රපටය යනු ඔහුගේ ජීවිතයේ ඇතුළත් එක් කතාංගයක් විස්තර කිරීමකි".
නොවැම්බර් 02 වැනිදා සිට ඇමසන් ප්‍රයිම් ඔස්සේ දිග හැරුණු 'ජායි භීම්' දෙමළ චිත්‍රපටය යුක්තිය පසිඳලීමේ ක්‍රමය සහ ඉන්දීය සමාජයේ ඇතැම් කොටස්වල මිනිසුන් ඒ සමඟ අරගල කරන ආකාරය පිළිබඳ අවධානය යොමු වූ චිත්‍රපටයකි. ගෝත්‍රික ප්‍රජාව මුහුණ දෙන විවිධාකාර වධහිංසා සහ කුල භේදය ගැන කතා කරන එයට පාදක වී තිබෙන්නේ 90 දශකයේ තමිල්නාඩුවේ සිදු වූ සත්‍ය සිදුවීමකි. ඒ අනුව සාවද්‍ය චෝදනා එල්ල වූ ඉරුලර් ප්‍රජාවේ මිනිසෙකුගේ බිරිය වෙනුවෙන් යුක්තිය පසිඳලීමේ නඩුව සහ ඒ ඔස්සේ යුක්තිය කරා යන දිගු මාවත විවර වේ.
ඉරුලර් හෙවත් ඉරුලිගා යනු ඉන්දියාවේ තමිල්නාඩුව, කේරළය සහ කර්ණාටක ප්‍රාන්තවල වාසය කරන ද්‍රවිඩ ජනවර්ගයකි. ඉරුලර් යනු දෙමළ සහ මලයාලම් භාෂාවෙන් "අඳුරු මිනිසුන්" යන්න පැහැදිලි කෙරේ. සාම්ප්‍රදායිකව, ඉරුලයන්ගේ ප්‍රධාන රැකියාව වූයේ සර්පයන්, මීයන් ඇල්ලීම සහ මී පැණි එකතු කිරීමයි. ඉරුලර් ගෝත්‍රයේ සාමාජිකයෙකු වන රාජකන්නු හට චෝදනා එල්ල වී ඇත්තේ නිවෙසකින් ස්වර්ණාභරණ සොරකම් කිරීම සම්බන්ධයෙනි. පැමිණිල්ල මත පොලිස් භාරයට පත්වූ රාජකන්නු පොලිස් අත්අඩංගුවේ දී ඝාතනයට ලක්විය.
මෙම සිදුවීම වසන් කිරීම සඳහා ප්‍රාදේශීය පොලිසිය ඔහුගේ සිරුර අසල්වැසි තිරුචිරප්පලි (ට්‍රිචි) දිස්ත්‍රික්ක වෙත ගෙන ගොස් බැහැර කර අත්අඩංගුවේ සිටියදී ඔහු පලා ගිය බව කියා සිටියි. කෙසේ වෙතත්, රාජකන්නුගේ බිරිය පාර්වතී මෙම කතාව පිළිනොගෙන තම සැමියා සොයා ගැනීමට වෙහෙසේ. අවසානයේ ඇය මදුරාසි මහාධිකරණයේ නීතීඥයෙකු වන කේ. චන්දෘ හමුවන්නීය. ඔහු විසින් හබයාස් කෝපුස් පෙත්සමක් ගොනු කරමින් අරඹන නෛතික සටනේ අවසන් තීන්දුව ලැබෙන්නේ වසර 13ක් අවසානයේය. පසුකාලීනව සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, විනිසුරු කේ. චන්දෘ නඩුව අතරතුරදී පොලිසිය පාර්වතීට සහ ඔහුට අල්ලස් දීමට උත්සාහ කළ ආකාරය ද සිහිපත් කළේය. ඔහු ඊට ප්‍රතිචාර දක්වා තිබෙන්නේ මුදල් සහිත ගමන් මල්ල ඔහුගේ කාර්යාලයෙන් ඉවතට විසි කරමිනි.
ජනප්‍රිය නළු සූරියා මෙහි නීතීඥ චන්දෘගේ චරිතය ද, මණිකන්දන් රාජකන්නුගේ චරිතය ද, ලිජෝමොල් ජෝස්, රාජකන්නුගේ ගැබිනි බිරිය (චිත්‍රපටයේ සෙංගෙනි, සැබෑ ජීවිතයේ පාර්වතී) ලෙස ද චරිත නිරූපණය කරති. ප්‍රකාශ් රාජ්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ චරිතයට පණ පොවන්නේය.
මෙම චිත්‍රපටයේ ප්‍රකාශ් රාජ්ගේ චරිතය වන පෙරුමාල්සාමි හින්දි භාෂාවෙන් කතා කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකුට මඩ ගසා ඔහුට දෙමළෙන් කතා කරන ලෙස පවසන දර්ශනයක් සමාජ මාධ්‍යවල ආන්දෝලනයට තුඩු දුන්නේය. එයින් හින්දි භාෂාව කතා කරන පුද්ගලයන්හට අපහාසයක් වන බවත්, එම දර්ශනය ඉවත් කළ යුතු බවත් ඇතැම්හු ප්‍රකාශ කළහ. ප්‍රකාශ් රාජ් මෙයට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ "ඔවුන් කිසිදිනෙක ගෝත්‍රික ජනයාගේ වේදනාව දුටුවේ නැත. ඔවුන් අසාධාරණය දුටුවේ සහ බිය වූයේ නැත. ඔවුන් දුටුවේ කම්මුල් පහර පමණි. ඔවුන්ට වැටහුණේ එපමණකි" යනුවෙනි.
මෙම චිත්‍රපටය IMDB ශ්‍රේණිගත කිරීමේ ලකුණු 9.6/10 ක් ලබාගෙන ඇති අතර එය ඉහළම ශ්‍රේණිගත කිරීම් ලද පළමු දෙමළ චිත්‍රපටයයි. සූරියා සහ ඔහුගේ බිරිය, ජනප්‍රිය නිළි ජෝතිකා සමඟ නිෂ්පාදනය කළ 'ජායි භීම්' චිත්‍රපටය ටී. ජේ ඥානවේල්ගේ අධ්‍යක්ෂණයකි. එය ප්‍රේක්ෂක ආදරය මෙන්ම කතාව, රංගනය, අධ්‍යක්ෂණය සහ සමාජ පණිවිඩය අගයන විචාරක පැසසුම්ද ලබමින් තිරගත වේ. .