ඉන්දියාවේ හදවත බඳු මුම්බායි බේරා ගැනීමේ දැවැන්ත මෙහෙයුම

නොවැම්බර් 25, 2021

අතීතයේ බොම්බේ ලෙස හැඳීන්වූ වර්තමානයේ මුම්බායි යනු ඉන්දියාවේ බටහිර වෙරළ තීරය ආසන්න නගරයකි. එය ඉන්දියාවේ වඩාත්ම ජනාකීර්ණ නගරය සේම ලෝකයේ විශාලතම හා වඩාත්ම ජනාකීර්ණ, නාගරික ප්‍රදේශවලින් එකකි. එසේම ඉන්දියාවේ මූල්‍ය හා වාණිජ කේන්ද්‍රස්ථානය වන්නේද එරට හදවත බඳු මුම්බායි නගරයයි. මුම්බායි නගරය නිරන්තරයෙන් ත්‍රස්තයන්ගේ ඉලක්කයක් බවට පත්වීමට විශේෂතම හේතුව වන්නේද එයයි. මේ හේතුවෙන් දශක ගණනක සිට ත්‍රස්ත ප්‍රහාර කිහිපයක්ම මුම්බායි නගරය ඉලක්ක කර එල්ල වී තිබේ. 1993 වසරේ ත්‍රස්ත ප්‍රහාරය, 2002 වසරේ බස් බෝම්බ පිපුරුම, 2006 වසරේ දුම්රිය බෝම්බය සහ 2008 වසරේ බෝම්බ පිපුරුම ඒ අතරින් කිහිපයකි.

මුම්බායි ත්‍රස්ත මර්දන බළකායේ ප්‍රධානී, නියෝජ්‍ය පොලිස් කොමසාරිස් වීර් සූර්යවංශිහට සිය මාපියන් අහිමි වන්නේ 1993 වසරේ සිදු වූ මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයෙනි. 1993 මාර්තු 12 වැනිදා බොම්බායේ (වර්තමානයේ මුම්බායි) ජනාකීර්ණ ස්ථාන 12ක මෝටර් රථවල සවිකර තිබූ පුපුරණ ද්‍රව්‍ය එකවර පුපුරුවා හරින ලදී. ත්‍රස්ත නායකයෙකු වන ඕමාර් හෆීස්ගේ අරමුණ මුම්බායි නගරය වෙත තවත් බෝම්බ ප්‍රහාර කිහිපයක් එල්ල කිරීමයි. මේ අතර බුද්ධි අංශ වාර්තා කර සිටින්නේ 2008 වසරේ මුම්බායි ප්‍රහාරයෙන් පසු තවත් බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දියානුවන් ලෙස පෙනී සිටින ත්‍රස්තවාදීන් 40 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මුම්බායි නගරයේ සැරිසරන බවයි. තවද 1993 වසරේ සිදු වූ මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය වෙනුවෙන් ගෙන ආ පුපුරණ ද්‍රව්‍ය තොගයෙන් කිලෝ ග්‍රෑම් 400ක් පමණක් භාවිත කළ බවත් එයින් ඉතුරු වූ පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 600ක් මේ වන විටත් කුමන හෝ ස්ථානයක සඟවා ඇති බවද බුද්ධි අංශ තොරතුරු වාර්තා කරයි. මේ සමඟ මුම්බායි නගරය ත්‍රස්තයන්ගෙන් බේරා ගැනීමේ භාරදූර කාර්යයේ වගකීම පැවරෙන්නේ වීර් සූර්යවංශි වෙතයි.

නියෝජ්‍ය පොලිස් කොමසාරිස් වීර් සූර්යවංශි සහ ඔහුගේ කණ්ඩායම මුම්බායි නගරයට පහරදීමට සැලසුම් කර ඇති ත්‍රස්ත කණ්ඩායම නැවැත්වීමේ විශේෂ මෙහෙයුමක් සංවිධාය කරති. ඒ සඳහා නියෝජ්‍ය පොලිස් කොමසාරිස් බජිරාඕ සිංහම් සහ පොලිස් පරීක්ෂක සංග්‍රම් භලේරාඕ ද එක් වෙති. පසුගිය නොවැම්බර් 05 වැනිදා සිට 'සූර්යවංශි' චිත්‍රපටය දිග හැරෙන්නේ මෙලෙසිනි. 'සූර්යවංශි' රෝහිත් ෂෙට්ටිගේ නවතම සිනමා අධ්‍යක්ෂණයයි.

රෝහිත් ෂෙට්ටි යනු ආදායම් වාර්තා තබන චිත්‍රපට නිර්මාණකරුවකු ලෙසින් බොලිවුඩයේ ඉහළ ජනප්‍රියත්වයක් දිනා සිටින අධ්‍යක්ෂවරයෙකි. 'ගෝල්මාල්', 'සිංහම්' චිත්‍රපට මාලා මෙන්ම 'බෝල් බච්චන්', 'චෙන්නායි එක්ස්ප්‍රස්' වැනි ප්‍රෙ‍්‍ක්ෂක අවධානය දිනා ගත් බොලිවුඩ් නිර්මාණ රැසක් අධ්‍යක්ෂණය කළ ඔහුගේ අලු‍ත් චිත්‍රපටයක් පැමිණෙන තෙක් රසික රසිකාවන් සිටින්නේ නොඉවසිල්ලෙන්. එයට හේතුව නම් ඔහුගේ බොහොමයක් චිත්‍රපට එකින් එක බැඳී තිබීම හෝ එම චිත්‍රපටවල චරිත එකිනෙක සමඟ සම්බන්ධ වන ආකාරයේ ඇති විශේෂත්වයයි. 'සූර්යවංශි' චිත්‍රපටයේදී ද රෝහිත් එම අත්හදා බැලීම සාර්ථකව ඉටුකිරීමට සමත් වී ඇත.

හොලිවුඩයේ මාවල් සිනමැටික් යුනිවර්ස් සහ ඩීසි එක්ටෙන්ඩඩ් යුනිවර්ස් මෙන් දැන් බොලිවුඩයට ද ෂෙට්ටීස් පොලිස් යුනිවර්ස් එක් වී ඇත. 'සූර්යවංශි' චිත්‍රපටය, රෝහිත් ෂෙට්ටිගේ තෙවැනි පොලිස් වීරයා ගෙන එන චිත්‍රපටයයි. රෝහිත් පොලිස් වීරයන්ගේ චිත්‍රපට ආරම්භ කළේ 'සිංහම්' චිත්‍රපටයෙන් අජේ දේව්ගන් සමඟය. එහි දිගුවක් වූයේ රංවීර් සිං පොලිස් වීරයා ලෙස රංගනයේ යෙදුණු 'සිම්බා' චිත්‍රපටයයි. ෂෙට්ටීස් පොලිස් යුනිවර්ස්හි අලු‍ත් වීරයා වීර් සූර්යවංශි ය. රෝහිත් 'සූර්යවංශි' පිළිබඳ ඉඟිය දුන්නේ 'සිම්බා' චිත්‍රපටයේ අවසානයේදීය.

'සූර්යවංශි' චිත්‍රපටයේ වීර් සූර්යවංශි ලෙසින් පණ පොවන්නේ බොලිවුඩ් නළු අක්ෂේ කුමාර්ය. අක්ෂේ සමඟින් කත්‍රිනා කයිෆ්, අජේ දේව්ගන්, රන්වීර් සිං, ගුල්ෂාන් ග්‍රෝවර්,අභිමන්යු සිං, නිහාරිකා රායිසදා, ජැකී ශ්රොෆ්, සිකන්ධර් ඛේර්, කුමුද් මිශ්‍රා, ජාවේදි ජෙෆ්‍රි ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වී සිටිති.

අනෙකුත් චිත්‍රපටවල මෙන් නොව මෙහි තේමා ගීතය ඇතුළු ගීත පහෙන් තුනක්ම පැරණි ගීත වීම ද විශේෂයකි. එම ගීත අතරින් "අයිලා රේ අයිලා" ගීතය 2010 වසරේ අක්ෂේ කුමාර් රඟපෑ 'ඛට්ටා මීතා' චිත්‍රපටයේ ඇතුළත් ගීතයේ ප්‍රතිනිර්මාණයකි. "නජා" ගීතය 2017 වසරේ දී පාව් ධාරියා සහ නිඛිතා ගාන්ධි ගායනා කළ පන්ජාබි ගීතයේ ප්‍රතිනිර්මාණයකි. ඊට අමතරව 'මොහ්රා' චිත්‍රපටයේ ඇතුළත් අල්කා යාග්නික් සහ උදිත් නාරායන් ගායනා කළ "ටිප් ටිප් බර්සා පානි" ගීතය ද 'සූර්යවංශි' චිත්‍රපටයට ඇතුළත් කර තිබේ. 'මොහ්රා' චිත්‍රපටයේ අක්ෂේ, රවීනා සමඟින් කළ රංගනය මෙහි කත්‍රිනා සමඟින් දැක ගත හැකිය.

ක්‍රියාදාම හා ත්‍රාසජනක බවින් ඉහළ මෙන්ම තරු බලයෙන් ද යුතු මෙම චිත්‍රපටය සංකීර්ණ ගැටලු සමඟ කටයුතු කිරීමට ගත් උත්සාහයක් බව විචාරක අදහසයි. කෙසේ නමුත් මේ වන විට රෝහිත් ෂෙට්ටිහට 'සූර්යවංශි' චිත්‍රපටය ඔස්සේ මුස්ලිම් නියෝජනය විවේචනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. සම්මුඛ සාකච්ඡාවකදී රෝහිත් කියා සිටියේ, චිත්‍රපටය නිර්මාණය කිරීමේදී කිසියම් කුලයකින් හෝ ආගමකින් දුෂ්ටයන් සෑදීමට අදහසක් නොතිබූ බවයි. ඇතැම් පිරිස් එය ගැටලු සහගත ලෙස දකින නමුත් "චිත්‍රපටය නිර්මාණය කිරීමේදී 'සූර්යවංශි' නිර්මාණකරුවන් ලෙස අපි කුලය ගැන කතා කරන්නේ නැහැ. ඒ වගේම නරක සහ හොඳ, කුලයට සම්බන්ධ කරන්නේ ඇයි ?" යනුවෙන් ද ඔහු විමසන්නේය. රෝහිත් තවදුරටත් කියා සිටියේ තමා ප්‍රේක්ෂක රුචිය හොඳීන් හඳුනන බවත් ඔවුන්ගේ හැඟීම්වලට හානියක් නොවන බවට වග බලා ගන්නා බවත්ය.