නත්තල සමරන්න අපූරු චිත්‍රපට දහයක්

දෙසැම්බර් 23, 2021

It's a Wonderful Life (1946)

1946 වසරේ තිරගත කෙරුණු ඇමරිකානු නත්තල් චිත්‍රපටයක් වන It's a Wonderful Life ෆ්‍රෑන්ක් කප්රා විසින් නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කරන ලද්දකි. එය නිර්මාණය කර තිබෙන්නේ

චාල්ස් ඩිකන්ස්ගේ A Christmas Carol නවකතාව ඇසුරෙන් පිලිප් වැන් ඩොරන් ස්ටර්න් විසින් රචිත The Greatest Gift කෙටි කතාව පාදක කර ගනිමිනි. ඒ අනුව දේවදූතයෙකු පෘථිවිය කරා පැමිණෙන්නේ ජෝර්ජ් බේලි නම් පුද්ගලයා තමා මෙලොවට බිහි නොවී සිටියා නම් කියා සිතමින් සිටින අවස්ථාවේදීය. තමා අන් අයගේ ජීවිත වෙනස් වීමට බලපෑවා දැයි මෙන්ම තමා නොසිටියේ නම් කුමක් සිදුවනු ඇති දැයි ජෝර්ජ් පසුව තේරුම් ගැනීමට පටන් ගනී.

ජේම්ස් ස්ටෙවර්ට්, චෝනා රීඩ්, ලයනල් බැරිමෝ, තෝමස් මිචෙල් ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වී සිටිති.

Miracle on 34th Street (1947)

Miracle on 34th Street ඇමරිකානු නත්තල් ප්‍රහසනාත්මක චිත්‍රපටයකි. ජෝර්ජ් සීටන් විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද එයට පදනම් වී තිබෙන්නේ වැලන්ටයින් ඩේවිස් ගේ කතාවකි. ක්‍රිස් ක්‍රිංගල් නම් මහලු මිනිසෙක් නත්තල් සීයා ලෙස ප්‍රසිද්ධියට පත් වුවද අවසානයේ ඔහුගේ සත්‍යතාව තීරණය කිරීමට උසාවි නඩුවක් දක්වා යෑමට සිදුවන කතාපුවතක් මේ ඔස්සේ දිග හැරේ. මෟරීන් හාරා, ජෝන් පේන්, එඩ්මන්ඩ් ග්වේන්, ජීන් ලොක්හාර්ට් ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වී ඇත.

Arthur Christmas (2011)

Arthur Christmas පරිගණක සජීවකරණ හාස්‍යමය නත්තල් චිත්‍රපටයකි. සෑම නත්තලකම නත්තල් සීයා පෘථිවියේ වෙසෙන සියලු දරුවන්ට තෑගි ලබා දෙන බව කවුරුත් දනිති. ඔහු උත්තර ධ්‍රැවයට යටින් ඉතා උසස් තාක්‍ෂණික මෙහෙයුමකින් එම කටයුත්ත සිදු කරන බව කවුරුත් නොදන්නා කරුණකි. නමුත් සිතිය නොහැකි ලෙස නත්තල් සීයාට මිලියන සිය ගණනකින් එක් දරුවෙකු මඟ හැරේ. මෙහි කතාපුවතට අනුව නත්තල උදාවීමට පෙර එම දරුවාට තෑග්ගක් ලබාදීම නත්තල් සීයාගේ බාල පුතු ආතර් වෙත පැවරේ. සාරා ස්මිත්ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි ජේම්ස් මැකොයි, හග් ලෝරි, බිල්නිගේ, ජිම් බ්‍රෝඩ් බෙන්ට් ඇතුළු පිරිසක් මෙහි හඬ දායකත්වයට ලබා දී ඇත.

Klaus  (2019)

Klaus  යනු නෙට්ෆ්ලික්ස් විසින් නිකුත් කෙරුණු පරිගණක සජීවකරණ නත්තල් චිත්‍රපටයකි. එය 73 වැනි බ්‍රිතාන්‍ය චිත්‍රපට උලෙළේදී හොඳම පරිගණක සජීවකරණ චිත්‍රපටය ලෙසින් සම්මානයට පාත්‍ර විය. මෙහි කතාපුවතට අනුව ඇකඩමියේ සිටින නරකම ශිෂ්‍යයා බව ඔප්පු කිරීමෙන් පසු ජෙස්පර් නම් තැපැල්කරුවා උතුරේ ශීත නගරයකට යවනු ලබන අතර එහිදී ඔහු ක්ලවුස් නම් හුදෙකලා සෙල්ලම් බඩු සාදන්නෙකු සොයා ගනී. සජියෝ පැබ්ලස් විසින් අධ්‍යක්ෂණය කළ එහි ජේසන් සැච්වර්සම්, ජේ කේත සයිමන්ස්, රෂිඩා ජෝන්ස්, විල් සැසෝ ඇතුළු පිරිසක් හඬ දායකත්වය ලබා දෙති.

Home Alone (1990)

හොඳම නත්තල් චිත්‍රපටවලින් එකක් ලෙස සැලකෙන ඇමරිකානු ප්‍රහසන චිත්‍රපටයක් වන Home Alone ක්‍රිස් කොලම්බස්ගේ අධ්‍යක්ෂණයකි. අත්වැරදීමකින් නිවෙසේ තනිවුණු කෙවින් මැකලිස්ටර් නම් අට හැවිරිදි දරුවා මුහුණ දෙන ත්‍රාසජනක සිදුවීම් පෙළක් මේ ඔස්සේ දිග හැරේ. මැකෝලේ කුල්කින් මෙහි කෙවින්ගේ චරිතයට පණ පොවන අතර ජෝ පෙසී, ඩැනියෙල් ස්ටර්න්, කැතරින් හාරා ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී සිටිති. ජෝන් හග්ස් විසින් රචනා කොට නිෂ්පාදනය කරන ලද එය Home Alone චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටයයි. එහි දෙවැන්න, Home Alone 2: Lost in New York 1992 වසරේදී නිකුත් විය.

Elf (2003)

ඇමරිකානු නත්තල් ප්‍රහසන චිත්‍රපටයක් වන Elf ජෝන් ෆාව්රෝගේ අධ්‍යක්ෂණයකි. මෙහි කතාපුවතට අනුව කුඩා දරුවෙකු ලෙස අහඹු ලෙස උත්තර ධ්‍රැවයට ගිය බඩී වැඩිහිටි වියට පත් වූයේ නත්තල් සීයාගේ එල්ෆ්වරුන් අතරදීයි. එම පරිසරයට තමා නොගැළපෙන බව තේරුම් ගත් බඩී තම සැබෑ පියා සොයා සම්පූර්ණ එල්ෆ් නිල ඇඳුමෙන් නිව්යෝර්ක් වෙත ගමන් කරයි. විල් ෆෙරෙල් සහ ජේම්ස් කාන්, සූයි ඩෙස්දැනල්, මාරි ස්ටීන්බර්ගන්, එඩ්වර්ඩ් එස්නර් ඇතුළු පිරිසක් මෙහි රංගන දායකත්වය ලබා දෙති.

A Christmas Story (1983)

A Christmas Story චිත්‍රපටය බොබ් ක්ලාක් විසින් අධ්‍යක්ෂණය කළ ඇමරිකානු නත්තල් ප්‍රහසන චිත්‍රපටයකි. එය ජීන් ෂෙපර්ඩ්ගේ In God We Trust: All Others Pay Cash නම් කෘතිය ඇසුරෙන් නිර්මාණය වූවකි. 1940 දශකය පසුබිම් වූ එහි රැල්ෆි නම් දරුවා රෙඩ් රයිඩර් නම් තුවක්කුව පරිපූර්ණ නත්තල් තෑග්ගක් බව ඔහුගේ මාපියන්ට, ඔහුගේ ගුරුවරයාට සහ නත්තල් සීයාට ඒත්තු ගැන්වීමට උත්සාහ කරයි.

National Lampoon's Christmas Vacation (1989)

ඇමරිකානු නත්තල් ප්‍රහසන චිත්‍රපටයක් වන National Lampoon's Christmas Vacation නිර්මාණ කර තිබෙන්නේ නැෂනල් ලැම්පූන් සඟරාවේ පළ වූ හියුස්ගේ ' වැකේෂන් 58' කෙටිකතාව පදනම් කරගනිමිනි. ග්‍රිස්වෝල්ඩ් පවුලේ නත්තල් සැමරුම විශාල ව්‍යසනයක් බවට පෙරළෙන අයුරු මේ ඔස්සේ දිග හැරේ. ජෙරමියා එස්. චෙචික් විසින් අධ්‍යක්ෂණය කළ මෙහි චෙවේ චේස්, බෙවර්ලි ඇන්ජෙලෝ, රැන්ඩි ක්වෙයිඩ් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.

The Man Who Invented Christmas (2017)

මෙම චිත්‍රපටය අයර්ලන්ත - කැනේඩියානු නත්තල් චිත්‍රපටයකි. චරිතාපදාන හාස්‍ය චිත්‍රපටයක් වන The Man Who Invented Christmas භාරත් නල්ලූරිගේ අධ්‍යක්ෂණයකි. ලෙස් ස්ටැන්ඩිෆෝර්ඩ් විසින් චාල්ස් ඩිකන්ස් පිළිබඳ එම නමින්ම රචිත කෘතිය මත පදනම්ව නිර්මාණය වූ මෙහි ඩිකන්ස්ගේ චරිතයට පණ පොවන්නේ ඩෑන් ස්ටීවන්ස් විසිනි.

Rare Exports: A Christmas Tale (2010)

පියටරි නම් තරුණ පිරිමි ළමයෙකු සහ ඔහුගේ මිතුරා ජුසෝ සිතන්නේ උතුරු ෆින්ලන්තයේ ඔවුන්ගේ නිවෙස අසල රහසිගත කඳු කැණීමේ ව්‍යාපෘතියකින් නත්තල් සීයාගේ සොහොන්ගැබ සොයාගෙන ඇති බවයි. කෙසේ වෙතත් ඔහු ජනප්‍රවාදයේ එන ප්‍රීතිමත් ආදරණීය නත්තල් සීයා මෙන් නොව දරුණු නපුරු පුද්ගලයෙකි. වැඩි කල් යන්නට මත්තෙන් ළමයින් අතුරුදන් වීමට පටන් ගැනීම සමග පිරිමි ළමයෙකු සහ ඔහුගේ පියා නත්තල් සීයා සොයා යන මෙහෙයුම Rare Exports: A Christmas Tale චිත්‍රපටය ඔස්සේ දිග හැරේ. ෆින්ලන්ත, මනකල්පිත ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක් වන මෙය ජල්මරි හෙලන්ඩර්ගේ අධ්‍යක්ෂණයකි. ඔනි ටොම්මිලා, ජොර්මා ටොම්මිලා, ක්‍රිස්ටියන් ඉලෙෆ්සන්, ටොමි කොපෙලා ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වී සිටිති.