2022 හොලිවුඩ් චිත්‍රපට

ස්පිල්බර්ග්ගේ ළමා වියත් රිදී තිරයට
දෙසැම්බර් 30, 2021

පසුගිය වසර කිහිපය තුළ සිනමා කර්මාන්තය පසු කළේ අතිශය දුෂ්කර සමයකි. වසර දෙකක පමණ කාලයක පටන් පැතිරෙමින් තිබෙන කොරෝනා වසංගතය චිත්‍රපට මුදා හැරීමේ කාලසටහන් වෙනස් කිරීමට සමත් විය. එමෙන්ම චිත්‍රපට රූගත කිරීම්වලට බාධා ඇති කර සිනමා ශාලා වසා දමන තත්ත්වයකට පත් කළේය. නමුත් උදාවන 2022 වසර සිනමා කර්මාන්තය සඳහා සුබවාදී විය යුතුව ඇත. මන්ද ඒ වෙනුවෙන් බොක්ස් ඔෆිස් වාර්තා ගෙන එනු ඇතැයි බලාපොරොත්තු තැබිය හැකි චිත්‍රපට රැසක් පෙළ ගැසී ඇති බැවිනි. ප්‍රේමණීය ප්‍රහසන, ක්‍රියාදාම චිත්‍රපට, පවුලේ චිත්‍රපට මෙන්ම සුපිරි වීර චිත්‍රපට ඒ අතර වේ. 

නව වසරේ චිත්‍රපට ලැයිස්තුවේ අඩංගු චිත්‍රපට බොහොමයක් මේ වසරේදී නිකුත් කිරීමට නියමිතව තිබූ චිත්‍රපට වේ. කොරෝනා වෛරසය පැතිර යාම සමඟ බොහෝ ප්‍රමාදයන් ගෙන් පසුව, ගාල් ගැඩොට් රඟපෑ මිනීමැරුම් අබිරහසක් ගෙන එන Death on the Nile 2022 පෙබරවාරි මාසයේදී නිකුත් කිරීමට නියමිතව ඇත. 2021 වසරේදී බොහෝ දෙනෙකු නැරඹීමට උනන්දු වූ ටොම් කෲස්ගේ Top Gun: rick ~ƒ Mission: Imposible 7 චිත්‍රපට පැමිණීමට නියමිතව තිබෙන්නේ ද 2022 දීය. Mission: Impossible 7 සමඟින් ඊතන් හන්ට් තවත් නිර්භීත ක්‍රියාදාමයන්ගෙන් පිරුණු සිදුවීම් මාලාවක් සඳහා නැවත පැමිණෙනු ඇත.

බැට් මෑන්, තෝර්, ස්පයිඩර් මෑන් සහ ෆ්ලෑෂ් වැනි සුපිරි වීරයන්ගේ වික්‍රමයන් ද පෙළ ගැසී තිබේ. Into the Spider-Verse 2; Uncharted සහ John Wick:Chapter 4 වැනි ක්‍රියාදාම චිත්‍රපට මෙන්ම Sesame Street සහ Sonic the Hedgehog 2 වැනි පවුලේ චිත්‍රපට ද Scream සහ Halloween Ends වැනි ත්‍රාසජනක චිත්‍රපටද මේ අතර වේ.

2022 දී, ඔබට ජෝර්ජ් ක්ලූනි-ජූලියා රොබට්ස්ගේ ආදර කතාවක් මෙන්ම ඇමෙරිකානු ගායිකාවක මෙන්ම නිළියක වන විට්නි හුස්ටන් චරිතාපදානය (I Wanna Dance with Somebody) ද දැක ගැනීමට ලැබෙනු ඇත. මාවල් සිනමැටික් යුනිවර්ස් විසින් ගෙන එන Black Panther මීළඟ චිත්‍රපටය නිකුත් කිරීමට බලාපොරොත්තු වී සිටී. එහි මුල් චිත්‍රපටයේ බ්ලැක් පැන්තර් චරිතයට පණ පෙවූ චැඩ්වික් බොස්මන් 2020 වසරේදී වයස අවුරුදු 43 ක්ව සිටියදී පිළිකා මාරයා සමඟ වූ රහසිගත සටනකින් මිය ගියේය. ඒ හේතුවෙන් ටී'චල්ලා නැවත නොපැමිණියද Black Panther: Wakanda Forever සමඟ නකියා, ඔකොයෙ, ශූරි, රමොන්ඩා ඇතුළු පිරිස පැමිණෙනු ඇත. තවද ජේම්ස් කැමරන්ගේ Avatar නව චිත්‍රපටය පිළිබඳ දිගුකාලීන පොරොන්දුව අවසානයේ ඉටු වනු ඇත. මුල් චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තබා වසර 13කට පසුව Avatar 2 ලබන වසරේ දෙසැම්බර් 16 වැනිදා තිරගත වීමට නියමිතව ඇත.

2022 හොඳම චිත්‍රපට ඔබගේ ප්‍රියතම චිත්‍රපට ගොන්නට නව චිත්‍රපට ලෙසින් එකතු වනු ඇත. ඒවා ආදරණීය චරිත ගෙන එනු ඇත. නැතහොත් සම්පූර්ණයෙන්ම අලුත් දෙයක් පෙන්වනු ඇත. මතක තබා ගත යුතු එක් දෙයක් නම් වසංගතය තවමත් පහව ගොස් නොමැති බවයි. මෙම මුදා හැරීමේ දිනයන් වසංගතය සමඟ ක්‍රමක්‍රමයෙන් වෙනස් විය හැකිය. නැතහොත් ඒවා සිනමාහල් වෙනුවට කෙළින්ම අන්තර්ජාල ප්‍රවාහයට යාමට ද ඉඩ තිබේ.

Scream (ජනවාරි 14)

නිහඬ නගරයක් වූ වුඩ්ස්බෝරෝ කම්පනයට පත් කළ කුරිරු මිනීමැරුම් මාලාවකින් වසර විසිපහකට පසු නව ඝාතකයෙක් 'ගොස්ට්ෆේස්' නම් සුදු වෙස් මුහුණ පැළඳ නගරයේ මාරාන්තික අතීත රහස් නැවත මතු කිරීමට වෙහෙසෙන යෞවනයන් පිරිසක් ඉලක්ක කර ගැනීමට පටන් ගනී. මෙය Scream චිත්‍රපට මාලාවේ පස් වැනි චිත්‍රපටයයි.

The Worst Person in the World (පෙබරවාරි 04)

'ඇයට ආදරය කරන්න නොඑසේ නම් ඇයට වෛර කරන්න' The Worst Person in the World චිත්‍රපටය පවසන්නේ එයයි. එහිදී ජූලි නම් තරුණිය පෙම් සබඳතාවන් පවත්වන පිරිමින් දෙදෙනාගේ වියදමින් ස්ව පර්යේෂණයක් කරා වසර හතරක දිගු ගමනක් ආරම්භ කරයි. නෝර්වීජියානු අධ්‍යක්ෂක ජෝකිම් ට්‍රයර්ගේ නවතම ප්‍රේමණීය චිත්‍රපටය වන මෙහි රෙනේට් රෙයින්ස්ව් ජූලිගේ චරිතයට පණ පොවන්නීය. මෙම චිත්‍රපටය මේ වසරේ කාන් චිත්‍රපට උලෙළේදී තිරගත වූ අතර එහිදී රෙනේට් හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තාය. තවද එය 94 වැනි ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම අන්තර්ජාතික විශේෂාංග චිත්‍රපටය සඳහා නෝර්වීජියානු නියෝජනය ලෙස තෝරා ගෙන ඇත.

Marry Me (පෙබරවාරි 11)

වේදිකාවේ සහකරු අනියම් සම්බන්ධයක් පවත්වන බව දැනගත් පසු ලතින් පොප් තරුවක් වන කැට් වැල්ඩෙස් ඇගේ සජීවී ප්‍රසංගයේදී "මා සමඟ විවාහ වන්න" යනුවෙන් සඳහන් පෝස්ටරයක් අත දරා සිටින නොහඳුනන චාලි ගිල්බට් නම් පුද්ගලයා සමඟ විවාහවීමට තීරණය කරන්නීය. මෙහි කැට් වැල්ඩෙස්ගේ චරිතයට පණ පොවනු ලබන්නේ ජෙනිෆර් ලෝපේස් විසිනි. මෙම චිත්‍රපටයට පාදක වී ඇත්තේ Marry Me නම් චිත්‍රකතාවයි. එය මුලින් නිකුත් වූයේ වෙබ් චිත්‍රකතාවක් ලෙසිනි.

Death on the Nile  (පෙබරවාරි 11)
 
2017 වසරේ දිග හැරුණු රහස් පරීක්ෂක චිත්‍රපටයක් වන Murder on the Orient Express හි දෙවැන්න දිගු කලකට පසු පැමිණ ඇත. මෙවර චිත්‍රපටයද කෙනත් බ්‍රනාග් විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර ටොම් බෙට්මන්, ඇනෙට් බෙනින්ග්, කෙනත් බ්‍රනාග්, රුසෙල් බ්‍රැන්ඩ්, ගාල් ගැඩොට් සමඟින් ඉන්දීය නළු අලි ෆසාල් ද රංගනයෙන් දායක වී ඇත. අගතා ක්‍රිස්ටිගේ ප්‍රබන්ධයට අනුව බෙල්ජියම් රහස් පරීක්ෂකවරයාට ඊජිප්තුවේ නිවාඩුවක් ගත කරමින් සිටියදී මිනීමැරුමක් විසඳීමේ වගකීම පැවරී ඇත.
 
The Batman  (මාර්තු 04)

මෙය දශකයකට පසු පැමිණෙන පළමු ඒකල බැට්මෑන් චිත්‍රපටය වේ. එහිදී රිඩ්ලර් ගෝතම් නගරයේ බැට්මෑන් සහ පොලිස් කොමසාරිස් ගෝර්ඩන් සමඟ භයානක ක්‍රීඩාවක් කරනු ඇත. මෙහි බැට්මෑන් චරිතයට පණ පොවන්නේ රොබට් පැටින්සන් විසිනි.

Turning Red  (මාර්තු 11)

Turning Red  වෝල්ට් ඩිස්නි පික්චර්ස් සහ පිස්කර් ඇනිමේෂන් විසින් නිෂ්පාදනය කරන ලද වෝල්ට් ඩිස්නි ස්ටුඩියෝස් මෝෂන් පික්චර්ස් විසින් බෙදා හැරීමට නියමිත ඇමරිකානු පරිගණක - සජීවකරණය කරන ලද නවතම චිත්‍රපටයකි. එහි මෙයිලින් නම් නම් වූ 13 හැවිරිදි වියේ පසුවන දැරිය අනවශ්‍ය ලෙස කලබල වුව හොත් හෝ ආතතියට පත් වූ සෑම විටම ඇය යෝධ රතු පැන්ඩා බවට පත් වේ.

Fantastic Beasts: The Secrets of Dumbledore (අප්‍රේල් 15)
 

Fantastic Beasts චිත්‍රපට මාලාව යනු කුඩා හැරී පොටර් හොග්වෝර්ට්ස් මායා පාසලට ඇතුළු වීමට වසර 70ට පෙර නිව්යෝක් නගරයේ රහසිගත මායාකරුවන්ගේ සංගමයේ සාමාජිකයෙක්ව සිටි නිව්ට් ස්කැමැන්ඩර්ගේ ත්‍රාසජනක අත්දැකීම් ගෙන එන චිත්‍රපට මාලාවකි. The Secrets of Dumbledore ලෙස එහි තුන්වන කොටසේදී සිදු වන්නේ දෙවැනි ලෝක යුද්ධයට පෙර වසර වලදී ලොව පුරා ගමන් කරන නිව්ට් ස්කැමැන්ඩර් විසින් අඳුරු අධිපතියකු වන ග්‍රින්ඩෙල්වල්ඩ් ඉවත් කිරීමට වෙහෙසෙන අයුරුයි. මෙම චිත්‍රපටයේ සුපුරුදු පරිදි එඩී රෙඩ්මයෙන් විසින් ස්කැමැන්ඩර්ගේ චරිතය නිරූපණය කරන අතර පෙර චිත්‍රපටවල ග්‍රින්ඩෙල්වල්ඩ් ලෙස සිටිජොනී ඩෙප් වෙනුවට පැමිණෙන්නෙ මැඩ්ස් මිකෙල්සන්ය.

Jurassic World Dominion  (ජුනි 10)
 

මෙය 2018 ජුරාසික් වර්ල්ඩ් : ෆෝලන් කිංඩම් හි පසු විපරම වේ. ඩයිනෝසෝරයන්ට මිනිසුන් වාසය කරන පෘථිවිය වටා සැරිසැරීමට නිදහස ලබා දීමෙන් අවසන් වේ. මෙම චිත්‍රපටයේදී වසර හතරකට පසු මිනිසුන් ආක්‍රමණශීලී ඩයිනෝසෝර විශේෂ සමඟ ජීවත් වන ආකාරය ඉගෙන ගනු ඇත.

Black Adam (ජූලි 29)

බ්ලැක් ඇඩම් සුපිරි වීරයෙකුගේ පැමිණීමයි. "රොක්" හෙවත් ඩ්වේන් ජොන්සන්ගේ පළමු සුපිරි වීර චරිත නිරූපණයයි. වසර 5,000ක් සිරගතව සිටි කන්ඩාක්හි වීරයෙකු වන ඔහු සුපිරි වීරයා වන ෂාසාම්ගේ පරම සතුරා බවට පත් වේ. මෙම චිත්‍රපටයේ බ්ලැක් ඇඩම්ගේ වික්‍රමාන්විතයන් දැකගත හැකිවනු ඇත.

Ticket to Paradise (ඔක්තෝබර් 21)

 

මෙහිදී විරසක යුවළක විසින් තම දියණියට කෙටි කලකින් හමු වූ පිරිමියෙකු සමඟ විවාහ නොවීමට වගබලා ගැනීමේ බලාපොරොත්තුවෙන් එකට එකතු වී වසර 25 කට පෙර ඔවුන් කළ වරද නැවත නැවතත් සිදු කරයි. මෙම විරසක වී සිටින යුවළ ලෙස පෙනී සිටින්නේ ජෝර්ජ් ක්ලූනි සහ ජූලියා රොබට්ස්ය. ක්ලූනි හාස්‍යමය ප්‍රේමණීය චිත්‍රපටයකට එක් වන්නේ වසර ගණනාවකට පසුව වීමත් විශේෂ වේ.

The Fabelmans  (නොවැම්බර් 23)

ස්ටීවන් ස්පිල්බර්ග් විසින් අධ්‍යක්ෂණය කරන ලද The Fabelmans  ඔහු, ටෝනි කුෂ්නර් සමඟ එක්ව ලියූ තිර රචනයකින් ඉදිරියට එන ඇමරිකානු අර්ධ-ස්වයං චරිතාපදාන චිත්‍රපටයකි. එයට පදනම් වී තිබෙන්නේ ඇරිසෝනා හි හැදී වැඩුණු ස්පිල්බර්ග්ගේ ළමා කාලයයි.