සැඟවුණු නගරයේ ගිනි ඔටුන්න සොයා යන The Lost City

අප්‍රේල් 7, 2022

ලොරේටා සේජ් යනු තනිව ජීවිතය ගෙවන මැදි වයසේ කතුවරියකි. ඇය ප්‍රේමණීය - ගවේෂණාත්මක නවකතා රචනයේ ප්‍රවීණයෙකි. ඇය මෙම නවකතා රචනා කරන්නේ ඩෑෂ් මැක්මැහෝන් නම් වීරයකුª කේන්ද්‍රකොට ගනිමිනි. මැක්මැහෝන් චරිතයට පණ පොවනු ලබන්නේ ඇලන් කැප්රිසන් නම් පුද්ගලයා විසිනි. මේ හේතුව නිසාම පොත් ප්‍රකාශකයන් ලොරේටා වෙත බලකර සිටින්නේ ඇලන් සම්බන්ධ කොට ගෙන නවතම කෘතියේ ප්‍රචාරණ කටයුතු දියත් කරන ලෙසයි. ඇලන් සම්බන්ධ වුවද එම ප්‍රචාරණ කටයුතු ද අසාර්ථක වේ. මේ අතර ලොරේටා හට ඇබිගෙල් ෆෙයාර්ෆැක්ස් නම් බිලියනපතියෙකු මුණ ගැසේ. ලොරේටා සිය කෘති රචනාවන් සත්‍ය ඉතිහාස ගවේෂණ මත නිර්මාණය කරන ලද ඒවා බව ඔහු තේරුම් ගනී. තවද ඇය මෙම ගවේෂණ සිදු කර ඇත්තේ භූ විද්‍යාඥයෙකු වූ ඇයගේ නැසීගිය සැමියා සමඟින් බවද රහසක් නොවේ. 

වටිනා නිධානයක තතු ෆෙයාර්ෆැක්ස් විසින් සොයා ගන්නේ මේ අතරතුරදීය. එක්තරා දූපතක පිහිටි සැඟවුණු නගරයක ඇතැයි පැවසෙන මිල කළ නොහැකි ගිනි ඔටුන්න නම් වූ නිධානය පිහිටි ස්ථානය පෙන්වන සිතියමක් ෆෙයාර්ෆැක්ස් සතු වුවද එහි ඇතුළත් දේ තේරුම් ගැනීමට එම අක්ෂර කියවීමේ පුරාවිද්‍යා දැනුම ඔහු සතු නොවේ. මේ හේතුව නිසා ඔහු ඒ වෙනුවෙන් ලොරේටා ගෙන් සහය පතයි. ගිනි කඳු පිපිරීමකින් නුදුරේදීම එම දූපත විනාශ වී යනු ඇති බව ෆෙයාර්ෆැක්ස් දැන ගන්නේ ද ලොරේටා සහය ලබා දීම ප්‍රතික්ෂේප කර සිටින අතරදීයි. ෆෙයාර්ෆැක්ස්ගේ එකම අරමුණ කෙසේ හෝ ගිනි ඔටුන්න නම් නිධානය සොයා ගැනීමයි. ගිනි කන්ද පිපිරී දූපත විනාශවීමට පෙර එම නිධානය ලබා ගැනීම වෙනුවෙන් ඔහු විසින් ලොරේටා පැහැරගෙන එම දූපත කරා රැගෙන යනු ලබයි.

ඇඩම් නී සහ ආරොන් නී නම් නී සහෝදරයන් විසින් අධ්‍යක්ෂණය කළ ඇමෙරිකානු ක්‍රියාදාම, ත්‍රාසජනක චිත්‍රපටය වන 'ද ලොස්ට් සිටි' දිග හැරෙන්නේ මෙලෙසිනි. එය පසුගිය මාර්තු 25 වැනි දා සිට ඇමරිකා එක්සත් ජනපදය ඇතුළුව ලොව පුරා තිරගතවීම ආරම්භ විය. ක්‍රියාදාම, ගවේෂණාත්මක, හාස්‍යෝත්පාදක චිත්‍රපටයක් වන 'ද ලොස්ට් සිටි' වෙනුවෙන් දායක වී සිටින්නේ හොලිවුඩයේ ජනප්‍රියතම නළු නිළි පිරිසකි. එහිදී සැන්ඩ්‍රා බ්ලොක් ලොරේටාගේ චරිතයට පණ පොවන අතර ඩෑෂ් මැක්මැහෝන් නම් චරිතය වෙනුවෙන් එක් වී සිටින්නේ චනින් ටේටම් ය. ඔවුන් සමඟින් ඩැනියෙල් රැඩ්ක්ලිෆ් සහ බ්‍රැඩ් පීට් ද මෙහි රංගනයෙන් දායක වී ඇත. බ්‍රැඩ් පිට් ආරාධිත චරිතයකට පණ පොවන අතර ඩැනියෙල් රැඩ්ක්ලිෆ් මෙහි දායකවී තිබෙන්නේ දුෂ්ට චරිතයක් වෙනුවෙනි.

2022 වසර යනු පසුගිය දෙවසරක කැලඹීමකින් අනතුරුව ලෝක සිනමාව ක්‍රම ක්‍රමයෙන් යහපත් වෙමින් පවතින තත්ත්වයක් පවතින කාල සීමාවකි. වත්මන් තත්ත්වය හමුවේ මේ වන විට බැට් මෑන් චිත්‍රපටය මේ වසරේ ඉහළම ආදාම ලද චිත්‍රපටය ලෙසින් පෙරමුණේ පසුවේ. මේ අතර 'ද ලොස්ට් සිටි' චිත්‍රපටය ද මේ වසරේ වඩාත්ම අපේක්ෂිත චිත්‍රපටවලින් එකක් බවට පත් වී ඇති අතර එය දැනට සිනමාහල්වල පමණක් නැරඹීමට අවස්ථාව උදා වී තිබේ. නමුත් දින 45කින් අනතුරුව පැරාමවුන්ට් ප්ලස් දායකත්වය සමඟින් එය නිවසේ සිට නැරඹීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. විනාඩි 112 ක ධාවන කාලයකින් සමන්විත 'ද ලොස්ට් සිටි' චිත්‍රපටයේ පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන හැත්තෑ දෙකක් පමණ වන අතර මේ වන විට ලබා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 62ක් පමණ වේ.

රොට්න් ටොමැටෝස් අඩවියේ මෙම චිත්‍රපටයට විචාරකයන් එකසිය හැත්තෑ පස් දෙනෙකුගෙන් 75% ක් අනුමත කර ඇති අතර ධ්ර්ච්ඡ සාමාන්‍ය අගය 6.7/10කි. 'ඉන්ඩියානා ජෝන්ස්' චිත්‍රපට මාලාව, 'රයිඩර්ස් ඔෆ් ද ලොස්ට් ආර්ක්'(1981), 'ද ගුඩ් - ද බෑඩ් ඇන්ඩ් ද අග්ලි' (1966) සහ 'ද මමී' (1999) සැඟවුණු නිධානයන් පිළිබඳ කියැවුණු ඉහළ ජනප්‍රියත්වක් ලද හොලිවුඩ් චිත්‍රපට අතරින් කිහිපයකි. රොට්න් ටොමැටෝස් අඩවියේ පොදු විචාරය පවසන ආකාරයට මෙම චිත්‍රපටය පැරණි නිධාන පිළිබඳ වූ කතා තේමා රැගත් චිත්‍රපට හා සසඳන විට එතරම් සාර්ථකත්වයක් නොදැක්වූවද එහි රංගනයේ නිරත නළු නිළියන්ගේ එකතුව නිසා ඉහළ සාර්ථකත්වයකට පැමිණ ඇති බවයි.