හොඳ කරන නරක අයට හොඳ පිළිගැනීමක්

අප්‍රේල් 21, 2022

මිස්ටර් වුල්ෆ් සහ ඔහුගේ කණ්ඩායම සමාජයේ තමන්ටම අනන්‍ය වූ ස්ථානයක් ගොඩනගා ගෙන ගත කරන්නේ අපරාධවලින් පිරි ජීවිතයකි. ඔවුන් නගරයේ ප්‍රධාන අපරාධකරුවන් බවට පත් වී සිටින අතර සෑම විටම පොලිසියට වඩා පියවරක් ඉදිරියෙන් සිටී. "බෑඩ් ගයිස්" නම් මෙම කණ්ඩායමේ නායකයා මිස්ටර් වුල්ෆ්, අළු වෘකයෙකි. දුඹුරු පැහැති සර්පයෙකු වන මිස්ටර් ස්නේක්, වුල්ෆ්ගේ දෙවෙනි අණ දෙන නිලධාරියා වේ. බොලිවියානු මත්ස්‍යයෙකු වන මිස්ටර් පිරන්හා කණ්ඩායමේ බාලයා වේ. මිස්ටර් ෂාර්ක් දැවැන්ත සුදු මෝරෙකි. මිස් ටැරන් ටියුලා අයත් වන්නේ මකුළු විශේෂයකටය.

නමුත් එක් දිනෙක උපායශීලීව සංවිධානය කළ මංකොල්ලයක් වැරදී බෑඩ් ගයිස් කණ්ඩායම අත්අඩංගුවට පත් වන්නේ ඔවුන්ට අභියෝගයක් සහ යහපත් කණ්ඩායමක් ලෙස නිදහස් වීමේ අවස්ථාවක් ද හිමි කරමිනි. එහිදී නිවැරදි මග පෙන්වීම යටතේ යහපත දේ අවබෝධ කොට ගෙන යහපත් පුද්ගලයන් බව ඔප්පු කරන්නේ නම් ඔවුන් හට නිදහස් වීමට ඉඩ ලැබෙනු ඇත. අප්‍රේල් 22 වැනිදා නිකුත්වීමට නියමිත 'ද බෑඩ් ගයිස්' චිත්‍රපටය ආරම්භ වන්නේ මෙලෙසිනි. මිනිසුන් සහ සතුන් සහජීවනයෙන් ජීවත් වන ලෝකයක් ගෙන එන මෙය ඇමරිකානු පරිගණක සජීවිකරණ අපරාධ කතාවක් රැගත් හාස්‍යමය චිත්‍රපටයකි.

සෑම් රොක්වෙල් - මිස්ටර් වුල්ෆ් ලෙසද, මාර්ක් මැරන් - මිස්ටර් ස්නේක් ලෙසද, ඇන්තනි රමෝස් - මිස්ටර් පිරන්හා ලෙසද, ක්‍රේග් රොබින්සන් - මිස්ටර් ෂාර්ක් ලෙසද, අව්කවාෆිනා මිස් ටැරන් ටියුලා ලෙසද, රිචඩ් අයෝදේ මහාචාර්ය මාමලේඩ් ලෙසද, සසේ බීට්ස් - ආණ්ඩුකාරවරිය ලෙසද, ලිලී සිං - මාධ්‍යවේදිනිය ලෙසද, ඇලෙක්ස් බ්‍රොස්ටන් - පොලිස් ප්‍රධානියා ලෙසද 'ද බෑඩ් ගයිස්' වෙනුවෙන් හඬ දායකත්වය ලබා දෙති.

එය ඩ්‍රීම් වර්ක්ස් ඇනිමේෂන් විසින් නිෂ්පාදනය කරන ලද සහ යුනිවර්සල් පික්චර්ස් විසින් බෙදා හරින ලද චිත්‍රපටයකි. 'ද බෑඩ් ගයිස්' ප්‍රංශ ජාතික අධ්‍යක්ෂ පියරේ පෙරිෆෙල්ගේ අධ්‍යක්ෂණයකි. එය නිර්මාණය කර තිබෙන්නේ ඔස්ට්‍රේලියානු ලේඛක ආරොන් බ්ලබේගේ 'ද බෑඩ් ගයිස්' කෘති මාලාව ඇසුරෙනි. 2017 වසරේදී ඕස්ට්‍රේලියාවේ 'ද ඩේලි ටෙලිග්‍රාෆ්' වාර්තා කළේ චිත්‍රාගාර කිහිපයක් මෙම කතා මාලාව චිත්‍රපටයකට අනුවර්තනය කිරීමට කැමැත්ත පළ කර ඇති බවයි.

'ද බෑඩ් ගයිස්' චිත්‍රපටයට ධ්ර්ච්ඡ දර්ශකයේ ලකුණු 7/10ක් හිමි වී ඇති අතර රොට්න් ටොමැටෝස් අඩවියේ විචාරක මනාපය 94%ක් හිමි වී ඇත.

එහි ප්‍රමුඛ විචාරය සඳහන් කර සිටින්නේ "වේගවත්, හාස්‍යජනක, වර්ණවත් නිර්මාණයක් වන 'ද බැඩ් ගයිස්' යනු මුළු පවුලටම නැරඹිය හැකි චිත්‍රපට සොයන ප්‍රේක්ෂකයන් සඳහා හොඳ ආරංචියක්" බවයි.