ලංකාවේ ඉපදුණ ප්‍රංශ නළුවා...

- ලක්ෂාන් අබේනායක
අප්‍රේල් 21, 2022

 

‍ෙනට්ෆ්ලික්ස් වැඩ කරන්න අපට තවම හැකියාවක් නෑ

 

මම සිනමාවට එන්නේ වසර 22 කට පෙර

 

ඔබ සිනමාවට පිවිසෙන්නේ කෙලෙසද ?

මම සිනමාවට එන්නේ වසර 22 කට පෙර. නමුත් මම ඒ පිළිබඳව හැදෑරීමක් කළ යුතු යැයි තීරණය කලා. ප්‍රංශයේ වේදිකා නාට්‍ය හා සිනමා පාඨමාලා ඇකඩමියකට ඇතුළත් වෙලා අංග සම්පූර්ණ දීර්ඝකාලීන පාඨමාලාවක් හැදෑරීමට තීරණය කළා.

 

ලංකාවේ සිනමා අත්දැකීම්

ඇකඩමික් එක සහ ජීවන අත්දැකීම් කියන දෙක එකතුකර රඟපෑම තුළදී, ඇකඩමික් කියන කොටසේ මදිපාඩුකම ලංකාවේ ඉන්න නවක තරුවලට මදිපාඩුවක්. ඒ වගේම හරි හැටි නියෝජිතයෙක්, කළමණාකරුවෙක් නොමැතිව තමන් විසින්ම තමාගේ රැකියාව සොයා යෑම, තමා විසින් තමන් බලා කියා ගැනීම, තම ප්‍රසිද්ධිය පරිපාලනය මිල මුදල් ගනු දෙනු සඳහා කලාකරුවාට සහභාගි වෙන්න සිදුවීම ටිකක් රළුවගේ මට දැනෙනවා. ඒ කියන්නේ නොගැළපීමක් තියෙනවා කියලා හිතෙනවා කලාකරුවා සහ ඒ දේවල් අතර. කලාකරුවාට අයිති රූපරාමුවලින් එළියට ඇදලා දාලා වගේ පේනවා ඒ අවස්ථාවලදී. ඒ රටවල වැඩිම සේවා කාලය පැය 12කට පමණ සීමාවෙද්දී , ඒ පුහුණුව ලබලා මෙහි පැමිණි අපට රඟපෑම්වල නියැළෙද්දී ඉතාම අවිවේකියි, මහන්සියි. ඒ වගේ අපහසුතාවන්ට ලක්වෙනවා. උදෑසන සිට පැය 24 ක් එක දිගට රඟපෑම් කරන්නට ලංකාවේ සිදුවන අවස්ථා තියෙනවා. එහෙම වෙන්නේ බොහෝවිට මිල මුදල් සහ අසංවිධානාත්මක බවයි මා දකින්නේ. ඒ කෙසේ වෙතත් වසර 22 ක් ම වෙනත් ජාතීන් සංස්කෘතීන් එක්ක පමණක් පුහුණුවක් ලැබ රංගනයේ නියැළී ලංකාවට ඇවිත් අපේ අය අතර එකට වැඩ කරන කොට දැනෙන්නේ වෙනත් හද පිරි සතුටක්. මුලදී මට මෙය ටිකක් අමුතු දෙයක් වුණා. ලංකාවේ විශේෂයෙන්ම නවක අධ්‍යක්ෂවරුන්ට නිදහසේ වගකීමක් අරගෙන වැඩ කරන්න පහසුකම් නෑ. ඒ තුළින් ඔවුන්ගේ සියලු දක්ෂතා එළියට එන්නේ නෑ. ඔවුන්ට මේ නිර්මාණ කිරීමට දායක වෙන්න මුදල් ආධාර ක්‍රමවේදයක් මෙරට නෑ. සංවිධාන නෑ. ඒ රටේ රූපවාහිනී නාලිකා කීපයක් එකම චිත්‍රපටයට ආධාර කරන අවස්ථා ඕනැතරම් තියෙනවා. නමුත් ඒක මෙහෙ වෙන්නේ නෑ. අපේ රටේ නූතන කලාව ඉතාමත් අඩපණයි. ලෝකයේ වෙනත් රටවල් අලුත් මාධ්‍ය ප්‍රවේශයන් තුළින් සිනමාව ජය ගන්න විට අප තවම ඉන්නේ පරණ අවදියේමයි. අද වෙනත් රටවල් අඩු වියදම් චිත්‍රපට, ටෙලිනාට්‍ය මාලා කරනවා. නමුත් හරියටම සැලසුම් කරලා. නෙට්ෆ්ලික්ස් කියන ආයතනයක වැඩ කරන්න අපට තවම හැකියාවක් නෑ. අද අපේ ටෙලි නාට්‍ය එකම කොටසක් එකම සිදුවීමක් ඇද ගෙන ඇද ගෙන යද්දී, නෙට්ෆ්ලික්ස් වගේ ටෙලි නාට්‍යයක සිදුවීම් දහයක් එක එපිසෝඩ් එකකින් රසිකයන්ට ලබා දෙනවා. ඒ තුලින් එහි මන්දගාමිත්වය තුරන් වෙනවා. අපේ රටවල තවම අර පරණ සංස්කෘතීන්වල ඉන්නවා යැයි මම අදහස් කළේ ඒකයි. මේ හැම අඩුපාඩුවක්ම වෙන්නේ හරිහැටි සංවිධානාත්මක ආයතන මේවාට නොමැතිකම. නිෂ්පාදකවරුන්, අධ්‍යක්ෂවරුන් දිරිගන්වන්න කවුරුවත් නැතිකම නිසා රැල්ලට ගියාට අපි අසරණ වෙලා වගෙ දැනෙනවා.

 

ප්‍රංශයේ ලද සිනමා අත්දැකීම කෙබඳුද

ඉතාමත් තරඟකාරි කලා කරුවන් සහ නිර්මාණ අතර ඒ රටවල කලාකරුවෙකුට එවැනි අවස්ථාවන් සහ එහි රඳා පැවතීම ඉතාමත් අසීරුයි. එවැනි පසු බිමෙක වසර 22 ක් අඛණ්ඩව රැදී සිටීම ගැන පොඩි ආඩම්බරයක් මට ඇත්තටම දැනෙනවා. ඕනෑම නිර්මාණයක් කිරීමට ඇති නිදහස, ගරු කීරීම සහ නිර්මාණවලට ලැබෙන ප්‍රතිචාර ඒ රටවල ඉතා ඉහළයි. ඒ වගේම රසයෙන් අඩු කොලිටියක් නැති සිනමා සහ ටෙලිනාට්‍යයන් වගේ දේවල් ඒ රටවල සිදුවන්නේ නැ. මොකද එහෙම නොවෙන්න ඒ අය කටයුතු කරන නිසා. සමහරවිට ප්‍රංශයේ චිත්‍රපට උළෙලක් පවත්වන්නේ, චිත්‍රපට බලලා සතුටු වෙන්න පමණක් නොවේ . ඒ වායේ එකින් එක හඳුන්වාදීම, හඳුනාගැනීම, නූතන ලෝකයට අවතීර්ණවීම, නැති බැරි රටවලට උදව් කරන්නේ කොහොමද, සිනමාව තුළින් අලුත් නිර්මාණකරුවන් දිරිගන්වන්නේ කොහොමද ආදි නොයෙකුත් ක්‍රියාපටිපාටින් පිළිබඳව සලකා බලනවා එවන් උත්සවයකදී. ඒ වගේ අවස්ථාවන්ට සිනමා කර්මාන්තයේ ඉන්න හැම දෙනාම උස් පොඩි කිසිම බේදයකින් තොරව සහභාගි කරවන්න, එකත්කරන්න ඒ සංවිධානයන් තුලින් උත්සාහ දරනවා. ඒ තුළින් තමයි බොහෝ වෙලාවට හොඳ නිර්මාණ බිහිවන්නේ. ඒ තුළින් ලබන පුහුණුව, අත්දෑකීම අපට අතිශයින්ම වැදගත් වෙනවා. ලෝකේ කොහේ හිටියත්, කොයිම තැනක හෝ ඕනෑම විදියකට හැසිරෙන්න, ඕනෑම අසීරූ අවස්ථාවකට අපට හැඩ ගැහෙන්න ඒ අත්දෑකීම් තුළින් පහසුවක් දැනෙනවා. ප්‍රංශ සිනමාව තුල තියෙන අත්දෑකීම, පළපුරුද්ද ගැන කතා කරනකොට, විදේශිකයන් අතර රඟපෑම මට ඉතාමත් ස්වාභාවික දෙයක් වෙලා තියෙනවා අද. මොකද මම ලංකාවට ඇවිල්ලා තමයි අපේ අය අතර අඩුවෙන්ම රඟපාලා තියෙන්නේ. ඒක මට විශේෂ දෙයක් නෙමේ. එතකොට එහේ රඟපාන අවස්ථාවලදී අපේ රංගන හැකියාව දක්ෂතාවය මත තමයි අපේ රැදීම පවතින්නේ. අනිවාර්යයෙන්ම රංගනයට සුදුසු නැති කෙනෙකුට කල් පවතින්න බෑ එහේ.

 

රූඩි ටෙලිමාලාව ගැන කතා කළොත්

රූඩි කියන්නේ ප්‍රංශයේ කොහේ ගියත් හඳුනන, දැක්කම ආදරෙන් ඇවිත් කතාකරන, ඒ කියන්නේ දශක දෙකහමාරක් තරණය කළ චරිතයක්. ඔහු අදටත් එරට මිලියන ගානක ආදරය දිනාගෙන, සෙනෙහස ලබන චරිතයක්. ප්‍රංශය වගේ රටක එකම චරිතයක රඳා පැවතීමට ලැබීම, ප්‍රංශ ජාතිකයෙකුට වුවද ඉතා අහඹුලෙස ලැබෙන අත්දැකීමක්. ඒ වගේම ඉතාමත් තරගකාරි හා දක්ෂ කලාකරුවන් හා නිර්මාණ අතර අපට දීර්ඝකාලීනව රලු පවතින්න ඉතා අමාරුයි.ඒ හැමදාමත් අළුත් පරම්පරාවක් තරු ලෙස ඉදිරියට එන නිසා. එවැනි පසුබිමෙක ,එකම චරිතයක වසර 22 රැදී පැවතීම පිළිබඳව මට ආඩම්බරයක් දැනෙනවා.රූඩි චරිතය ඇත්තටම තරුණ හදවත් බැඳගෙන ඉතාමත් ආදරය ලබන චරිතයක්. වසර 22 ක් නිවෙස්වල ජීවත්වීම තුලින්, මග තොටදී දුටුවම බෙල්ල බදාගෙන හාද්දක් දීමට මිනිස්සු පෙලඹෙනවා. අපි අඳුරන්නේ නැති වුනත් එයාලට ඒක අත්‍යවශ්‍ය දෙයක් වෙලා තියෙන්නේ. ඒක හරි සතුටු කාරණාවක්.

 

ඔබ එරට රඟපෑ වෙනත් චිත්‍රපට

මම විවිධාකාර චරිතවලට පණදී තියෙනවා. ඒ සියල්ලම විශේෂ අවස්ථාවන්. ඒ අතර රඟපෑ "නොටබල් ඩොන් කොටාබර්" , ඒ වගේම ඉන්දීයානු චිත්‍රපටයක් වන " වන් ඩොලර් කරි" එය ඉන්දීයානු අධ්‍යක්ෂවරයෙකු යටතේ රඟපෑ චිත්‍රපටයක් ." මිලෙඩි" කියන රූපවාහිනී නාට්‍යය , " යුග්දි" කියන තායිලන්තයේ රූපගත කළ ප්‍රංශ චිත්‍රපටය, " අයිෂා" කියන චිත්‍රපටය මට ඉතාමත් විශේෂ රංගන අවස්ථාවක් ලෙස මා සලකනවා . ඒ වගේම ස්පාඤ්ඤයේ මා රඟපෑවා 2003 වසරෙදී කොටස් 26 කින් සමන්විත ටෙලි නාට්‍ය මාලාවක ප්‍රධාන චරිතයක්. ඉදිරියේදී ඇමරිකාව සහ ප්‍රංශය එකතුව නිර්මාණය කරන තායිලන්ත චිත්‍රපටයේ දෙවැනි කොටස කිරීමට නියමිතව තියෙනවා. එහි රූපගත කිරීම් ලාස් වේගාස්වල සහ තායිලන්තයේ කිරීමට තමයි නිෂ්පාදකවරුන් සැලසුම් කර තියෙන්නේ.

 

ඔබගේ ඉදිරි බලාපොරොත්තු?

ලංකාවේ දක්ෂතම කැමරා ශිල්පියෙකු වන චන්න දේශප්‍රිය ප්‍රථම වරට ලියා අධ්‍යක්ෂණය කළ " දු ෂ්‍ රා " චිත්‍රපටයේ චරිතයකින් මෙරට රසිකයන් අතරට එනවා. ඒ වගේම මීට වසර කිහිපයකට පෙර, උදය ධර්මවර්ධන අධ්‍යක්ෂණය කළ " මයි සොෆ්ට් ඩ්‍රීම් " කියන චිත්‍රපටය තුළිනුත් ප්‍රේක්ෂකයා අතරට ඒමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. මීට අමතරව ලංකාවේ සංචාරක කර්මාන්තය ගොඩනැගීමේ අභිලාෂයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. දැනට පස් වසරකට කලින් මම ඒ සඳහා යොමුවුණේ." හොටෙල් ලක්‍ රාජ් හෙරිටේජ් " මාතර. මගේ ස්ව නිර්මාණයක්. අද ලංකාවේ වගේම ලෝකේ ගොඩක් රටවල එය ජනප්‍රියයි. ඒ වගේ තව හෝටල් කීපයක් කරන්න මම මුලික කටයුතු සූදානම් කරමින් ඉන්නේ. ඉදිරි වැඩ කටයුතු කරගෙන යන අතරේ ,විශේෂයෙන්ම කියන්න ඕනෑ ලංකාවේ සිනමා කර්මාන්තයේ බලයලත් නිලධාරීන්ගෙ එකමුතුව උපකාර සහ සහයෝගය ලැබෙනවානම් පමණක් වාර්ෂිකව ජාත්‍යන්තර චිත්‍රපට උලෙළක් ලංකාවේ සංවිධානය කරන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ලංකාවේ සිනමා කර්මාන්තය දිරිගැන්වීම තමයි එහි ප්‍රධානම අරමුණ වන්නේ. ඒ වගේම විදේශීය සිනමාව ලංකාවට ගෙනැල්ලා මෙහේ දේවල් දියුණු කරන්නත් බලාපොරොත්තු වෙනවා. මේ සඳහා මට ප්‍රංශයේ උපදෙස් ආධාර ලබාදෙන්න පොරොන්දුවෙලා තියෙනවා. ඒ සඳහා දැනටමත් සාර්ථක සාකච්ඡාවට කීපයක් පවත්වා අවසන් ප්‍රංශය සමඟින්. ඉදිරියේදී ලංකාවෙන් ලැබෙන ප්‍රතිචාරය සමඟින් එය ආරම්භ කිරීමට මා සූදානම්.

 

ලංකාවේ කිරීමට සූදානම් වන චිත්‍රපටය පිළිබඳව කීවොත්?

ඇත්තටම ප්‍රංශයේ ඉහල ආදරයක් ලබලා නිදහස් ජීවන තලයක් ඇති කරගෙන අංග සම්පූර්ණවම ජීවත් වීමට පටන් ගෙන ඉවරයි. ඒත් ලංකාවට මගෙන් වියයුතු සේවයක් යුතුකමක් විදියටයි මම ඇත්තටම මෙහෙට ආවේ. ඒ නිසාම තමයි මම මීට වසර කිහිපයකට කලින් උදය ධර්මවර්ධන කියන තරුණ අධ්‍යක්ෂවරයා යොදාගෙන "මයි සොෆ්ට් ඩ්‍රීරීම්ස්" කියන චිත්‍රපටය නිෂ්පාදනය කළේ. මට උවමනාවක් තිබ්බේ යුරෝපයේ ඉන්න කලාකරුවන් මෙහේ ගෙනත්, අපේ අයත් සමඟ රඟපානවා දකින්න. ඒ සම්බන්ධතා ඇති කරන්න .ඒක ඉතා සාර්ථක අරමුණක් වුණා. ඉදිරියේදී එම චිත්‍රපටය ප්‍රේක්ෂකයන් අතරට ගෙන ඒමට මා කටයුතු කරනවා. මීට අමතරව ලංකාවේ සුවිශේෂී කැමරා ශිල්පියෙකු වන චන්න දේශප්‍රිය ලියා අධ්‍යක්ෂණය කල ප්‍රථම චිත්‍රපටය මම නිෂ්පාදනය කළා. ඒක අමුතුම වැඩක්. අලුත් ක්‍රමයක් . එය ඉතා සාර්ථක නිර්මාණයක් වුණා. ඒකේ නම " දු ෂ් රා " එයත් ළඟදිම තිරගත කිරීමට සුදානමින් ඉන්නේ. ඊට අමතරව තෝරාගත් විශේෂ චරිතයකින් මිස වෙනත් අයුරකින් මට සම්බන්ධ වීමට අවකාශයක් නෑ. ඒක කාලයත් සමඟ ඇති ප්‍රශ්නයක් පදිංචි වෙලා ඉන්නේ ප්‍රංශයේ නිසා.ලංකාවට ආවට ගියාට මම එහි රඟපෑම සඳහා නිර්මාණ කිහිපයක් සමඟ ගිවිසුම් ගතවෙලා ඉන්නවා දීර්ඝ කාලීනව.

 

ඔබගෙ විනෝදාංශ ගැන කීවෝත්

පෞද්ගලීකව මගේ විනෝදාංශ ගැන කතා කරනවානම්, මම ඉස්සර ඉදලම අසාකළේ ගායනයට. සින්දු කියන්න හරි ආසයි. සිංහල සංගීතය ගැන පුංචි දැනුමකුත් මා සතුව තියෙනවා. ඒ වගේම යූරෝපීය පැරැණි චිත්‍රපට බැලීමට මගේ ලොකු උනන්දුවක් තියෙනවා මට ඒ පහසුකම් ලැබිලා තියෙනවා. එහෙ ගොඩක් චිත්‍රපට ලැබෙනවා මට . මගෙ ළඟ ලොකු එකතුවක් තියෙනවා. කඳු නගින්න, හිමකඳු තරණය කරන්න, ටෙනිස් සෙල්ලම් කරන්නත් ආසයි. බොඩි බිල්ඩින් වගේ දේවල් නම් මට ආසම නැති දෙයක්.