මායාකාර අතීතයේ දුෂ්ට බලවේගයකට එරෙහිව

අප්‍රේල් 28, 2022

 

එදා මෙදා තුර ඉහළම ආදායමක් ඉපැයූ චිත්‍රපට මාලා අතුරින් සිව්වැනි ස්ථානයේ සිටින 'හැරී පොටර්' චිත්‍රපට මාලාවට පාදක වූයේ, ජේ. කේ. රෝලින්ග් ලේඛිකාව විසින් රචිත ලොවපුරා ඉහළ ජනප්‍රියත්වයක් ලද 'හැරී පොටර්' කතා මාලාව බව බොහෝ දෙනා දන්නා කරුණකි. චිත්‍රපට අටකින් සමන්විත 'හැරී පොටර්' චිත්‍රපට මාලාව කෘති පෙළ සේම ලොව පුරා ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගැනීමට සමත් විය.

රෝලින්ග් විසින් සෘජුවම හැරී පොටර් නම් ළමා මායාකරුවාගේ චරිතය වටා රචනා කළ පොත් ප්‍රමාණය හතක් වුවද මෙම කතා මාලාවේ එන අනෙකුත් චරිත වටා ද ඇය විසින් තවත් කෘති සහ නාට්‍ය රචනා කර තිබේ. 'ෆැන්ටෑස්ටික් බීස්ට්ස්' චිත්‍රපට මාලාව යනු කුඩා හැරී පොටර් හොග්වෝර්ට්ස් මායා පාසලට ඇතුළු වීමට වසර 70ට පෙර නිව්යෝක් නගරයේ රහසිගත මායාකරුවන්ගේ සංගමයේ සාමාජිකයෙකුව සිටි නිව්ට් ස්කැමැන්ඩර්ගේ ත්‍රාසජනක අත්දැකීම් ගෙන එන එවැනි චිත්‍රපට මාලාවකි. 'ෆැන්ටෑස්ටික් බීස්ට්ස්' චිත්‍රපට මාලාවේ ආරම්භය සටහන් කළේ 2016 වසරේ තිරගත කෙරුණු 'ෆැන්ටෑස්ටික් බීස්ට්ස් ඇන්ඩ් වෙයා ටු ෆයින්ඩ් දෙම්' චිත්‍රපටයයි.

1926 වසර පසුබිම් කරගත් එහි ඇතුළත් වන්නේ ස්කැමැන්ඩර් ලොව පුරා සංචාරය කර සොයාගත් අද්භූත සත්ත්වයින් පිළිබඳ වාර්තාව නිමකර නිව්යෝක් නගරයට පැමිණීම සමඟ කතාවයි. පළමු සිනමාපටය අවසානයේ, අමෙරිකා එක්සත් ජනපද මායාකරුවන්ගේ සංගමය විසින් ප්‍රබල, දුෂ්ට මායාකරුවකු වන ගෙලර්ට් ග්‍රින්ඩල්වෝල්ඩ් අත්අඩංගුවට ගනු ලැබුවේ නිව්ට් ස්කැමැන්ඩර්ගේ උපකාරයෙනි. යළිත් මායාකරුවන් හට ග්‍රින්ඩල්වෝල්ඩ්ගේ තර්ජනයන්ට මුහුණ දෙන්නට සිදු වන්නේ ඔහු අත්අඩංගුවෙන් මිදී පලා යාමත් සමඟිනි.

මේ වන විට නිවේදනය කර ඇති නව චිත්‍රපටය සමඟින් චිත්‍රපට හතරකින් යුතු 'ෆැන්ටෑස්ටික් බීස්ට්ස්' චිත්‍රපට මාලාවේ චිත්‍රපට තුනක් තිරගත වී තිබේ. 'ෆැන්ටෑස්ටික් බීස්ට්ස් ඇන්ඩ් වෙයා ටු ෆයින්ඩ් දෙම්' සහ 'ද ක්‍රයිම්ස් ඔෆ් ග්‍රින්ඩල්වෝල්ඩ්' චිත්‍රපටවලින් පසුව පසුගිය අප්‍රේල් 15 වැනිදා එහි තෙවැන්න ලෙස 'ද සීක්‍රට්ස් ඔෆ් ඩම්බල්ඩෝ' තිරගත වීම ආරම්භ විය. මෙහිදී 'ෆැන්ටෑස්ටික් බීස්ට්ස් ඇන්ඩ් වෙයා ටු ෆයින්ඩ් දෙම්' හි හඳුන්වා දුන් කතන්දරය එකිනෙක සම්බන්ධ වන අතර ඩම්බල්ඩෝ සහ ග්‍රින්ඩල්වෝල්ඩ් සතුරුකම සමඟ ඇති වන සිදුවීම් පෙළක් දිග හැරේ. 'ෆැන්ටෑස්ටික් බීස්ට්ස්' තෙවැනි චිත්‍රපටයේදී දැකගත හැකි වන්නේ ජේ. කේ. රෝලින්ග්ගේ හැරී පොටර් කතා මාලාවේ අවසාන කෘතියට සම්බන්ධ ඉතිහාසයකි. එය ජර්මනියේ බර්ලිනයේ සිට පදනම් වූ මායාකාරී රජය සමඟින් වන විශාල දේශපාලන ප්‍රයෝගයක තතු ගෙන එයි. ඒ අනුව දෙවැනි ලෝක යුද්ධයට පෙර වසරවලදී ලොව පුරා ගමන් කරන නිව්ට් ස්කැමැන්ඩර් මහාචාර්ය ඇල්බස් ඩම්බල්ඩෝර් සමඟින් බලවත් දුෂ්ට මායාකරුවෙකු වන ග්‍රින්ඩල්වෝල්ඩ් පරාජය කිරීමේ දැඩි වෑයමක යෙදේ.

'ෆැන්ටෑස්ටික් බීස්ට්ස්: ද ක්‍රයිම්ස් ඔෆ් ග්‍රින්ඩල්වෝල්ඩ්' චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ 'ෆැන්ටෑස්ටික් බීස්ට්ස්' පළමු සහ දෙවැනි චිත්‍රපට මෙන්ම 'හැරී පොටර්' චිත්‍රපට මාලාවේ අවසන් චිත්‍රපට හතර අධ්‍යක්ෂණය කළ ඩේවිඩ් යේට්ස් විසිනි. ජේ. කේ. රෝලින්ග්, ඩේවිඩ් හේමන් ඇතුළු පස් දෙනෙකු මෙහි නිෂ්පාදනයෙන් දායක වී ඇත. මෙම චිත්‍රපටය වෙනුවෙන් තිරරචනය කර තිබෙන්නේ ද ජේ. කේ. රෝලින්ග් විසිනි. රෝලින්ග් ගේ පළමු තිර රචනය වූයේ 'ෆැන්ටෑස්ටික් බීස්ට්ස් ඇන්ඩ් වෙයා ටු ෆයින්ඩ් දෙම්' චිත්‍රපටයේ තිර රචනයයි. මෙම චිත්‍රපටයේ සුපුරුදු පරිදි එඩී රෙඩ්මයෙන් විසින් ස්කැමැන්ඩර්ගේ චරිතය නිරූපණය කළ ද පෙර චිත්‍රපටවල ග්‍රින්ඩෙල්වල්ඩ් ලෙස සිටි ජොනී ඩෙප් වෙනුවට පැමිණෙන්නේ මැඩ්ස් මිකෙල්සන්ය. අපහාස නඩුහබ ජොනී ඩෙප්ගේ වෘත්තීය ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර ඒ හේතුවෙන් 'ෆැන්ටෑස්ටික් බීස්ට්ස්' චිත්‍රපට මාලාවේ ඉදිරි චිත්‍රපට ඇතුළුව ඔහු සතු වූ ප්‍රමුඛතම චිත්‍රපට කිහිපයක්ම ගිලිහී ගොස් ඇත. එය එසේ වුව ද ෆැන්ටෑස්ටික් බීස්ට්ස්' පළමු චිත්‍රපටයට රංගනයෙන් දායක වූ චරිත බොහොමයක් 'ෆැන්ටෑස්ටික් බීස්ට්ස්: ද සීක්‍රට්ස් ඔෆ් ඩම්බල්ඩෝ' චිත්‍රපටයේදී යළි හමුවේ. විචාරකයන්ගේ යහපත් ප්‍රතිචාර නොලද මෙම චිත්‍රපටයට ධ්ර්ච්ඡ දර්ශකයේ හිමි වී තිබෙන්නේ ලකුණු 6.5/10කි. තවද 'ෆැන්ටෑස්ටික් බීස්ට්ස්: ද ක්‍රයිම්ස් ඔෆ් ග්‍රින්ඩල්වෝල්ඩ්' ලද අයහපත් ප්‍රතිචාර සමඟ සැලසුම්ගත චිත්‍රපට පහක ඉක්මන් අවසානයක් පිළිබඳ කටකතා ද පැතිරෙමින් පවති.