ගනේෂන් චක්‍රවර්තිගේ අනාගතය විසඳෙන Don

ජුනි 23, 2022

ඩොන් (Don) යනු මැර පවුලක ප්‍රධානියා හැඳීන්වීමට යෙදෙන නාමයකි.

ස්පාඤ්ඤ භාෂාවට අනුව නම් එය පිරිමි නාමයකට පෙර යෙදෙන උපසර්ගයකි. ඩොන් නමින් නිර්මාණය වූ හින්දි සිනමාපට ද්විත්වයකි. ඉන් පළමු වැන්න 1978 වසරේ තිරගත වූ අමිතාබ් බච්චන් රඟපෑ Don චිත්‍රපටයයි. අනෙක එම චිත්‍රපටයේ අනුවාදයක් ලෙස 2006 වසරේ තිරගත වූ ශාරුක් ඛාන් ප්‍රධාන චරිතය නිරූපණය කළ ච්ධද චිත්‍රපටයයි. එය ප්‍රබල පාතාල නායකයකු කේන්ද්‍ර කරගත් හින්දි ත්‍රාසජනක චිත්‍රපට පෙළක පළමුවැන්න විය. මේ වන විට දෙමළ සිනමාවටද ඩොන් පැමිණ සිටී. ඔහුගේ සැබෑ නම ගනේෂන් චක්‍රවර්තිය.

ගනේෂන් චක්‍රවර්තිගේ පියා ඔහුගේ අධ්‍යාපන කටයුතු සහ අනාගතය ගැන බොහෝ සෙයින් සැලකිලිමත් වන දැඩි පියෙකි. ගනේෂන් හට ඉංජිනේරුවකු වීමට අවශ්‍ය නැත. නමුත් ගනේෂන්ගේ පියා ඔහුට බල කර සිටින්නේ ඉංජිනේරුවකු වන ලෙසයි. මේ අතර ගනේෂන් පාසල් වියේදීම අංගියාර්කන්නි හෙවත් අංගු සමඟ ආදරයෙන් බැඳේ. පියාගේ තීරණයට අනුව ගනේෂන් හට හොඳම ඉංජිනේරු විද්‍යාලයට ඇතුළත්වීමට සිදු වේ. ඉංජිනේරු විද්‍යාලයේ විනය උපදේශක භූමිනාදන්ය. ඔහු විද්‍යාලය තුළ විනය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම ශිෂ්‍යයන්හට මහත් හිසරදයක් වී ඇත. සිසුන්ට ප්‍රීතිමත් පරිසරයක සිටීමට හැකි වන පරිදි භූමිනාදන් ඉවතට යැවීමේ සැලැස්මක් ගොඩනඟනු ලබන්නේ ගනේෂන් විසිනි. ඉංජිනේරු විද්‍යාලය තුළ ගනේෂන් ඩොන් ලෙස හැඳීන්වීමට පටන් ගන්නේ එතැන් සිටය.

ච්ධද දෙමළ චිත්‍රපටය රිදි තිරයේ දිග හැරෙන්නේ මෙලෙසිනි. තම ජීවිත අභිලාෂයන් පසෙක දමා පියාගේ තීරණය අනුව ඉදිරියට යාමට සිදුවන ගනේෂන් චක්‍රවර්තිගේ අනාගතය විසඳෙන අයුරු ඒ ඔස්සේ දැකගත හැකිය. පසුගිය මැයි 13 වැනිදා සිට තිරගත කෙරෙන ඩොන් සිබි චක්‍රවර්තිගේ අධ්‍යක්ෂණයකි. ප්‍රේමණීය ප්‍රහසන චිත්‍රපටයක් වන ඩොන්හි ඩොන් හෙවත් චක්‍රවර්ති ගනේෂන් නම් චරිතයට පණ පොවනු ලබන්නේ සිවකාර්තිකේයන් විසිනි. ඔහු සැබෑ ජීවිතයේදීද ඉංජිනේරුවකු වීම විශේෂත්වයකි. ඔහු රංගනයට සම්බන්ධ වන්නේ ජේ.ජේ ඉංජිනේරු විද්‍යාලයේ ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යාපනය ලබන අතරතුරදීය. මෙම චිත්‍රපටයේ නිෂ්පාදනයටද සිවකාර්තිකේයන්ගේ දායකත්වය ලැබී ඇත. සමුත්‍රිකනි, එස්. ජේ සූර්යා, ප්‍රියංකා අරුල් මෝහන් සූරි ඇතුළු පිරිසක්ද මෙහි රංගනයෙන් දායක වී ඇත. මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය යොවුන් සංගීඥ අනිරුද් රවිචන්ද්‍රර් ගෙනි. විචාරකයන්ගේ සහ ප්‍රේක්ෂකයන්ගේ සාධනීය ප්‍රතිචාර ලද ඩොන් චිත්‍රපටය නිකුත් වූ දෙවන සතිය වන විට ආදායම ඉන්දීය රුපියල් කෝටි 100ක් වාර්තා කළේය.