අල්ලපු ගෙදර ගැහැනු ළමයින්ගෙන් හැදූ කාන්තා චරිත

ජුනි 23, 2022

 

ඉමිතියාස් අලි චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු, නළුවකු මෙන්ම ලේඛකයෙකි. ඔහු සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ රූපවාහිනී වැඩසටහන් රචනය සහ අධ්‍යක්ෂණයෙනි. ඔහු බොලිවුඩයේ සාර්ථකත්වයක් ළඟා කර ගත්තේ සිය දෙවැනි සිනමා නිර්මාණය වන Jab We Met (2007)   චිත්‍රපටයෙනි. අනතුරුව Love Aaj Kal (2009), Rockstar (2011), Highway (2014), Tamasha (2015) චිත්‍රපට ඔහු කැපී පෙනෙන සිනමාකරුවකු බවට පත් කළේය.

Jab We Met සිට Highway  දක්වාත් Tamasha සිට Love Aaj Kal  (2020) දක්වාත් ඔහු අමතක නොවන කාන්තා චරිත ගෙන ආවේය.

ඉමිතියාස් පවසන්නේ Jab We Met  චිත්‍රපටයේ කරීනා කපූර් පණ පෙවූ ගීත් චරිතයේ සිට Tamasha චිත්‍රපටයේ දීපිකා පදුකෝන් ගෙන ආ මීරා චරිතය දක්වා අල්ලපු ගෙදර සාමාන්‍ය ගැහැනු ළමයින් ගෙන් අසාමාන්‍ය කාන්තා චරිත නිර්මාණය කළ බවයි. වරෙක සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පවසා සිටියේ තම චිත්‍රපටවලින් සත්‍ය පුද්ගලයා හෙළිදරව් කරන බවයි.

Jab We Met චිත්‍රපටයේ ගීත්, තමා හට මේ ලෝකයේ සියලුම ගැටලු ඇති බව විශ්වාස කරන්නීය. ඇය කිසිම සමාජ කණ්ඩායමකට නොගළපෙන තරම් විවෘතව කතා කරයි. ඇය සම්පූර්ණ අවුල් ජාලයකි. නමුත් සෑම ගැහැනු ළමයෙකුටම ආදර්ශයකි. Love Aaj Kal  (2009) චිත්‍රපටයේ මීරා වඩාත් නිහඬ චරිතයකි. එම චරිතය ද බොහෝ දෙනෙකුගේ ආදරය දිනා ගැනීමට සමත් විය. Cocktail  චිත්‍රපටයට ඉමිතියාස් ගෙන ආවේ වෙරෝනිකා නම් තරුණියයි. ඇය ආදරය, රාගය සහ ආශාව සියල්ල මිශ්‍ර වූ චරිතයක් විය. මීරා මෙන්ම වෙරෝනිකා වූයේ දීපිකා පදුකෝන්ය. මෙම චිත්‍රපට දීපිකාගේ වෘත්තීය ජීවිතය තහවුරු කළ චිත්‍රපට වීමද විශේෂත්වයකි.