බොලිවුඩ්- කොලිවුඩ් නොව ඉන්දීය චිත්‍රපට

ජුනි 23, 2022

ඉන්දීය සිනමා කර්මාන්තය ලොව දැවැන්තම සිනමා කර්මාන්තයකි.

එහි බොලිවුඩය වැඩි ජනප්‍රියත්වයක් ඉසිලුවද කොලිවුඩ් සිනමාවද මේ වන විට ලොව ජනප්‍රිය තලයට පැමිණ සිටී. තෙළිඟු, මලයාලම් හා කණ්ණඩ සිනමා සේම ඇසෑම්, බෙංගාලි, ගුජරාටි ආදී තවත් ප්‍රාදේශීය ලෙස ක්‍රියාත්මක වන කුඩා සිනමා කර්මාන්ත ද ඉන්දීය සිනමාවට අයත් වේ.

බොහෝ අවස්ථාවල දැකිය හැකි වන්නේ බොලිවුඩ් - කොලිවුඩ් එකිනෙක ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක සිනමා කර්මාන්ත දෙකක් ලෙසිනි. මේ වන විට දකුණු ඉන්දීය චිත්‍රපටවලට එදිරිව හින්දි චිත්‍රපට පිළිබඳ විවාදය බොහෝ දෙනෙකුගේ උනන්දුව ඇති කර තිබේ. කියාරා අද්වානි ද පසුගිය දිනෙක ඒ පිළිබඳ තම මතය ප්‍රකාශ කළාය.

ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවියක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය ප්‍රකාශ කළේ, "විවාදයක් ඇත්තේ ඇයි දැයි මම දන්නේ නැහැ. අපි චිත්‍රපටවලට දකුණු හෝ බොලිවුඩ් කියන එක නැවැත්විය යුතුයි. 'ඉන්දියානු චිත්‍රපටයක්'. හොඳම විදිය ඒක තමයි" කියාරා පවසන්නීය.

2014 වසරේදී කියාරා සිනමා දිවිය ආරම්භ කළේ Fugly චිත්‍රපටයෙනි. 2018 වසරේදී ඇය මහේෂ් බාබු ප්‍රධාන චරිත නිරූපණය කළ ක්‍රියාදාම චිත්‍රපටයක් වන  Bharat Ane Nenu  සමඟ තෙළිඟු චිත්‍රපට කර්මාන්තයට පිවිසියාය. මේ දිනවල ඇය දැක ගැනීමට ලැබෙන්නේ

Bhool Bhulaiyaa 2 චිත්‍රපටය සමඟිනි. චිත්‍රපටයේදී රසික රසිකාවන් දැක්වූ යහපත් ප්‍රතිචාරවලටද ඇය සිය සතුට පළ කළාය. Bhool Bhulaiyaa 2 හි සාර්ථකත්වයෙන් පසුව Govinda Mera Naam  මෙම වසරේ නිකුත් කිරීමට නියමිත ඇයගේ මීළඟ චිත්‍රපටයයි. කියාරා වරුන් ධවාන් සමඟ රංගනයෙන් දායක වූ Jug Jugg Jeeyo  චිත්‍රපටයද නිකුත් කිරීමට නියමිතව ඇත.