රොක් ඇන්ඩ් රෝල් රජුගේ ජීවිත කතාව

ELVIS
ජුනි 23, 2022

 

එල්විස් ප්‍රෙස්ලි යනු ඇමරිකානු ජනප්‍රිය සංගීතයේ සහ සංස්කෘතියේ නව යුගයක් ආරම්භ කළ සුවිශේෂ තරුවකි. බටහිර සංගීත ලොවේ දැවැන්තයන් කිහිපදෙනා අතර රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ රජු ලෙස හැඳීන්වෙන්නේ ඔහුයි. ගැඹුරු කටහඬ, නර්තනය, කඩවසම් පෙනුම මෙන්ම රංගනයෙන් ලොව පුරා තරුණ හදවත් දිනූ එල්විස් ප්‍රෙස්ලි මෙලොවින් සමු ගෙන වසර ගණනාවක් ගත වුව ද ඔහු එදා ලද ජනප්‍රියත්වය වර්තමානයේදී ද අඩුවක් වී නොමැත.

එය තව තවත් තිව්‍ර වන්නේ අද (ජුනි 23) සිට රිදි තිරයේ ඔහු යළිත් වරක් ජීවමාන වීම සමඟිනි. ඒ ඕස්ට්‍රේලියානු ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ බැස් ලුර්මන් අධ්‍යක්ෂණය කළ ඡ්තමඪඵ (එල්විස්) චිත්‍රපටය සමඟිනි. එය එල්විස් ප්‍රෙස්ලිගේ කුඩා කාලයේ සිට රොක් ඇන්ඩ් රෝල් තරුවක් සහ චිත්‍රපට තරුවක් බවට පත්වීම දක්වා පෞද්ගලික ජීවිතය, වෘත්තීය ජීවිතය මෙන්ම ඔහුගේ කළමනාකරු කර්නල් ටොම් පාකර් සමඟ ඔහුගේ සංකීර්ණ සම්බන්ධතාව ද විස්තර කරන්නකි. මෙම චිත්‍රපටයේ එල්විස් ප්‍රෙස්ලිගේ රුව ජීවමාන කරනු ලබන්නේ ඇමරිකානු නළු ඔස්ටින් බට්ලර් විසිනි. බට්ලර් මෙම අවස්ථාව හිමිකර ගෙන තිබෙන්නේ එල්සල් ඇල්ගර්ට්, මිලෙස් ටෙලර්, ආරොන් ටේලර් සහ හැරී ස්ටයිල්ස් යන නළුවන් අබිබවා යමිනි. කළමනාකරු කර්නල් ටොම් පාකර්ගේ චරිතයට පණ පොවන්නේ හොලිවුඩ් නළු ටොම් හෑන්ක්ස්ය. අධ්‍යක්ෂ ලුර්මන්, ප්‍රෙස්ලි අපදානය පිළිබඳ පළමුවරට නිවේදනය කර සිටියේ 2014 වසරේදීය. නමුත් චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කරන්නට සිදු වූයේ එයින් පස් වසරකට පසු 2019 දීය. 2020 වසරේ ජනවාරි මාසයේදී රූගත කිරීම් ආරම්භ වූයේ ලුර්මන්ගේ උපන් රට වන ඕස්ට්‍රේලියාවේදීය. නමුත් මුළු ලොවට බාධාවක් වූ කොරෝනා වසංගතය එල්විස් සිනමා සිත්තමටද එලෙසම බලපෑවේය. ටොම් හැන්ක්ස් සහ ඔහුගේ බිරිඳ රීටා විල්සන් මෙන්ම චිත්‍රපට කණ්ඩායමේ සාමාජිකයන් කිහිප දෙනෙකු කොරෝනා වෛරසය අසාධනය වීම හේතුවෙන් රූගත කිරීම් කෙටි කාලයක් වෙනුවෙන් නතර කිරීමට සිදු විය.

එල්විස් චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත් වූයේ පසුගිය මැයි 25 වැනි දින කාන් චිත්‍රපට උලෙළේදීය. එහිදී චිත්‍රපටය වෙනුවෙන් ප්‍රේක්ෂකයන්ගෙන් මිනිත්තු දොළහක කාලයක් පුරා නැගී සිටී අතර එය කාන් සිනමා උලෙළකදී ඇමරිකානු චිත්‍රපටයක් ලද දීර්ඝතම ප්‍රතිචාරය ලෙසද ඉතිහාස පොතට එක් විය. එල්විස් චිත්‍රපටය විචාරකයන්ගේ සාධනීය ප්‍රතිචාර ලැබීමට සමත් වී ඇත. රොට්න් ටොමැටෝස් වෙබ් අඩවියේ එයට ලකුණු 78%ක් හිමි වී ඇත. එහි ප්‍රමුඛ විචාරය පවසා සිටින්නේ බැස් ලුර්මන්ගේ ජවසම්පන්න සිනමා ශෛලිය සහ ඔස්ටින් බට්ලර්ගේ විශිෂ්ට රංගනයෙන් එල්විස් ප්‍රෙස්ලිගේ අපදානය අතිවිශිෂ්ට නිර්මාණයක් වී ඇති බවයි.

එල්විස් චිත්‍රපටයට ප්‍රෙස්ලි පවුලෙන්ද ඉතා යහපත් ප්‍රතිචාර හිමි වී තිබේ.

එල්විස්ගේ දියණිය ලීසා මාරි ප්‍රෙස්ලි, හිටපු බිරිඳ ප්‍රිසිලා ප්‍රෙස්ලි සහ මිනිබිරිය රිලී කීව් යන සියලු දෙනාම චිත්‍රපටය සමඟ බට්ලර්ගේ රංගනය සහ ලුර්මන්ගේ අධ්‍යක්ෂණය අගය කළහ. කාන් චිත්‍රපට උලෙළේ මංගල දර්ශනයට පෙර එල්විස්ගේ දියණිය වන ලීසා මාරි ප්‍රෙස්ලි එය දෙවරක් නැරඹීමෙන් පසු ඉන්ස්ටග්‍රෑම් සටහනකින් ප්‍රශංසා එක් කර සිටියේ නැසී ගිය තම පියා ලෙස බට්ලර්ගේ රංගනයට ප්‍රශංසා කරමිනි. " මගේ පියාගේ හදවත සහ ආත්මය අලංකාර ලෙස මූර්තිමත් කරමින් ඔහුගේ රංගනය නිවැරදිව හා ගෞරවාන්විතව සිදු කර ඇත" යනුවෙන් ඇය සටහන් කළාය.

ලූර්මර්ගේ අධ්‍යක්ෂණය ගැන ඇය මෙසේ ලිවීය, "මෙම සුන්දර චිත්‍රපටය පුරා මගේ පියා කෙරෙහි ඔබ දැක්වූ නිර්මල ආදරය, සැලකිල්ල සහ ගෞරවය සමඟ චිත්‍රපටය අවසානයේ මට, මගේ දරුවන්ට සහ ඔවුන්ගේ දරුවන්ට සදහටම ආඩම්බර විය හැකිය. ඔබේ ප්‍රතිභාව සේම ඔබ මගේ පියාට දක්වන ආදරය හා ගෞරවය සමඟින් මුසු කර ඉතා අලංකාර සහ ප්‍රබෝධමත්ව කලාත්මක ලෙස ප්‍රෙස්ලි චිත්‍රපටය සකස් කිරීම ගැන ස්තූතිය පිරිනමමි".

එල්විස් ප්‍රෙස්ලිගේ ජීවිත කතාව ආරම්භ වූයේ 1935 ජනවාරි 8 වැනි දින මිසිසිපි හි ටුපෙලෝ හිදි වර්නන් සහ ග්ලැඩිස් ප්‍රෙස්ලිට දාව එල්විස් ආරොන් ප්‍රෙස්ලි ඉපදීමත් සමඟිනි. ඔහු සමඟ නිවුන් සහෝදරයකු වුවද ඔහුට මෙලොව එළිය දකින්නට නොහැකි වූයේය. ඒ අනුව පවුලේ එකම දරුවා ලෙස එල්විස් හැදි වැඩුණි. ඔහු සමඟ මාපියන් 1948 දී ටෙනසිහි මෙම්ෆිස් වෙත සංක්‍රමණය විය. ආර්ථික අපහසුතා නිසා වරින් වර පදිංචිය වෙනස් කරන්නට සිදු වුව ද, භක්තිමත් ලෙස සිය ආගම ඇදහූ ග්ලැඩිස්, එල්විස් සමඟ නිතිපතා ආසන්නයේ ඇති දේවස්ථානයක් කරා ගියාය. සංගීතය කෙරෙහි එල්විස් මෙහෙය වූ බලවේගය වූයේ පල්ලියේදී ඔහු ඇසූ ශුභාරංචිය සංගීතයයි. කුඩා වියේ පටන් ගායන සිහිනය දුටු එල්විස්ගේ එකොළොස් වැනි උපන්දිනය වඩාත් සුවිශේෂ වූයේ මවගෙන් තෑගි ලද ගිටාරය හේතුවෙනි. 1953 වසරේදී හියුම්ස් උසස් පාසලෙන් උපාධිය ලබා ගත් එල්විස් ගායන සිහිනය සැබෑ කර ගැනීමේ සුවිශේෂ පියවර තැබුවේය. 1954 වසරේදී මෙම්ෆිස් හි ජනප්‍රිය සන් රෙකෝඩ්ස් ලේබලය සමඟින් එල්විස් ඔහුගේ ගායන දිවිය ආරම්භ කළේ පළමු ගීතය ලෙස දැට්ස් ඕල් රයිට් නිකුත් කරමිනි. 1954 වසරේ දී ආර්.සී.ඒ සමාගම සමඟ ගිවිසුම්ගත වෙමින් ඔහු පළමු සංගීත ඇල්බමය වන 'එල්විස් ප්‍රෙස්ලි' එළිදැක්වූයේය.

තරුණ එල්විස්ගේ දක්ෂතාවය හා ආකර්ෂණීය පෙනුම ඔහු සාර්ථකත්වය කරා මෙහෙයවීය. තරුණ ප්‍රජාවට ඔහුගේ ගීත උන්මාදයෙන් මෙන් වැලඳ ගැනීමට වැඩි කාලයක් ගත නොවීය. ඇමෙරිකානු තාරුණ්‍යයේ හද බැඳගත් තරුව බවට පත්වූ එල්විස් ප්‍රෙස්ලි සිනමා රංගනයටද එක් වූයේය.

'රොක් ඇන්ඩ් රෝල් රජු' ලෙසින් හැඳීන් වූ ඔහුගේ ජීවිතය දශක හතරකට පමණක් සීමා විය. 1977 අගෝස්තු මස 16 වැනි දා හෘදයාබාධයක් හේතුවෙන් මිය යන විට ඔහුගේ වයස අවුරුදු 42කි. මරණ පරීක්ෂණයේදී තහවුරු වන්නේ ඔහුගේ මරණය අධික මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිදුවූවක් බවයි. එල්විස් ප්‍රෙස්ලි මිය ගොස් දශක හතරකට වඩා වැඩි කාලයක් ගත වී ඇතත් අදටද ඔහුගේ ගී හඬ ලොව පුරා රැව් පිළි රැව් දෙන්නේ ලොව පුරා මිලියන ගණනක රසික ආදරය දිනූ ඔහුගේ දක්ෂතාව, කඩවසම් පෙනුම මෙන්ම සිය ජීවිත කාලය පුරා පෙන්නුම් කළ නිහතමානිකම සහ මානව දයාව ද සමඟිනි.