කහ මිතුරන්ගේ දස්කම්

Minions: The Rise of Gru
ජුනි 30, 2022

 

Despicable Me  (ඩිස්පිකබල් මී) චිත්‍රපට ද්විත්වයේ එන විනෝදජනක Minions (මිනියන්ස්) චරිත ඔබගේ මතකයෙන් ගිලිහී නොගොස් නැතුවාට සැක නැත. මිනියන්ස් යනු පෘථිවියේ මනුෂ්‍ය වර්ගයා ඇතිවීමටත් පෙර සිට පැවත ආ සිරුර සම්පූර්ණ කහ පැහැ වු කුඩා ජීවි විශේෂයකි. පෙනුමෙන් බොහෝ දුරට එක සමාන වුවද එකිනෙකා හට වෙන් වූ නම් ඇත. එහෙත් ඔවුන්හට එක් පොදු අරමුණක් ඇත. එනම් ලොව නරකම ස්වාමියා වෙනුවෙන් සේවය කිරීමයි. සේවය සැලසීම වෙනුවෙන් ස්වාමියකු සොයා ගැනීම පහසු එකකි. නමුත් අමනෝඥ බව නිසාම ඔවුන් හට තම ස්වාමියා රැක ගැනීම ඉතාමත් අසීරු කටයුත්තක් බවට පත් වී ඇත. ටී රෙක්ස් නම් බිහිසුණුම ඩයිනෝසරයා, ඊජිප්තුවේ පාරාවෝ, නැපෝලියන් අධිරාජ්‍යයා පමණක් නොව ලේ උරා බොන ඩ්‍රැකියුලාට පවා මිනියන්ස් සේවය සැලසූහ.

කෙසේ නමුත් ඔවුන් උත්සාහය අත්හරින්නට සූදානම් නැත. එසේම ස්වාමියකු නැති මිනියන්ස්වරුන්හට අරමුණක්ද නැත. ඔවුහු අපේක්ෂා භංගත්වයට පත් වූහ. දැඩි වේදනාවට පත් වූහ. මේ තත්ත්වය දිගින් දිගටම පැවතුණේ නම් අනිවාර්යයෙන්ම ඔවුන් පෘථිවි තලයෙන් නැති වී යනු ඇත. මේ තත්ත්වය වළක්වා ගැනීම වෙනුවෙන් ඔවුන් අතුරින් එක් අයෙකු වීරත්වයෙන් ඉදිරියට පැමිණේ. ඒ අභිමානවත් මිනියන් කෙවින් නම් වේ. බඩජාරි ස්ටුවර්ට් සහ බියසුළු බොබ් මේ ගමනේදී කෙවින්ගේ මිතුරෝ වූහ.

වැරදි දේ කිරීම පුරුද්දක් කරගත් ග්රූගේ බලාපොරොත්තුව ලෝක ප්‍රසිද්ධ සොරකු බවට පත්වීමයි. එහි ග්රූගේ එක් සැලසුමක් වන්නේ හඳ සොරකම් කිරීමයි. විශේෂිතව සකසන ලද ආයුධ රැසක් සතු ඔහු හට ඒ වෙනුවෙන් උපකාරයට පැමිණෙන්නේ මිනියන්ස් නම් මෙම කහ පැහැති කුඩා ජීවින් සේනාවකි. ඔවුන්ගේ සහය ලද ග්රූ හිතා ගන්නේ තමාට එරෙහි වන සියලු දෙනා පරදා හඳ සොරකම් කිරීමයි. ඉතා හොඳීන් සැලසුම් සහගතව සියල්ල ඉටු කෙරෙනවිටදී ඔහු අභියෝගයට ලක් වන්නේ කුඩා ගැහැනු දරුවන් තිදෙනෛකු ගෙනි. මේ කුඩා දැරියන් තිදෙනාගේ බලාපොරොත්තුව ගෲ තම පියා බවට පත්කර ගැනීමයි. 2010 වසරේදී මිනියන්ස් සමඟ Despicable Me  චිත්‍රපට මාලා ව ඇරඹුණේ මෙලෙසිනි.

අතිශය ජනප්‍රිය පරිගණක සජීවකරණ චිත්‍රපට මාලාවක් බවට පත් වෙමින් මාර්ගෝ, ඊඩිත් සහ ඇග්නස් නම් මේ කුඩා දියණියන් තිදෙනාට ආදරණීය පියෙකු බවට පත් වූ ග්රූගේ ජීවිතයේ තවත් එක් පරිච්ඡේදයක් Despicable Me 2  ලෙස 2013 වසරේදී දිග හැරුණි. ග්රූගේ නිවුන් සහෝදරයා ඩ්රූ හමුවීම සමඟ 2017 වසරේදී Despicable Me  3 තිරගත විය. ග්රූගේ සහයට සිටින මිනියන්ස් ලොව ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගැනිමට සමත් වූ අතර මිනියන්ස් චරිත සමඟින් 2015 වසරේදී තිරගත කළ Minions  චිත්‍රපටයද ලෝ පුරා ජනාදරයට පාත්‍ර විය. Minions පළමු චිත්‍රපටයෙන් පසු 1970 දශකය පසුබිම් කරගත් කතා පුවතක් සමඟ මිනියන්ස් යළි පැමිණ සිටී. ඒ හෙට (ජූලි 01) සිට තිරගත කෙරෙන Minions: The Rise of Gru චිත්‍රපටය සමඟිනි. එහි කතාව දොළොස් හැවිරිදි ග්රූ අධීක්ෂක කණ්ඩායමක සාමාජිකත්වය ලබා ගැනීම හා සම්බන්ධ වේ.

Minions: The Rise of Gru චිත්‍රපටය කයිල් බෝල්ඩාගේ අධ්‍යක්ෂණයකි. අමෙරිකානු ජාතික පරිගණක සජීවකරණ ශිල්පියකු අධ්‍යක්ෂවරයකු වන කයිල් Minions චිත්‍රපටයේ ද සම අධ්‍යක්ෂ විය.

මිනියන් චරිත කිහිපයකටම හඬ ලබා දෙන්නේ Despicable Me  පළමු චිත්‍රපටයට සම අධ්‍යක්ෂණයෙන් දායක වු පියරේ කොෆින්ය. ඔවුන් නම් කෙවින්, බොබ්, ස්ටුවර්ට් සහ ඔට්ටෝ ය. ග්රූ හට හඬ ලබා දෙන්නේ ස්ටීව් කාරෙල්ය. Despicable Me  චිත්‍රපට මාලාව වෙනුවෙන් මෙම චරිත නිර්මණය කර තිබෙන්නේ, ස්පාඤ්ඤ ජාතික නිර්මාණ ශිල්පී සර්ජියෝ පැබ්ලොස් විසිනි. ඩිස්පිකබල් මී පළමු සහ දෙවැනි චිත්‍රපටද සහ මිනියන්ස් චිත්‍රපටයද ඉහළ අදායම් වාර්තා තැබූ ජනප්‍රිය සිනමා නිර්මාණ බවට පත් විය. මිනියන්ස්හි සංගීතයත් එහි එන විනෝදජනක ස්වභාවයත් විචාරක ප්‍රශංසාවට ලක් වූ අතර Minions: The Rise of Gru චිත්‍රපටයද එයට නොදෙවෙනි වනු ඇති බව විචාරක අදහසයි.