නිර්දෝෂී බව වෙනුවෙන් දශක දෙකක් සටන් කළ අභ්‍යවකාශ ඉංජිනේරුවා

ජුනි 30, 2022

 

Rocketry:The Nambi Effect ඉන්දියානු අපදාන වෘත්තාන්ත චිත්‍රපටයකි. එය නිර්මාණය වී තිබෙන්නේ ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ හිටපු විද්‍යාඥයකු සහ අභ්‍යවකාශ ඉංජිනේරුවකු ලෙස කටයුතු කරන විටදී ඔත්තු බැලීමේ චෝදනාවට ලක්වූ නම්බි නාරායනන්ගේ ජීවිතය පාදක කරගනිමිනි. ඔත්තු බැලීමේ චෝදනාවට ලක්ව යුක්තිය වෙනුවෙන් දශක දෙකකටත් වැඩි කාලයක් තිස්සේ සටන් කළ නම්බි නාරායනන් තම නිර්දෝෂි බව පෙන්වීමට කළ සටන ඒ ඔස්සේ නිරූපණය වේ. මෙම චිත්‍රපටය තවත් අයුරකින් විශේෂ වේ. එනම් ජනප්‍රිය ඉන්දීය නළුවකු අධ්‍යක්ෂණයට පැමිණීමයි. මෙම චිත්‍රපටය රචනා කර අධ්‍යක්ෂණය කර ඇත්තේ ආර්. මාධවන් විසිනි.

මාධවන් යනු ඉන්දිය සිනමාවේ ජනප්‍රිය නළුවෙකි. මනි රත්නම්ගේ Alaipayuthey  චිත්‍රපටයෙන් දෙමළ සිනමාවේ කැපී පෙණුනු ඔහු කෙටි කලකින් ප්‍රේමණීය වීරයකු නමක් දිනා ගත්තේය. Rocketry:The Nambi Effect චිත්‍රපටය නිෂ්පාදනයටද ඔහුගේ දායකත්වය ලැබී ඇත. නම්බි නාරායනන් ලෙස චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේද ඔහුය. ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියකු ලෙස නාරායනන් ගත කළ ජීවිතයත් විද්‍යාඥයෙකු ලෙස රාජකාරි කටයුතු කළ කාලය සහ ඔහු වෙත එල්ල වූ ව්‍යාජ ඔත්තු බැලීමේ චෝදනා ගවේෂණය කරමින් මෙහි කතාව විහිදේ.

එස්. නම්බි නාරායනන් ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ සේවය කළ අභ්‍යවකාශ ඉංජිනේරුවෙකි. 1994 වසරේදී, මාලදිවයින් ආරක්ෂක බුද්ධි සේවයේ නිලධාරීන් දෙදෙනෙකු හට වැදගත් ආරක්ෂක රහස් හෙළි කිරීම සම්බන්ධයෙන් නාරායනන්ට චෝදනා එල්ල විය. රොකට් සහ චන්ද්‍රිකා දියත් කිරීම් සමඟ සිදු කරන ලද අත්හදා බැලීම්වල අතිශය රහසිගත "පියාසර පරීක්ෂණ දත්ත" වලට අදාළ රහස් දුන් බවට ඉන්දීය ආරක්ෂක නිලධාරීහු ඔහුට චෝදනා එල්ල කළහ. ඩී. සසිකුමාරන් ද නාරායනන් සමඟ මිලියන ගණනකට රහස් විකිණීමේ චෝදනාවට ලක් විය.

නාරායනන් අත්අඩංගුවට ගෙන දින 50ක් සිරගත කර සිටියදී ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කළ විට ඇද වැටී රෝහල් ගත කරන තෙක් ඔහුට වධ හිංසා කර ඇති බවද එකල ප්‍රකට විය. සත්‍ය ජය ගනිමින් 1998 වසරේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු නිවැරැදිකරුවකු ලෙස ප්‍රකාශ කළේය. 1999 සැප්තැම්බර් මාසයේදී ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව නාරායනන්ගේ අභ්‍යවකාශ පර්යේෂණ සමඟ කීර්තිමත් වෘත්තීය ජීවිතයට හානි කිරීම සහ ඔහුට ශාරීරික හා මානසික වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් කේරළ රජයට එරෙහිව දැඩි නියෝගයක් නිකුත් කළේය. චෝදනා නිෂ්ප්‍රභ කිරීමෙන් පසු සසිකුමාර් සහ නාරායනන් යන විද්‍යාඥයන් දෙදෙනාට වෙනත් ප්‍රදේශයකට මාරුකර යවා ඉන්දීය රුපියල් කෝටිය බැගින් වන්දි ගෙවන ලෙස කේරළ රජයට නියෝග කෙරුණි. 2019 වසරේදී නාරායනන් හට ඉන්දීය රජය විසින් පද්ම භූෂණ සම්මානය පිරිනමන ලදී. තමාට එරෙහිව ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණය පිටුපස සිටින අය හෙලිදරව් කර තම නඩුවේ යුක්තිය ලබා දෙන මෙන් නාරායනන් ඉල්ලා සිටියේ මෙම අසත්‍ය චෝදනා එල්ල කළ නඩුව තරුණයන් 'අධෛර්යමත්' කරවන බව පෙන්වා දෙමිනි. මෙම නඩු විභාගය පසුගිය 2021 වසර තෙක් විභාගයට ගැණුනි.

2018 වසරේ ඔක්තෝබර් මාසයේදී ප්‍රකාශයට පත් කළ පසු ප්‍රධාන රූගත කිරීම් ඉන්දියාව, ජෝර්ජියාව, රුසියාව, සර්බියාව සහ ප්‍රංශය ඇතුළු රටවල් කිහිපයකදි සිදු විය. Rocketry:The Nambi Effect චිත්‍රපටය දෙමළ, හින්දි සහ ඉංග්‍රීසි යන භාෂාවලින් රූගත කර ඇති අතර තෙළිඟු, මලයාලම් සහ කන්නඩ යන භාෂාවලින් හඬකැවූ අනුවාද නිකුත් කිරීමට නියමිතය. පසුගිය මැයි මාසයේදී ප්‍රංශයේ 2022 කාන් චිත්‍රපට උලෙළේ මෙහි මංගල දර්ශනය පැවැති අතර එම අවස්ථාවට මාධවන් සහ නාරායනන් යන දෙදෙනාම සහභාගි වූහ. Rocketry:The Nambi Effect හෙට (ජූලි 01) සිට ලොව පුරා තිරගත කිරීමට සැලසුම් කර ඇත .

Rocketry:The Nambi Effect චිත්‍රපටයේ මාධවන් සමඟ නම්බි නාරායනන්ගේ බිරිය මීනා නාරායනන්ගේ චරිතයට පණ පොවන්නී දෙමළ සහ තෙළිඟු සිනමාවන්හි ජනප්‍රිය නිළි සිම්රන්ය. මෙම චිත්‍රපටයේ දී ඇය මාධවන් හමුවන්නේ දශක දෙකකට පසුවය. ඔවුන් දෙදෙනා මීට පෙර එකට රිදී තිරයේ දැකගත හැකි වූයේ 2002 වසරේ තිරගත වූ මනිරත්නම් අධ්‍යක්ෂණය කළ Kannathil Muthamittal  චිත්‍රපටයෙනි. රංජිත් කපූර්, රවී රාඝවේන්ද්‍ර, මීෂා ගෝෂාල්, කාර්තික් කුමාර් ඇතුළු පිරිසකගේ රංගනය සමඟ රිදී තිරයේ තවත් සුවිශේෂ තරු ද්විත්වයක් මෙම චිත්‍රපටය සමඟ සම්බන්ධවී සිටිති. ඒ නම් බොලිවුඩයේ කිං ඛාන් ශාරුක් සහ කොලිවුඩයේ ජනප්‍රිය නළු සූරියා. ඔවුහු තම සැබෑ නමින් ආරාධිත රංගනයන් වෙනුවෙන් Rocketry:The Nambi Effect චිත්‍රපටය සමඟ එක් වෙති.