වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
සූර වීර කැස්බෑවෝ යළි පැමිණෙති

නින්ජා (Ninja) යන නම ඇසූ සැණින් බොහෝ දෙනෙකුගේ සිහියට නැෙ`ගන්නේ සටන් කලාවේ අති දක්ෂ ඔත්තු බැලීම සහ ඝාතන සිදුකරන පුද්ගලයකු ලෙසින්. ඒ වගේම ටීනේජ් මියුටන්ට් නින්ජා ටර්ටල්ස් කණ්ඩායමත් අමතක නොවේ. ඉතිහාස කතා අනුව මුල්වරට 12 වෙනි ශතවර්ෂයේ නින්ජාවරුන් පිළිබඳ පුවත් සැල වී තිබෙන්නේ ජපානයේ ඉගා ප්‍රාන්තයේදීය. සටන් කලාවේ ප්‍රවීණ නින්ජාවරු රහස් ඔත්තුකරුවන් මෙන්ම කුලී ඝාතකයන් ලෙසද කටයුතු කරති. ඔවුන් භාවිත කරන්නා වූ ආත්මාරක්ෂක සටන් කලාව හැඳින්වෙන්නේ නින්ජිට්සු නමින්.
නින්ජා යන නාම සමඟ ජනප්‍රිය වූ ටීනේජ් මියුටන්ට් නින්ජා ටර්ටල්ස් මේ වන විට ලොව පුරා කුඩා දරුවන්ගේ මෙන්ම නව යොවුන් ප්‍රජාවගේ ද හදවත් දිනා ගැනීමට සමත් වී සිටී. 1984 වසරේදී මෙම චරිත මිරාජ් ස්ටූඩියෝ විසින් ප්‍රකාශයට පත් කරන ලද චිත්‍ර කතා පොත්වලින් බිහිවූ අතර කාටූන් මාලා, චිත්‍රපටි, වීඩියෝ ක්‍රීඩා, සෙල්ලම් භාණ්ඩ ලෙසද ලොව පුරා ජනප්‍රිය විය. අසූව දශකයේ අග භාගයේ හා අනූව දශක මුල් භාගයේ දී ජනප්‍රියත්වයේ ඉහළම මට්ටමේ සිටි (TMNT)ලෙස කෙටියෙන් හඳුන්වන ටීනේජ් මියුටන්ට් නින්ජා ටර්ටල්ස් හෙවත් අපි රජ ඉබ්බෝ 90 දශකයේ සිටම මෙරට කුඩා දරුවන් අතර ජනපි‍්‍රය චරිත හතරකි. අපි රජ ඉබ්බෝ යනුවෙන් ලංකාවේ හැඳින්වූවත් මුල් නිර්මාණයේ මොවුන් හඳුන්වා තිබෙන්නේ කැස්බෑවන් ලෙසිනි. විකෘතියකට ලක් වී මානව ලක්ෂණ ද හිමි වූ මෙම යොවුන් කැස්බෑවන් නම් කර තිබෙන්නේ 16 වැනි ශතවර්ෂයේ යුරෝපයේ පුනරුද සමයේ සිටි කලාකරුවන් සිව්දෙනෙකුගේ නමින්. ඔවුන් නම් ලියනාඩෝ, රෆායෙල්, ඩොනටෙලෝ හා මයිකල් ඇන්ජලෝ ය. ලොව පුරා අකර්ෂණය දිනූ මෙම කැස්බෑ චරිත නිර්මාණය කරන ලද්දේ කෙවින් ඊස්ට්මන් සහ පීටර් ලෙයාර්ඞ් විසිනි.
ටීනේජ් මියුටන්ට් නින්ජා ටර්ටල්ස් නම් ප්‍රබන්ධ වීර කැස්බෑ කණ්ඩායම මේ වන විට චිත්‍රපට හතකට පෙනී සිට ඇත. පළමු චිත්‍රපටය 1990 දී නිකුත් කරන ලද අතර ටීනේජ් මියුටන්ට් නින්ජා ටර්ටල්ස් නම් විය. පිළිවෙළින් ටීනේජ් මියුටන්ට් නින්ජා ටර්ටල්ස් II : ද සීක්රට් ඔෆ් ද ඕස් (1991), ටීනේජ් මියුටන්ට් නින්ජා ටර්ටල්ස් III (1993), ටීඑම්එන්ටී (2007) සහ බැට් මෑන් ඩි. ටීනේජ් මියුටන්ට් නින්ජා ටර්ටල්ස් (2019) සමඟ මෙම යොවුන් කැස්බෑවෝ රිදී තිරයට පැමිණියහ.
තවත් අභියෝගයක් හමුවේ මෙම වීර කැස්බෑවන් සිව්දෙනා නැවතත් රිදී තිරයට පැමිණ සිටී. ඒ ඇන්ට් වෝඞ් සහ ඇන්ඩි සුරියානෝ අධ්‍යක්ෂණය කළ Rise of the Teenage Mutant
Ninja Turtles (The Movie) සමඟිනි. එය Rise of the Teenage Mutant Ninja Turtlesසජීවකරණ රූපවාහිනී කතා මාලාව ඇසුරෙන් නිර්මාණය වූ ඇමරිකානු සජීවිකරණ හාස්‍යමය සුපිරි වීර චිත්‍රපටයකි. පසුගිය අගෝස්තු 05 වැනිදා සිට තිරගත කෙරෙන ඒ වෙනුවෙන් හඬ දායකත්වය ලබා දී තිබෙන්නේ බෙන් සැච්වර්ට්ස්, ඔමාර් බෙන්සන් මිලර්, බ්‍රැන්ඩන් මයිකල් ස්මිත්, ජෝෂ් බ්‍රෙනර්, කැට් ග්රැහැම්, එරික් බෞසා සහ හේලි ජොඑල් ඔස්මෙත් ඇතුළු පිරිසකි.
මෙවර කතාවට අනුව අනාගතයේ සිට කේසි ජෝන්ස් නම් අද්භූත ආගන්තුකයකු පැමිණෙන්නේ ලියෝ ඇතුළු ඔහුගේ සහෝදරයන් හට ඉදිරියේදී සිදුවීමට නියමිත ආක්‍රමණයක් ගැන අනතුරු ඇඟවීමටය. මන්දාකිනියේ ඇති භයානකම බලවේගය වන ක්රැන්ග්ගේ මෙහෙයවීමෙන් සිදු වන පිටසක්වළ ජීවීන්ගේ ආක්‍රමණයෙන් ලෝකය බේරා ගැනීමේ සටන මෙහෙයවීම ලියෝ ඇතුළු කැස්බෑ සහෝදරයන් හට සිදු වේ.