ගණිතයෙන් කළ අපරාධ

COBRA
සැප්තැම්බර් 8, 2022

තුර්කි අන්තර්ජාතික පොලිස් නිලධාරියෙකු වන අස්ලාන් යිල්මාස් හට ඔඩීසා ප්‍රධාන අමාත්‍යවරයාගේ සහ ස්කොට්ලන්ත රජ කුමරුගේ ඝාතන විමර්ශනය කිරීමේ මෙහෙයුම පැවරී ඇත. එහිදී ඔහු තරුණ අපරාධ විද්‍යාඥයෙකු වන ජුඩිත් සැම්සන් සමඟ එක්ව සොයා ගනු ලබන්නේ කිසිදු දෝෂයක් රහිතව මෙම ඝාතන ක්‍රියාත්මක කිරීම පිටුපස ප්‍රසිද්ධ කෝබ්‍රා හෙවත් කදීර් සිටින බවයි. ඔවුන් දෙදෙනාට කෝබ්‍රාගේ ක්‍රියා පටිපාටිය පිළිබඳ සාක්ෂි ලැබෙන අතර එහිදී ඔවුන් සොයා ගන්නේ කෝබ්‍රා ගණිත කුසලතා යොදා ගනිමින් ඔහුගේ ඝාතන ඉලක්ක සිදු කරන බවයි. කෝබ්‍රා හට ඔහුගේ මීළඟ ඝාතනය ඔහුගේ උපදේශකයා සහ කොල්කටාහි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන නෙල්ලයප්පන් වෙතින් ලැබේ. ඝාතන ඉලක්කය රුසියාවේ ආරක්ෂක අමාත්‍ය දිමිත්‍රි යුගොල්සාව්ය. දැඩි ආරක්ෂාව නොතකා ඔහුව සාර්ථකව ඝාතනය කර පලා යාමට කෝබ්‍රා සමත් වේ.

මාධියාසගන් හෙවත් මාධි ගණිත මහාචාර්යවරයෙකි. මාධි බොහෝ කලකට පෙර අහිමි වූ කදීර්ගේ නිවුන් සහෝදරයා මෙන්ම කදීර්ට අභියෝග කළ පුද්ගලයා ද වේ. මාධිගේ පෙම්වතිය නාගරික පොලිස් කොමසාරිස්වරයාගේ දියණිය ජෙනිෆර් රොසාරියෝගේ මරණයට වගකිව යුතු කදීර් කෙරෙහි මාධි වෛරයක් තබාගෙන සිටියේය. සැබැවින්ම මාධිගේ පෙම්වතියගේ ඝාතකයා කදීර්ද? දරුණු ඝාතන පෙළක මහ මොළකරු කදීර් අල්ලා ගැනීමේ මෙහෙයුමේදී නිවුන් සොයුරා මාධි කුමක් කරනු ඇතිද? දැන ගත හැකි වන්නේ පසුගිය අගෝස්තු 31 වැනිදා සිට තිරගත කෙරෙන ඛ්ධඡපච (කෝබ්‍රා ) චිත්‍රපටයෙනි.

කෝබ්‍රා යනු දෙමළ ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයකි. ආර්. අජේ ඥානමුතු අධ්‍යක්ෂණය කළ එහි මාධි සහ කදීර් ලෙස ද්විත්ව චරිත නිරූපණය කරනු ලබන්නේ ජනප්‍රිය නළු වික්‍රම් විසිනි. වික්‍රම් සමඟ ශ්‍රීනිධි ෂෙට්ටි, කේඑස් රවිකුමාර්, රෝෂන් මැතිව් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. පොලිස් නිලධාරි අස්ලාන් යිල්මාස්ගේ චරිතයට පණ පෙවන්නේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ඉර්ෆාන් පතන්ය. මෙය ක්‍රිකට් පිටියේ පලහර පෑ ඔහුගේ කුලුඳුල් සිනමා රංගනයද වේ. කෝබ්‍රා චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය ඒ.ආර් රහ්මාන් ගෙනි.

මෙම චිත්‍රපටය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ වික්‍රම් 58 යන තාවකාලික මාතෘකාව යටතේ 2019 මැයි මාසයේදීය. රූගත කිරීම් 2019 ඔක්තෝබර් මාසයේදී ආරම්භ වුවත් කොරෝනා වසංගතයේ බලපෑම සංචාරක සීමා කිරීම් සහ වික්‍රම්ගේ අනෙකුත් චිත්‍රපට හේතුවෙන් චිත්‍රපටයේ වැඩ කටයුතු අවසන් කිරීමට වසර තුනකට ආසන්න කාලයක් ගත විය. චිත්‍රපටයේ රූගත කිරීම් චෙන්නායි, කේරළය, කල්කටා සහ රුසියාවේ දි සිදු කෙරුණි.