වර්ෂ 2023 ක්වූ September 22 වැනිදා Friday
ඇදැහිය නොහැකි සත්‍ය කතාවක්

ඒ 1967 වසරයි. ඇමෙරිකානු - වියට්නාම යුද්ධය තදින්ම ක්‍රියාත්මක වූ කාලයයි. දැනට වෙළෙඳ නාවිකයකු ලෙස සේවය කරන ජෝන් ඩොනොහු 26 හැවිරිදි තරුණයෙකි. එපමණක් නොව ඔහු එක්සත් ජනපද මැරීන් බළකායේ හිටපු භටයෙකි. එක් රාත්‍රියක නිව්යෝර්ක් නගරයේ අවන්හලක මීවිත රස විඳීමින් සිටින ජෝන් එක්තරා අපූරු අභියෝගයකට ලක් වේ. බොහෝ ඇමෙරිකානුවන් අප්‍රසාදය පළ කළ ඇමෙරිකානු - වියට්නාම යුද්ධය නිසා ඇමෙරිකානුවන්ට සිය පවුලේ සාමාජිකයන් සහ මිතුරන් අහිමි විය. ජෝන් සමඟ අවන්හලේ සිටි මිතුරකු යෝජනා කළේ ඔවුන්ගෙන් එක අයෙක් වියට්නාමයට හොරෙන් රිංගා දැනටත් සටන් බිමේ සිටින සිය මිතුරන් සොයාගෙන ගොස් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ පණිවිඩත්, හාස්‍යයත්, ඔවුන්ගේ ප්‍රියතම ඇමෙරිකානු බීරත් ලබා දිය යුතු බවයි. අභියෝගය බාරගන්නා ජෝන් සිය මිතුරන් හමුවීමට සටන් බිමට යන අතර මතභේදාත්මක යුද්ධයේ යථාර්ථයට මුහුණ දෙයි.
ජෝනා මොලී සහ ජෝන් චිකී දොනහියු විසින් ස්වයං චරිතාපදානයක් ලෙසින් රචිත එම නමින්ම ඇති කෘතිය මත පදනම්ව පීටර් ෆෙරල් විසින් නිර්මාණය කෙරුණු ඇමරිකානු - අපදාන - ක්‍රියාදාම හාස්‍යෝත්පාදක චිත්‍රපටයක් වන ‘The Greatest Beer Run
Ever’ චිත්‍රපටය ඩේවිඩ් එලිසන්, ඩැනා ගෝල්ඩ්බර්ග්, ඩොන් ග්රේන්ගර්, ඇන්ඩෲ මස්කැටෝ සහ ජේක් මයර්ස් යන අයගේ නිෂ්පාදනයකි. සැප්තැම්බර් මස 30 වැනි දින සිට ලොව පුරා තිරගත වීමට නියමිත මෙම චිත්‍රපටය ඇපල් ටීවී+ බෙදාහැරීමකි. චිත්‍රපටයේ ඇති එක්තරා විශේෂත්වයක් වන්නේ මෙහි ප්‍රධාන 'ජෝන්' ගේ චරිතයටත් තවත් වැදගත් චරිත දෙකක් වන ආතර් කෝට්ස් සහ 'කර්නල්' ගේ චරිතයන්ටත්, ප්‍රවීණ නළුවන් තිදෙනකු යොදා ගැනීමයි. මෙලෙස ජෝන් ගේ චරිතයට සැක් එෆ්රන් පණ පොවන අතර ආතර් ගේ චරිතයට රසල් ක්‍රෝව් ද, කර්නල් ගේ චරිතයට බිල් මුරේ දේ පණ පොවති.
ඇදැහිය නොහැකි සත්‍ය කතාවක් මත පදනම්ව නිර්මාණය වී ඇති, "The Greatest Beer Run Ever" චිත්‍රපටය මිත්‍රත්වය, පක්ෂපාතීත්වය සහ පරිත්‍යාගය පිළිබඳ හෘදයාංගම කතාවක් බව රෝටන් ටොමැටෝස් වෙබ් අඩවියේ විස්තර කෙරේ. එම අඩවියේ මේ වන විට ලැබී ඇති විචාරයන්ට අනුව විචාරකයන්ගෙන් සියයට 30 ක් මෙම චිත්‍රපටය අනුමත කර ඇති අතර, දර්ශකයේ සාමාන්‍ය අගය 4.8/10 ක් වේ. කෙසේ වෙතත් මෙටාක්රටික් වෙබ් අඩවිය පවසන්නේ මෙය 'එතරම් ධනාත්මක විචාර' ලැබූ චිත්‍රපටයක් නොවන බවයි.