මනි රත්නම්ගේ සිහින ව්‍යාපෘතිය

Ponniyin Selvan - 1
සැප්තැම්බර් 29, 2022

 

පොන්නියින් සෙල්වන් බී. ජෙයමෝහන් සමඟ සම-රචනා කළ මනි රත්නම් විසින් අධ්‍යක්ෂණය කරන ලද දෙමළ ප්‍රබන්ධ වීර කාව්‍ය ඓතිහාසික ක්‍රියාදාම චිත්‍රපටයකි. එය කල්කි ක්‍රිෂ්ණමූර්තිගේ ජනප්‍රිය නවකතාව වන  Ponniyin Selvan  (1950 - 1954) පාදක කරගත් සිනමා නිර්මාණ දෙකක පළමුවැන්න වේ. පොන්නියින් සෙල්වන් නවකතාව ශ්‍රී ලංකාව සමඟ බැඳී පවතින්නකි. එය රචනා කිරීම වෙනුවෙන් තොරතුරු රැස් කිරීමට කල්කි තුන් වතාවක් ලංකාවට පැමිණි බව සඳහන් වේ.

පොන්නියින් සෙල්වන් චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 500 ක අයවැයක් සහිත තනි චිත්‍රපටයක් ලෙස නිර්මාණය කිරීමට අදහස් කළ නමුත් පසුව එය කොටස් දෙකකට බෙදා ඇත. හෙට (සැප්තැම්බර් 30) සිට ලොවපුරා රිදී තිරයේ දිග හැරෙන  Ponniyin Selvan  චිත්‍රපටය මෙරට ඊ.ඒ.පී චිත්‍රපට මණ්ඩලයේ සැවෝයි ඇතුªළු සිනමාශාලා රැසක සමගාමීව තිරගතවීම ඇරැඹෙයි. මෙය ලයිකා ප්‍රඩක්ෂන්ස් වෙනුවෙන් සුභාෂ්කරන්ගේ ඉදිරිපත් කිරීමකි.  Ponniyin Selvan  පළමු කොටස ගෙන එන්නේ දකුණු ඉන්දියාවේ බලවත්ම අධිරාජ්‍යයකු බවට පත් වූ අරුල්මොසි වර්මන්ගේ මුල් කාලයේ කතාවයි. අරුල්මොෂි වර්මන් යනු ක්‍රි.ව 993 දී අනුරාධපුරය ආක්‍රමණය කළ රාජ රාජ නම් චෝල අධිරාජ්‍යයාය.

පණ්ඩුකාභය රජුගේ රාජ්‍යත්වයෙන් ඇරඹි අනුරාධපුර රාජධානියට පසුකාලීනව චෝළ සහ පාණ්ඩ්‍ය දේශයන්ගේ සතුරු ආක්‍රමණවලට මුහුණ දීමට සිදු විය. වසර 1400කට අධික කාලයක් පුරා පැවති අනුරාධපුර රාජධානියේ අවසානය සිදු වූයේ චෝළ ආක්‍රමණයකිනි. එහිදී රාජ රාජ නම් චෝළ අධිරාජ්‍යා අනුරාධපුර රාජධානිය ආක්‍රමණය කරමින් රාජධානියේ අවසන් පාලකයා වුණු 5 වැනි මිහිඳු රජු පරාජයට පත් කළේය.

චෝළ රජ පෙළපතේ ධ්ධ් වැනි පරන්තක (සුන්දර චෝල) හට ආදිත්‍ය කරිකාලන්, අරුල්මොෂි වර්මන් නම් පුතුන් දෙදෙනෙකු සහ කුන්දවී නම් දියණියක විය. සුන්දර චෝල අධිරාජ්‍යයා රෝගාතුර වන විට ආදිත්‍ය කරිකාලන් උතුරු අණදෙන නිලධාරියා වූ අතර ඔහු ජීවත් වූයේ කන්චි හි ය. ඒ වන විට බාල පුත් අරුල්මොශි වර්මන් ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ සටනක යෙදී සිටියේය. කතාව දිග හැරෙන්නේ සුන්දර චෝළට සහ ඔහුගේ පුතුන්ට එරෙහිව කුමන්ත්‍රණයක් ඇති බව සැලවීමෙන් පසු අරුල්මොෂි වර්මන් නැවත ගෙන්වා ගැනීමට ඔහුගේ සොහොයුරිය කුන්දවී විසින් දරන ලද උත්සාහයන් සමඟිනි. ඒ වෙනුවෙන් ලංකාවට පැමිණෙන්නේ වල්ලවරායන් වන්දියතේවන් නම් රණශූරයාය.

නවකතාව ජනප්‍රිය වූ දා සිට දකුණු ඉන්දීය සිනමාවේ චිත්‍රපට නිෂ්පාදකයන් කිහිප දෙනෙකු විසින් නවකතාව වෘත්තාන්ත චිත්‍රපටයකට නැඟීමට අදහස් කළ නමුත් මූල්‍යමය බාධාවන් හේතුවෙන් එය බොහෝ දුරට ක්‍රියාත්මක නොවීය. 1950 දශකයේ අගභාගයේදී එම්.ජී. රාමචන්ද්‍රන් නවකතාවේ චිත්‍රපට අයිතිය මිල දී ගත් අතර අනුවර්තනය, නිෂ්පාදනය, අධ්‍යක්ෂණය සහ රංගනයෙන්ද දායක වීමට තීරණය කළේය. එහි සෙසු නළු නිළි පිරිවර වූයේ වෛජයන්තිමාලා, ජෙමිනි ගනේෂන්, පද්මිණි, සාවිත්‍රි, බී. සරෝජා දේවි ඇතුළු පිරිසකි. රූගත කිරීම් ආරම්භ කිරීමට පෙර රාමචන්ද්‍රන් අනතුරකට ලක් වී සුව වීමට මාස හයකට වැඩි කාලයක් ගත විය. ඔහු වසර හතරකට පසු නවකතාවේ චිත්‍රපට අයිතිය අලුත් කර ගත්තද චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කිරීමට නොහැකි විය.

දශක ගණනාවකට පසු 1994 වසරේදී ෆිල්ම්ෆෙයාර් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී මනි රත්නම් පවසා සිටියේ පොන්නියින් සෙල්වන් තම 'සිහින ව්‍යාපෘතියක්' බවයි. රාමචන්ද්‍රන් අතින් ගිලිහී ගිය පොන්නියින් සෙල්වන් තමන් සතු කර ගැනීමට මනි රත්නම් හට හැකි වූයේ දශක කිහිපයක කැපකිරීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. 2010 අගභාගයේදී ඔහු පොන්නියින් සෙල්වන් චිත්‍රපටයේ තිර රචනය අවසන් කිරීමට ලේඛක ජෙයමෝහන් සමඟ එක්ව කටයුතු කළේය. නමුත් එය අසාර්ථක වූයෙන් නැවතත් අනුවර්තන කටයුතු ආරම්භ කෙරුණේ එයින් වසර නවයකට පසුවය. නළු නිළියන්ගේ සහ කාර්ය මණ්ඩලයේ වෙනස්කම් රැසකින් පසුව කොරෝනා වසංගතය අතරතුර නිෂ්පාදනය දෙවරක් නතර කළ ද 2019 වසරේ දෙසැම්බර් මැද භාගයේදී ආරම්භ කළ රූගත කිරීම් 2021 සැප්තැම්බර් වන විට අවසන් කිරීමට නිර්මාණ කණ්ඩායම සමත් විය.

පොන්නියින් සෙල්වන් චිත්‍රපටය ඉන්දීය සිනමාවේ ජනප්‍රියතම තරු රැසකගේ රංගන දායකත්වය ලද නිර්මාණයකි. සුන්දර චෝලගේ රාජ්‍ය සමයේ ඔටුන්න හිමි කුමරු සහ උතුරු හමුදා අණදෙන නිලධාරියා වූ අදිත කරිකාලන්ගේ චරිතයට පණ පොවන්නේ වික්‍රම්ය. අදිත කරිකාලන් සුන්දර චෝලගේ වැඩිමහල් පුත්‍රයා වේ. ඓශ්වර්යා රායි බච්චන් නන්දිනී (පාසුවෝර් රැජනක් සහ පෙරිය පාසුවෙත්තරායාර්ගේ බිරිය සහ අදිත කරිකාලන්ගේ පෙම්වතිය) මෙන්ම මන්දාකිණි දේවි (නන්දිනීගේ බිහිරි සහ ගොළු මව) ලෙස ද්විත්ව භූමිකා නිරූපණය කරන්නීය. නන්දිනි දුටු දුටුවන් වශීකරවන රූප සම්පත්තියක් සතු කාන්තාවක වූ බව කියවේ. අරුල්මෝෂි වර්මන් හෙවත් පොන්නයින් සෙල්වන්ගේ චරිතයට පණ පොවනු ලබන්නේ ජයම් රවී විසිනි. අරුල්මෝෂි වර්මන් සුන්දර චෝලගේ බාල පුත්‍රයා වේ. වානර් වංශයේ නිර්භීත, වික්‍රමාන්විත රණශූර වල්ලවරායන් වන්තියතේවන් හෙවත් වන්තියතේවන් කුමාරයාගේ චරිතයට පණ පොවන්නේ කාර්තිය. සුන්දර චෝල අධිරාජ්‍යයාගේ දියණිය හෙවත් චෝල කුමරිය මෙන්ම වන්තියතේවන්ගේ පෙම්වතිය කුන්දවීගේ චරිතය නිරූපණය කරනු ලබන්නේ ත්‍රීෂා විසිනි. පොන්නියින් සෙල්වන් චිත්‍රපටයේ චෝල අධිරාජ්‍යයේ අධිරාජ්‍යයා වූ සුන්දර චෝල හෙවත් පරන්තක චෝළ ධ්ධ් (ආදිත කරිකාලන්, කුන්දවී, අරුල්මෝෂි වර්මන්ගේ පියා) ලෙස පණ පොවන්නේ ප්‍රකාශ් රාජ්ය. මේ සමඟ අයිශ්වර්යා ලක්ෂ්මි, සෝභිතා ධුලිපාලා, ප්‍රභූ, ආර්. සරත්කුමාර්, වික්‍රම් ප්‍රභූ, ජයරාම්, රහ්මාන්, අශ්වින් කකුමානු, විජයකුමාර්, විද්‍යා සුබ්‍රමනියන්, ජයචිත්‍රා ඇතුළු පිරිසක් ද රංගනයෙන් දායක වී සිටිති. වික්‍රම්, ජයම් රවී, කාර්ති ඇතුළු කිහිප දෙනෙකු හට ඔවුන්ගේ චරිත සඳහා කොණ්ඩය දිගු කිරීමට සිදු විය.

මනිරත්නම් පළමුවරට පොන්නියින් සෙල්වන් චිත්‍රපටය ආරම්භ කළ අවස්ථාවේදී තෝරා ගත් නළු නිළි පිරිසට විජේ, මහේෂ් බාබු, ආර්යා, සත්‍යරාජ්, ජ්‍යෝතිකා, අනුෂ්කා ෂෙට්ටි,අමලා පෝල් සහ කීර්ති සුරේෂ්ද ඇතුළත් විය. ප්‍රියංකා චොප්රා සමඟ සාකච්ඡාවක්ද පැවැත් වූ බව ප්‍රකට විය. එම අවස්ථාවේදී රූගත කිරීම් ආරම්භ කිරීමට පෙර චිත්‍රපටය අත්හිටුවන ලද්දේ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙනි. තමිල්නාඩුවේ කෝවිල් පරිශ්‍ර තුළ දර්ශන රූගත කිරීමට ඉඩ දීම ප්‍රතික්ෂේප කළ හෙයින් අනුරූ දර්ශනතල නිෂ්පාදනය සඳහා අධික වියදමක් දැරීමට සිදුවීම එයට හේතුවිය.

2019 වසර ආරම්භයේ රත්නම් පොන්නියින් සෙල්වන් චිත්‍රපටයේ කටයුතු නැවත ආරම්භ කිරීමට තීරණය කළේ ලයිකා ප්‍රඩක්ෂන්ස් චිත්‍රපටයට අරමුදල් සැපයීමට එකඟ වීමෙන් පසුවය. ඒ වන විට වික්‍රම්, විජේ සේතුපති සහ ජයම් රවී ප්‍රධාන චරිත නිරූපණය කිරීමට තීරණය කර තිබූ අතර සිලම්බරාසන්, අමිතාබ් බච්චන් ද රංගන පිරිවරට ඇතුළත් වූහ. රජිනිකාන්ත්ට පෙරිය පාසුවෙත්තරායාර් චරිතය ආරාධිත චරිතයකින් නිරූපණය කිරීමට අවශ්‍ය වූ නමුත් රත්නම් එය ගෞරව පූර්වකව ප්‍රතික්ෂේප කළේ එයින් ඔහුගේ රසිකයන් කලබලයට පත්වනු ඇතැයි සිතූ හෙයිනි. පසුව එම භූමිකාව සරත්කුමාර්ට හිමි විය.

පොන්නියින් සෙල්වන් චිත්‍රපටයේ ප්‍රධාන රූගත කිරීම් 2019 වසරේදී ආරම්භ වූයේ තායිලන්තයේදී ය. ශ්‍රී ලංකාවේදී ද මෙහි දර්ශන රූගත කිරීමට නියමිතව තිබුණත් කොවිඩ් -19 වසංගතය හේතුවෙන් ජාත්‍යන්තර සංචාර සීමා පැනවීම සමඟ එම කොටස් ඉන්දියාවේදී රූගත කිරීමට මනි රත්නම් තීරණය කළේය. ඉන්දියාවේ චෙන්නායි සහ හයිද්‍රාබාද් ඇතුළු ප්‍රදේශ රැසකදි රූගත කිරීම් සිදු කෙරුණි. කාර්ති හයිද්‍රාබාද් හි රූගත කිරීම් අතරතුර අසු පිටින් වැටී අනතුරකට මුහුණ දුන් බව ද වාර්තා විය. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කර තිබෙන්නේ සම්මානනීය සංගීතඥ ඒ.ආර්. රහ්මාන් විසිනි. මේ වෙනුවෙන් හින්දි, තෙළිඟු, මලයාලම් සහ කන්නඩ යන භාෂාවලින් ගීත රචනා කර ඇත.

දැඩි බාධක හමුවේ දශක ගණනක කැප කිරීම අවසානයේ මනි රත්නම් නිර්මාණය කළ පොන්නියින් සෙල්වන් චිත්‍රපටයට නඩුහබද අඩු නොවීය. රූගත කිරීම් අතරතුර දර්ශන තලයේදී අශ්වයෙකු මිය යාම හේතුවෙන් ඉන්දියාවේ සතුන් සුරැකීමේ ආයතනයක් විසින් මනි රත්නම්ට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර නඩු පවරන ලදී. අශ්වයා මිය යාමට හේතුව පැය ගණනක් දර්ශනතලයේ සිටි බැවින් වෙහෙසට පත් වී විජලනය වීමෙන් බව පැමිණිල්ලේ සඳහන් කර ඇත. එම අශ්වයාගේ මරණය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ද පැවැත්විණි. පැමිණිලිකාර සතුන් සුරැකීමේ ආයතනය පවසා සිටියේ, පරිගණක තාක්ෂණය දියුණු යුගයක දර්ශනතලයකදී වෙහෙසට පත් වූ අශ්වයන් මිය යන තෙක් යුද වැදීම සඳහා බල කිරීම වෙනුවෙන් නිදහසට කරුණක් නැත යන්නයි.