සත්‍ය සිදුවීමකින් නිම වූ හද සසල කළ චිත්‍රපටයක්

Midnight Express
සැප්තැම්බර් 29, 2022

1978 අග භාගයේ කොළඹ රීගල් සිනමා ශාලාවේ හරි අපූරු හොලිවුඩ් චිත්‍රපටයක් ප්‍රදර්ශනය වුණි. ඒ, ඇමරිකානු යොවුන් තරුණයෙක් නිවාඩුවකට, තම පෙම්වතිය සමඟ තුර්කියට පැමිණ යළි ඇමරිකාව බලා පිටත් වන විට ඔහු හෂිෂ් නම් මත් ද්‍රව්‍ය කැබලි වලට කපා, ගම් ටේප් ආධාරයෙන් තම සිරුර වටා තබා අලවාගමින් ඉන් පසු ඇඳුම් ඇඳ, කෝට් එකක් හා හිම කබායකට සමාන තවත් කෝට් එකක් දමා ගෙන තුර්කි ගුවන්තොටුපළින් තමා යන අහස් යානයට නැගීමට යන විටදී ආරක්ෂක භටයන්ට අසුවු පුවතක් ඇසුරෙන් තැනුණු ' මිඩ් නයිට් එක්ස්ප්‍රස් ' නම් වූ චිත්‍රපටය යි.

එකල බොහෝ ප්‍රේක්ෂකයන් සිත් සසල කළ මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇත්තේ සත්‍ය සිදුවීමක් වටා වීම එය ජනප්‍රිය වීමට තවත් හේතුවක් විය .

1947 අප්‍රේල් 3 වන දින ඇමරිකාවේ ඉපදුණු 'බිලි හේස්' ට මෙම සිදුවීමට මුහුණ දෙන්නට සිදු වූයේ 1970 වෙ දීය.

එවකට ඔහුට වයස අවුරුදු 23ක් පමණ වූ අතර, ඔහු ඒවන විටත් ඇමරිකානු විශ්ව විද්‍යාලයක, උසස් අධ්‍යාපනය හදාරන සිසුවෙක් විය.

බිලි හේස් නිවාඩුවක් ගත කිරීමට තුර්කියට ගොස් නැවත ඇමරිකාවට එන අතරේ රාත්තල් 4 ක (එකල කිලෝග්‍රෑම් භාවිතයේ නොතිබුණි) 'හෂිෂ්' මත් ද්‍රව්‍ය සඟවා ගෙන අහස් යානයට නගින්නට යන විට තුර්කි ගුවන් තොටුපළේදී හසුවිය. ඒ හරියටම 1970 ඔක්තෝබර් 7 වන දිනයේය. තුර්කි අධිකරණයෙන් ඔහුව වරදකරු කරමින් අවුරුදු 4යි මාස දෙකකට තුර්කි සිර ගෙදරට යැවුවේය. ඔහුව නිදහස් කිරීමට සති දෙකක් පමණ තිබියදී , තුර්කියේ, මත් ද්‍රව්‍ය භාවිත කරන්නන්, ජවාරම් කරන්නන් හා පිටරට සිට ගෙනෙන හෝ රැගෙන යන අයගේ නීතිය තව තවත් තද කළ බැව් පෙනේ. මේ හේතුවෙන් නිදහස ලබන්නට ඔන්න, මෙන්න කියා තිබූ ⁣බිලි හේස්ට ජීවිතාන්තය දක්වා සිර ගත කරන ලෙස දඬුවම දික් කළ අතර, ඔහුව තුර්කියේ, සුල්තානාමට් සිර ගෙදරට යැවීය. එහි එක් දිනයක් පමණක් සිටි බිලි හේස්ව ඉස්තාන්බුල් හි සැග්මල්සිලර් සිර කඳවුරට මාරු කර යැවීය. එහි අවුරුදු 2කක් පමණ සිටින විට, එහිදී අනෙක් සිරකරුවන් හා ජේලර්වරුන් සමඟ ඇති කර ගත් ගැටුමක් නිසා ඔහුව බාකිර්කෝයි මනෝචිකිත්සක රෝහලට මාරු කර යැවීය.

මේ අතර ඇමරිකා එක්සත් ජනපදය තුර්කි රජයට දන්වා සිටියේ, ඇමරිකානුවන් තුර්කියේ සිර ගෙවල්වල සිරගත කර තිබේ නම් ඔවුන්ව ඇමරිකානු බන්ධනාගාරවල⁣ට භාර දෙන ලෙසටය. එලෙසම ඒ අනුව ඔවුන් තුර්කි රජයට බල කළේ බිලි හේස්ව තම රටට ,එනම් බිලි හේස්ගේ උපන් රටට බාර දෙන ලෙසටය. එහෙත් තුර්කි විදේශ ඇමැති 'මෙලී එසෙන්බල්' කියා සිටියේ තුර්කි අධිකරණයකින් ජීවිතාන්තය දක්වා සිර ගත කළ බිලි හේස් වැන්නෙක්ව යළි ඔහුගේ රටට භාර දිය නොහැකි බවත්, එසේ සිදුවන්නේ නම් එය මානුෂික පැත්ත ගැන පමණක් සලකා බලා බවය. අන් අතකට ඔවුන් පැවසුවේ බිලී හේස් සිටින මනෝචිකිත්සක රෝහලේ ඔහුගේ ශරිරීකත්වය හා මානසීකත්වය පිරිහි ගොස් ඇති නිසා, එය යථා තත්වයට පත් කරන තුරු ඔහු පිළිබඳව තීරණයක් ගැන්මට නොහැකි බවකි. තවත් අතකට පුද්ගලීක වෛද්‍යවරු පැවසුවේ බිලී සිටින්නේ අධික කම්පනයක් සහිතව හෙයින්, ඔහුව ඉක්මනින් රෝහලෙන් මුදා හරින එක තරමක් අවදානම් සහගත බවය.

1975 ජුලි 11 වන දින, තුර්කියේ ව්‍යවස්ථා අධිකරණය විසින් මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වූ සිරකරුවන්ට දුන් ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම ලිහිල් කරන්නට විය. එය එක්තරා අතකට සමාව දීමක් බඳුය. ඒ සමාව දීම වූයේ ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම, අවුරුදු 30 කට සීමා කිරීමය.එහෙයින් එම සමාව , ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විදින බිලි හේස්ටත් ලැබුණි.ඔහුගේ සිර දඬුවමත් අවුරුදු 30 කට සීමා විය. ඔහුව තුර්කියේ මර්මාරා මුහුදු තීරයේ තිබූ ඉම්රාලි දූපතේ පිහිටී 'ඉම්රාලි සිර කඳවුරට' මාරු කරන ලදි.

එම අතරෙදී තුර්කියේ ඇමරිකානු තානාපති කාර්යාලය, බිලී හේස් වෙනුවෙන් තුර්කි රජයේ බලධාරින් සමඟ සාකච්ඡා කිරීම අත්හැරියේ නැත.එහී ප්‍රතිපලයක් ලෙස තව අවුරුදු 3කින් එනම් 1978 ඔක්තෝබර් මාසය වන විට බිලී හේස්ට නිදහස ලබා දීමට තීරණය ගෙන තිබුණි.

එහෙත් එතෙක් කල් හෝ බිලී හේස්ට සිර ගත වී සිටීමට නොහැකි විය. ඔහු ඉම්රාලි සිර කඳවුරේ සිට්යේ මාස 3 ක පමණ කාලයකි. 1975 ඔක්තෝබර් 2 වන දින ඔහු සිරකඳවුරෙන් පැන ගියේය. ඔහු හබල් ඔරුවකින් 'බන්දිරිමා' නගරයට ගියේය. එතැනින් ඔහුට ග්‍රීසියේ දේශ සීමාවට යා හැකි විය. පසුව ඔහුව ග්‍රීසියේ හමුදාවට අසු වූවද, ඔවුන්ට ඔහුව යළි තුර්කියට භාර දීමට නිත්‍යානුකූල අවසරයක් තිබුණේ නැත. අන් අතකට එලෙස භාරදීමට උවමනා කමක්ද ඔවුනට තිබුණේ නැත. ඔවුන් ඔහුව ග්‍රීසියේ විශාල නගරයක් වූ 'තෙසාලොනෝකි' වලට ගෙන ගොස් එතැනින් ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නගරයට පිටුවහල් කෙරීය. ඒ 1975 ඔක්තෝබර් 20 වන දිනය. ෆ්‍රැන්ක්ෆර්ට් සිටින ඇමරිකානු බලධාරින් ට බිලි හේස් භාර දුන් පසු ඔවුන් ඔහුව කීප දිනක් තබා ගෙන ප්‍රශ්න කර පසුව ඔහුව ඇමරිකාවට , ඔහුගේ මව් බිමට යවන ලදී.

ඇමරිකාවට ගිය පසු බිලී හේස්, ඔහුට වුණු සිදුවීම හා තුර්කියේ සිර ගෙවල්වල ගත කෙරූ ඒ අමිහිරි ජීවිතය, එලෙසම ඔහු සිරගෙදරින් ⁣පැන ආ ඒ ත්‍රාසජනක සිදුවීම් එකතු කර පොතක් ලිවීය.එය ඔහු නම් කළේ 'මිඩ්නයිට් එක්ස්ප්‍රස්' කියාය. එලෙස නම් කිරීමටද ඔහුට හේතුවක් තිබුණි. ඔහු ඉස්තාන්බුල් හී සිරගෙදර සිටින විට, හරියට මහ රෑට ඉස්තාන්බුල් සිට යුරෝපය බලා යන 'මිඩිනයිට් එක්ස්ප්‍රස් ' ශීඝ්‍රගාමි දුම්රිය සිරගේ ඇති පෙදෙස පහු කර ගෙන යන හඬ ඔහුට ඇසෙන්නට විය.අවසානයේදී හැමදාම ඒ හඬ අසන්නට ඔහුගේ සවන සැදී පැහැදී සිටියේය. නිදහසේ දිව යන එම දුම්රිය, හිර මැදිරියේ සිටින ඔහුට නිදහස මොනතරම් ජීවිත වලට වටිනවාද යන්න පසක් කෙරීය. ඔහු තම කෘතියට ' මිඩ්නයිට් එක්ස්ප්‍රස්' යන නම යෙදුවේ එම වේගයෙන් යන දුම්රිය ඔහුගේ සිරවූ ජීවිතයට දැඩිව බලපෑම් ඇති කළ නිසාය.

බිලී හේස් මෙම පොත ලියන්නට එකතු කර ගත්තේ තවත් ජනප්‍රිය ලේඛකයෙකු වූ විලියම් හොෆර් වය. 'වොල්කානෝ', 'බෙට්‍රයෙල්', ෆ්‍රී ෆෝල්, 'නොට් විතවුට් මයි ඩෝටර්' වැනි පොත් රාශියක් ලියූ විලියම් හොෆර්, බිලී හේස් හා එක්ව ලියූ බිලී හේස්ගේ මේ ඛේදවාචක කෘතියක් ලෙස 'මිඩ්නයිට් එක්ස්ප්‍රස්' නමින් පැමිණියේ 1977 වර්ෂයේය. බිලී හේස් අවුරුදු 5ක් ම ඉස්තාන්බුල් හී ගත කළ කටුක, බියකරු ජීවිතයේ සත්‍යයම තොරතුරු ඔහුගේ වචනයෙන්ම පොත ට ඇතුළත් වී තිබුණී. ලෝකයේ දරුණුතම සිර කඳවුරු අතරින් ප්‍රමුඛ පෙළේ සිර ගෙයක් ලෙස සැලකෙන ඉස්තාන්බූල් සිර ගෙය, මිහිපිට අපායක් ලෙසය බිලී හේස් හැඳීන්වූයේ. අවසානයට ඔහු සිටි ඉම්රාලි දූපතේ ඉම්රාලි සිරකඳවුරෙන් ඔහු පැන ආ ඒ ත්‍රාසජනක සත්‍ය කථාන්තරය, බිලී, විස්මිත ලෙස තම පොතට ඇතුළත් කර තිබුණි. 'මිඩ්නයිට් එක්ස්ප්‍රස් ' කෘතිය ලොව වටා අතී සාර්ථක ව අලෙවි වූ පොතක් විය. එම පොත කියවූ ඕස්ට්‍රේලියා ගායකයකු වූ 'ශේන් නිකොලසන්' එම පොතේ කරුණු අලළා ගීත ඇල්බමයක් නිර්මාණය කර එය 'බෑඩ් මැෂින්ස්' කියා නම් කෙරීය.

'මිඩ් නයිට් එක්ස්ප්‍රස් ' චිත්‍රපටය සිනමාවට නැඟීමේ අඩිතාලම වැටුණේ 'ඔලිවර් ස්ටෝන්' නිසාය. 'සීසරේ' නම් 'හොරර්' චිත්‍රපටයකට තිර නාටකය ලියා එය අධ්‍යක්ෂණය කෙරූ ඔලිවර් ස්ටෝන් ඉන්පසු තිරනාටකය ලීවේ මේ 'මිඩ්නයිට් එක්ස්ප්‍රස්' චිත්‍රපටයටය. ඔලිවර් ස්ටෝන් තම තිරනාටකයේදී, පොතේ බොහෝ දේ වෙනස් කළේය.

බිලී හේස් තුර්කියට ගියේ තනිවමය. ඔහු නැවත ඇමරිකාවට ඒම සඳහා තුර්කි ගුවන් තොටුපළට ගියේ තනිවමය. ඔහුව ආරක්ෂක භටයන්ට අසුවුණේ එසේ තනිවම සිටියදීය. එහෙත් චිත්‍රපටයට, ඔලිවර් ස්ටෝන් ලීවේ බිලී හේස් තුර්කියට ගියේ ඔහුගේ පෙම්වතියත් සමඟ කියාය. එලෙසම චිත්‍රපටයේදී බිලී හේස් අසුවන වේලාවේදී, ඔහුගේ පෙම්වතිය ඔහු සමඟ ළඟින් සිටියාය.

චිත්‍රපටයේදී බිලි හේස් මානසීක චිකිත්සා රෝහලේ සිටින විට ඔහු තවත් මානසීක රෝගි⁣යකුගේ දිව හැපීය. එය තිර රචක ඔලිවර් ස්ටෝන් විසින් එකතු කළ දෙයකි. ඇත්ත සිදුවීමේදී බිලි හේස් කිසිදිනෙක එවන් සපා කෑමක් සිදු නොකළේය.

බිලී හේස් තම පොත නිම කරනුයේ , ඔහු ඉම්රාලි සිරකඳවුරෙන් පැන ඇවිත් ඩින්ගි නම් හබල් ගසන ඔරුවක් හොරකම් කර කිලෝ මීටර් 27 ක දුර ප්‍රමාණයක් හබල් ගසා මර්මාරා මුහුදේ කුණාටුව මැදින් තරණය කර ඉන් පසු පා ගමනින් ගොස්, තවත් දුරක් බස් රථයකින් ගොස් ඉස්තාන්බූල් වලට පැමිණ එතැනින් ග්‍රීසියේ දේශ සීමාව පසු කිරීමෙනි. එහෙත් චිත්‍රපටයේදී එය සම්පූර්ණයෙන්ම වෙනස් කර තිබූ අතර, ඔලිවර් ස්ටෝන් ගේ නිර්මාණයක් එතැනට එක් කළේය ඒ ප්‍රධාන ජේලර් ගාඩ්වූ 'හමිදූ'ව මරා දමමිනි. එයට මුලික හේතුව ලෙස චිත්‍රපටයේ පෙන්වන්නේ හමිදු විසින් බිලි හේස්ව දූෂණය කිරීමට උත්සහ කල නිසා බවක්ය. නමුත් පොත ලියූ ඇත්ත බිලී හේස් කියනුයේ ඔහු ට එසේ සමලිංගීක දූෂණයක් සිදු නොවූ බවය. එලෙසම ප්‍රධාන ජේලර් වරයාගෙන් ඔහුට කිසිදු හිරිහැරයක් සිදු නොවූ අතර, 'හමිදු' මියගොස් ඇත්තේ සිර කඳවුරෙන් පිට තේ බොමින් සිට්යදී

නිදහස් වූ සිරකරුවෙක් පැමිණ අට වරක් වෙඩි තැබූ නිසාය. සත්‍ය බිලීට ජේලර් වරයා සමලිංගීක සම්බන්ධයකට ඇරයුම් නොකළද, බිලී හේස් එහී සිරකරුවන් කීප දෙනෙක් සමඟ ක්‍රියාකාරිව සමලිංගීකව හැසිරුණු බවක් ඔහු පිළිගත් අතර, ඔහු ඒ බවක් තම පොතේ ලියා තිබුණි. චිත්‍රපටයේ බිලී හේස් ට එහී සිටි ඔහු හා මිත්‍රවූ එරිච් හා ස්විඩි සමලිංගීක ඇසුරකට පොලඹවා ගන්නට උත්සහ කළද, බිලී හේස් එය කරුණීකව ප්‍රතික්ෂේප කළේය. එරිච් සහ බිලි එක වතුර මලක් යට නිරුවතින් නාන විට එරිච් , බිලීගේ දෙතොල් සිප ගැන්මක් පටන් ගත්තද, බිලි ඒ සිප ගැන්මට ඉඩදී පසුව එය කළ නොහැකි බව කියමින් නතර කරන්නට විය.

'මිඩ්නයිට් එක්ස්ප්‍රස් ' චිත්‍රපටය ඇස්තමේන්තු කර තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 2 දශම 3 කටය. එහෙත් එහී බොක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 35 ක් පමණ විය .

'මිඩ්නයිට් එක්ස්ප්‍රස් ' චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට භාර වූයේ ඇලන් පාර්කර් ටය.එයට ප්‍රධානතම හේතුව වූයේ මෙම චිත්‍රපටය නිෂ්පාදනය කෙරූ ඇලන් මාර්ෂල්, සමග ඇලන් පාර්කර් රූපවාහිනි නිෂ්පාදන සමාගමක් පිහිටුවාගෙන තිබීමය. ඇලන් පාර්කරට 'මිඩ්නයිට් එක්ස්ප්‍රස්' ලැබෙන තෙක් ඔහු අධ්‍යක්ෂණය කර තිබුණේ 'බග්සි මෙලොන්' චිත්‍රපටය පමණි. මෙය හිතවත් කමටත් වඩා එකිනෙකාව තේරුම් ගත් නිසා ඇලන් පාර්කර්ට ලැබුණු එක්තරා වරමක් විය. ඒ වරම ඔහු නිසි ලෙස යොදා තිබු බව පෙනෙනුයේ ඇලන් පාර්කර් විසින් අධ්‍යක්ෂණය කළ 'මිඩ් නයිට් එක්ස්ප්‍රස් ' චිත්‍රපටය එම අවුරුද්දේ ඔස්කාර්, ඇකඩමි උළේලේ සම්මාන 7 කට නිර්දේශ වී, තිර නාටකය ලියූ ඔලිවර් ස්ටෝන් ට හා සංගීතය සැපයූ ජියොජියෝ මොරඩර් ට සම්මාන ලැබීමෙනි.

මෙහී බිලී හේස්ගෙ චරිතයට බ්‍රැඩ් ඩාවිස්ව තෝරා ගන්නා විට, ඔහු රඟපා තිබුණේ 'සෝංග් ඔෆ් මයි සෙල්ෆ්' යන කෙටි චිත්‍රපටයේත්, 'ද සීක්‍රට් ලයිෆ් ඔෆ් ජෝන් චැප්මන්' යන රූපවාහිනි චිත්‍රපටයකත් පමණී. 'මිඩ්නයිට් එක්ස්ප්‍රස්' චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් අලුත් නළුවෙකුට ලැබෙන ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයට හිමිකම් කී අතර, කැන්සාස් සිටි චිත්‍රපට උළෙලේදී ඔහු හොඳම නළුවාට හිමි සම්මානය ද මෙම චරිතය රඟපෑමෙන් ලබා ගතී.

' මිඩ් නයිට් එක්ස්ප්‍රස් ' චිත්‍රපටය නිෂ්පාදනය කළේ ඇලන් මාර්ෂල් සමඟ ඩේවිඩ් පුට්නම් ය.

මෙම චිත්‍රපටය ඉන්දියානුවන් අනුරූපිත කළේ 2014 වර්ෂයේදීය. ඒ දමිළ සිනමාවය. රවි කේ චන්ද්‍රන් විසින් ලියා අධ්‍යක්ෂණය කළ එම චිත්‍රපටය ' යාන්' ලෙස නම් කර තිබූ අතර, 'ජිවා' යන කඩවසම් නළුවා මෙහී බිලී හේස් ගේ චරිතය රඟපෑ අතර, තුලාසි නයිර්, ඔහුගේ පෙම්වතිය ලෙස රඟපෑවාය. 'යාන්' ද ඉන්දියාවේ අතීශය ජනප්‍රිය වූ චිත්‍රපටයකි.

ලොව සිරකරුවන් පිළිබඳ හොඳ චිත්‍රපට බොහෝ් නිර්මාණය වූ අතර, ඒ තුළින් 'මිඩ් නයිට් එක්ස්ප්‍රස් ' චිත්‍රපටයටද ලොව වටා ලැබුණු ප්‍රතිචාර නම් ඉතාමත් ඉහළ විය.