ලේ පිපාසිත කුරිරු මිනිසාගේ කතාව

ඔක්තෝබර් 6, 2022

 

ඩ්‍රැකියුලා චිත්‍රපට වල ඉතිහාසය සොයා යන විට එය 1890 ගනන් දක්වා ආපස්සට යනු ඇත. 1897 වර්ෂය තුළ 'බ්‍රැම් ස්ට්‍රොකර්' නම් රචකයකු 'ඩ්‍රැකියුලා' නමින් නවකථා පොතක් පල කළේය. ඔහු එයට කරුණු උකහා ගත්තේ 1819 වර්ෂයේ දී ඉංග්‍රීසි රචකයකු වූ ජෝන් පොලිඩෝරි විසින් ' වැම්පයර්' නමින් ලියූ පොතකිනි.

'වැම්පයර්' යනුවෙන් ජෝන් පොලිඩෝර් විසින් ඉංග්‍රිසි ශබ්දකෝෂයට ගෙන ආ අලුත් වචනයකි. ඇත්තෙන්ම එය ඔහු විසින් මැවූ චරිතයකි. ඔහුගේ මේ වැම්පයර් හිරු එළිය තිබෙන වේලාවේදි නින්දට යයි. ඔහු නිදියන්නේ ඒ අද්භූත බංගලාවේ තිබෙන මිනි පෙට්ටියක් මතය. ඔහු සක්‍රීය වන්නේ රාත්‍රියේ කළුවර වැටෙන විටය. එතැන් සිට ඔහු සොයන්නේ මිනිස් ලේය. එය පිරිමියෙක්ද ගැහැනියක්ද කියා ඔහුට වෙනසක් නැත. ඒ ලේ බොන්නට යන අවස්ථාවෙ ඔහුගේ දත් පෙළින් උල් දත් දෙකක් එළියට එයි. ඔහු එම දත් දෙක ආධාරයෙන් ඔහුට හමුවන මිනිස් ගොදුරෙන් ලේ උරා බොයි. ඔහු ලේ උරාබොන්නෙ හමුවන මිනිස් ගොදුරගේ ගෙලෙන්ය. එසේ ලේ උරා බොන ඒ මිනිස් ගොදුරද පසුව වැම්පයර් කෙනෙක් වී ඔහු, හෝ ඇයත් තවත් කෙනෙකුගේ ලේ උරාබොන්නට හුරු වෙයි.

1897 දී බ්‍රැම් ස්ටෝකර් විසින් එකී වැම්පයර් පරපුරට තවත් අලුත් සාමාජිකයෙක් ව එක්කළේය . ඒ 'ඩ්‍රැකියුලාය' . ඔහු, ඔහුගේ 'ඩ්‍රැකියුලා' නවකථාව හරහාම මෙම චරිතය හදුන්වා දුනී. එතැන් පටන් 'වැම්පයර්' කථාවලට ප්‍රධාන චරිතයක් බිහිවිය. ජොනි පොලිඩෝරි 'වැම්පයර්' බිහිකළාට, මේ ලේ බීමේ අරමුණ කුමක්දැයි හරියටම පැහැදිලි කරන්නේ නැත. බ්‍රැම් ස්ටෝකර් වුවද තම ඩ්‍රැකියුලා ලේ බොන නිශ්චිත අරමුණ පැහැදිලි කළේ නැත. ඔහු වුවද එය හැඳීන්වූයේ ඩ්‍රැකියුලා ලේ පිපාසිත පුද්ගලයෙකු ලෙසටය. ඔහු ගේ කුස පිරෙනුයේ, ගත පිරෙනුයේ, ඔහු පූර්ණව සෑහීමකට පත්වනුයේ මිනිස් ලේ උරා බීවොත් පමණි.

බ්‍රැම් ස්ටෝකර් මේ ඩ්‍රැකියුලා කථාව ලීවේ 'එපිස්ටොලරි නවල්' එකක් ලෙසටය. 1890 ගණන්වල නවකථා කියා ලිය වුණේ ඒ අන්දමටය. එය හරියට ලියුමක් ලියනවා වගේය. නැත්නම් දිනපොතක සටහන් කරනවා සේය. බ්‍රැම් ස්ටෝකර් තම 'ඩ්‍රැකියුලා' කථාව ලීවේත් ඒ අන්දමටය. ඔහුගේ මුළු කථාවම කොළ 100 ක ලියා තිබුණි. ස්ටෝකර් 'ඩ්‍රැකියුලා' යන නම ⁣සොයා ගනු ලැබුවේ 'විත්බීස් මහජන පුස්තකාලයේ' රොමේනියා පොතක් කියවන විටය. රොමේනියන් පොත් වල යක්ෂයාව හදුන්වා දී තිබුණේ 'ඩ්‍රැකියුලා' යන නමිනි. ඇත්තටම ඒ 'ඩ්‍රැකියුලා' යන නාමය රොමෙනියන් වචනයකි. බ්‍රැම් ස්ටෝකර් ඩ්‍රැකියුලා චරිතයට මුල සිටම ශෘංගාරයද එකතු කර තිබුණි. ඒ ඩ්‍රැකියුලා බොහෝ විට ලේ උරා බොන්නේ අතීශයින්ම රූමත් තරුණියන්ගෙන් නිසාය. ⁣පසු කලෙක නිර්මාණය වූ බොහෝ ඩ්‍රැකියුලා චිත්‍රපටවල මේ ශෘංගාරය උපයෝගි කර ගත්තද, ලේ උරා බීම හැරෙන්නට ඩ්‍රැකියුලාගෙන් තරුණියන්ට ලිංගීක අවහිරයක් නම් සිදුවූයේ නැත.

බ්‍රැම් ස්ටෝකර් ගේ 'ඩ්‍රැකියුලා' කෘතිය 1924 දී වේදිකා නාට්‍යයක් බවට පරිවර්තනය විය.එම නාට්‍යය හැමිල්ටන් ඩීන් හා ජෝන් එල් බෝල්ඩස්ටන්ගේ නිර්මාණයක් විය. ඉන්පසු එය 1931 දී ගැරට් ෆෝට් විසින් ලියූ තිරනාටකය ටොඩ් බ්‍රෝව්නින් විසින් චිත්‍රපටයකට නැංවූයේ 'ඩ්‍රැකියුලා' නමින්මය. 'බෙලා ලුගොසි' නම් නළුවා මෙහි ඩ්‍රැකියුලා ලෙස රඟපෑවේය. සිනමාවේ ප්‍රථම ඩ්‍රැකියුලා වී ඉතිහාස ගත වීමේ වාසනාව බෙලා ලුගොසි ට හිමි වුණේ ඒ අයුරිනි. බ්‍රැම් ස්ටෝකර් ගේ 'ඩ්‍රැකියුලා' කථාව යළි තෙවරක්ම චිත්‍රපට ගත විය .

1958 දී මෙය දෙවෙනි වරට නිෂ්පාදනය කළේ ඇන්තනී හින්ඩ්ස්ය. බ්‍රැම් ස්ටෝකර්ගේ එම කෘතිය එවර තිරනාටකය ලීවේ ජිමි සැන්ග්ස්ටර් ය.ටෙරන්ස් ෆිෂර් මෙය අධ්‍යක්ෂණය කළ අතර, මෙහී තිබූ විශෙෂත්වය වූයේ ඩ්‍රැකියුලා චරිතයට මුල් වරට 'ක්‍රිස්ටෝපස් ලී' ව තෝරා ගැනීමය. ලොව කෙතරම් ඩ්‍රැකියුලා චිත්‍රපට බිහිවූවද, කෙතරම් නළුවන් ඩ්‍රැකියුලා චරිතය රඟපෑවද, ක්‍රිස්ටෝපර් ලී තරම් ඩ්‍රැකියුලා චරිතය අතී සාර්ථක ව රඟපෑ නළුවෙකු නොවීය.

ඩෑන් කර්ටිස් නම් අධ්‍යක්ෂක වරයෙක් 1974 දී බ්‍රැම් ස්ටෝකර් ගේ 'ඩ්‍රැකියුලා'පොත යළි නිර්මාණය කළේ 'ජැක් පැලන්ස්' නම් නළුවාව 'ඩ්‍රැකියුලා' චරිතයට රැගෙනය. ඉන්පසු එය යළිත් චිත්‍රපට ගත කළේ 'ප්‍රැන්සිස් ෆෝඩ් කොපොල්ලාය. කොපොල්ලා යනු 'ගෝඩ් ෆාදර්' කොටස් 3 අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරයා ය. ඔහු බ්‍රැම් ස්ටෝකර්ගේ 'ඩ්‍රැකියුලා' කථාව චිත්‍රපට ගත කර තිරගත කළේ 1992 දීය. එහී ඩ්‍රැකියුලා ගේ චරිතය රඟපෑ වේ ' ගැරි ඕල්ඩ්මෑන්' නම් නළුවාය. ඇන්තනි හොප්කින්ස්, කේනු රීව්ස් යන ලෝ ප්‍රසිද්ධ නළුවන් පවා එම චිත්‍රපටයේ රඟපෑ අතර, එකී චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 40 ක ඇස්තමේන්තුවක ට ඇමරිකානු ඩොලර් මිලියන 215.9 ක් උපයා තිබූ අතර, ඩ්‍රැකියුලා චිත්‍රපට සියල්ලම අතරින් විශාලතම ආදායමක් ඉපයූවේ ප්‍රැන්සිස් ෆෝඩ් කොපොල්ලාගේ 'ඩ්‍රැකියුලා' චිත්‍රපටය ය.

1958 දී 'ක්‍රිස්ටෝපර් ලී' යොදා තැනූ ' ඩ්‍රැකියුලා' චිත්‍රපටය ඇමරිකාවේ ප්‍රදර්ශනය කළේ 'හොරර් ඔෆ් ඩ්‍රැකියුලා' නමිනි. ක්‍රිස්ටෝපර් ලී ගේ ප්‍රථම චිත්‍රපටය වූයේ 1948 දී තිරගත කළ 'කොරිඩෝර් ඔෆ් මිරර්ස්',ය . එහි ඔහුගේ චරිතය හැඳීන්වූයේ ' චාර්ලෙස්සියෝ' යන නමිනි. මෙය ටෙරන්ස් යංග් ගේ අධ්‍යක්ෂණයක් වූ අතර 'කොරිඩෝර් ඔෆ් මිරර්ස්' ටෙරන්ස් යංගේ ප්‍රථම අධ්‍යක්ෂණය විය.

ක්‍රිස්ටෝපර් ලී තම ප්‍රථම ඩ්‍රැකියුලා චරිතය 'හොරර් ඔෆ් ඩ්‍රැකියුලා' චිත්‍රපටයේ රඟපෑවද ඒ වන විට ඔහු චිත්‍රපට 45 ක පමණ රඟපා තිබුණි. ඒ අතරේදී ඔහු හැමර් චිත්‍රපට ආයතනයේ නිර්මාණවලට එකතු විය. හැමර් චිත්‍රපට ආයාතනය බොහෝ විට කළේ 'හොරර්' ගණයේ චිත්‍රපටයන්ය. 'ෆ්‍රැන්කෙන්ස්ටන්' චිත්‍රපට බොහෝ විට කෙරුණේ හැමර් චිත්‍රපට ආයතනය හරහාය. 1957 දී තිරගත කළ ' ද කර්ස් ඔෆ් ෆ්‍රැන්කෙන්ස්ටන්' චිත්‍රපටයේ ක්‍රිස්ටෝපර් ලී රඟපෑවේ, හොරර් චිත්‍රපටවල නිතරම රඟපෑ පීටර් කුෂින් සමඟය.

'හොරර් ඔෆ් ඩ්‍රැකියුලා ' චිත්‍රපටයෙන් පසු ක්‍රිස්ටෝපර් ලී ඩ්‍රැකියුලා චිත්‍රපට කීපයකම රඟපෑවේය .ඒ ඩ්‍රැකියුලා ලෙසටය. 'ඩ්‍රැකියුලා ප්‍රින්ස් ඔෆ් ඩාර්ක්නස්', 'ඩ්‍රැකියුලා හෑස් රයිසන් ෆ්‍රොම් ද ග්‍රේව්', 'කවුන්ට් ඔෆ් ඩ්‍රැකියුලා', 'ටේස්ට් ද බ්ලඩ් ඔෆ් ඩ්‍රැකියුලා','ස්කාර්ස් ඔෆ් ඩ්‍රැකියුලා''ක්වෙඩෙකුක් වැම්පයර්', ' ඩ්‍රැකියුලා ඒ.ඩී.1972', ' ද සැටනික් රයිට්ස් ඔෆ් ඩ්‍රැකියුලා', යන චිත්‍රපට ඔහු ඩ්‍රැකියුලා ලෙස රඟපෑ ලැයිස්තුවය. 1948 සිට ,2017 දක්වා ක්‍රිස්ටෝපර් ලී චිත්‍රපට 212 ක පමණ විවධ චරිත රඟපා තිබුණි. ⁣'ලෝඩ් ඔෆ් රින්ග්ස්', 'ස්ටාර් වෝස්', ' පොලිස් ඇකඩමි' 'මමී' වැනී ලෝ ප්‍රකට චිත්‍රපට මාලාවල ද රඟපෑ ඔහු , ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් වූ ' ද මෑන් විත් ද ගෝල්ඩන් ගන්' මෙන්ම ළමා ආකර්ෂණය නොමඳව ගත් ' චාර්ලි ඇන්ඩ් ද චොක්ලට් ෆැක්ටරි ' වැනි චිත්‍රපටවලද රඟපෑවේය. 1998 දී 'ජින්නා' චිත්‍රපටයේ මොහොමඩ් අලි ජින්නා' ගේ චරිතයද රඟපෑවේ ක්‍රිස්ටෝපර් ලී ය.

එතරම් චිත්‍රපට සංඛ්‍යාවක රඟපෑවද, ක්‍රිස්ටෝපර් ලී කිසිදිනෙක ඇමරිකානු ඔස්කා, ඇකඩමි සම්මානයට පාත්‍ර නොවීය. අවම වශයෙන් සම්මානයට නිර්දේශිය වූයේද නැත. 1994 දී ජීවිතකාලයට එක්වරක් පමණක් ලැබෙන 'බ්‍රයන් ස්ටෝකර් ලයිෆ් ටයිම් සම්මානය' ත්, 2011 දී ඕඒජ්ඊඒ සම්මානයත්, 2013 දී 'එක්සලන්ස්' සම්මානයත් පමණක් ඔහුට හිමි විය.

වර්ෂ 1885 යන වසරේ සිදුවූ සිදුවීම් සමුහයක් වටා ගෙතුණු 'හොරර් ඔෆ් ඩ්‍රැකියුලා' , චිත්‍රපටයේ කථාව පටන් ගැනුණේ ජොනතන් හාර්කර් නම් පුද්ගලයෙක් ඩ්‍රැකියුලා ගේ අද්භූත මාළිගාවට පුස්තකාලාධිපති කෙනෙක් ලෙස වැඩ බාර ගැන්මට පැමිණි දර්ශනයකිනි. ඔහු මෙහි පැමිණි දිනයේම, එක් රූමත් තරුණියක් ඔහුගෙන් අයැද සිටියේ, ඇය මෙහි ඩ්‍රැකියුලා ගේ හිරකාරියෙක් නිසා, ඇයව කෙසේ හෝ බේරා දෙන ලෙසටය.

ඇත්ත වශයෙන්ම ජොනතන් හාර්කර් යනු 'වැම්පයර්' න් අල්ලා විනාශ කර දමන පුද්ගලයෙකි. ඔහු මේ ඩ්‍රැකියුලා ගේ මාළිගාවට පැමිණියේ සැලසුමක් ලෙසටය. ඒ ඩ්‍රැකියුලාව විනාශ කර දැමීමටය. මෙම මාළිගාවේ පුස්තකාලාධිපති කෙනෙක් ලෙස ඔහු බැඳුණේ මෙම අරමුණ ඉටු කර ගැන්මටය. ඔහු ඒ බවක් තම දිනපොතේ ලියා තැබීය.

චිත්‍රපටය වඩාත් ත්‍රාසයට යොමු වනුයේ ජොනතන් හාකර්ගෙන් උපකාර ඉල්ලු තරුණිය, මහ රාත්‍රියේ ජොනතන්ගේ ගෙලට තම උල් දත් තබා ලේ උරා බීමෙනි. ඇයත්, ඩ්‍රැකියුලා ගේ 'වැම්පයර්' සමාජයේ සමාජිකාවක් බව ප්‍රේක්ෂකයන් දන්නේ එවිටය.

ඩ්‍රැකියුලා හා ඔහුගේ සාමාජිකයන් මේ හැම සෙල්ලමක්ම කරන්නේ, රාත්‍රිකාලයේය. රාත්‍රිය ඩ්‍රැකියූලා පරපුරේ නිල කාලයයි. රාත්‍රි 12 වන විට ඔවුනගේ ලේ පිපාසිත බව උත්සන්න වෙයි. හිරු එළිය පොළවට වැටෙන්නෙට පෙර ඔවුන් කෙසේ හෝ තම ලේ පිපාසිත බව සමනය කර ගත යුතුවේ. එහෙයින් ඔවුන් මුළු රැයම සැරිසරන්නේ කිසියම් ගොදුරක් සොයා ගැන්මටය. හිරු එළිය වැටෙනවාත් සමඟම ඔවුන් අහු මුළුවල සැඟවෙයි.

ජොනතන්ද හිරු එළිය වැටෙනවාත් සමඟම නැගිටින්නට උත්සහා ගත්තද ඔහුට නැගිට ගැන්මට බැරි විය. හිරු එළියෙන් ඔහුව දැවෙන බවක් ඔහුට දැනුණි. ගෙල පැත්තෙන් ආ වේදනාව නිසා ඔහු ඒ ගැන විමසිලි වන විටය ඔහු දැනගත්තේ ඔහුගේ ගෙලේ ලේ උරා බිව් සලකුණු තිබෙන බව. ඔහුවද 'වැම්පයර්' කෙනෙකු බවට පරිවර්තනය වන බවක් ඔහුට දැනුණි. ජොනතන් අපහසුවෙන් හෝ නැගිට, ඩ්‍රැකියුලා හා ඔහුගෙන් ලේ උරා බිව් තරුණියව සොයන්නට විය. මාළිගාවේ රහස් තැනක මිනී පෙට්ටි දෙකක් මත ඩ්‍රැකියුලා හා තරුණිය නිදා සිටියහ. ජොනතන් මුලින්ම තරුණියව ඇහැරවන්නට උත්සහා කළේය. ඇත්තෙන්ම ඔහු කළේ වැරැද්දකි. ඔහුට තිබුණේ මුලින්ම ඩ්‍රැකියුලා ව ඇහැරවීමටය. තරුණිය ඇහැරු පසු, එම කාමරයට ගලා ආ හිරු රැස් නිසා ඇය පත්වූයේ ඉමහත් අපහසුතාවයකටය. ඇය ටිකෙන් ටික මහලු බවට පත් වී ජරා ජීර්ණ වී අළු බවට පත් විය. ජොනතන් ඩ්‍රැකියුලා නිදා සිටි මිනි පෙට්ටිය දෙස බැලූ විට, එතැන නිදා සිටි ඩ්‍රැකියුලා අතුරුදන් වී සිටියේය. එක්වරම එම කාමරයේ දොර වැසෙන බවක් ජොනතන්ට දැනුණි. එලෙසම ඔහුට තමා ඩ්‍රැකියුලා ගේ ගුප්ත උගුලකට අසුවූ බවක් දැණුනි.

දින කීපයක් ගත වුණි. ඩ්‍රැකියුලා මන්දීරයට ගිය තම මිතුරු සගයා වූ ජොනතන් හාර්කර් නැවත නොපැමිණීම ⁣දොස්තර වෑන් හෙල්සිංග් ට ඉමහත් ප්‍රහෙලිකාවක් විය. ⁣දොස්තර වෑන් හෙල්සිංග් ද අද්භූත වැම්පයර් දඩයමේ යන අයෙක් විය. දොස්තර ⁣වෑන් හෙල්සිංග් ජොනතන්ව සොයාගෙන ඩ්‍රැකියුලා ගේ මාළිගාවට යන්නට විය.

එසේ ගිය ඔහුට එම මාළිගාව තුළ දකින්නට ලැබුණේ හිස් බවක් හා පාළු බවකි. ඔහු ඩ්‍රැකියුලා ගේ රහස් කාමරයට ගිය පසු එතැන තිබූ මිනි පෙට්ට්යේ සිටියේ ඔහු සොයා ආ ඔහුගේ මිතුරා ජොනතන් හාකර්ගේ නිසල දේහය ය. එලෙසම ඔහු ළඟ තිබූ ඔහුගේ පෙම්වතිය වූ ලුසී හෝම්වුඩ් ගේ ඡායාරූපයද අතුරුදහන් වී තිබුණි.

සිද්ධ වෙන්න යනදේ ඉවෙන් මෙන් දොස්තරට වැටහුණි. ඩ්‍රැකියුලා විසින් ජොනතන් ළඟ තිබූ ඔහුගේ පෙම්වතිය වූ ලුසී හෝම්වුඩ් ⁣ගේ පින්තුරය ගැනීමෙන්, වටහා ගත හැකි වන්නේ ඩ්‍රැකියුලා රාත්‍රියේ ඇයව සොයා යන බවක් ය. දොස්තර වෑන් වහාම ලුසීගේ සොහොයුරා වූ ආතර් හෝම්වුඩ් හා ඔහුගේ බිරිඳ මිනා හමුවන්නට ගොස් ජොනතන්ගේ මරණය ගැන දන්වා එය සිදුවී තිබූ ආකාරය ගැනද පැවසීය. එලෙසම ඩ්‍රැකියුලා විසින් ලුසීගේ පින්තූරය රැගෙන ගොස් ඇත්තේ, ඔහු අනිවාර්යයෙන්ම අද රාත්‍රියේ ලුසීව සොයා විත් ඇයගේ ලේ බොනු ඇති බවට සැක පහල කළේය.

මේ අතර රාත්‍රියේ ලුසී තම බැල්කනියේ දොර ඇර තිබූ අතර ඇය තම ගෙල පෙදෙස විවෘතව තැබුවේ ඩ්‍රැකියූලා කොයි මොහොතේ හෝ පැමිණෙනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි. ඩ්‍රැකියුලා පැමිණීමට පෙර සිටම ඇයගේ ගෙල පෙදෙස කිසියම් වැම්පයර් කෙනෙක් සපා කා තිබුණි. ඩ්‍රැකියුලා පැමිණ නැවතත් ඇයගේ ගෙල සපා කා ලේ උරා බොන්නට විය.

දොස්තර වෑන් හේල්සිංග් හා ඔහුගේ සහයිකාව ලුසී ගේ ගෙලේ ඇති සපාකෑම් තුවාල වලට බෙහෙත් ගැල්වුවද, ඇය එම සහයිකාවගෙන් ඉල්ලා සිටියේ එම බෙහෙත් අයින් කර දමන ලෙසටය .දොස්තර වෑන් විසින් සුදු ලුණු සහිත මිශ්‍රණයක් ඇගේ ගෙල වටා දැම්මද, දොස්තර නික්ම ගිය පසු ඇය සහයිකාව ලවා එම මිශ්‍රණය අයින් කර ගති. මේ හේතුවෙන් පසු දින සියල්ලෝම දුටුවේ ලුසී මියගොස් ඇති බවය.

මිය ගිය ලුසීව ඇයගේ සොහොයුරා ඇලන් විසින් සොහොන් කොතේ තැන්පත් කළේය. එහෙත් දින 3 කට පසු ඔහු සොහොන් කොත පරික්ෂා කර බලන විට, ලුසීගේ මළ සිරුර එහී තිබුණේ නැත.

දොස්තර වෑන් හෙල්සිංග් ඇලන්ට කීවේ,

ජොනතන් අතින් ඩ්‍රැකියුලා ගේ මන්දිරයේ මිය ගිය තරුණිය වෙනුවට, වැම්පයර්ස් ලා විසින් හෝ ඩ්‍රැකියුලා විසින් ලුසීගේ සිරුර රැගෙන යන්නට ඇති කියාය. ලුසී මියගියා කීවට, ඇය මිය ගොස් නැත. සිදුවී ඇත්තේ ලුසීගේ සිරුර අප්‍රාණික වූවා පමණි. එසේ අප්‍රාණික සිරුරු වලට පණ ගැන්වීමේ ක්‍රමය ඩ්‍රැකියුලා දන්නා බව දොස්තර වෑන් හෙල්සිංග් දැන ගෙන සිටියේය.

මේ අතර ඇලන්ගේ බිරිඳ මිනාට ඩ්‍රැකියුලා ගෙන් පණිවිඩයක් ලැබුණි. එහී තිබුණේ ඇයට කාල්ස්ටැඩ්' නම් තැනකට එන ලෙසය. ඇය එන තෙක් ඩ්‍රැකියුලා බලා සිටියේය.

පසුදින මිනා ට දොස්තර වෑන් හා ඇයගේ සැමියා ඇලන්ව මුණ ගැසෙන විට, මිනාට කුමක් හෝ දෙයක් සිදුවී ඇති බවක් දොස්තර වෑන් ට වැටහුනි. ඔහු ඇයට කුරුසියක් ලබා දුන්නද, ඇය එය අල්ලන විටම ඇයගේ අත පිලිස්සී ගියේ කව්රුත් මවිතයට පත් කරමිනි. ඊයේ අඳුර වැටී එන විටම ඇය ඩ්‍රැකියුලා හමුවීමට ගිය අතරේ ඔහු ඇයගේ ලේ උරා බී ඇයව වැම්පයර් කෙනෙකුගේ තත්වයට පත් කර ඇති බවක් දොස්තර වෑන් අනුමාන කළේය.

එදින රාත්‍රියේ ඩ්‍රැකියුලා නැවත පැමිණ මිනාගේ ලේ උරා බීය. ඇය 'වැම්පයර්' තත්වයකට පත් වී ඇති නිසා, නැවත ඇයව යථා තත්වයට ගැනීමට නම් කිසිවෙක් හෝ තමාගේ ලේ ඇයට ලබා දිය යුතුවේ. දොස්තර වෑන් හේල්සිංග් ඇගේ සැමියා ඇලන්ට ඒ බව පැවසු පසු, ඇලන් තමාගේ සිරුරෙන් ඇයට ලේ ලබා දීමට කැමති විය.

ඒ අතරේ දොස්තර වෑන් හෙල්සිංග් ඩ්‍රැකියුලා ගේ රහස් කාමරයට ගොස් ඔහුගේ මිනි පෙට්ටිය දෙස බලන විට දුටුවේ එම පෙට්ටිය හිස් වී ඇති බවකි. එම රැයේ ඩ්‍රැකියුලා , ඇලන්ගේ බිරිඳ මිනා සමඟ පැන ගොස් ඇති අතර, ඩ්‍රැකියුලා ට අවශ්‍ය වී තිබුණේ මිනාව ඔහුගේ ඊළඟ බිරිඳ කර ගැන්මටය.

ඒ කෙසේ වෙතත් පසු දින හිරු එළිය වැටෙන්නට ප්‍රථම ඩ්‍රැකියුලා තම රහස් කාමරයේ මිනි පෙට්ටිය වෙත පැමිණෙන බව නම් ඩොක්ටර් වෑන් හෙල්සිංග් දැනගෙන සිටියේය. එහෙයින් ඔහු සහ ඇලන් ඩ්‍රැකියුලා ගේ රහස් කාමරයට වී ඔහු එනතෙක් බලා සිටියහ. ඩ්‍රැකියුලා ට අවශ්‍ය වී තිබුණේ මිනාව ගුප්ත කාමරයක් තුළ සඟවා තබන්නටය. ඔහු තම රහස් කාමරයට පැමිණෙනවාත් සමඟම දොස්තර වෑන් සහ ඇලන් කාමරය වටා තිබූ තිර රෙදි සියල්ලම කඩා ඉරා දැමුවේ කාමරයට හිරු එළිය පැමිණෙන්නට ඉඩ හරිමිනි. මිනාද එතනට පැමිණි අතර , හිරු එළිය කාමරය පුරා විහිදෙන්නට පටන් ගතී. දොස්තර තම අත තිබූ කුරුසිය ඩ්‍රැකියුලා දෙසට දික් කර විට ඩ්‍රැකියුලා ට ඔහුගේ ඇස් ගිනි ගන්නවාක් මෙන් දැනුණි. එම කුරුසියෙ ආනුභාවයෙන් මිනා යථාතත්වයට පත් වූවද, හිරු එළියේ රශ්මියත්, කුරුසියේ බලපරාක්‍රමයත් නිසා ඩ්‍රැකියුලා ගේ මුළු සිරුරම ගිනි ගෙන දැවෙන්නට විය. අවසානයේ දී ඔහු පිලිස්සී ගොස් අළු විය. උදයේ හැමු කුණාටු සුළඟට ඩ්‍රැකියුලා ගේ ඇඳුම් පාවි ගිය අතර, අළු මතින් ඉතිරි වූයේ ඩ්‍රැකියුලා ගෙ රන් මුදුව පමණි.

ක්‍රිස්ටෝපර් ලී, 'ඩ්‍රැකියුලා' ලෙස පුධාන චරිතය රඟපෑ අතර, පීටර් කුෂින් 'දොස්තර වෑන් හේල්සිංග්'ගේ චරිතයට පණ පෙවීය. ජෝන් වෑන් අයිසෙන් 'ජොනතන් හාකර්' ලෙසත්, කැරල් මාර්ෂ් , 'ලුසි හෝම්වුඩ්' ලෙසත්, මයිකල් ගොෆ් ' ආතර් හෝම්වුඩ්, මෙන්ම මෙලිසා ස්ට්‍රිබ්ලිංග් මිනා හෝම්වුඩ් ලෙසත් අනෙක් ප්‍රධාන චරිත රඟපෑහ.

ක්‍රිස්ටෝපර් ලීව 'ඩ්‍රැකියුලා' චරිතයට තෝරා ගත් පසු ඔහු කීවේ කිසිම දිනයක ඔහු ඩ්‍රැකියුලා ලෙස රඟපෑ නාට්‍යයක් හෝ චිත්‍රපටයක් නරඹා නොමැති හෙයින්, ඩ්‍රැකියුලා චරිතයට ඔහු පණ පොවන්නේ ඔහුගේ මනස තුළ මැවී ඇති ආකාරය අනුව බවය.

එලෙසම ක්‍රිස්ටෝපර් ලී මෙසේද කීවේය. 'ඩ්‍රැකියුලා චරිතය තුළ සැඟවුණු තැන් බොහොමයකි.ඔහු මිනිස් ලෝකයෙත්, වැම්පයර් ලෝකයෙත් තනිවුණු මිනිසෙකි. එමෙන්ම ඔහු ආදරවන්තයෙකි, රූමත් තරුණියන්ගේ ගෙල පිරී මැද ලේ උරා බොන විට, ඔහු ශෘංගාරාත්මකය. මේ හැඟීම් තුනටම අවධානය යොමු කර ගෙනය, මෙම චරිතයට අවතීර්ණ විය යුතුවන්නේ '

ඒ කෙසේ වෙතත් මේ ඩ්‍රැකියුලා චරිතය බොහෝ නළුවන් රඟපෑවද, ක්‍රිස්ටෝපර් ලී තරම් ඩ්‍රැකියුලා චරිතයට සාර්ථකව ආරුඨ වීමට වෙන කිසිදු නළුවෙකුට නොහැකි විය. ඒ නිසාය ඔහු මුල්ම ඩ්‍රැකියුලා වී අවුරුදු 60 ගාණක් පසු වූවද, අදටත් ඩ්‍රැකියුලා යන නාමය සිහි වන විටම ක්‍රිස්ටෝපර් ලී ව සිතට නැගීම කිසි සේත් වැළැක්විය නොහැකිය.