වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
හැලෝවීන් එන්ඩ්ස් සමඟ යක්ෂයා පෙරළා පැමිණේ

අවසන් වරට අත්දුටු ඛේදවාචකයෙන් සිව් වසරකට පසුව ලෝරී සිය මිණිබිරිය වන ඇලිසන් සමඟ ජීවත් වන අතර සිය චරිත කතාව ලිවීමද අවසන් කරමින් සිටී. අවසන් කුරිරු සිද්ධියෙන් පසු මයිකල් මයර්ස් ආගිය අතක් නැත. සාහසික මයිකල්ටත් ඔහු විසින් ඇති කරන ලද භීතියටත් සිය ජීවිතයම තීරණය කිරීමට ඉඩ දුන් ලෝරි අවසානයේ සිය ජීවිතය නවමු ලෙස නැවත ඇරඹීමට තීරණය කර ඇත. නමුත් හදිසියේ සිදුවුණු සිදුවීමකින් ඒ සියලු බලාපොරොත්තු උඩු යටිකුරු වී යයි. කොරී කනින්ගම් භාරයේ සිටි පිරිමි දරුවකු මරා දැමූ බවට චෝදනා එල්ල වීම එම සිද්ධියයි. මෙම සිද්ධියත් සමඟ මයිකල් මයර්ස් නම් ඒ යක්ෂයා පෙරලා පැමිණ ඇති බව ලොරීට පසක් වේ.
ඩේවිඩ් ගෝර්ඩන් ග්‍රීන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ග්‍රීන්, ඩැනී මැක්බ්‍රයිඩ්, පෝල් බ්‍රැඩ් ලෝගන් සහ ක්‍රිස් බර්නියර් විසින් රචනා කරන ලද හෙට (ඔක්තෝබර්14) සිට තිරගත වීමට නියමිත ඇමෙරිකානු - සැහැසි චිත්‍රපටයක් වන හැලෝවීන් එන්ඩ්ස් හෙවත් 'හැලෝවීන් අවසානය' (2022) නම් වූ චිත්‍රපටය මෙසේ දිගහැරේ. 1978 වසරේ පළමු වරට තිරගත වූ හැලෝවීන් චිත්‍රපට ජාලයේ සම්පූර්ණ චිත්‍රපට ගණන 13ක් වන නමුත් මේ සෑම චිත්‍රපටයක්ම එකම කතා වස්තුව එකිනෙක අනුපිළිවෙලින් අනුගමනය නොකරයි. 1978 වසරේ තිරගත වූ හැලෝවීන් චිත්‍රපටය සැකෙවින් මෙසේ වේ. මානසික රෝගයකින් පෙළෙන මයිකල් මයර්ස් නම් ළමයා සිය යොවුන් සහෝදරිය පිහියකින් ඇන මරා දමයි. මේ හේතුවෙන් මානසික රෝහලක වසර 15ක් ගත කරන මයර්ස් ඉන් මිදී සිය නගරය වෙත යන අතර එහිදී ලෝරී නම් තරුණිය පසුපස හඹා එයි. තමන්ට එරෙහි වන, නොවන දුටු දුටුවන් මරා දමන මයිකල් ලොරීට සිය ජීවිතය භයානක තත්ත්වයකට ඇද දමන අවතාරයක් බවට පත් වේ. බොහෝ හැලෝවීන් චිත්‍රපටයන් මෙම තේමාවේ දිගු වන නමුත් ඇතැම් චිත්‍රපට මෙම කතාවස්තුවට සම්බන්ධ නොවේ. හෙට සිට තිරගත වීමට නියමිත හැලෝවීන් එන්ඩ්ස් චිත්‍රපටය 2021 වසරේ තිරගත වුණු හැලෝවීන් කීල්ස් චිත්‍රපටයේ මීළඟ කොටස වන අතර හැලෝවීන් එන්ඩ්ස් (2021) සහ පිළිවෙලින් හැලෝවීන් (2018) සහ හැලෝවීන් (1978) චිත්‍රපටයන්ගේ මීළඟ කොටස වේ.
මලෙක් අක්කාඩ්, ජේසන් බ්ලම්, සහ බිල් බ්ලොක් විසින් නිෂ්පාදනය කෙරුණු මෙම චිත්‍රපටය ජෙමී ලී කර්ටිස් සුපුරුදු පරිදි ලොරීගේ චරිතයට පණ පොවන අතර ඇන්ඩි මැටිචක්, ජේම්ස් ජූඩ් කෝට්නි, විල් පැටන්, රොහාන් කැම්බල් සහ කයිල් රිචඩ්ස් ඇතුළු පිරිස සෙසු චරිතයන්ට පණ පොවති.