වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
යොහානිගේ ‘මැණිකේ’ ගීතයෙන් හැඩ වූ Thank God

තෑන්ක් ගෝඩ් (Thank God) යනු ඉන්ද්‍ර කුමාර් විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද හින්දි ප්‍රහසන චිත්‍රපටයකි. අජේ දේව්ගන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ රකුල් ප්‍රීත් සිං රංගනයෙන් දායක වන එය ඔක්තෝබර් 25 දීවාලි උත්සවයට සමගාමීව නිකුත් කිරීමට නියමිතය. තෑන්ක් ගෝඩ් චිත්‍රපටය T-Series සහ Maruti International නිෂ්පාදනයකි.
තෑන්ක් ගෝඩ් චිත්‍රපටය ගෙන එන්නේ අනතුරකට මුහුණ දී ජීවිතයත් මරණයත් අතර සටනේදී චිත්‍රගුප්ත මුණගැසෙන තරුණයකුගේ කතාවයි. ඉන්දියානු පුරාවෘත්තයට අනුව චිත්‍රගුප්ත යනු මිනිසුන්ගේ ක්‍රියාවන් පිළිබඳ සම්පූර්ණ වාර්තා තබා ඔවුන්ගේ කර්මයට අනුව ඔවුන්ට විපාක දීමේ කාර්යය පැවරී ඇති හින්දු දෙවියෙකි. චිත්‍රගුප්තට පැවරී ඇත්තේ මිනිසුන්ගේ ක්‍රියාවන් මත පදනම්ව ඔවුන්ගේ මරණයෙන් පසු ස්වර්ගයට හෝ නිරයට යනවාද යන්න තීරණය කිරීමයි. චිත්‍රගුප්ත යනු බ්‍රහ්මයාගේ දහහත්වැන මානසපුත්‍ර වේ. ඔහු බ්‍රහ්මගේ ආත්මයෙන් සහ මනසින් මවා ඇති බව විශ්වාස කෙරෙන අතර ඒ අනුව බ්‍රාහ්මණයකු මෙන් වේද ලිවීමේ අයිතිය ඔහුට ලබා දී ඇති අතර ක්ෂත්‍රියකුගේ රාජකාරිය ද පැවරී තිබේ.
ණය බරින් මිරිකී සිටින අහංකාර තරුණයකු වන අයාන් කපූර් හදිසි අනතුරකට මුහුණ දෙයි. ඔහුට සිහිය ලැබෙන විට තමා සිටින්නේ දෙව්ලොව බව ඔහුට වැටහේ. දෙවියන් වහන්සේ ඔහු ඉදිරියෙහි පෙනී සිටින අතර ඔහුට "ජීවිතයේ ක්‍රීඩාවක්" ක්‍රීඩා කිරීමට සිදුවන බව දන්වා සිටී. ක්‍රීඩාව ජය ගත හොත් නැවත මහ පොළොවට පැමිණීමට අවස්ථාව ලැබෙන අතර පැරදුන හොත් නිරයට යා යුතු වේ.
තෑන්ක් ගෝඩ් චිත්‍රපටයේ අජේ දේව්ගන් නූතන චිත්‍රගුප්ත ලෙස චරිතය නිරූපණය කරන අතර එය ඉදිරිපත් කරනු ලබන්නේ හාස්‍යජනක ලෙසිනි. චිත්‍රගුප්තගේ චරිතය හේතුවෙන් තෑන්ක් ගෝඩ් චිත්‍රපටය නීතිමය ගැටලුවලට මුහුණ දී තිබේ. ආගමික හැඟීම් රිදවීම මෙන්ම ආගම සමච්චලයට ලක් කිරීම සම්බන්ධයෙන් චිත්‍රපටයේ නිෂ්පාදකයන්ට එරෙහිව මේ වන විට අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කර ඇති බව වාර්තා වේ. චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයට කුවේටයේ ද තහනමක් පැනවී ඇති බව වාර්තා අතර වේ.
තෑන්ක් ගෝඩ් චිත්‍රපටය ශ්‍රී ලාංකික රසික රසිකාවන්ටද සුවිශේෂී වේ. එයට හේතුව මැණිකේ ගීතයෙන් ජනාදරය හිමිකරගත් යොහානි ද සිල්වා මෙම සිනමා පටයේ එම ගීතය හින්දි භාෂාවෙන් ගායනා කිරීම මෙන්ම මෙරට සම්මානනීය ජනප්‍රිය රංගන ශිල්පිනියක වන ශලනි තාරකා ද රංගනයෙන් එක්වීමයි. යොහානි, ජුබීන් නෞටියාල් සහ සූර්යා රගුනාදන් එක්ව ගයන මැණිකේ ගීතය සිධාර්ත් මල්හෝත්‍රා සහ නෝරා ෆතේහි නර්තනයෙන් දායක වෙති. 'තෑන්ක් ගෝඩ්' හින්දි චිත්‍රපටය වෙනුවෙන් මැණිකේ ගීතය ප්‍රතිනිර්මාණය කිරීමේ දී එහි තනු නිර්මාණය වෙනුවෙන් චමත් සංගීත්ගේ දායකත්වයද ලබා ගෙන තිබේ. සතීෂාන් රත්නායකගේ මුල් ගායනයෙන් ප්‍රතිනිර්මාණය කර යොහානි ද සිල්වා විසින් ගායනා කළ "මැණිකේ මගේ හිතේ" ගීතය මිලියන ගණනක දෙස් විදෙස් රසික හදවත් දිනාගැනීමට සමත් විය. දුලාන් ඒආර්එක්ස් පද රචනය "මැණිකේ මගේ හිතේ" ගීතය මලයාලම්, දෙමළ සහ හින්දි භාෂාවන්ගෙන්ද ප්‍රතිනිර්මාණය වී තිබේ.