වර්ෂ 2023 ක්වූ December 09 වැනිදා Saturday
සමරිසි ප්‍රේමයේ විරහ වේදනාව Sunday Bloody Sunday

ඇතැම් අධ්‍යක්ෂකවරුන් මිනිසුන්ගේ හැඟීම් මොන තරම් ගැඹුරට ස්පර්ශ කරනවාද යන්න, එලෙසම ඒවා ස්පර්ශ කිරීමෙන් නොනැවති, එය පූර්ණව අධ්‍යයනය කර මානුෂීකව ඉදිරි පත් කරන්නේද යන්න ලෝක සිනමාව තුළින් අප බොහෝ විට අත් විඳ ඇත්තෙමු. නමුත් මේ තරම්ම යථාර්ථවාදී ව මිනිස් හැඟීම් වඩාත් නිවැරදිව තේරූම් ගෙන හැඟීම් සමග පමණක් ගනු දෙනු කෙරූ චිත්‍රපටයකි, 1971 වසරේ බ්‍රිතාන්‍යයෙන් බිහිවූ 'සන්ඩේ බ්ලඩි සන්ඩේ' චිත්‍රපටය.
44 වෙනි ඇමරිකානු ඔස්කාර් ඇකඩමි සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණය , හොඳම තිර රචනය, හොඳම නළුවා හා හොඳම නිළිය සම්මාන වලට නිර්දේශ වූ 'සන්ඩෙ බ්ලඩි සන්ඩේ' චිත්‍රපටයේ ප්‍රේක්ෂකයන් ට දැඩිවම සිතට කා වැදුණේ එහී රැඟූ නළු නිළියන්ගේ විශිෂ්ටතම රඟපෑම්ය.මිනිසුන් හා ගැහැනුන්ට තවත් මිනිසුන් හා ගැහැනුන්ගේ ජීවිත තුළට මේ තරම් සාර්ථක ලෙස ඇතුල් විය හැකිද යන්න ගැන පුදුම හිතෙනුයේ 'සන්ඩේ බ්ලඩි සන්ඩේ' චිත්‍රපටයේ රඟන නළු නිළියන්ගේ ශිල්ප හරඹයන් දුටු විටය.
චිත්‍රපටය ආරම්භ කෙරෙනුවේ දොස්තර ඩැනියල් හර්ෂ් තමාගේ නිවසේ ඇති ලෙඩුන් බලන කාමරයේ, ඔහු මෙන්ම මැදිවයසේ පුද්ගලයෙක්ගේ උදර පෙදෙස තම අතින් තද කරමින් පරික්ෂා කරන ආකාරයේ දර්ශනයකිනි. වෛද්‍ය උපදෙස් ගන්නට පැමිණි තැනැත්තා කියන්නේ තමාට පිළිකාවක් හැදී ඇති බවක්ය. එහෙත් දොස්තර ස්ථීරයෙන්ම කියන්නේ එය පිළිකාවක් නොවන බවකි. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ ඩැනියල් හර්ෂ් දොස්තර කෙනෙක් බව අපට හදුන්වන්නේ එලෙසය.
ඉන්පසු අප දකින්නේ දොස්තර ඩැනියල් හර්ෂ් ,කිසිවෙකුට කථා කිරීම සඳහා දුර කථනයේ නොම්මර කරකවන ආකාරයයි. දුර කථනයේ සීනුව කීප වරක් නාද වීමෙන් තේරුම් යන්නේ එකී තැනැත්තා ඒ නිවසේ නොමැති බවකි. ඒ අතරේම චිත්‍රපටයේ කථා නායිකාව වූ ඇලෙක්ස් ග්‍රෙවිලි තවත් කෙනෙකුට දුර කථනයෙන් අමතන්නට උත්සහා කරන දර්ශනයක් අපට පෙන්වයි. මේ දෙදෙනාම කථා කරන්නට තැත් කරන්නේ එකම පුද්ගලයෙකුට බව පසුව අපට වැටහෙයි. ඔහු තාරුණ්‍ය යේ පසුවන කඩවසම් බොබ් එල්කීන්ය. මේ දෙදෙනාම දෙපැත්තක සිට බොබ් එල්කින්ට කථා කරන්නට උත්සහා කරනුයේ පසුදායින් ඇරඹෙන සති අන්තයේ ඔහු සමඟ ගත කිරීමටය. චිත්‍රපටයේ මූලික හරය, එම ජවනිකාව හරහා අධ්‍යක්ෂක වරයා ප්‍රේක්ෂකයන් ට වටහා දෙයි.
ඉන් පසු අප දකින්නේ පරක්කු වී නැඟිට කඩි මුඩියේ රැකියාවට යන්නට ලෑස්ති වෙන ඇලෙක්ස් ග්‍රෙවිලිය. ඇය, ගේ පෙරළගෙන මෙන් ලෑස්ති වන විටත්,එතරම් කලබලය මැද වුවද , බොබ් එල්කින්ව දුර කථනයෙන් සම්බන්ධ කර ගැන්මට උත්සහා කිරීමෙන් පෙනී යන්නේ මේ බොබ් එල්කින් නම් තරුණයා ඇයට කෙතරම් වටිනවාද යන්නය. එම වටිනාකම අප අනිත් පැත්තෙන් දකින්නේ දොස්තර ඩැනියල් හර්ෂ් ගෙනි. එතෙක් බොබ් එල්කින්ව තිරයෙන් නොදකින ප්‍රේක්ෂකයන් ට පවා ඇතිවෙන්නෙ කුතුහලයකි. එක පැත්තකින් රූමත් ගැහැනියෙකුත්, තව පැත්තකින් සුන්දර ප්‍රසන්න පෙනුමක් සතු මැදිවියේ පිරිමි දොස්තර කෙනෙකුත් දුරකථනයට වධ දෙමින් සොයන මේ බොබ් එල්කින්ගේ ඔය තරම් ඇති වටිනා කම කුමක්ද?
එය පැහැදිලිව තේරුම් යන්නේ ඊළඟ දර්ශන වලදීය.
බොබ් එල්කින්ව දුරකථනයෙන් සම්බන්ධ කර ගැන්මට නොහැකි වූ ඩැනියල් හර්ෂ්ට අදින් ඇරඹෙන සති අන්තය, ගත කරන්නට සිදුවෙන්නේ, පාළුව, තනිකම මිශ්‍ර අසතුටු දින දෙකකි. සතියේ දින 5ක්ම දොස්තරවරයෙකු ලෙස කාර්ය බහුල කාල සටහනක ගෙවු ඔහු සති අන්තය එන තෙක් බලා සිටියේ විවේකයෙන්, විනෝදයෙන් ගත කරන්නටය. එසේ ගත කරන්නට නම් බොබ් එල්කින් සිටිය යුතුම වේ. එහෙත් දැන් ඔහු දුරකථනයට පිළිතුරු දෙන්නේ නැත.
එම සිකුරාදාම, ඇලෙක්ස් ග්‍රෙවිලිද තම කාර්ය බහුල රාජකාරි අතරේ දුරකථනය හරහා බොහෝ වතාවක් බොබ් එල්කින්ව සම්බන්ධ කරගන්නට උත්සහා කළේ එළැඹෙන සති අන්තය විනෝදයෙන් ගත කරන්නටය. ඒ විනෝදය ඇයට ලබා ගන්නට හැකි වන්නේ බොබ් එල්කින්ගෙන් පමණි. එහෙත් මෙවර ඇයගේ සති අන්තය අපේක්ෂාභංග වන්නේ ඇයට බොබ් එල්කින්ව දුරකථනයට සම්බන්ධ කර ගැන්මට නොහැකි වූ නිසාය. දෙදෙනෙක් දෙපැත්තක සිට එකම කෙනෙක්ව සම්බන්ධකර ගැන්මට උත්සහා ගැන්ම තුළින් ප්‍රේක්ෂකයා තුළ යම් කුකුසක් ඇති වීම සාධාරණ ය.
එහෙත් එවලේ ඇතිවුණු ප්‍රශ්න වලට පිළිතුරු ලැබුණේ බොබ් එල්කින් ඩැනියල් හර්ෂ්ටත් නොදන්නවාම, ඔහුගේ නිවසට පැමිණීමය. ඒ පැමිණීමෙන් දොස්තර හර්ෂ් සති අන්තය සතුටින් ගත කරන බවත්, ඇලෙක්ස් ග්‍රෙවිලි දුකෙන් ගත කරන බවත්, දැං ප්‍රේක්ෂකයන් වටහා ගති.
ප්‍රේක්ෂකයන් ට ඇති වුණු කුතුහලය එය නොව, ඩැනියල් හර්ෂ තම නිවසේ වෙනම ඇති රෝගීන් හමුවන කාමරයේ වෛද්‍ය උපදෙස් දෙන අවස්ථාවේ, ඔහුගේ නිවසේ මුල් දොරේ යතුර බොබ් එල්කින් ළඟ තිබෙන්නේ කෙලෙසකද කියාය. බොබ් එම දොර තම යතුරෙන් ඇර නිවසට ඇතුල් වී , පෑන්ට්‍රියට ගොස් ශීතකරණයෙන් බීම වීදුරුවක් ගෙන තොල ගාන්නේ එම නිවස ඔහුට ඉතාමත් පුරුදු තැනක් වූ නිසාය. බොබ්ට ඩැනියල්ගේ නිවස එතරම්ම පුරුදු තැනක් වන්නට තරම් ඔවුන් දෙදෙනා අතර තිබෙන සම්බන්ධය කුමක්ද?
චිත්‍රපටයේ ඊළග ජවනිකාවේදී එයට නිසි පිළිතුර ලැබුණි. එම සිදුවීම තුළිනි ප්‍රේක්ෂකයන් දොස්තර ඩැනියල් හර්ෂ්, කුමන තරාතිරමේ පුද්ගලයෙකුද, කියා නිශ්චිතවම දැන ගන්නේ.
දොස්තර ඩැනියල් තමාගෙන් වෛද්‍ය උපදෙස් ලබා ගන්නට පැමිණී කාන්තාවට නිසි උපදෙස් ලබා,ඇයව පිටත් කෙරූ පසු ඔහු නිවසේ ඇතුළු දොරටුවෙන් පෑන්ට්‍රිය දෙසට එන විටය ඔහු දුටුවේ එහී බීම වීදුරුවක් තොල ගාමින් සිටින අමුත්තාව. ඩැනියල්ගේ මුහුණ මලක් පිපුණාක් මෙනි. ඔහු වහා බොබ් එල්කින් ළගට දිවගියේය. ඔවුන් දෙදෙනා ඉමහත් ආදරයෙන්, සෙනෙහසකින් වැලඳ ගත් අතර, බොබ් තම දෙතොල දොස්තර ඩැනියල් හර්ෂ් ගේ දෙතොල මත තැබුවෙි දිගු හාදුවකටය.
බ්‍රිතාන්‍ය සිනමා ඉතිහාසයේ පිරිමින් දෙදෙනෙක් අතරේ දිගු දෙතොල් හාදුවක් මෙතරම් විවෘතව පෙන්වූ ප්‍රථම චිත්‍රපටය ලෙස 'සන්ඩේ බ්ලඩි සන්ඩේ' චිත්‍රපටය හැඳීන්වීමට හැකිය.
එහෙත් ඇමරිකානු සිනමාව තුළ නම් පිරිමි දෙදෙනෙකුගේ හාදුවක් ප්‍රථම වතාවට ඇතුළත් වූයේ 1927 දී තිරගත වූ 'වින්ග්ස්' නමි චිත්‍රපටයේය. ඒ හමුදා නිලධාරින් දෙදෙනෙක් අතෙර්ය. එය රාගය පදනම් කර ගත් සිදුවීමක් නම් නොව, ආදරය, සෙනෙහස, හා පසුතැවිල්ල පදනම් කර ගත් ජවනිකාවක් විය. එක් යුධ භටයෙකු වෙඩි වැදී මිය යන්නට සුළු මොහොතකට පෙර ඔහු ගේ මිතුරු යුද භටයා ඔහුව සනසන අවස්ථාවේදි හා ඔවුන් ඔවුනගේ සෙනෙහස තිව්ර වන අවස්ථාවේදී ය. එම සිප ගැනීම ඇති වන්නේ. එය ලොව ප්‍රථම පිරිමි සිනමා සිප ගැනීම ලෙස සලකන අතර එය සිදුවූයේ රිචඩ් ආර්ලන් හා චාර්ල්ස් රොජර්ස් යන නළුවන් දෙදෙනා අතරය. එහෙයින් ඔවුන් දෙදෙනා ලෝක සිනමාවේ ප්‍රථම පිරිමි සිපගැනීමේ ජවනිකාවට මුහුණ දුන් නළුවන් දෙදෙනා ලෙස සිනමා ඉතිහාසයට එක් විය. එතැන් සිට බොහෝ ඇමරිකානු චිත්‍රපටවල විශේෂයෙන් සමරිසි තේමාවන් ගැන තිබූ චිත්‍රපටවල එසේ පිරිමින්ගේ දෙතොල් සිප ගැනීමේ දර්ශන ඇතුළත් විය. ලංකාවේ ද එසේ පිරිමින් දෙදෙනෙක්ගේ දැඩි දිගු දෙතොල් සිප ගැනීමක් ඇති වුයේ දසුන් පතිරණ හා ජෙහාන් අප්පුහාමි අතරය. ඒ 'සය පෙති කුසුම' චිත්‍රපටයේය. සමරිසි තේමාවක් වූ 'මලට නොඑන බඹරු' චිත්‍රපටයේ ජෝ අබේවික්‍රම හා අජිත් ජිනදාස අතර සමීප සබඳතා ඇති දර්ශන තිබුණද, ඔවුන් අතරේ දෙතොල් සිප ගැනීමක් දර්ශනයක් සිදු නොවුයේය. 'කොටි වලිගය' චිත්‍රපටයේද සනත් ගුණතිලක හා රොඩ්නි ජොන්ක්ලාස් අතර සම රිසි සබඳ කමක් පෙන්වුවද, එහී ක්‍රියාකාරි ජවනිකා තිබුණේ නැත.
මැදිවියේ දොස්තර ඩැනියල් හර්ෂ් හා තරුණ කඩවසම් බොබ් එල්කින්ගේ දිගු දෙතොල් සිප ගැනීම තුළින්, 'සන්ඩෙ බ්ලඩි සන්ඩේ' චිත්‍රපටයේ ඔවුන් දෙදෙනාගේ චරිත ගැන ප්‍රේක්ෂකයන් ට අවබෝධ වන්නට විය. මැදිවියේ වුවද මනා කඩවසම්, ප්‍රියමනාප රුවක් ඇති, පෞරුෂත්වයක් ඇති දොස්තර ඩැනියල් හර්ෂ් විවාහ නොවී තනිකඩව ජීවත් වීම රහස ද ප්‍රේක්ෂකයන් වැටහෙන්නට වුයේ එම සිප ගැනීමෙන් පසුවය. ඔවුන් අතරේ තිබෙන්නෙ කෙබඳු සම්බන්ධකමක්ද, එලෙසම දොස්තර ඩැනියල් හර්ෂ් සති අන්තයක් එළැඹෙන විටම බොබ් එල්කින්ට දුරකථන ඇමතුම් කීප වතාවක්ම ගන්නේ කුමකටදැයි දැන් ප්‍රේක්ෂකයන් දනී.
නමුත් ඇලෙක්ස් ග්‍රෙවිලි නම් 30 හැවරිදි වරක් විවාහවී, එය දික්කසාද වූ ගැහැනිය බොබ් එල්කින්ව සොයා දුරකථනයට වධ දෙන්නේ ඇයිද කියන එක ප්‍රේක්ෂකයා දකින්නේ, ඇය, බොබ් එල්කින් සමඟ තම හිතවත් මිතුරු පවුලක් වූ බිල් හා අල්වා හඩ්සන් ගේ නිවසේ රාත්‍රිය ගත කල පසුය. බිල් හා අල්වා හඩ්සන් තම දඟකාර කුඩා දරුවන් 4 දෙනා ඇලෙක්ස් ග්‍රෙවිල්ට භාර දී, එක් සති අන්තයක කිසියම් කටයුත්තක් සඳහා පිටත් විය.ඒ සති අන්තයේ ඇලෙක්ස්ට, බොබ් එල්කින් සමඟ ගත කිරීමටත්, යහන් ගත වීමටත් අවස්ථාව ලැබුණි.
එසේ නම්, මැදිවියේ දොස්තර ඩැනියල් හර්ෂ් නම් වූ සමරිසි පුද්ගලයා සමඟත්, විවාහ වී දික්කසාද වූ ඇලෙක්ස් ග්‍රෙවිලි නම් ගැහැණිය සමඟත් ආදරයෙන් වෙළෙමින්, දෙදෙනා සමඟම ලිංගීක සම්බන්ධතා ගෙනියන මේ කඩවසම් තරුණයා වූ බොබ් එල්කින් කවුද? පිරිමියෙක් හා ගැහැනියෙක් සමඟ වෙන් වෙන්ව එකතුවන බොබ් එල්කින්ගේ අරමුණ කුමක්ද? මැදිවියේ දොස්තරවරයා, හා දික් කසාද වූ ගැහැනිය, තම ජීවිතයටත් වඩා බොබ් එල්කින් නම් තරුණයාට ආදරය කරමින්, ශෘංගාරයෙන් වෙලෙන ඔවුනගේ අරමුණ කුමක්ද? එසේ විසදා ගත නොහැකි එහෙත් විසදන්නට උත්සහා ගන්නා චිත්‍රපටයකි ජෝන් ශ්ලෙසින්ගර් ගේ 'සන්ඩෙ බ්ලඩි සන්ඩේ'.
ජෝන් රිචඩ් ශ්ලෙසින්ගර් ,1926 පෙබරවාරි 16 වන දින එංගලන්තයේ ලන්ඩන් නුවර ඉපදුණි. ස්ටෑන් බැර්ස්ටෝ ගේ නවකථාවක් වූ 'අ කයින්ඩ් ඔෆ් ලවින්' පාදක කර ගත් එම නමින්ම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරමින් ජෝන් ශ්ලෙසින්ගර් බ්‍රිතාන්‍යයෙන් හොලිවුඩ් සිනමාවට එකතු විය. ඒ 1962 දීය . එතැන් සිට ඔහු හැම විටම උත්සහා කළේ ලෝකයට වැදගත් යැයි සිනමා පට නිර්මාණය කිරීමටය. 1969 දී ඔහු 'බිලි ලයර්' නම් චිත්‍රපටයක් නිර්මාණය කළේය. 1965 දී ඔහු 'ඩාලිං' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අතර එය ඒ වසරේ හොඳම චිත්‍රපටය ලෙස ඇමරිකානු ඇකඩමි සම්මාන උලෙළේ නිර්දේශ විය.ඉන් පසු ඔහු ' ෆා ප්‍රොම් ද මැඩිං ක්‍රෝවුඩ්' චිත්‍රපටය නිර්මාණය කළ අතර, එහී ඔහු 'පීටර් ෆින්ච්' නම් නළුවාව තම නිර්මාණයකදී ප්‍රථම වතාවට මෙහෙය වූයේය.
1969 දී ඔහු අධ්‍යක්ෂණය කළ ' මිඩ් නයිට් කව් බෝයි' චිත්‍රපටය , ඒ වසරේ හොඳම චිත්‍රපටය ලෙස ඇකඩමි සම්මානය ලබා ගති. ජෝන් ශ්ලෙසින්ගර් ලොව විශිෂ්ට අධ්‍යක්ෂක වරයන්ගෙන් කෙනෙක් වූයේ එලෙසය.
'සන්ඩේ බ්ලඩි සන්ඩේ' චිත්‍රපටය ඔහු නිර්මාණය කිරීමට පටන් ගත්තේ ඉන් පසුවය. ඒ 1970-1971 තරමේය. ශ්ලෙසින්ගර් ට මෙම චිත්‍රපටය නිර්මාණය කිරීමේ අදහස ඇතිවුණේ ඔහු 'ෆා ෆ්‍රොම් ද මැඩිං ක්‍රෝව්ඩ්' අධ්‍යක්ෂණය කරන කාලයේදීය. එහෙත් එය ඔහුට හරි සැලැස්මකට පැමිණීමට අවුරුදු 5 ක් පමණ කාලයක් ගත විය. කිසිවෙක් මෙම කථාව ගැන උනන්දුවක් දැක්වූයේ නැත. එය නිමාවක් නොමැතිවම පමා විය. ඒ හේතුවෙන් චිත්‍රපටය පටන් ගැන්මටත් ප්‍රථම විශාල වියදමක් දරන්නට සිදු විය.
අධ්‍යක්ෂක ජෝන් ශ්ලෙසින්ගර් සමරිසි පුද්ගලයෙක් විය. ඔහු ජීවත් වූයේ ඔහුගේ සහකරු වූ මයිකල් චිල්ඩර් සමඟය. එය අවුරුදු 30 ක සිට ඔහු මිය යනතෙක්ම පැවත ආ දෙයකි. 'සන්ඩේ බ්ලඩි සන්ඩේ' කථා තේමාව ජෝන් ශ්ලෙසිංගර් ගේ පුද්ගලීක සමරිසි ජීවිතයේ සිදුවූ ඇතැම් සත්‍ය සිදුවීම් අලළා නිර්මාණය වූවකි. ඔහු මෙම සිදුවීම් චිත්‍රපටයේ ඉදිරිපත් කළේ දොස්තර ඩැනියල් හර්ෂ් හරහාය. ඒ අනුව ඩැනියල් හර්ෂ් යනු අර්ධ ජෝන් ශ්ලෙසින්ගර් ය.
අධ්‍යක්ෂක ජෝන් ශ්ලෙසින්ගර් මෙම අදහස ට තිර පිටපතක් ලියා දෙන්නට බාර කළේ විශිෂ්ට ලේඛිකාවක, තිර පිටපත් රචිකාවක වූ පෙනිලෝප් ජිලියට් ටය. එහෙත් ශ්ලෙසින්ගර් හා ජිලියට්ට එකට වැඩ කිරීමට අපහසු විය. එලෙසම මුල් තිරපිටපතේ ඇය ලියූ දෙබස් වලට චිත්‍රපටයේ නිෂ්පාදක ජෝශප් ජානි මෙන්ම ශ්ලෙසින්ගර්ද කැමැත්තක් දැක්වූයේ නැත. ඒ අතරේදී ඇය නිව්යෝක් බලා ගියේ 'ද නිව්යෝකර්' සඟරාවේ වැඩ කිරීමටය. ඇය නැවත ලන්ඩනයට පැමිණියේ නැත.අවම වශයෙන් ශ්ලෙසින්ගර් ගේ චිත්‍රපටයේ ඇය ලියූ තිරපිටපත යළි සකස් කර දීමටවත් ඇය පැමිණියේ නැත. 'ඕ ලකී මෑන්','බ්‍රිටානියා හොස්පිටල්' වැනි චිත්‍රපටවල තිර රචනය ලියූ බ්‍රිතාන්‍ය ජාතික චිත්‍රපට තිර රචක ඩේවිඩ් ශර්වින්ව ශ්ලෙසින්ගර් විසින් ගෙන ආවේ 'සන්ඩේ බ්ලඩි සන්ඩේ' චිත්‍රපටයේ තිර රචනය තමනට අවශ්‍ය අන්දමට සකස් කර ගැන්මටය.
චිත්‍රපටයට නළු නිළියන්ව තෝරන විට ශ්ලෙසින්ගර් ට අවශ්‍ය වූයේ දොස්තර ඩැනියල් හර්ෂ් ගේ චරිතයට බ්‍රිතාන්‍ය නළු 'පීටර් ෆින්ච්' ව තෝරා ගැන්මටය. ඒ ඔහු ශ්ලෙසින්ගර් ගේ 'ෆා ප්‍රොම් ද මැඩිං ක්‍රෝව්ඩ්' චිත්‍රපටයේ සිට ඇති කරගත් සුහදතාවය නිසාත්, දොස්තර ඩැනියල් හර්ෂ් ගේ චරිතයට ඔහු වඩාත්ම සුදුසු නිසාත්ය. එහෙත් ඔහු ඒ වන විට 'මෑන්ස් ෆේට්' නම් චිත්‍රපටයේ රඟපා සිටි නිසා ඔහුට දින වෙන් කර ගන්නට නොහැකි විය. එහෙයින් ශ්ලෙසින්ගර් , දොස්තර ඩැනියල් හර්ෂ් ගේ චරිතයට 'ඇලන් බැට්ස්' යන නළුවාව තෝරා ගති.ඇලන් බැට්ස් ලාංකික ප්‍රේක්ෂකයන් ට හුරු, ඔහු 'සොරබා ද ග්‍රීක්' හා ' වුමන් ඉන් ලව්' , චිත්‍රපට වල රඟපෑ නිසාය. ඒ චිත්‍රපට දෙකම ලංකාවේ ප්‍රදර්ශනය වී තිබුණි. එහෙත් ඇලන් බැට්ස් ටද, ' සන්ඩේ බ්ලඩි සන්ඩේ' චිත්‍රපටයට එක්වන්නට නොහැකි වූයේ ඔහු 'ද ගෝ බිට්වීන්' චිත්‍රපටයේ රූ ගත කිරීම් වල නිරත වී සිටි නිසාය. ඉන් පසු එම චරිතයට ස්කොට්ලන්ඩ් ජාතික නළුවෙකු වූ ඉයන් බැනන් ව තෝරා ගත්තද, පිරිමියෙකු සමඟ සිදුවන හාදු දර්ශනයට ඔහු පැකිළෙන්නට විය. ඔහු සිතුවේ එම ජවනිකාවට ඔහු මුහුණ දුන්හොත් තම සිනමා ජීවිතය එතැනින් අවසන් වේ යැයි කියාය. එහෙයින් ඔහු එහී රඟපෑමට එක් වූයේ නැත. ඒ අතරේ පීටර් ෆින්ච් ට එම චිත්‍රපටයේ රඟපෑමට කාල වේලාව සකසා ගත හැකි විය. අවසානයේ එම චරිතයේ නියම සුදුස්සාටම එය ලැබුණි.
1916 සැප්තැම්බර් 28 වන දින එංගලන්තයේ ලන්ඩන් නුවර සවුත් කෙන්සින්ග්ටන් නගරයේ ඉපදුණු පීටර් ෆින්ච්, සිනමාවට එකතු වූයේ 1934 දීය. ඉංග්‍රිසි- ඕස්ට්‍රේලියන් නළුවෙකු ලෙස සැලකෙන ඔහුගේ ප්‍රථම චිත්‍රපට රඟපෑම ඇතුලත් වූයේ ' ද මැජික් ෂූස්' නම් වූ කෙටි චිත්‍රපටයෙනි. ඔහුගේ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය තිර ගත කළේ 1938 දීය. ඒ ' ඩැඩ් ඇන්ඩ් ඩේව් කම් ටූ ටවුන්' ය. එතැන් සිට ඔහු 'සන්ඩෙ බ්ලඩි සන්ඩේ' චිත්‍රපටය වන තෙක් චිත්‍රපට 57 ක පමණ රඟපා තිබුණි. එතැනින් පසු ඔහු රඟපෑවේ චිත්‍රපට 6 ක පමණි. ඒ 'සම්තින්ග් ටු හයිඩ්', ' ලොස්ට් හොරයිසන්', ' බොකෙස්ට් ටු ද නේෂන්', 'ඉන්ගලන්ඩ් මේඩ් මී', 'ද ඇබ්ඩිකේෂන්' ය. ඔහුගේ අවසාන චිත්‍රපටය වූයේ 1976 තිර ගත කළ 'නෙට්වරක්' චිත්‍රපටය ය. එම රඟපෑමට ඔහුට වසරේ හොඳම නළුවා ලෙස ඔස්කාර් ඇකඩමි සම්මානය හිමි වූවද ඔහු ට එය වේදිකාවට පැමිණ ලබා ගැන්මට නොහැකි වූයේ ඔහු ඒ වන විට මිය ගොස් සිටි නිසාය.
ජේන් සිමන්ස් නම් නිළියව ඇලෙක්ස් ග්‍රෙවිලි ගේ චරිතයට තෝරා ගත්තද, ශ්ලෙසින්ගර් විසින් 'වුමන් ඉන් ලව්' චිත්‍රපටය නැරඹූ පසු එහී ප්‍රධාන චරිතය රඟපෑ ග්ලෙන්ඩා ජැක්සන් ඇලෙක්ස් ග්‍රෙවිලි ගේ චරිතයට වඩාත් සුදුසු බව හැඟුණු නිසා ඔහු ඇයට එම චරිතය භාර කළේය.
බොබ් එල්කින්ට තෝරා ගත් මරේ හෙඩ් නළුවා, නළුවෙක් සේම අතීශයෙන්ම ජනප්‍රිය රොක් ගායන ශිල්පියෙක් විය.'ජීසස් ක්‍රයිස්ට් සුපර් ස්ටාර්' ඔපේරා චිත්‍රපටයේ එන 'සුපර් ස්ටාර්' රොක් ගීතය ගයන්නේද මරේ හෙඩ්ය. එලෙසම ඔහු දක්ෂ රොක් ගිටාර් වාදකයෙක් විය. ඔහුගේ මුල්ම චිත්‍රපටය ලෙස සැලකනුයේ 1966 තිර ගත කළ ' ද ෆැමිලි වේ' චිත්‍රපටය ය.
'සන්ඩේ බ්ලඩි සන්ඩේ' චිත්‍රපටයේ බොබ් එල්කින්ගේ චරිතය හරියට සුළඟට සෙලවෙන නා දල්ලක් බඳුය. කිසිදු අරමුණකින් තොරව ගලා යන ඔහු ගේ ජීවිතය තුළ අප කිසියම් හිස් බවක් දුටුවද, අවසානයේදී අපට වැටහෙනුයේ එම චිත්‍රපටයේ චරිත අතුරින් අරමුණක් ඇතිව සිටි එකම චරිතය බොබ් එල්කින් බවය.
දොස්තර ඩැනියල් හර්ෂ් , බොබ්ට දැක්වූයේ දැඩි ආදරයකි. ඔහු ගේ ලොකුම ආශාව මෙන්ම එකම සැලැස්ම වූයේ බොබ් එල්කින් සමඟ ඉතාලියට ගොස් කිසියම් කාලයක් එහී ගත කිරීමය. ඔහු ඒ වෙනුවෙන් ඉතාලි භාෂාවද ඉගෙන ගති. බොබ්ද, ඩැනියල්ට ඔහු සමඟ ඉතාලියට යන බවට පොරොන්දු වී තිබූ හෙයින් ඩැනියල්ගේ එකම බලාපොරොත්තුව එය විය.
ඇලෙක්ස්ට අවශ්‍ය වූයේ බොබ් සමඟ විවාහ වී පවුල් ජීවිතයක් ගත කිරීමටය. එයට බොබ් විසින් කැමැත්ත ලබා දුන්නද, ඇයට වඩා බොබ්, ඩැනියල්ට ප්‍රිය බවක් චිත්‍රපටයේදී තේරුම් යනු ඇත. පසුව එයම ඇලෙක්ස් ග්‍රෙවිලි ටද තේරුම් ගියෙන් ඇය ජෝර්ජ් හාර්ඩින් නම් මැදිවියේ තමන්ගේ සේවාදායෙකු සමඟ යහන් ගත විය. එය දැනගත් පසු බොබ් ඇයට කියනුයේ ඇය වෙනත් පිරිමි සමඟ සිටියාට ඔහුට ප්‍රශ්නයක් නොවන බවකි.
දොස්තර ඩැනියල් හර්ෂ් ටද බොබ් හමුවීමට පෙර ආදරවන්තයෙක් සිටියේය. ඔහු ස්කොට්ස්මන් නම් තරුණයෙක් වූ අතර, ඩැනියෙල් ඔහු අත්හැර දමා ඇත්තේ ඔහු හෙරෝයින් නම් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටි නිසාය. අප එම චරිතය චිත්‍රපටයේ දී දකින්නේ දිනක් අහම්බෙන් රථවාහන තද බදයකදී ඩැනියල්ට අනෙපේක්ෂිතව ඔහුව මුණ ගැසෙන නිසාය.
චිත්‍රපටය තුළ කථාවට පරිබාහිරව විවිධ දෑ සිදු වූවද, ඒවා කොහෙන් හෝ පැමිණ කථාව හා සම්බන්ධ වේ.
දොස්තර ඩැනියල් හර්ෂ් හා ඇලෙක්ස් ග්‍රෙවිලි ගේ අහස උසට තැබූ බලාපොරොත්තු සුනු විසිනු වන්නේ බොබ් එල්කින්ට ඇමරිකාවේ නිව්යෝක් නගරය තුළ ඔහුගේ කලාගාරයක් විවෘත කිරීමට ආරාධනා වක් ලැබුණු පසුවය. ඔහු දොස්තර ඩැනියල් හර්ෂ්ට කියන්නෙ ඔහු ඇමරිකාවට ගියත්, යලි එන බවත්, එසේ පැමිණි පසු ඔවුන් දෙදෙනාටම ඉතාලියට යා හැකි බවක්ය. එහෙත් බොබ් එල්කින් යළි කිසිම දිනෙක ඔහුව සොයා ගෙන නැවත එංගලන්තය ට නොඑන බව දොස්තර ඩැනියල් හර්ෂ් හොඳටම දැන ගතී.
බොබ් එල්කින් ඇමරිකාව බලා පිටත් ව ගියේ දොස්තර ඩැනියල් හර්ෂ් ට හා ඇලෙක්ස් ග්‍රෙවිලි ට මිහිරි ආදර හා ශෘංගාරාත්මක මතක ගොන්නක් ඉතිරි කරය.
චිත්‍රපටය අවසන් වන්නේ දොස්තර ඩැනියල් හර්ෂ් තිරය මත සිට තනිවම කිසියම් කථාවක් කීමෙනි. ඔහු කියන්නෙ ඔහු සිටින්නේ සන්තෝෂයකින් වුවද, බොබ් එල්කින් තමාව හැර යාම නම් තමාට විශාල දුකක් බවය.
'සන්ඩේ බ්ලඩි සන්ඩේ' චිත්‍රපටයේ සිදුවීම් අල්ප වුවද, එහී අන්තර්ගතනය ගැඹුරුය. මිනිසුන් ගැහැනුන් මේ වහල් වෙන්නේ ආදරයට හා ආශාවන්ට නොවෙිද? එයින් බොහෝ අවස්ථාව න් හී අවසනට ඉතුරු වන්නේ පරාජය, තනිකම හා පාළුව නොවේද? එය සමරිසි පුද්ගලයෙකුට වේවා, සාමාන්‍ය පුද්ගලයෙකුට වේවා බලපෑම එකමය.
ශ්ලෙසින්ගර් ගේ 'සන්ඩේ බ්ලඩි සන්ඩේ' චිත්‍රපටය අපට බොහෝ දේ සිතන්නට ඉඩ හරියි. මිනිසුන්ගේ අභ්‍යන්තර සිතුම් පැතුම් , ඔවුන් ගේ හැඟීම්, ආශාවන් වැනි සියුම් ස්පර්ශ ගැන චිත්‍රපටය නරඹා බොහෝ කාලයක් වුවද සිතා බැලීමට කරුණු සාදා දෙයි.
පීටර් ෆින්ච් එතෙක් මෙතෙක් කළ විශිෂ්ටතම රඟපෑම සමරිසි පුද්ගලයෙක් වූ දොස්තර ඩැනියල් හර්ෂගේ චරිතයයි. එලෙසම ඇලෙක්ස් ග්‍රෙවිලි ලෙස රඟපෑ ග්ලෙන්ඩා ජැක්සන් රඟපෑම සුවිශේෂිත විය. චිත්‍රපටයේ සංගීතය ඉතාම උසස් මට්ටමේ තිබූ අතර, බොහෝ අවස්ථාවලදී සිමිෆනි සංගීතය භාවිතා කර තිබුණේ මෙම චරිත ජීවත්වන උසස් පැළැන්තිය ප්‍රේක්ෂකයන් ට දනවන්නටය. ජෝන් ශ්ලෙසින්ගර් ගෙ අධ්‍යක්ෂණය ගැන කීමට වචන මදි ය. එය එතරම්ම විශිෂ්ට ය. 'සන්ඩේ බ්ලඩි සන්ඩේ' මනා සංයමයකින් නැරඹිය යුතු උසස් චිත්‍රපටයකි. එය හරියට ඩිගෝ වෙලාස්කුවෙක් ගේ ' ලා ස් මෙනිනාස්' ලියෝනාඩෝ ඩා වින්සි ගේ 'මෝනා ලීසා' එසේත් නොමැති නම්, පැබ්ලෝ පිකාසෝ ගේ 'ලෙස් ඩෙමොයිසෙල්ස් ඔෆ් අවිග්නෝන්' වැනි උසස් චිත්‍ර නරඹනවාක් වැනිය.
ශෝන් මැක්ස්මස් දිසානායක