මැටිල්ඩාගේ දඟකාරකම්

ROALD DAHS'S Matilda The Musical
දෙසැම්බර් 8, 2022

මැටිල්ඩා වර්ම්වුඩ් ඉපදුණේ එංගලන්තයේ බකිංහැම්ෂයර් හි කුඩා නගරයකය. ඉතාම කුඩා අවධියේදී එනම් වයස අවුරුද්ද වන විට ඇයට කතා කිරීමේ හැකියාව තිබුණි. වයස අවුරුදු තුනත් මාස හය පසු වන විට ඇය පුස්තකාලයේ තිබූ කුඩා දරුවන්ගේ පොත් සියල්ලම පාහේ කියවා තිබුුණි. වයස අවුරුදු හතරත් මාස තුන වන විට ඇය කියවූයේ චාල්ස් ඩිකන්ස්ගේ ග්‍රේට් එක්පෙක්ටේෂන්ස්, චාලට් බ්‍රොන්තේගේ ජේන් අයර් වැනි නවකතාය.

කෙසේ වුවත් මැටිල්ඩාගේ මාපියන් වූ වර්ම්වුඩ් මහතා සහ මහත්මිය ඇයගේ මෙම විශේෂ හැකියාවන් සුළුකොට තැකුවා පමණක් නොව ඇය ඉතා දරදඬු පාලනයකට යටත් කළහ. මෙය නොඉවසූ මැටිල්ඩා මාපියන් වෙතද කරදරකාරියක නොවූවා නොවේ. වයස අවුරුදු පහ හමාර වන විට මැටිල්ඩා පාසලට ඇතුළත් වූ අතර ඇයගේ ගුරුවරිය වූ ජෙනිෆර් හනී මැටිල්ඩාගේ සුවිශේෂ හැකියාවන් ගැන අතිශය සතුටු වී සිටියාය. හනී මෙනෙවිය මැටිල්ඩාගේ දක්ෂතාවය නිසා ඇය ඉහළ පන්තියකට යැවීමට උත්සාහ කළ ද පාසලේ නපුරු විදුහල්පනිය වන ඇගතා ට්‍රන්ච්බුල් මෙනෙවිය ඒ වෙනුවෙන් ඉඩ නොදුන්නාය. මැටිල්ඩාගේ මාපියන් වෙත ගියද හනී මෙනෙවියට ඒ වෙනුවෙන් යමක් ඉටු කළ හැකි වූයේ නැත. ඔවුන් පැවසූයේ මොළය වැඩිකම කුඩා දැරියකට නුසුදුසු තත්ත්වයක් බවයි. ට්‍රන්ච්බුල් මෙනෙවිය නොයෙකුත් විකාර දඬුවම් පාසලේ දරුවන්ට දෙන බව මැටිල්ඩා දුටුවාය. මෙවන් විකාර දඬුවම් විඳී දරුවන් සිය මාපියන්හට ඒ ගැන සැළ කළ ද ඒවායේ ඇති අස්වාභාවික බව නිසා මාපියන්ද එය විශ්වාස නොකරන්ට විය. මැටිල්ඩාගේ බුද්ධිමය හැකියාවන් මීළඟ තලයට ළඟා වූයේ මේ අවධියේදීය. දැන් ඇයට මනසේ බලයෙන් යම් යම් භෞතික ද්‍රව්‍ය එහා මෙහා කළ හැකිය...

මැතිව් වෝචස්ගේ අධ්‍යක්ෂණය කළ මැටිල්ඩා ද මියුසිකල් චිත්‍රපටය රෝල්ඩ් ඩාල් 1988 වසරේදී රචනා කළ මැටිල්ඩා කුඩා දරුවන්ගේ නවකතාව පාදක කොට ගෙන නිර්මාණය වූවකි. බ්‍රිතාන්‍ය සංගීතමය මනඞකල්පිත හාස්‍යමය චිත්‍රපටයක් වන මෙය නොවැම්බර් 25 වැනිදා එක්සත් රාජධානියේ තිරගත වීම ඇරඹි අතර දෙසැම්බර් 25 වැනිදා සිට නෙට්ෆ්ලික්ස් ඔස්සේ නැරඹිය හැකිය. මැටිල්ඩා ද මියුසිකල් චිත්‍රපටය සෝනි පික්චර්ස්, ඉන්ටනැෂනල්, නෙට්ෆ්ලික්ස් යන ආයතනයන්හි බෙදාහැරීමකි.

දහතුන් හැවිරිදි අලීෂා වියර් මැටිල්ඩා ලෙසත් ලෂානා ලින්ච් හනී මෙනෙවිය ලෙසත් එමා තොම්සන් අගතා ට්‍රන්ච්බුල් මෙනෙවිය ලෙසත් පිළිවෙලින් ස්ටීවන් ග්‍රහැම් සහ ඇන්ඩ්‍රියා රයිස්බොරෝ මැටිල්ඩාගේ මාපියන් ලෙස ද මෙම චිත්‍රපටයේ චරිත මවති. රොට්න් ටොමැටෝස් වෙබ් අඩවියේ මෙම චිත්‍රපටයට ඉහළ පැසසුම් ලබා දී ඇත. චිත්‍රපටයේ දර්ශකයේ සාමාන්‍ය අගය 7.7/10කි. වෙබ් අඩවියේ ප්‍රමුඛ විචාරය මෙසේ පවසයි. මෙම චිත්‍රපටය එමා තොම්සන්ගේ දක්ෂ රංගනයත් සුන්දර නර්තයන් ද සමඟින් පැරණි කතාව සුදුසු ආකාරයෙන් වෙනස් කරමින් දක්ෂ ලෙස සිනමාවට නඟා ඇත.