මනෝ ව්‍යාධියක බිහිසුණු සිත ඇල්ෆ්‍රඩ් හිච්කොක් ගේ PSYCHO

දෙසැම්බර් 8, 2022

ඇල්ෆ්‍රඩ් හිච්කොක් ඉපදුණේ 1899 අගෝස්තු 13 වන දිනය. ඒ එංගලන්තයේ එසෙක්ස් හී ලිටෝන්ස්ටන් නගරයේය. මිය ගියේ 1980 අප්‍රේල් 29 වන දිනය. මිය යන විට ඔහු සිටියේ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඒන්ජල්ස් නගරයේය. ඔහු 1955 වන තෙක් එංගලන්තයේ පුරවැසියෙක් වී සිටි අතර 1955 දී ඇමරිකානු පුරවැසි භාවය ලබා ගතී. 

ඇල්ෆ්‍රඩ් හිච්කොක් සිනමා ක්ෂේත්‍රයට පැමිණියේ 1919 දීය.ඒ චිත්‍රපට නාමාවලිය ඇඳීම හා ලියා ඇති කථා පිටපත් කිරීමටය. 1922 දී ඔහු 'නම්බර් 13' නම් කෙටි චිත්‍රපටයක් පටන් ගත්තද, එය නිම කර ගැන්මට නොහැකි වූ අතර, එය චිත්‍රාගාරය තුළම නැතිවූ බවක් කියවේ . ඉන්පසු ඔහු ' ඕල්වේස් ටෙල් යුවර් වයිෆ්' නමින් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළේය. ඒ 1923 දීය. ඔහුගේ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය නිර්මාණය වූයේ 1925 දීය. ඒ 'ද ප්ලෙෂර් ගාඩ්න්' ය. ඒවා සියල්ලම නිහඬ චිත්‍රපටයන්ය.

ඔහු ශබ්ද චිත්‍රපටයක් කළේ 1929 දීය. ඒ 'බ්ලැක් මේල්' ය. එතැන් සිට, මෙම සටහනට අයත් වන 'සයිකෝ' චිත්‍රපටය නිර්මාණය වන තෙක් ඔහු චිත්‍රපට 39 ක් පමණ අධ්‍යක්ෂණය කළේය. 'ජූනෝ ඇන්ඩ් ද පේකොක්', 'මර්ඩර්', 'ද ස්කින් ගේම්', 'ද 39 ස්ටෙප්ස්', 'සැබොටාජ්', 'රෙබෙකා', 'සස්පීෂන්', 'රෝප්', 'රියර් වින්ඩෝ', 'ටු කැච් අ තීෆ්', 'ද රෝංග් මෑන් ' වැනි චිත්‍රපට ඒ අතරේ විය. 'ද බර්ඩ්ස්', 'මාර්නි', 'ටෝන් කර්ටන්, 'ටොපෑස්' ' 'ෆිරින්සි' ඔහු පසු කලෙක අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය. ඔහුගේ අවසන් චිත්‍රපටය වූයේ 1976 දී තිර ගත කළ 'ෆැමිලි ප්ලොට්'ය.

ඔහුගේ චිත්‍රපට වල බොහෝ විට රැදුණේ භයංකාරත්වයත්, කුතුහලයත්වය ය. එය කිසි ලෙසකත්, අද්භූත නොඑසේ නම් ⁣'හොරර්' ශානරය යටතේ නොව. එහී බොහෝ විට ගැබ්වුණේ මානසික ව්‍යාධියකින් කෙරෙන රහසිගත මිනිමැරුම්ය. එය ඔහු විවිධාකාර අන්දමට ඉදිරිපත් කරන්නට විය. මිනිසුන්, ගැහැනුන් කරන ඝාතන මෙන්ම සතුන් විසින් කරන මිනිස් ඝාතනද ඊට ඇතුළත් වේ. ඔහුගේ 1963 දී නිර්මාණය වූ 'ද බර්ඩ්ස්' එවැනි චිත්‍රපටයකි. එහී මිනිස් ඝාතන කෙරෙනුයේ කුරුල්ලන්ය.

ඇල්ෆ්‍රඩ් හිච්කොක් ව සිනමා ක්ෂේත්‍රයේ හැඳින්වූයේ 'මාස්ටර් ඔෆ් සස්පෙන්ස්' කියා ය. ඔහු තරම් කුතුහලය දනවන චිත්‍රපට රැසක් කෙරූ අධ්‍යක්ෂකවරයෙක් ලොව තවත් සොයා ගැන්මට නො⁣හැකිය. ඔහු නිශ්ශබ්ද චිත්‍රපට 10 යකුත්, (ඒ අතරේ එක් කෙටි චිත්‍රපටයක් ඇතුළත් විය) ශබ්ද චිත්‍රපට 47 ක් අධ්‍යක්ෂණය කර තිබුණි. ( ඒ අතරේද එක් කෙටි චිත්‍රපටයක් විය .) 

ඇල්ෆ්‍රඩ් හිච්කොක් ගේ එක් චිත්‍රපටයක් ඇමරිකානු ඔස්කාර් ඇකඩමි සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගති. ඒ 1940 දී තිරගත කළ 'රෙබෙකා' චිත්‍රපටයයි. එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරී⁣ම වෙනුවෙන් හොඳම අධ්‍යක්ෂණය ට හිමි සම්මානයට ඔහුව නිර්දේශ විය.

ඇල්ෆ්‍රඩ් හිච්කොක් නිහඬ හා හඬ චිත්‍රපට 50 කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කළද, 5 වරක් ඇමරිකන් ඔස්කාර්, ඇකඩමි හොඳම අධ්‍යක්ෂක සම්මානයට නිර්දේශ වූවද, ඒ හැම සිනමා පටයකට වඩා මුළු ලොවම ඉංග්‍රීසි චිත්‍රපට ප්‍රේක්ෂකයන් ගේ වැඩි අවධානය දිනා ගත්තේ ' සයිකො' චිත්‍රපටයයි.

'සයිකෝ' චිත්‍රපටය නිර්මාණය වූයේ රොබට් බ්ලොච් විසින් 1959 වසරේදී රචනා කළ 'සයිකෝ' නවකථා පොත ආශ්‍රයෙනි. රොබට් බ්ලොච් ඇමරිකානු ප්‍රබන්ධ නවකථාකරුවෙකි. ඔහු වඩාත් ප්‍රිය කළේ අපරාධ පිළිබඳ, කථා ලිවීමටය. එලෙසම ඔහු කුතුහලය මුසු හොල්මන් ශානරය යටතේ කථා ලීවද, ඒවා තුළ අද්භූත දෑ වලට වඩා මානසීක අවුල්, මත ඇතිවෙන කම්පනයන් හේතු කොට ගෙන කෙරෙන භයානක මිනිමැරුම් ගැන ලියන්නට ප්‍රියතාවයක් දැක්විය. 'සයිකෝ' එවන් සිදුවීම් ඇතුලත් වූ කථාවක් විය. 

රොබට් බ්⁣ලොච් ගේ නවකථා 11 ක් චිත්‍රපට වලට නංවා තිබුණි. ඒ සියල්ලම ඔහුට ලැබුනේ, ඔහුගේ 'සයිකෝ' නවකථාව ඇල්ෆ්‍රඩ් හිච්කොක් විසින් නිර්මාණය කළාට පසුවය. 'ද කවුච්', 'ද කැබිනට් ඔෆ් කැලිගරි', 'ස්ට්‍රෙට් ජැකට්', ද නයිට් වෝර්කර්', 'ද ස්කල්', 'ද සයිකොපාත්', 'ද ඩෙඩ්ලි බීස්', 'ටෝර්චර් ගාඩ්න්', 'ද හවුස් දැට් ඩ්‍රීප්ඩ් බ්ලඩ්', 'ජර්නි ටු මිඩ්නයිට්', 'ඇසියලුම්', 'ද කැට් ක්‍රියේචර්', 'ද ඩෙඩ් ඩෝන්ට් ඩයි', 'ද රිටන් ඔෆ් කැප්ටන් නෙමෝ', යන නවකථා චිත්‍රපටවලට නැංවිය. 1998 දී අධ්‍යක්ෂක ගුස් වෑන් සාන්ට් විසින් නැවතත් රොබට් බ්ලොච්ගේ 'සයිකෝ' නවකථාව චිත්‍රපට ගත කළේය . 

ඇල්ෆ්‍රඩ් හිච්කොක් ගේ 'සයිකෝ' චිත්‍රපටයේ තිරනාටකය රචනා කළේ ඇමරිකානු තිර රචකයෙකු වූ ජෝශප් ස්ටෙෆානෝය. 1958 දී 'ඇනා ඔෆ් බෘක්ලීන්' නම් චිත්‍රපටයට තිරනාටකය ලියා සිනමා ක්ෂේත්‍රය ට අවතීර්ණ වූ ඔහු 1959 දී 'ද බ්ලැක් ඕකිඩ්' නම් චිත්‍රපටයේ තිර නාටකය ලිවීය. 'සයිකෝ' චිත්‍රපටයේ තිර නාටකය ලිවීමට ඇල්ෆ්‍රඩ් හිච්කොක් විසින් ඔහුව තෝරා ගත්තේ ඉන් පසුවය . 'ද නේකඩ් එඩ්ජ්', 'අයි ඔෆ් ද කැට්', 'ෆට්ස්', 'ද කින්ඩ්‍රෙඩ්', 'බ්ලැක්අවුට්', 'ටූ බිට්ස්', ඉන්පසු සිනමාවට නැඟුණු ඔහු ලියූ තිරනාටකයන්ය. 1998දී ගුස් වෑන් සාන්ට් අධ්‍යක්ෂණය කළ 'සයිකො' චිත්‍රපටය නිර්මාණය කළේ ජෝශප් ස්ටෙෆානෝ ඇල්ෆ්‍රඩ් හිච්කොක් ට 1960 දී ලියූ තිරනාටකයමය.

රොබට් බ්ලොච් 'සයිකො නව කථාව රචනා කළේ 'එඩ් ගෙයින්' නැමැති, සත්‍ය මිනීමරුවකුගේ ජීවිත කථාවක් ඇසුරිනි. සයිකො චිත්‍රපටයට එඩ් ගෙයින්ගේ චරිත කථාවෙන් උකහා ගත් දේ සමඟ රචක රොබට් බ්ලොච් ගේ සිතුවිලි ද දමා සැකසුවද, මිනී කීපයක්ම මරා දැමූ එඩ් ගෙයින්ගේ සත්‍ය චරිත කථාව චිත්‍රපට කථාවට වඩා කුතුහල දනවන්නක් විය. එසේම එය ඉතාමත් රසවත්, එමෙන්ම ත්‍රාසජනක කථාවක් විය. ඒ නිසාම දෝ ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගෙ 'සයිකෝ' චිත්‍රපට කථාවට පාදක වූ එඩ් ගෙයින්ගේ චරිතය අලළා වසර 2000දී චක් පැරෙල්ලෝ ගේ අධ්‍යක්ෂණයෙන් චිත්‍රපටයක් බිහිවිය. එය නම් කර තිබු⁣ණේ 'ඉන් ද ලයිට් ඔෆ් ද මූන්' යන නමිනි. 

'සයිකෝ' චිත්‍රපටයේ ප්‍රධාන කථා නායකයා වූයේ නෝමන් බෙට්ස් ය. එය කථා රචක රොබට් බ්ලොච් ⁣විසින් නිර්මාණය කළ චරිතයක් වූවද, ඔහුගේ චරිත ස්වභාවය සමාන වූයේ එඩ් ගෙයින්ගේ සත්‍ය චරිතයේ ඇතැම් සිදුවීම් වලටය. නෝමන් බෙටිස් යනු එක්තරා අන්දමක දරුණු මානසික රෝගියෙකි. ඒ මානසික රෝගය⁣ට පත් වූ ආකාරය චිත්‍රපටය තුළ අප නොදැක්කද, රොබට් බ්ලොච් ගේ නවකථාව කියවීමෙන් නම් එය මනාව වටහ ගත හැකිය. 

මෙම නෝමන් බෙට්ස් ගේ චරිතය තිරයේ දකින විට එම චරිතය උකහා ගත් සත්‍ය චරිතය වූ එඩ් ගෙයින් ව අධ්‍යයනය කිරීමට සිත පෙලඹේ. ඒ 'සයිකෝ' චිත්‍රපටයේ නෝමන් බෙට්ස් යනු කවුදැයි හරි හැටි හඳුනා ගැන්මටය. එහෙත් එයින් බොහෝ විට සිදුවෙන්නේ නෝමන් බෙට්ස් ව යටපත් වී එඩ් ගෙයින් ගැන තොරතුරු සෙවීමේ ආශාව වැඩි වැඩියෙන් ඇතිවීමය. ඇල්ෆ්‍රඩ් හිච්කොක් ට පැය එකහාමාරකින් සිනමාව තුළින් නෝමන් බෙට්ස් ගැන පෙන්වා ගත නොහැකි දෑ රොබට් බ්ලොච් ගේ නවකථාව තුළින් සොයා ගත්තද, ඊටත් වඩා බොහෝ දෑ එඩ් ගෙයින්ගේ චරිතය කියවීමෙන් සොයා ගත හැකිය. රොබට් බ්ලොච් ගේ 'සයිකො' නව කථාව කියවීමෙන් හෝ ඇල්ෆ්‍රඩ් හිච්කොක් ගේ 'සයිකො' නැරඹීමෙන් නෝමන් බෙට්ස්ගේ චරිතය ගැන පූර්ණ නිගමනයට ඒමට නොහැකිය. නෝමන් බෙට්ස් යනු කව්දැයි හරි හැටි වටහා ගැන්මට නම් එඩ් ගෙයින් යන සත්‍ය චරිතය සොයා යා යුතුමය. ඔහු ගැන නොදැන, 'සයිකො' කියවීම හෝ නැරඹීම තුළින් සිදුවෙන්නේ නෝමන් බෙට්ස් ගේ චරිතය මතුපිටින් අත ගෑම පමණකි. ලිහා ගත නොහැකි පැටලිලි රාශියක් නෝමන් බෙට්ස්ගේ චරිතය තුල තිබුණද, එඩ් ගෙයින් ගැන කියවීමේදී නම් නෝමන් බෙට්ස් ගැන තිබෙන ඒ පැටලැවිලි ලිහා ගත හැකිය. 

එඩ්වඩ් තියොඩෝර් ගෙයින් හෙවත් එඩ් ගෙයින් ඉපදී ඇත්තේ විස්කොන්සින් හී ලා ක්රොස් ප්‍රදේශයේය. ඔහුගේ පියා ජෝර්ජ් තදින්ම බීමට ඇබ්බැහි වී සිටි අතර, මව ඔගස්ටා ආගම දැඩිව අදහන්නට වූ අතර, ඇය හැම විටම තම පවුල් සංස්ථාව රැක ගන්නට උත්සහා කළේ බයිබලයේ පාඨ හරහාය. එඩ් ට හෙන්රි නමින් සහෝදරයෙක් සිටියේය. එඩ් ගේ මව ඔගස්ටා තම පුතුන්ට දැක්වූයේ තරමක රළු ස්වභාවයකි.එලෙසම ඇය තම දරු දෙදෙනාට නීති මාලාවක් දමා තිබූ අතර, හැම වෙලේම ඇය කළේ ආගම දේශනා කිරීමය. මේ හේතුවෙන් ඇයව පුතුන් දෙදෙනාටම විශාල කරදරයක් වී තිබුණද, එඩ් තම මවට බෙහෙවින් ආදරය කළ අතර, හැකි හැම අවස්ථාවකම ඔහු ඇය සමඟ ගැවසෙන්නට උත්සහ කළේය.

ඔවුන් ජීවත් වූයේ හෙක්ටයාර ගණනාවක් විශාල වූ ගොවි පළකය. අධික බීම හේතුවෙන් එඩ් ගේ පියා ඉක්මනින් ම මිය ගියේය. එඩ් හා ඔහුගේ සොහොයුරු හෙන්රි තාවකාලික රැකියාවන් කරමින් තම පවුල රැක ගන්නට උත්සහා කළහ. මේ අතර හදිසියේම ගොවිපළේ ගින්නක් හට ගන්නට විය. එම ගින්න විශාල විනාශයක් කිරීමට පෙර නිවා ගත්තද, එයින්, එඩ් ගෙයින්ගේ සොහොයුරු හෙන්රි මිය ගියේය.

හෙන්රිගෙ මිය යෑම, සිදුවීම් ගණනාවකට මුල පිරීය. ඒ හෙන්රි ගින්නට අසුවී මිය ගොස් නැති බව පොලිසිය තහවුරු කර ගත් පසුවය. හෙන්රි මිය ගොස් තිබුණේ ඔහුට ආයුධයකින් පහර දීය. ගින්නද, ඉබේ හට ගැනීමක් නොව, එය කවුරු හෝ ගිනි තැබීමකි. හෙන්රිගේ මරණයට පොලිසියේ උකුසු ඇස යොමු වූයේ, එඩ් ගෙයින් වෙතටය. එහෙත් එය තහවුරු කර ගැන්මට පොලිසියට නොහැකි විය. මෙම සිදුවීම සිදුවූයේ 1944 දීය. 1945 දී එඩ් ගෙයින්ගේ මව වූ ඔගස්ටා මිය ගියාය. එය දරුණු ලෙස එඩ් ගෙයින්ට බලපෑවේ ඔහු තම මවට දැඩි ලෙස ආදරය කළ නිසාය. එතැන් සිට ඔහු ගත කළේ අද්භූත ජීවිතයකි. ඔහු මිනිවලවල් හාරා මල මිනිවල කෑලි නිවසට ගෙන ඒවා වලින් නිවසට අවශ්‍ය වන දෑ හදා ගති. මුහුණු ආවරණ (මාස්ක්) පවා හදා ගත්තේ එසේ හාරා ගත් මිනී සම් වලිනි. යකඩ බඩු (හාඩ් වෙයාර් ) සාප්පු අයිති කාරියක් වන බර්නීස් වෝර්ඩන් අතුරුදන් වූයේ මේ අතරෙදීය. කිසිවෙක් එඩ් ගෙයින් ඇය අතුරුදහන් වීමට පැයකට කලින් ඇය සමඟ සිටි බව දැක ඇති හෙයින් පොලීසිය ඔහුගේ ගොවිපොළේ සොයන විට ඇයගේ මිනිය සොයා ගත් අතර, ඇයට දරුණු ලෙස වධ හිංසා කර මරාදමා ඇති බව පොලිසියට තේරුම් ගියහ. එහෙත් එඩ් ගෙයින්ව අත් අඩංගුවට ගැනීමට පොලිසියට සාක්ෂි මදි විය. ඊළඟට අතුරු දහන් වූයේ සුරා සලක් අයිතිකාරියක් වූ මේරි හෝගන් ය. ඇයගේ හිස නැති සිරුර නම් එඩ් ගෙයින්ගේ පාළු ගෙදර බාල්කේ එල්ලා තිබුණි. එඩ් ගෙයින්ව මෙවර අත් අඩංගුවට ගන්නට ඒ සාක්ෂි ප්‍රමාණවත් විය. ඒ අත් අඩංගුවෙන් පසු ඔහුගේ සොහොයුරු හෙන්රි ව මරා දමා ඇත්තේද එඩ් ගෙයින් බව ඔහු පාපොච්චාරණය කරමින් කීය. බර්නීස් වෝඩන් හා මේරි හෝගන්ව මරා දැමුවේ ඔවුන් දෙදෙනා තම මවට සමාන වූ නිසා බව කීය. මෙම කියමන් වල හා මෙම සිතුවිලි වල තිබුනේ උමතු හා අද්භූත බවකි. 

කෙසේ වෙතත් අධිකරණය ඔහු හිතා මතා වරදක් නොකළ බව කියා ඔහු නිදහස් කළේ, මේ සියල්ලම ඔහු කළේ, ඔහු උමතු වී ඇති නිසා බව කියමිනි. එය අධිකරණයෙන් ඔප්පු විය. එහෙයින් එතැනින් ඔහුව මානසික රෝහලට යැවීය. අවුරුදු 72 කක් වන තෙක් ඔහු සිටියේ මානසික රෝහලේය. ඔහු මිය යනතෙක්ම සිටියේද ඒ මානසික රෝහලේමය.

'සයිකෝ', 'ද ටෙක්සාස් චේන් සෝ මැසැක්රේ' සහ 'සයිලන්ස් ඔෆ් ද ලැම්බ්', යන චිත්‍රපටවල කථා නායකගේ චරිත උකහා ගත්තේ එඩ් ගෙයින් ගේ චරිතයේ සිදුවීම් හරහාය. 

'සයිකො' විත්‍රපටයේ නෝමන් බෙට්ස් තනිකරම එඩ් ගෙයින් නොවුණද, ඔහුව නෝමන් බෙට්ස්ගේ සිරුරට රිංගවා තිබුණි. ඒ හෙයින් නෝමන් බෙට්ස්ද එඩ් ගෙයින් ගේ ස්වරූපයට ආරුඪ වී ඇත්තක් සේය.

'සයිකො' චිත්‍රපටය ආරම්භ කෙරෙනුයේ 'මේරියන් ක්රේන්' නම් වූ තරුණියකගෙනි. ඇය දේපළ, ඉඩම් විකුණන ආයාතනයක පුද්ගලික ලේකම්වරියක් ලෙස සේවය කරමින් සිටින තැනැත්තියකි. එදින සිකුරාදා දිනයක හවස් වරුවක් විය. ඇය තම පෙම්වතා වූ 'සෑම්' සමඟ 'පීනික්ස්' හෝටලයට ගියේ ඔහු සමඟ නිදහසේ ලිංගීකව හැසිරීමටය. ඒ අවස්ථාවේදී, ඔවුන් දෙදෙනාට විවාහ වීමට ඇති වන බාධක ගැන කථා ක⁣ළහ. එයින් මූලික බාධකය වූයේ සෑම්ගේ ණය කන්දරාවය. සෑම් කියන්නෙ මුලින්ම ඒ ණය ගෙවා දැමිය යුතු බවත්ය. එහෙත් ඒ ණය ගෙවීමට මුදල් සොයා ගත නොහැකි වූ උග්‍ර ගැටලුවකට ඔහු මැදිවී සිටියේය. ඒ ණය ගෙවෙන තෙක් සෑම් හා විවාහ වන්නට නොලැබෙන බව නම් මේරියන්ට වැටහී තිබුණි.  

මෙයට කළ හැකි දෑ නම් කෙසේ හෝ මුදල් සොයා ගැනීමේ ක්‍රමයක් ගැන සිතීම බව ඇයට වැටහුණි. ඊලඟ සතියේ සඳුදා දින ඇය තම වැඩ කරන ආයතනයට සුපුරුදු ලෙස වාර්තා ක⁣ළාය. එදින ආයතනයේ ප්‍රධානියා වෙනදා මෙන් පසුගිය සතියේ ආයතනය ලද ආදායම මේරියන්ට දුන්නේ එය බැංකුවේ තැන්පත් කරන ලෙසටය. මෙය හැම සතියකම මුල් දිනයේ සිදුවන ක්‍රියා දාමයකි. එය ඇයගේ රැකියාවේදී ඇය විසින් කළ යුතු එක් කාර්යයකි. මෙවර බැංකුවට තැන්පත් කිරීමට වෙන සතිවලට වඩා වැඩිපුර මුදලක් තිබුණි. එය සංඛ්‍යාත්මකව ඇමරිකානු ඩොලර් 40,000ක් පමණ විය. ඇයට තිබුණු එකම විකල්පය මෙය විය. ඒ මේ මුදල සොරකම් කිරීමය. ඇය වහා එය ක්‍රියාවට නැංවිය. මෙම මුදලත් ගෙන තම කාර් රථයෙන් ඇය ගියේ කැලිෆෝනියා ප්‍රදේශයේ, ෆෙයාවේල් නගරයේ පදිංචි වී සිටින තම පෙම්වතා වූ සෑම් ගේ නිවසටය. ඇය සොරකම් කළ මුදල තම කාර් රථයේ සඟවා තැබුවේ පත්තර කොළයක ඔතාය. ඇය කෙටි හා දිගු හොර පාරවල් වලින් ගියේ මහා මාර්ගයේ පොලිස් කරුවන්ගේ නතර කිරීම් වලින් බේරිමටය. කෙසේ හෝ එදින ඇයට සෑම් ගෙ නිවසට ළගා වීමට නොහැකි වූයේ එය තරමක් දිඟු හා වෙහෙසාකාරි ගමනක් වූ හෙයිනි. රාත්‍රියද ළඟා වූ හෙයින් ඇය පාර අයිනක ඇති කුඩා හෝටලයක නතර වී පහුවදා සෑම්ගේ නිවසට යන්නට සිතා ගති. එහෙයින් ඇය එදින රාත්‍රියේ නවාතැන් ගැනීම සඳහා 'බෙට්ස් හෝටලය' තෝරා ගතී. එහී අයිතිකරුව ඇය හදුනා ගත්තේ එවිටය. ඔහු 'නෝමන් බෙට්ස්' විය.

පළමු දැක්මෙන්ම නෝමන් බෙට්ස් ඇයගේ සිත් ගතී. ඔහු ඉතාමත් ආචාරශීලි මිනිසෙක් බව ඇයට වැටහුණි. එය මවාපෑමක් බව ඇයට නොවැටහුණු එක නම් ඇයගේ අවාසනාවය.

එදින රාත්‍රි ආහාර තමන් සමඟ ගැනීමට නෝමන් මේරියන්ට ආරාධනා කළේය. නෝමන් ගේ නිවස තිබුණේ හෝටලයේම කොටසකය. ඇය නෝමන්ව හමුවීමට යන විට, ඔහු තම මව සමඟ තදින් කථා කරන හඬ ඇයට ඇසුණි. එහෙත් ඇය ඔහුගේ මවගේ රුව දුටුවෙි නම් නැත.

ඔවුන් දෙදෙනා එක්ව රාත්‍රි ආහාරය ගන්නා විට ඔහු මුලින්ම මව සමඟ වූ සිදුවීම මේරියන්ට ඇසුණා නම් ඇයගෙන් ඒ පිළිබඳව සමාව ඉල්ලීය. කෑම ගන්නා අතර වාරයේදී නෝමන් මේරියන්ට තමාගේ විනෝදාංශ කියන්නට විය. එලෙසම තම මවගේ ⁣රෝග ගැනද කියන්නට විය. එලෙස බොහෝ සුහදශීලිව ඔවුන් දෙදෙනා තම තමන්ගේ අදහස් හුවමාරු කර ගත් අතර, මෑත කාලයේදී ඇයට මුණ ගැසුණු අචාර ශීලි, අවංකම පුද්ගලයා නෝමන් යැයි ඇයට සිතෙන අන්දමටම ඔහු හැසිරිය.

සොරා ගත් මුදල් නැවත ආයතනයට බාර දිය යුතු යැයි මේරියන්ට සිතුණේ හෝටලයේ කාමරයට පැමිණිය පසුය. පසුවදා උදයේ නැවත ආයතනයට යෑම ඇය විසින්ම ස්ථීර කළාය.

එදින රාත්‍රියේ හෝටල් කාමරයේ නාන කාමරය තුළ ඇය තම සිරුර සෝදන අවස්ථාවේදි, එහී තිබූ ප්ලාස්ටික් රෙදි ආවරණයේ අනිත් පැත්තෙන් කිසිවෙක් ගේ සෙවණැල්ලක් මේරියන් දුටුවාය.එක් වරම ඒ සෙවණැල්ල ඇය වෙත කඩා පැන තම අතින් ඇයගේ කට වසා අනිත් අතේ තිබූ උල් පිහියෙන් ඇයගේ සිරුරේ කීප පොලකට ඇන ඇයව මරා දැමීය. මේවා කළේ නෝමන් බෙට්ස් ය. පසුව ඔහු ඇයව, ඇය පදවා ආ රථ⁣යට දමා, ඒ සමගම ඇයගේ බඩු හා ඇය හොරකම් කළ මුදල් සමග කැලෑ පෙදෙසකට ගොස් කන්දෙන් පහලට කාරය යන්නට සැලැස්විය. දැන් කිසිවකුට ඒ මිනිය හෝ කාර් රථය සොයා ගැනීමට නොහැකිය. 

සතියකට පසුත් මේරියන් නොපැමිණීම නිසා ඇයගේ සොහොයුරිය ලයිලා ෆෙයාවේල් නගරයට ගොස් සෑම් ව හමු වී ඇය ගැන විපරම් කෙරුවද, ඇය තමාව හමුවීමට නොපැමිණි බවක් කීය. 

මේ අතර නෝමන්ගේ හෝටලයට පුද්ගලීක රහස් පරික්ෂක වරයෙකු වූ ඇර්බොගාස්ට්, පැමිණියේ මේරියන් සොරකම් කෙරූ මුදල් සොයා ය. ඔහුව කුලියට ගෙන තිබුණේ මේරියන් වැඩ කෙරූ ආයතනය ය. ඇර්බොගස්ට් මේරියන් ගැන නෝමන්ගෙන් ව්මසන විට, ඔහු කීවේ එවන් කෙනෙක් මෙම හෝටලයට නොපැමිණි බවය. එහෙත් ඒ කිව් ආකාරයෙන් ඇර්බොගාස්ට් ට සැක සිතුණි. ඔහු හෝටලයේ නවාතැන් ගත් ⁣අය ගැන සඳහන් වූ පොත පෙරළා බැලු විට එහී මේරියන්ගේ අත් අකුරින්ම ඇයගේ නම ලියා අත්සන් කර තිබෙනු දුටුවේය. මෙතැන කිසියම් භයංකාර දෙයක් සිදුවී ඇති බවක් ඇර්බොගාස්ට් ට වැටහී ගියේය. ඒ අතර සෑමි හා ලයිලාද මෙම හෝටලයට පැමිණියහ. 

ඉන්පසු බොහෝ දෑ සිදුවූ අතර, රහස් පරික්ෂක ඇර්බොගාස්ට්ද නෝමන් අතින් මරණයට පත්විය. සෑම් හා ලයිලාද නෝමන් අතින් බේරුණේ අනූනමයෙනි. 

නෝමන් බෙට්ස් යනු තනිකරම මානසික රෝගියෙක් බව සෑම් හා ලයිලාට වැටහෙන්නේ ඔහු තම මව සමඟ කථා කරන බව ඇගෙව්වද, ඔහු⁣ගේ මව වෙනුවට එතැන සිටියේ ඩමියක් හෙවත් අනුරුවකි. එහෙත් එහී පසුබිම් කථාව වෙනස් එකකි. එනම් මීට අව්රුදු 10 කට පමණ පෙර නෝමන් විසින් ඔහුගේ මව හා ඇයගේ අනියම් පෙම්වතාව මරා දමා තිබුණි. එතැන් සිට ඔහු මවගේ අද්භූත බැල්මට අසුවුණි. ඉන්පසු ඔහු හැසිරෙන්නේ උමතු වූවෙකු ලෙසටය.

අවසානයේදී ඔහුව පොලීසියට කොටු වී සිර ගත විය. ඒ වන විටත් ඔහු තවත් තරුණියන් දෙදෙනෙකුවද ඝාතනය කර තිබුණි.

සයිකෝ 1-2-3-4 ලෙස චිත්‍රපට කීපයක්ම නිර්මාණය වූවද, ඇල්ෆ්‍රඩ් හිච්කොක් අධ්‍යක්ෂණය කළේ මුල් චිත්‍රපටය පමණි.

ඇන්තනි පර්කින්ස් නොර්මන් බෙට්ස් ලෙස විශිෂ්ටතම රඟපෑමක් ඉදිරිපත් කර තිබුණි. සයිකෝ කළු සුදු චිත්‍රපටයක් විය. නමුත් එය ඇමරිකානු ඩොලර් ලක්ෂ 8 කින් නිපදවා ඇ.ඩොලර් මිලියන 50 එනම් ලක්ෂ 500ක් ඉපයීය. එය එතරම්ම ජනප්‍රිය වූ අතර, අදටත් එම ජනප්‍රියත්වය නොනැසී පැවතී ඇත.