ලෝකය විනාශ කළ හැකි උපකරණයක්

මාර්තු 2, 2023

 

යුක්රේනියානු මැර කණ්ඩායමක් විසින් 'ද හැන්ඩ්ල්' නම් වූ ඩොලර් බිලියන ගණනක් වටිනා උපකරණයක් සොරා ගෙන ඇත. බලවත් ආයුධ සැපයුම්කරුවකු වන ග්‍රෙග් සිමන්ස් විසින් එය වැඩිම ඉල්ලුම්කරුට විකිණීමට පෙර බ්‍රිතාන්‍ය රජය විසින් නේතන් ජෙස්මින් ලවා නැවත ලබා ගැනීමට සැරසේ. නේතන්, සුපිරි රහස් ඔත්තුකරුවකු වන ඕසන් ෆෝචූන් ඇතුළු පිරිසක් මෙම ක්‍රියාන්විතය සඳහා යොදවයි. 'ද හැන්ඩ්ල්' උපකරණයේ දත්ත අඩංගු දෘඩ තැටිය සොයා ඕසන් සහ පිරිස ස්පාඤ්ඤයේ මැඩ්‍රිඩ් වෙත යති. ඔවුන්ගේ ක්‍රියාන්විතයට නේතන්ගේ සතුරෙකු විසින් බාධා පමුණනු ලැබුවද කණ්ඩායමේ සාමාජිකාවක වන සාරා කෙසේ හෝ දෘඩ තැටියේ අඩංගු දේ පිටපත් කර ගනී. ලෝකය විනාශ කළ හැකි මෙම උපකරණය සතුරන් අතට පත් වීම වැළැක්වීමට කණ්ඩායම මීළඟට යොමු වන්නේ හොලිවුඩයේ ඉහළම චිත්‍රපට තරුව වන ඩැනි ෆ්‍රැන්සෙස්කෝ වෙතයි.

රහස් පරීක්ෂක, හාස්‍යමය ක්‍රියාදාම චිත්‍රපටයක් වන Operation Fortune: Ruse de Guerre රිදී තිරයේ දිග හැරෙන්නේ මෙලෙසිනි. බ්‍රිතාන්‍ය අධ්‍යක්ෂ ගයි රිචී අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ ඕසන් ෆෝචුන් ලෙස ප්‍රධාන චරිතයට පණ පොවන්නේ බ්‍රිතාන්‍ය ජාතික නළු ජේසන් ස්ටැතම්ය. ඔහු සමඟ ඕබ්‍රේ ප්ලාසා, ජෝෂ් හාර්ට්නෙට්, කේරි එල්විස්, හියු ග්‍රාන්ට් ඇතුළු පිරිසක් රංගනයෙන් එක් වී සිටිති. මාර්තු 03 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ නිකුත් කිරීමට නියමිත Operation Fortune: Ruse de Guerre අප්‍රේල් 07 වැනිදා බ්‍රිතාන්‍යයේ ඇමසන් ප්‍රයිම් වීඩියෝ ඔස්සේ ඩිජිටල් ලෙස නිකුත් කිරීමට නියමිතය.

රොට්න් ටොමැටෝස් වෙබ් අඩවියේ විචාරකයන් විසිතුන් දෙනෙකු ගෙන් 65%ක් Operation Fortune:Ruse de Guerre  චිත්‍රපටය අනුමත කර ඇත. ජෝන් ලී විචාරකයා විසින් මෙම චිත්‍රපටයේ කතාව බෙහෙවින් පසසා ඇති අතර ඔහු වැඩි දුරටත් පවසන්නේ ස්ටැතම් විසින් පණ පොවන ෆෝචුන් චරිතය චිත්‍රපට ඉතිහාසයේ අප දකින යථාර්තවාදීම චරිතය නොවන නමුත් එය ඉතා ආකර්ෂණීය පෞරුෂයකින් හෙබි චරිතයක් බවයි.

 

[email protected]