වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
යුද චිත්‍රපට අතර තවමත් පෙරමුණේ

1922 අප්‍රේල් මස 21 වන දින ස්කොට්ලන්තයේ ඉපදුණු 'ඉයන් ස්ටුවර්ට් ඇලිස්ටෙයාර් මැක්ලීන්' ලොව වඩාත්ම ජනප්‍රිය වූයේ 'ත්‍රිලිං' ශානරය යටතේ ලියන නවකථාකරුවකු ලෙසටය. ස්කොට්ලන්ඩ් හී 'ඩේවියට් ලෝකල් සිස්ටම්', 'ඉන්වර්නස් රෝයල් ඇකඩමි හා 'හිල් හෙඩ් හයි ස්කූල්' හී ඉගෙන ගත් ඔහු තම උපාධිය ගැනීමට ඉගෙන ගත්තේ 'ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයෙන්ය'.
1941 දී ඔහුට රාජකීය නාවික හමුදාවට බැඳෙන්නට සිදු වූයේ දෙවන මහා ලෝක යුද්ධයට සම්බන්ධ වී සටන් කරන්නටය. අවුරුදු 5 ක සේවය තුළදී ඔහු යුද්ධයේ කටුක අත්දැකීම් රාශියකට මුහුණ දුනි. හමුදාවේ සාමාන්‍ය යුධ නැවියකු ලෙස එකතු වුණු ඔහු ඉන්පසු උසස් වීම් කීපයක් ලබා ගතී. යුද්ධයේදි, යුද සිරකරුවෙකු ලෙසද සිංගප්පූරුවේ චැංගි සිර කඳවුරේ සිටින්නටද ඔහුට සිදු විය. එලෙසම ඔහු ට කීප වතාවක්ම වෙඩි වැදී තුවාල වී තිබුණි. ඒ සියල්ල සිදුවුණද, ඔහුට ජීවත් වීමේ වාසනාව හිමි වූ අතර, 1946 දී ඔහු රාජකීය නාවික හමුදාවෙන් අයින් වූයේ, යුද අහස් යාත්‍රා, යුද නැව් ගැන හොඳ පුහුණුවක් ලබා, ඒ හරහා බොහෝ අත්දැකීම් රාශියක්ම ලබා ගෙනය.
ඉන්පසු ඔහු යළි ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයට ගොස් ඉංග්‍රිසි ඉගෙන ගති. ඉංග්‍රිසි සාහිත්‍ය ප්‍රගුණ කර ගතී. ඒ අතරේ ඔහු පාරේ අතුගාන රැකියාවක් කළ අතර, පසුව තැපැල් කන්තෝරුවකද රැකියාවක් කළේය. ඔහු ඔහුගේ එම්.ඒ.උපාධිය සම්පූර්ණ කළේ 1950 දීය. ඉන්පසු සුළු කාලයක් ඔහු රෝහලක පෝටර්වරයකු ලෙස රැකියාවක් කළ අතර, පසුව 'ගැලෝෆ්ලැට්' නම් පාසැලක, ගුරුවරයෙන් වශයෙන්ද සේවය කළේය.
ඇලිස්ටෙයාර් මැක්ලීන් විශ්වවිද්‍යාලයේ සිටි කාලයේදීම කෙටි කථා ලිවීම ආරම්භ කළේ අතිරේක ආදායමක් උපයා ගැනීමටය. ඔහු බොහෝ විට රචනා කළේ නැව් ආශ්‍රිත මෙන්ම යුද්ධය ආශ්‍රිත කෙටි කථාය. ඒවා ස්කොට්ලන්තයේ 'ඩේලි මිරර්' හා 'ද ඊවිනිං නිව්ස්' යන පුවත්පත්වල පළ විය. එම පුවත් පත් මුද්‍රණය හා බෙදාහරින 'කොලින්ස්' පුවත්පත් සමාගමේ කතෘවරිය වී සිටියේ ඉයන් චැප්මන්ගේ බිරිඳ ය . ඇය 'ඩිලිස්' නම් පුවත්පත් ආයතනයකට මාරු වී ගිය අතර, එහීදි ඇය ඇලිස්ටෙයාර් මැක්ලීන් සමඟ හමුවක් සංවිධානය කොට, ඔහුට කීවේ හොඳ නවකථාවක් ලියන ලෙසටය. එයට ඇය ඔහුට ඇමරිකානු ඩොලර් 50,000ක මුදලක් අත්තිකාරම් වශයෙන් ගෙවීය. ඇලිස්ටෙයාර් මැක්ලීන් ගේ මුල්ම නවකථාව වූ 'ඩ්ර්ඉ යූලිසස්' ලියවුණේ එසේය. එහී සඳහන් වූයේ මැක්ලීන් විසින් 2 වැනි මහා ලෝක යුද්ධයේදී ලද අත්දැකීම්ය. එම පොතේ පිටපත්, බ්‍රිතාන්‍ය ඇතුළත මිලියනයකට අධිකව විකුණුනු අතර, එයම ඔහුව නවකථාකරුවකු, ලේඛකයකු ලෙස වෘත්තිය තත්ත්වයකට පත් කරන්නට සමත් විය. එලෙසම ඔහුගේ එකී පළමුවෙනි නවකථාවේ, චිත්‍රපට ගත කිරීමේ අයිතිය , සිනමා සමාගමක් විසින් මැක්ලීන්ට ඇමරිකානු ඩොලර් 30,000ක් ගෙවා ඔවුන් සතු කර ගති. නමුත් ඒ චිත්‍රපටය කිසි දිනෙක නිර්මාණය වූයේ නැත.
මෙම ලිපියට පාත්‍ර වන 'ද ගන්ස් ඔෆ් නැවරෝන්' කථාව ඔහු රචනා කළේ ඉන්පසුවය. එය ඇලිස්ටෙයාර් මැක්ලීන් ගේ දෙවන නවකථාව වූ අතර ,ඔහුගේ නවකථාවක් චිත්‍රපට ගත කළ පළමු අවස්ථාව එය විය. පොත 1957 දී ප්‍රකාශයට පත් වූ අතර, එය 1961 දී චිත්‍රපට ගත කර, ප්‍රදර්ශනය කළේය.
ඇලිස්ටෙයාර් මැක්ලීන් 1955 සිට 1984 දක්වා පොත් 32 ලියා තිබුණි. එයින් බොහෝමයක් චිත්‍රපට ගත කර තිබුණි.ඔහුගේ 'ෆියර් ඉස් ද කී' මයිකල් ටච්නර් විසින් 1972 දී සිනමාවට නැඟු අතර බැරි නිව්මන් හා සුසී කැන්ඩල් එහී ප්‍රධාන චරිතය රඟපෑහ. 'ද සැටන් බග්' චිත්‍රපටයකට නැංවූ තවත් නවකථාවකි. ජෝන් ස්ටර්ජස්, එය අධ්‍යක්ෂණය කළ අතර, ජෝර්ජ් මාරිස් ප්‍රධාන චරිතය රඟපෑවෙිය. එලෙසම ඇලිස්ටෙයාර් මැක්ලීන් ගේ 'අයිස් ස්ටේෂන් සීබ්‍රා' නවකථාව චිත්‍රපටයකට නැංවූයේද ජෝන් ස්ටර්ජස් මය. රොක් හඩ්සන් එහී ප්‍රධාන චරිතය රඟපෑවෙිය.
'වෙයාර් ඊගල්ස් ඩෙයාර්', චිත්‍රපටය නිර්මාණය වූයේද මැක්ලීන් ගේ නවකථාවක් තුළිනි. ඔහු එම චිත්‍රපටයේ තිරනාටකය පවා ලියා තිබුණි. අතීශයින්ම ජනප්‍රිය වූ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑවේ රිචඩ් බර්ටන් හා ක්ලින්ට් ඊස්ට් වුඩ් ය.
'පපට් ඔන් අ චේන්' නවකථාවද සිනමාවට නැඟුණි.ඒ ජෙෆ්රි රීව් ගෙනි. මැක්ලින් මෙහී ද තිර නාටකය ලිවීය. ස්වෙන් බර්ටිල් හා බාර්බ්රා පාකින්ස් ප්‍රධාන චරිත රඟපෑහ. 'කැරවෑන් ටු වැකෑරිස්' නවකථාවද ජෙෆ්රි රීව්ස් අධ්‍යක්ෂණය කළ අතර, ඩේවිඩ් බර්නි ප්‍රධාන චරිතය රඟපෑවේය.
ඩොන් ෂාප් විසින් මැක්ලින්ගේ 'බෙයාර් අයිලන්ඩ්' සිනමාවට නැංවූ අතර, ඩොනල්ඩ් සදර්ලෑන්ඩ්, ක්‍රිස්ටෝෆර් ලී, රිචඩ් විඩ්මාර්ක්, ලොලොයිඩ් බ්‍රිජ්, හා වෙනෙසා රෙඩ්ග්‍රේව් මෙහී ප්‍රධාන චරිත රඟපෑහ. 'රිවර් ඔෆ් ඩෙත්' චිත්‍රපටයකට නැංවූ ඔහුගේ තවත් නවකථාවකි. ස්ටීව් කාවර් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ මයිකල් ඩුඩිකොෆ්, රොබට් වෝගන්,ඩොනල්ඩ් ප්ලිසන්ස්, ප්‍රධාන චරිත රඟපෑහ.
ඇලිස්ටෙයාර් මැක්ලීන් 'ගන්ස් ඔෆ් නැවරෝන්' නවකථාවට පසු 1968 වර්ෂයේදී එහී දෙවන කොටස ලෙස 'ෆෝස් ටෙන් ෆ්‍රොම් නැවරෝන්' නමින් පොතක් ලිවීය. එහෙත් ඊට ප්‍රථම එනම් 1967 දී චිත්‍රපට නිෂ්පාදක කාල් ෆ්‍රෝර්මන් විසින් 'ආෆ්ටර් නැවරෝන්' නමින් චිත්‍රපටයක් නිපදවන බවත් එය 'ගන්ස් ඔෆ් නැවරෝන්' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ජේ ලී තොම්ප්සන් ට භාර දෙන බවත් , එහීද ග්‍රෙගරි පෙක්, ඇන්තනි කුවින්, හා ඩේවිඩ් නිවන් රඟපාන බවත් කියා සිටියේය .නමුත් එය සිදුවූයේ නැත. එහෙත් 1978 දී, අධ්‍යක්ෂක ගයි හැමිල්ටන් විසින් මැක්ලීන් ගේ 'ෆෝස් 10 ෆ්‍රොම් නැවරෝන්' නව කථාව සිනමාවට නැංවිය. රොබට් ෂෝ, හැරිසන් ෆෝඩ්, ෆ්‍රැන්කෝ නීරෝ, එඩ්වඩ් ෆොක්ස්, බාබ්‍රා බැච්, මෙහී ප්‍රධාන චරිත රඟපෑහ.
ඇලිස්ටෙයාර් මැක්ලීන් ගේ 'ගන්ස් ඔෆ් නැවරෝන්' නවකථාව චිත්‍රපටයකට නැංවීමට අදහස පැමිණියේ 'කාල් ෆෝර්මන්ටය. ඔහු මුලින්ම ප්‍රචලිත වූයේ තිර රචකයකු ලෙසටය. ඉන් පසු චිත්‍රපට නිෂ්පාදකයෙකු විය. කාල් ඇමරිකන් ජාතිකයෙකි. ඔහු 1941 සිට1980 දක්වා චිත්‍රපට 26ක පමණ තිර කථා ලියා තිබුණි. 'හයි නූන්', 'ද බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි', 'යංග් වින්ස්ටන්', 'ද මෙන්', 'බෝන් ෆ්‍රී' 'ලිවින්ග් ෆ්‍රී' 'මැකෙනාස් ගෝල්ඩ්', හා 'ද ගන්ස් ඔෆ් නැවරෝන්' ඔහු තිරනාටකය ලියූ ජනප්‍රිය වූ චිත්‍රපටයන්ය.
කාල් ෆෝර්මන් ගේ ප්‍රථම නිෂ්පාදනය වූයේ 'හයි නූන්' ය. ඔහු එය සම නිෂ්පාදකයෙකු ලෙස ස්ටැන්ලි ක්‍රාමර් සමඟ එකතු වී නිෂ්පාදනය කිරීමට සැරසුණි. එහෙත් දේශපාලන ප්‍රශ්නයන් මත ඔහුව ඇමරිකාවේ 'බ්ලැක් ලිස්ට්' වී තිබුණේ, ඔහු ක්‍රියාකාරි කොමියුනිස්ට් වාදියෙක් නිසාය. පසුව ඔහු එම චිත්‍රපටයේ පූර්ණ නිෂ්පාදන අයිතිය ස්ටැන්ලි ක්‍රාමර්ටම පැවරීය.
විලියම් හෝල්ඩන්, සොෆියා ලොරේන් රඟපෑ 'ද කී', කාලෝ ෆෝමන්ගේ ප්‍රථම නිෂ්පාදනය ලෙස සැලකිය හැකිය. එම චිත්‍රපටයේ තිර පිටපත රචනා කළේ කාලෝ ෆෝමන් මය . 'ද ගන්ස් ඔෆ් නැවරෝන්' චිත්‍රපටයේ තිර නාටකය ලියා නිෂ්පාදනය කරන්නට ඔහු සැරසුණේ ඉන්පසුවය.
'ද ගන්ස් ඔෆ් නැවරෝන්' චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට භාර වූයේ 'ජේ.ලී. තොම්ප්සන්ට' ය. බ්‍රිතාන්‍ය ජාතිකයකු වූ ඔහුගේ ප්‍රථම අධ්‍යක්ෂණය වූයේ 1950 වර්ෂයේ තිරගත කළ 'මර්ඩර් විතවුට් ක්‍රයිම්' චිත්‍රපටය ය. 1950 සිට ඔහු 1961 දක්වා චිත්‍රපට 13 ක් පමණ අධ්‍යක්ෂණය කළද, ඒවා ඇමරිකාවේ හා එංගලන්තයේ හැරෙන්නට අන් රටවල තිරගත කළ බවක් දක්නට නොලැබුණි. එලෙසම එතෙක් ඔහුව ජාත්‍යන්තරය හදුනා ගෙන තිබුණේ නැත. 'ද ගන්ස් ඔෆ් නැවරෝන්' ඔහුව ජාත්‍යන්තරයට ඔසවා තැබූ අතර, ඔහු ඇමරිකාවේ හා එංගලන්තයේ ඉහළ පෙලේ අධ්‍යක්ෂක යෙකු වූවා පමණක් නොව, 1961, හොඳම සිනමා අධ්‍යක්ෂවරයා ලෙස ඇමරිකානු ඇකඩමි සම්මාන උලෙළෙ නිර්දේශ විය. එම වසරේම බ්‍රිතාන්‍යයේ පැවැත්වූ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේ දී හොඳම අධ්‍යක්ෂක ට හිමි සම්මානය 'ද ගන්ස් ඔෆ් නැවරෝන්' වෙනුවෙන් ඔහු ලබා ගති.
'ද ගන්ස් ඔෆ් නැවරොන්' කථාවේ අන්තර්ගතනය මෙසේ වේ.
1943, දී 'ඇක්සිස්' බලවතුන් බ්‍රිතාන්‍ය සොල්දාදුවන් 2,000 ක් අනාථ වී සිටින 'ලෙරෝස්' දූපතට ප්‍රහාරයක් සැලසුම් කරයි. එය තනිකරම ඔවුන්ගේ යුද ශක්තිය ප්‍රදර්ශනය කිරීමට සහ මධ්‍යස්ථ තුර්කියට ඔවුන් හා එක්වන ලෙස ඒත්තු ගැන්වීමටය.
රාජකීය නාවික හමුදාව එම ප්‍රහාරය වැළැක්වීමට නැවරෝන් දූපතේ දැවැන්ත රේඩාර් මඟින් මෙහෙයවන ලද විශාල-ක්‍රමාංකන තුවක්කු දෙක උපයෝගි කර ගනී. 'ඇක්සිස්' බලවතුන්ගේ ගුවන් බෝම්බ හෙළීමේ උත්සාහයන් අසාර්ථක වූ විට, මිත්‍ර බුද්ධි අංශය නැවරෝන් වෙත රිංගා තුවක්කු විනාශ කිරීමට කමාන්ඩෝ ඒකකයක් රැස් කරයි.
මේජර් රෝයි ෆ්‍රෑන්ක්ලින්(ඇන්තනි කුයෙල්) විසින් මෙහෙයවන ලද මෙම කණ්ඩායම සමන්විත වන්නේ කීර්තිමත් ඔත්තුකරුවකු සහ දිගු දුර කාන්තාර සමූහයේ (ඹ්අච්ට්) නිලධාරියකු වන කපිතාන් කීත් මැලෝරිගෙනි (ග්‍රෙගරි පැක්). එයට ග්‍රීක හමුදාවෙන් කර්නල් ඇන්ඩ්‍රියා ස්ටාව්‍රොස් (ඇන්තනී කුවින්) ෆ්‍රෑන්ක්ලින්ගේ හොඳම මිතුරා වන කෝප්‍රල් ඇන්තනී මිලර්, (ඩේවිඩ් නිවන්), පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයකු සහ හිටපු රසායන විද්‍යා ගුරුවරයකු වූ නැවරෝන්හි උපන් ග්‍රීක-ඇමරිකානු ස්පයිරෝස් පප්පඩිමෝස් (ජේම්ස් ඩැරන්), සහ ඉජිනේරුවකු සහ විශේෂඥ පිහි ප්‍රහාරයකු වූ බාර්සිලෝනා හී මස් කපන්නා ලෙස විරුදාවලිය ලත් 'බුචර් ඔෆ් බාර්සිලෝනා බ්‍රවුන් ( ස්ටැන්ලි බාර්කර්), අයත් විය.
දිරාපත් වූ ධීවර යාත්‍රාවක ග්‍රීක ධීවරයන් ලෙස වෙස්වළාගත් ඔවුන් 'ඒජියන්' මුහුද හරහා යාත්‍රා කරන අතර එහිදී ඔවුන්ව හරස් කරමින් සිටි ජර්මානු මුර සංචාර බෝට්ටුවක කාර්ය මණ්ඩලය ඔවුන් විසින් සාර්ථකව යටත් කර ගති. පසුව යන ගමනේදී,කීත් මැලෝරි, රෝයි ෆ්‍රෑන්ක්ලින්ට ප්‍රකාශ කරන්නේ, ඇන්ඩ්‍රියා ස්ටාව්‍රොස්ගේ බිරිඳගේ සහ දරුවන්ගේ මරණයට කීත් මැලෝරි, නොදැනුම්වත්වම වගකිව යුතු නිසා, යුද්ධයෙන් පසු මැලෝරිව මරා දමන බවට ස්ට්‍රාවෝස් දිවුරුම් දුන් බවයි.
කුණාටුවක් අතරතුර නැවරෝන් වෙරළ තීරයේ නැව මුහුදුබත් වූ පසු, පළපුරුදු කඳු නගින්නෙකු වන කීත් මැලෝරි, තම කණ්ඩායම කඳු මුදුනට නැඟීමට ගෙන යන අතර, එම අවස්ථාවේදී ලිස්සා වැටීමෙන් රෝයි ෆ්‍රෑන්ක්ලින් ගේ කකුල දරුණු ලෙස තුවාල වෙයි. මෙවන් අවස්ථාවක මෙලෙස දරුණු ලෙස තුවාල වී අබ්බගාතයකු වූ පසු එය තමාටත් බරක් හා ඊට වඩා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන කණ්ඩායමටද විශාල බරක් නිසා, ඔවුන් කඳුකරයේ නවාතැන් ගන්නා අතරතුර, රෝයි ෆ්‍රැන්ක්ලීන් සිය දිවි හානි කර ගැන්මට සැරසෙයි. එහෙත් එය දකින කීත් මල්ලෝරි, ෆ්‍රෑන්ක්ලින්ව සියදිවි නසාගැනීමෙන් වළක්වයි.
ඔවුනට දේශීය ප්‍රතිරෝධී සටන්කාමීන් දෙදෙනෙකු වන ස්පයිරෝස්ගේ සහෝදරිය වූ මාරියා පැපෝඩියෝස් (අයිරින් පපාස්), සහ ඇගේ මිතුරිය වන ඇනා(ජියා ස්කාලා), හමුවන්නේ මේ අතරේදීය. ඇනා යනු පෙර ජර්මානුවන් විසින් අල්ලාගෙන වධහිංසාවට ලක් වූ යුවතියකි. ඒ නිසා ඇයද ජර්මානුවන්ගෙන් බේරි පැන ඇවිත් මාරියා සමඟ එකතු වූයේ ජර්මානුවන්ට විරුද්ධව සටන් කිරීමටය.
ජර්මානු සොල්දාදුවන් දිගින් දිගටම මෙහෙයුමේ යෙදී සිටිති. ඒ අතරේදීත් රෝයි ෆ්‍රෑන්ක්ලින් ගේ තුවාල වූ කකුල සඳහා වෛද්‍යවරයකු සොයා ගැනීමට කණ්ඩායමේ අය උත්සාහ කරයි. ඒ වන විටත් ඔහුගේ කකුල ට 'ගැන්ග්‍රීන්' නම් රෝගය ආසාදනය වී තිබුණි.
එසේ වෛද්‍යවරයකු සොයා යන අතරේදී ඔවුන්ව මැන්ඩ්‍රැකෝස් නගරයේදී ජර්මානු උසස් හමුදා නිලධාරියෙකු වූ 'ඔබර්ලියුට්නන්ට්' විසින් අල්ලා ගනු ලැබේ. ඔවුන් ,ඔවුන්ගේ ඉහළම නිලධාරියා 'හෝප්ස්ට්ම් ෆියුරර්'ට ෆ්‍රැන්ක්ලීන් හා ඔහුගේ කණ්ඩායම බාර දුනි. ඔහු විසින් ඔවුන්ගෙන් ඔවුන් කවුද? ආවේ කොහේ සිටද, හා ආවේ කුමකටද යනුවෙන් ප්‍රශ්න කරන අතරතුර, අන්ද්‍රියේ ස්ටාර්වෝස් ජර්මානුවන්ගේ අවධානය වෙනතකට යොමු කරන්නට යම් යම් උපක්‍රම යෙදුවේය. ඒ උපක්‍රම වලට ජර්මානුවන් ඔවුන්ගේ අවධානය යොමු කර සිටින විට, ෆ්‍රැන්ක්ලින්ගේ කණ්ඩායම ඒ ඇසිල්ලෙන් එතැන සිටි ජර්මානුවන්ව යටත් කර ගනී. ෆ්‍රෑන්ක්ලින්ව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පිටත් කර හරිමින් ඔවුන් ජර්මානු නිල ඇඳුමින් පලා යයි. නියමිත කාලය තුළ, ෆ්‍රෑන්ක්ලින්ට අවශ්‍ය එන්නත් කරන අතර මැලෝරි විසින් ස්ටාර්වොස් ගැන තිබූ වැරදි සිතුවිලි අත්හැර දමයි.
අපේක්ෂිත වෙරළබඩ ප්‍රහාරයට එරෙහිව සටන් කිරීමට බොහෝ බලවේග බලකොටුව හැර යයි. කෙසේ වෙතත්, නැවරෝන් ගම්මානයට රිංගීමෙන් පසු, ඇන්තනි මිලර් ඔහුගේ පුපුරණ ද්‍රව්‍ය බොහොමයක් කඩාකප්පල් කර ඇති බව සොයා ගන්නා අතර ඒවා කර ඇත්තේ ඇනා බවද සොයා ගනියි. ඇය පාපොච්චාරණය කර කීවේ ඇය පැන නොආ බවත් , තවම සිරවී සිටින්නේ ජර්මානුවන් ළඟ බවත් ඇයව ඔවුන් තොරතුරු සපයන්නකු ලෙස බඳවා ගත් බවත්, එසේ නිවැරදි තොරතුරු සැපයුවහොත් ඔවුන් ඇයව නිදහස් කරන බවත් ය. පුපුරණ ද්‍රව්‍ය කඩා කප්පල් කිරීමද එහී එක් අරමුණක් බව කීය.
ඇනා ගේ මේ ඔත්තු සැපයීම පිළිබඳව කීත් මැලෝරි තීරණයක් ගත යුතු බව ඇන්තනි මිලර්, අවධාරණයෙන්ම කීය. ඔහු කුමන තීරණයක් ගන්නේදැයි සියල්ලෝම බලා සිටියේ ඒ වන විටත් මැලෝරි හා ඈන් අතරේ රහස් ආදර සම්බන්ධතාවයක් ඇති වී තිබුණු නිසාය. එහෙත් ඇනා කර ඇත්තේ විශාලම වැරැද්දකි. එහෙයින් අකමැත්තෙන් හෝ එයට දඬුවම් දිය යුතු වේ. මැලෝරි තම තුවක්කුවෙන් ඇයව මරා දැමීමට සූදානම් වන අතර ඒ වෙනුවට මාරියා මැදිහත් වී ඇයට වෙඩි තබා මරා දමයි. එයට මූලික හේතුව වූයේ ඇනාව විශ්වාසයෙන් මොවුන්ට හදුන්වා දුන්නේ මරියා ම නිසාය..
කණ්ඩායම දෙකට බෙදී මෙහෙයුම කරා යන්නට විය. මැලෝරි සහ මිලර් රේඩා තුවක්කු සොයා යයි. ස්ටාව්රොස් සහ ස්පයිරෝස් නගරයේ අවධානය වෙනතකට යොමු කරයි (ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව). මාරියා සහ බ්‍රවුන් ඔවුන්ට පැන යාමට බෝට්ටුවක් සොරකම් කරති. මේ අතර, ජර්මානු නිලධාරියෙකු සමඟ ඇති වූ ගැටුමකදී ස්පයිරෝස් මියයයි. බෝට්ටු ව ඇතුලත ජර්මන් භටයෙක් සමඟ ඇතිවූ සටනකදී බ්‍රවුන්ට පිහියෙන් ඇන ඔහු මරණයට පත් වෙයි.
මේ අතර, මැලෝරි සහ මිලර් තුවක්කු ස්ථානගත කරන ස්ථානයට ඇතුළු වූ නමුත් ඔවුන් පිටුපස දොරවල් මුද්‍රා තබන විට අනතුරු ඇඟවීමක් නිකුත් වෙයි. මිලර් තුවක්කු මත පුපුරණ ද්‍රව්‍ය දමමින් පතොරම් එසවීමකට පහළින් විශාල මර උගුලක් සූදානම් කරයි, ප්‍රේරක උපාංගයක් එසවීමේ මාර්ගයට සකසා ඇත. ජර්මානුවන් අවසානයේ තුවක්කු ස්ථානගත කරන තැනට බලහත්කාරයෙන් ඇතුළු වී තුවක්කු මත සවි කර ඇති පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කරයි. මේ අතර, මැලෝරි සහ මිලර් කඳු බෑවුමෙන් පැන යති. බ්‍රවුන් හා මරියා විසින් සොරකම් කළ බෝට්ටුවට ඔවුන් දෙදෙනා නැග ගනියි.දැං බ්‍රවුන් මිය ගොස් බව ඔවුන් දැන ගන්නේ එවිටය.
ස්ටාව්රොස් හට ද වෙඩි වැදී තුවාල වී තිබුණි. මැලෝරි විසින් ඔහුට බෝට්ටුවට නැඟීමට උදව් කරනු ලබන අතර, එමඟින් ඔවුන් අතර තිබූ ආරවුල සමනය විය.
මේ අතර සිරවී සිටින බ්‍රිතාන්‍ය හමුදා බේරා ගැනීමට උත්සාහ කරන මිත්‍ර පාක්ෂිකයන්ට, ජර්මානුවන් වෙඩි තබයි. අවසානයේ මිලර් ප්‍රේරකයට ළඟා වී, පුපුරණ ද්‍රව්‍ය පුපුරා අවට තිබූ රේඩා තුවක්කු සහ මුළු බලකොටුව මුළුමනින්ම විනාශ කළේය.
අවසානයේදී කණ්ඩායමේ ඉතුරුවූ, කීත් මැලෝරි, ඇන්තනී මිලර්, ඇන්ඩ්‍රියා ස්ටාර්වෝස් හා මාරියා ආරක්ෂිතව බ්‍රිතාන්‍යට ළඟා වෙති. එසේ බ්‍රිතාන්‍යයට පැමිණියද, ස්ටාර්වෝස් මැලෝරිට අතට අත දී ඔහු ආදරය කළ මාරියා සමඟ නැවත නැවරෝන් වෙත ගොස් ඇය සමඟ ජීවත් වන බව පවසයි.
මැලෝරි සහ මිලර්, ආපසු නිවසට පැමිණ, ඔවුන් අතින් විනාශ වූ දේ හා ඒ් සමඟම ඒ තුළින් ලද සාර්ථකත්වය හා ඉන් ලද ප්‍රතිවිපාකද සමාලෝචනය කරන්නට විය.
ඇලිස්ටෙයාර් මැක්ලීන් ගේ බොහෝ නවකථාව ල තිබුණේ 'ඇක්ෂන්'ය. ඒවා චිත්‍රපට ගත කරන විට ඒ 'ඇක්ෂන්' දෙගුණ තෙගුණ වේ. ඔහු මවන හැම චරිතයක්ම හරිම සක්‍රීය ය. එසේ එම චරිත වලට පණ දුන් නළු නිළි සැමටම අර 'ත්‍රිලර් සහ ඇක්ෂන්' ශානරය යටතේ තම දක්ෂතාවයන් ඉදිරි පත් කිරීමට හැම විටම ඉඩ ලැබුණි.
ඇමරිකානු ඩොලර් මිලියන 6 ක ඇස්තමේන්තුවකින්, නිපදවූ 'ද ගන්ස් ඔෆ් නැවරෝන්', ප්‍රථම වටයෙන්ම ඇමරිකානු ඩොලර් මිලියන 28.9 ක බොක්ස් ඔෆිස් ආදායමක් ලැබුණි.
1961 වසර වෙනුවෙන් පැවැත්වුණු ඇමරිකානු ඇකඩමි සම්මාන උලෙළේදී, 'ද ගන්ස් ඔෆ් නැවරෝන්' චිත්‍රපටයේ කාල් ෆෝමන්, හොඳම චිත්‍රපටය ලෙසත්, ජේ.ලී. තොම්ප්සන් හොඳම අධ්‍යක්ෂක ලෙසත්, යළි, කාල් ෆෝමන් හොඳම තිර නාටකය ලෙසත්, ඇලන් ඔස්බිස්ටන් හොඳම සංස්කරණය ලෙසත්, දිමිත්‍රි ටිඕම්කින් හොඳම සංගීත අධ්‍යක්ෂණය ලෙසටත්, ජෝන් කොක්ස් හොඳම ශබ්ද පරිපාලක ලෙසත් , බිල් වොරින්ටන්, හා ක්‍රිස් ග්‍රීන්හැම් හොඳම විශේෂ ප්‍රයෝග, ලෙසත් නිර්දේශ වූ අතර, බිල් වොරින්ටන් හා ක්‍රිස් ග්‍රීන් හැම් පමණක් හොඳම විශේෂ ප්‍රයෝග සඳහා සම්මානනීය විය.
'ද ගන්ස් ඔෆ් නැවරෝන්', එකලට අනුව ලෝක මහා යුද්ධය පසුබිම් කරගෙන, විශාල 'බජට්' වලින් තැනූ, 'ද බ්‍රිජ් ඔන්ද රිවර් ක්වායි', 'ද ලෝන්ගස්ට් ඩේ', සහ 'ද ග්‍රේට් එස්කේප්' , වැනි චිත්‍රපට අතරට එක්වුනු තවත් විශිෂ්ටතම යුදමය චිත්‍රපටයක් විය.