බඩ ඉරිඟු වගාවේ යක්ෂයා

Children of the Corn
මාර්තු 9, 2023

බර්ට් සහ විකී කැලිෆෝනියාව කරා යන්නේ විකීගේ සොහොයුරා හමුවීමටය. බිඳ වැටීමට ආසන්න යුගදිවියක් ගෙවමින් සිටින ඔවුහු, පාලු නෙබ්රස්කා පෙදෙස මැදින් ගමන් කරද්දී වාදයකට පැටලෙති. බර්ට් පවසා සිටින්නේ තමා මේ නිවාඩු චාරිකාව නවතා දමා දික්කසාද නීතිඥවරයකු සම්බන්ධකර ගැනීමට සැරසෙන බවයි. මේ අතර ඔවුහු පාරේ ගෙල සිඳ ඝාතනය කර ඇති පිරිමි ළමයෙකු යට කර ගෙන ගමන් කරති. කම්පා වන යුවළ අසල වැටී ඇති මෙම ළමයාගේ සූට්කේසය විවෘත කළ සොයා ගනු ලබන්නේ බඩ ඉරිඟු පොතු මඟින් සෑදු කුරුසයකි. මේ ගැන පොලිසියට වාර්තා කළ යුතු බව පවසන අඹු සැමි යුවළ ළමයාගේ සිරුර වාහනයේ පසුපස දමා ගෙන ළඟම ඇති කුඩා ජන ගහනයක් වෙසෙන හුදකලා නගරයක් වූ ගට්ලින් වෙත යන්නේ උදව් බලාපොරොත්තුවෙනි. ගට්ලින් වෙත ළඟා වන ඔවුනට දැකගත හැකි වන්නේ අත්හැර දමා ගිය නගරයකි. කිසිදු වාහනයක් හෝ මිනිසෙකු හමු නොවන මෙම නගරයේ ඉන්ධන පිරිවුම් හලක ඇති මිල දර්ශකයෙන් ඔවුනට දැක ගත හැකි වන්නේ එය වසර ගණනාවකට පෙර තිබූ මිල දර්ශකයක් බවයි.

බඩ ඉරිඟු වගා බිම්වල ජීවත් වන යක්ෂයෙකු අදහමින් භයානක ඝාතනයන් සිදු කරන දරුවන් වාසය කරන අතහැර දැමූ නගරයකට පැමිණෙන යුවළක් ගැන කියවෙන මෙම කතාව ඇතුළත් වන්නේ ඇමරිකානු ලේඛක ස්ටෙෆන් කිං විසින් 1977 වසරේදී රචිත "Children of the Corn" කෙටි කතාවේය. මෙම කතාව මේ වන විට චිත්‍රපට මාලාවකට අනුවර්තනය වී ඇත. ඒ අනුව The Children of the Corn චිත්‍රපට මාලාව ආරම්භ වූයේ 1984 දී තිරගත වූ Children of the Corn චිත්‍රපටය සමඟිනි. මේ වන විට එම චිත්‍රපට මාලාවට චිත්‍රපට එකොළහක් එක් වී ඇති අතර නවතම චිත්‍රපටය වන්නේ 2020 වසරේ නිර්මාණය කළ Children of the Corn චිත්‍රපටයයි.

මෙම චිත්‍රපටය 1984 වසර්දී තිරගත වූ Children of the Corn චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් ලෙස නිවේදනය කළ ද නිෂ්පාදක ලූකස් ෆොස්ටර් පසුව විස්තර කළේ එය නව අනුවර්තනයක් වනු ඇති බවත් 1984 චිත්‍රපටය සමඟින් සම්බන්ධ කිරීමට කිසිවක් නොමැති බවත්ය. එකොළොස් වැනි Children of the Corn චිත්‍රපටය කොරෝනා වසංගතයට හසු වූ සිනමා නිර්මාණයක් විය. 2020 වසරේදී චිත්‍රපටයේ රූගත කිරීම් නිව් සවුත් වේල්ස් හි සිදු කෙරුණේ කොරෝනා වසංගත සමය මධ්‍යයේදීය. 2020 ඔක්තෝබර් 23 වැනිදා ෆ්ලොරිඩාවේ සරසෝටා හි මංගල දර්ශනය පැවැත්වුවද එය සිනමා ශාලා වෙත මුදා හැරුණේ එයින් වසර දෙකකට පසු පසුගිය මාර්තු 03 වැනිදාය.

බඩ ඉරිඟු වගාවේ යක්ෂයා නැවත පැමිණ ඇත. නෙබ්‍රස්කා හි කුඩා නගරයක සිටින මනෝ ව්‍යාධි දොළොස් හැවිරිදි දැරියක් අනෙකුත් දරුවන් සමඟින් ලේ වැගිරීම් කරමින් දූෂිත වැඩිහිටියන් සහ ඇයට විරුද්ධ වෙන ඕනෑම අයෙකු මරා දමයි. මෙම සැලැස්ම සමඟ එක් නොවන උසස් පාසල් සිසුවකු නගරයේ පැවැත්මේ එකම බලාපොරොත්තුවයි.