දරු සෙනෙහස සොයාගිය මවකගේ ගමන

Mrs Chatterjee Vs Norway
මාර්තු 9, 2023

මාපියන් හට ඇති වටිනාම සම්පත දරුවන්ය. දරුවකු කුස පිළිසිඳ ගත්දා සිටම ඔවුහු දරුවන් වෙනුවෙන් කැප වෙමින් දරුවන්ගේ සතුට වෙනුවෙන්ම කටයුතු කරති. 

ඉන්දියානු යුවළක වන අනුප් භට්ටාචාර්යා සිය බිරිය සාගරිකා භට්ටාචාර්යා සහ දරු දෙදෙනා සමඟ රැකියාව සඳහා නෝර්වේ වෙත ගියහ. භට්ටාචාර්යා පවුල ආදරයෙන්, සෙනෙහසින් පිරුණ පවුලකි. ඒ කෙසේ නමුත් නෝර්වීජියානු බලධාරීන් භට්ටාචාර්යා යුවළගේ මාපිය විලාසයට විරුද්ධ වීම නිසා ඔවුන්ගේ දරුවන් දෙදෙනා වන තුන් හැවිරිදි අවිග්යාන් සහ වසරක් වයසැති අයිශ්වර්යාගේ භාරකාරත්වය අදහාගත නොහැකි ලෙස අහිමි විය. නෝර්වීජියානු ළමා සුභසාධන සේවය විසින් ඔවුන්ගේ දරු දෙදෙනා රැගෙන යනු ලද අතර එරට උසාවි තීරණයට අනුව අවුරුදු දෙකහමාරක් වයසැති අවිග්‍යාන් සහ වසරක් සපිරුණු ඓශ්වර්යා යන දරු දෙදෙනා වයස අවුරුදු 18 තෙක් වෙන වෙනම හදාවඩා ගන්න නිවාසවල රැඳවීමට නියෝග කෙරුණි. නෝර්වේ උසාවි තීන්දුව අනුව භට්ටාචාර්යා යුවළට සිය දරුවන් මුණගැසිය හැක්කේ වසරකට දෙවතාවක් පමණි.

මෙය චිත්‍රපට තිරපිටපතක කතාවක් නොවේ. 2011 වසරේදී ඉන්දීය ජාතිකයන් වූ අනුප් භට්ටාචාර්යා සහ සාගරිකා භට්ටාචාර්යා නෝර්වේ රාජ්‍යයේදී මුහුණ දුන් සැබෑම සිදුවීමකි. එදා භට්ටාචාර්යා යුවළ මුහුණ දුන් කතාවට අනුව මේ වන විට චිත්‍රපට තිරපිටපතක් නිර්මාණය වී ඇත. එය රචනා කරන ලද්දේ සමීර් සතීජා, අශීමා චිබ්බර් සහ රාහුල් හන්දා විසිනි. එය මෙම සිදුවීමට මුහුණ දුන් මව, සාගරිකා චක්‍රබෝර්තිගේ ස්වයං චරිතාපදානය පදනම් කරගත් අනුවර්තනයක් වන ‘THE JOURNEY OF A MOTHER’ අනුව රචනා කරන ලද්දකි. Mrs Chatterjee Vs Norway නමින් මෙම හින්දි චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ අශීමා චිබ්බර්ය. රාණි මුඛර්ජි, අනිර්බාන් භට්ටාචාර්යා, නීනා ගුප්තා සහ ජිම් සර්භා මෙහි රංගනයෙන් දායක වෙති. සාගරිකා භට්ටාචාර්යා මුහුණ දෙන වසර දෙකක දීර්ඝ නීතිමය අරගලය ගෙන එන මෙම සංවේදී සිනමාපටය මාර්තු 17 වැනිදා නිකුත් කිරීමට නියමිතය.