හොඳ,නරක, අවලස්සන අතර ගැටුමක්

මාර්තු 9, 2023

ලෝක සිනමාව තුල, ගොපලු චිත්‍රපට අතීශයින්ම ජනප්‍රිය වූයේ 1950 දශකයේ අවසන් භාගයේ සිට හා 70 දශකයේ මැද භාගය යන කාල වකවානුව තුළය. ඉන් පසු මේ ⁣ගොපලු චිත්‍රපට කෙමෙන් කෙමෙන් අභාවයට පත් විය. දැනුදු ඉද හිට ගොපලු චිත්‍රපට ඇමරිකාව හා ඉතාලිය තුළ නිපදවූවද ඒවා නූතන යුගයේ ප්‍රේක්ෂකයන් ට ග්‍රහණය වෙන්නේ නැත. ' ඇවෙන්ජර්ස්', 'ස්පයිඩර් මෑන්' 'ඇක්වාමෑන්', 'පයිරේට්ස් ඔෆ් කැරිබියන්', වැනි තාක්ෂණීක චිත්‍රපට විසින් ගොපලු චිත්‍රපට සුනුවිසුණු කර දැමීය.

19 වෙනි ශත වර්ෂයේ අවසන් භාගයේ දී ලෝකයට පැමිණි මේ ගොපලු හෙවත් 'කව් බෝයි' චිත්‍රපට ඇමරිකාවේ ජනප්‍රිය වීම ආරම්භ වූයේ 1936 දී තරමේය. එතැනදීත් ක්‍රියාදාම එසේ නැත්නම් 'ඇක්ෂන්', ගොපලු චිත්‍රපට බිහිවනවා වෙනුවට නිර්මාණය වූයේ 'ක්ලැසිකල්' ගොපලු චිත්‍රපටයන්ය. ඒවා මන්දගාමි ස්වරූපයක් ගත්තද, සිනමාත්මක ව විශිෂ්ට නිර්මාණ විය.⁣ ජෝන් වේන් රඟපෑ 'ස්ටේජ් කෝච්' චිත්‍රපටය 1936 තිරගත වූ ජනප්‍රිය වූ චිත්‍රපටයකි. ප්‍රථම වරට ගොපලු චිත්‍රපටයක් ලොව ජනප්‍රිය වූයේ 'ස්ටේජ් කෝච්' ය. ජෝන් වේන් ලොව ප්‍රථම ජනප්‍රිය ගොපලු නළුවා ලෙස ඇමරිකානු ගොපලු සිනමා ඉතිහාසයේ සඳහන් වී ඇත. ඉන් පසු ගොපලු චිත්‍රපට ගණනාවක් ප්‍රදර්ශනය විය. 'ද ඔක්ස් බෝ ඉන්සිඩන්ට්'(1943), 'මයි ඩාර්ලිං ක්ලෙමන්ටයින්'(1946), 'ෆෝට් අපාචි (1948), 'රෙඩ් රිවර්' (1948), 'බ්‍රෝකන් ඇරෝ',(1950), 'හයි නූන්' (1952), 'ශේන් (1953), 'විචිටා'(1955), 'ද සර්චස්'(1956), 'රියෝ බ්‍රාවෝ' (1959), 'කැට් බැලෝ(1965) වැනි චිත්‍රපට ඒවා අතර විය. මෙම චිත්‍රපට ද ජනප්‍රිය වූ අතර, ඒ අතරිනුත් 'හයි නූන්' හා 'ශේන්' සම්භාව්‍ය ගොපළු චිත්‍රපට ගොන්නට වැටුණි.

ගොපලු චිත්‍රපට වෙනත් කෝණයකට ගෙන ආවේ ඉතාලි ජාතික අධ්‍යක්ෂක සර්ජියෝ ලියෝන්ය. ඔහු ඇමරිකාවෙන් බිහිවූ ගොපලු චිත්‍රපටවලට ඉතාලි අනන්‍යතාවය එකතු කරමින් ' ස්පැගෙති වෙස්ටර්න්' යනුවෙන් හදුන්වන්නට විය. ඇත්තෙන්ම 'ස්පැගෙති' යනු ඉතාලියේ ජාතික ආහාරයයි. ඉතාලිය නැත්නම් ස්පැගෙතිත් නැත, ස්පැගෙති නැත්නම් ඉතාලියත් නැත. එතරම් ම දැඩි සබඳතාවයකි, ස්පැගෙති හා ඉතාලිය සතුව ඇත්තේ. ඉතාලියට, ඉතාලිය කීවත්, ස්පැගෙති කිව්වත් දෙකම එකය. සර්ජියෝ ලියෝන්, ඉතාලියේ නිපදවූ ගොපලු චිත්‍රපට 'ස්පැගෙති වෙස්ටර්න් ' කියා හදුන්වන්නට ඇත්තේ ඒ නිසා විය හැකිය.

සර්ජියෝ ලියෝන් ට ගොපලු චිත්‍රපට මාලාවක් නිර්මාණය කිරීමට අවශ්‍ය විය. ඔහු එය 'ඩොලර්' සීරීස් යනුවෙන් හැඳීන්විය. ඒ යටතේ නිර්මාණය වන හැම චිත්‍රපටයකම එහී රඟපාන හැම චරිතයක්ම හඹා යන්නේත්, මිනී මරා ගන්නේත් 'ඩොලර්' වෙනුවෙනි. මේ ඩොලර් සීරීස් චිත්‍රපටවල අතින් පයින් ගහගන්නා සටන් නැත.සියල්ලේම තියෙන්නෙ තුවක්කුවලින් වෙඩි තබා ගන්නා සටන්ය. මෙය හැම ගොපළු චිත්‍රපටවලටම ආවේණික වූ දෙයකි.

සර්ජියෝ ලියොන් තම මුල්ම ගොපළු චිත්‍රපටය හැදින්වූයේ 'පර් උන් පුග්නෝ ඩි ඩොලාරි' නමිනි. ඉතාලි භාෂාවෙන් එසේ හදුන්වන විට එය ඉංග්‍රීසියට පරිවර්තනය වූයේ 'ෆිස්ට්ෆුල් ඔෆ් ඩොලර්ස්' කියාය. එය ජපන් විශිෂ්ට අධ්‍යක්ෂ අකිරා කුරුසාවාගේ සමුරායි චිත්‍රපටයක් වූ 'යොජින්බෝ' අනුසාරයෙන් තැනූවකි.

ඒ වන විට බාල ගණයේ ටෙලි නාට්‍යවල හා චිත්‍රපටවල පෙනෙන නොපෙනෙන තරමේ කුඩා චරිත කරමින් සිටි අඩි 6 අගල් 4 උස ඇති ක්ලින්ට් ඉස්ට් වුඩ් නම් නළුවෙකුට සර්ජියෝ ලියෝන්ගේ ඇස ගියේය. මොහුව 'පොලිෂ්' කර ගතහොත් තමා අදහස් කරගෙන සිටින 'ඩොලර්' චිත්‍රපට මාලාව තුළ යම් පෙරළියක් කළ හැකි බවක් සර්ජියෝට දැනුණි. ඔහු යළි දෙවරක් නොසිතාම ක්ලින්ට් ඉස්ට් වුඩ් නම් මේ බාල ගණයේ ටෙලි නාට්‍යවල රඟන නළුවාව තම මුල්ම 'ස්පැගෙති වෙස්ටර්න්' නම් වූ චිත්‍රපට කාණ්ඩයේ මුල් ම චිත්‍රපටය වූ ෆිස්ටිෆුල් ඔෆ් ඩොලර්ස්' හී ප්‍රධාන චරිතයට එකතු කර ගත්තේ 'අ මෑන් විත් නෝ නේම්' හෙවත් 'නමක් නැති මිනිසා' ලෙසය. ක්ලින්ට් ඉස්ට් වුඩ් 'ෆිස්ටිෆුල් ඔෆ් ඩොලර්ස්' තුළින් යළි වෙනස්ම ජීවයෙකු ලෙස උපත ලැබීය. එතෙක් බාල ටෙලි කථා හා කසි කබල් ඉංග්‍රීසි චිත්‍රපටවල සුළු හා සහය චරිත රඟපාමින් සිටි ඔහුගේ සිනමා ජීවිතයේ විශාලතම හැරවුම් ලක්ෂණය වූයේත්, අවසානයේ ලෝක පුජීත අද්විතීය නළුවෙකු මෙන්ම පසුකාලෙක විශිෂ්ටතම අධ්‍යක්ෂක වරයෙක් වීමට අඩිතාලම වැටුණේත් මේ සර්ජියෝ ලියෝන් ගේ 'ෆිස්ට්ෆුල් ඔෆ් ඩොලර්ස්' චිත්‍රපටයේ රඟපෑමට එක්වූ නිසාය.

'ෆිස්ට්ෆුල් ඔෆ් ඩොලර්ස්' තුළින් ඇරඹු 'ස්පැගෙති වෙස්ටර්න්' චිත්‍රපට හා එම චිත්‍රපටයේ ලද දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණය නිසා සර්ජියෝ ලියෝන් 1965 දී 'ෆො අ ෆිව් ඩොලර්ස් මෝ' චිත්‍රපටය ඇරඹීය. එයටද ප්‍රධාන චරිතයට තෝරා ගත්තේ සර්ජියෝ ලියෝන්ගේ අතී සාර්ථක සොයා ගැනීම වූ ක්ලින්ට් ඊස්ට්වුඩ්' වය. එයට තවත් ඇමරිකානු නළුවෙකු වූ 'ලී වෑන් ක්ලිෆ්' ව එකතු කරගත් අතර, එන්නියෝ මොරිකෝන්ට සංගීතය භාර දුන්නේ චිත්‍රපටය තුළ තුවක්කු සටන්වලට අමතරව සංගීතය තුළින්ද වෙනසක් කිරීමට උවමනා වූ නිසාය.

ඇත්තෙන්ම ' ෆො අ ෆිව් ඩොලර්ස් මෝ' චිත්‍රපටය තුළින් බිහිවූ සංගීතය, විශ්මිත පෙරළියක් කළේය. එම සංගීතය ලොව උන්මාදයක් විය.

' ෆිස්ට්ෆුල් ඔෆ් ඩොලර්ස්' හා 'ෆො අ ෆිව් ඩොලර්ස් මෝ' චිත්‍රපට , ලොව වටා ලද දැඩි ප්‍රේක්ෂක ,විචාරක සාර්ථකත්වය තුළින් ලද පන්නරයෙන් සර්ජියෝ ලියෝන් තම තුන්වෙනි 'ඩොලර්' චිත්‍රපටය නිර්මාණය කර ප්‍රදර්ශනය කළේ 1965 දීය. ඒ 'ද ගුඩ්,ද බෑඩ්, ඇන්ඩ් ද අග්ලි' නමිනි. එයටද ඔහු ,ක්ලින්ට් ඉස්ට් වුඩ් ,හා ලී වෑන් ක්ලිෆ් ට 'ද ගුඩ්, සහ ද බැඩ් යන චරිත දෙක පැවරූ අතර 'ද අග්ලි' චරිතයට එලී වොලච් ව එකතු කර ගති. ඔවුන් ' ගුඩ්, බෑඩ් සහ අග්ලි' කියා චිත්‍රපටයේ නාමවලියේ හැඳීන්වූවද, කථාන්තරයේදී ඔවුන් භාවිතා වූයේ ,'බ්ලන්ඩි, එන්ජල් අයිස් සහ ටුකෝ' යන නම් වලිනි.

සර්ජියෝ ලියෝන්ගේ විශිෂ්ටතම ස්පැගෙති වෙස්ටර්න්' චිත්‍රපටය වූයේ මේ 'ද ගුඩ්, ද බෑඩ් ඇන්ඩ් ද අග්ලිය' එය නිකම්ම නිකං වෙඩි තියාගෙන මරා ගන්නා කථාන්තරයක් නොවේ. එහී තිබූ අන්තර්ගතනය බැරැරුම්ය. එලෙසම එය සිනමාත්මක විය. මෙම කථා සංකල්පය ලුසියානෝ විසෙන්සෝනි හා සර්ජියෝ ලියෝන්ගේය. ඒ අනුව තිර පිටපත ලිවීමට ලුසියානෝ හා සර්ජියෝ සමඟ එකතු වූයේ 'ඒජ් ඇන්ඩ් ස්නාප්ලීය'. එහී රඟපාන හැම රංගන ශිල්පියෙකුගේ ඇස්, නාසය, දෙතොල් මුළු තිරය පුරාවටම විසුරුවා හරිමින් වඩාත්ම සමීප රූප සමඟින් කැමරාව විශ්මිත ලෙස මෙහෙය වූයේ ටොනීනෝ දෙල්ලී කොලීය. සර්ජියෝගේ 'ඩොලර්' කථා මාලාව වෙනුවෙන්ම සංගීතය මෙහෙය වන එන්නියෝ මොරිකන් ,'ද ගුඩ් ද බෑඩ් ඇන්ඩ් ද අග්ලි' චිත්‍රපටයට සංගීතය මෙහෙය විය. එම සංගීතයද විශ්වයේ සදාකාලිකව සිසාරා ගියේය.

'ද ගුඩ්, ද බෑඩ්, ඇන්ඩ් ද අග්ලි' චිත්‍රපටයේ කථාව ප්‍රධානව ගෙතී යන්නේ 'බිල් කාසන්' නම් චරිතය වටාය. ඇත්තෙන්ම මෙහී ප්‍රධානතම චරිතය වනුයේද 'බිල් කාසන්' ය. එසේ ප්‍රධාන චරිතය බිල් කාසන් වූවද, අප මුළු චිත්‍රපටය පුරාවටම බිල් කාසන්ව දකින්නේ තප්පර දෙකක පමණ ඉතාමත් සුළු කාලයකටය. එකී තප්පර දෙක තුළම ඔහු වචන දෙකක් හෝ තුනක් පමණ කථා කර එසැණින්ම මිය යයි. ඉන්පසු චිත්‍රපටය පුරාවටම අන්තර්ගතනය වනුයේ මෙම වචන දෙක තුනේ දෙබසය.

'ඒන්ජල් අයිස්' නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වන කුලී වෙඩික්කාරයෙකු, ඔහු සේවය කරන මුලිකයා වූ බේකර් පවරන ලබන කොන්ත්‍රාත්තුවකට, පැරණි යුද හමුදා භටයෙකු වූ 'ස්ටීවන්' ව සොයා යන්නෙ බේකර්ට ඔහුගෙන් අත්‍යාවශ්‍ය තොරතුරක් දැන ගැන්මටය. ඒ 'ජැක්සන්' නැමැත්තෙක් ගැන හා ඔහු දැනට ජීවත්වන ස්ථානය ගැනය. ජැක්සන් සිටින තැන නිවැරදිව දන්නා තැනැත්තා වනුයේ මේ 'ස්ටීවන්' ය. මෙය දැනගැනීම සඳහා බේකර් විසින් ඒන්ජල් අයිට ගෙවන ලද මුදල ඩොලර් 500 යකි. එම තොරතුරු දැන ගත් පසු ඒන්ජල් අයිස් විසින් එකී යුද්ධ සෙබළාවූ ස්ටීවන්ව මරා දැමිය යුතුය. බේකර් විසින් ඩොලර් 500 කට ඒන්ජල් අයිස් ට දුන් කොන්ත්‍රාත්තු ව එයය.

ස්ටීවන්ව සොයා ගිය ඒන්ජල් අයිස් ජැක්සන් ගේ තොරතුරු ඇසුවද, ස්ටීවන් ඇසුවේ එකී තොරතුර ගැන්මට බේකර් විසින් ඒන්ජල් අයිස් ට කොපමණ ගෙව්වාද කියාය. ඒන්ජල් අයිස් කීවේ ජැක්සන් ගැන තොරතුරු සමඟ ස්ටීවන්ගේ ජීවිත හානියට බේකර් විසින් ඩොලර් 500 ක් ගෙවන බවය. ස්ටීවන් ඔහුට ජැක්සන් ගැන තොරතුරු කීය. ඒ ජැක්සන් නමැති අන්වර්ථ නාමයෙන් සිටින පුද්ගලයාගේ නියම නම බිල් කාසන් බවය. එලෙසම ඔහු සිටින ස්ථානයද කියා, ඩොලර් 1000 ක් ඒන්ජල් අයිස්ට දුන්නේ තමන්ගේ ජීවිතයට හානියක් නොකරන ලෙසටය. එහෙත් ඒන්ජල් අයිස් කීවේ තමා කිසියම් වැඩකට මුදල් නියම කළහොත් එම වැඩය එසේ පොරොන්දු වූ ආකාරයට ම කරන බවක් ය.

එහෙයින් ඔහු තොරතුරු ගත් පසු ,ස්ටීවන් දුන් ඩොලර් 1000 ද ගෙන ස්ටීවන්ට හා ඔහුගේ එක් පුත්‍රයෙකුව වෙඩි තබා මරා දැමීය. ඉන්පසු ඒන්ජල් අයිස් කෙළින්ම ගියේ බේකර් වෙතය. ඔහු, බේකර් බලාපොරොත්තු වූ තොරතුර වූ ජැක්සන් ගේ නියම නම වූ බිල් කාසන්ගේ තොරතුරු හා ඔහු සිටිනා ඉසව්ව කියා, තමා ස්ටීවන්ගෙන් ඩොලර් 1000 ක් ගත් බවත්, කිසියම් කෙනෙකුගෙන් යම් වැඩකට මුදල් ගතහොත් එම වැඩය අකුරටම ඉෂ්ට කරන බව කියා බේකර්ටද වෙඩි තබා මරා දැමීය.

බිල් කාසන් ළඟ තිබෙන වටිනා තොරතුර වූයේ ඩොලර් 200,000 ක වටිනා රත්තරන් කාසි මලු සඟවා තිබෙන තැනය. 1867 වර්ෂයේ සිදුවූ කථාවක් නිසා එම කාලයේදී ඩොලර් 2 ලක්ෂයක් යනු විශාල මුදලකි. එකී තැන දැනගත් එකම පුද්ගලයා මේ බිල් කාසන්ය. එතැන් සිට එන්ජල් අයිස් හඹා ගියේ මේ මෙතෙක් කිසි දිනක හමු නොවූ බිල් කාසන්වය. ඒ ඩොලර් 200,000 යේ රත්තරන් කාසි මලු තමා සතු කර ගැන්මටය.

ටුකෝ යනු එකී ප්‍රාන්තය විසින් අත්අඩංගුවට ගැනීමට සොයන දරුණුතම , එමෙන්ම කපටි, කෛරාටක අපරාධකරුවෙකි. ඔහුට විරුද්ධව තිබූ චෝදනා සමූහය අතරින් මිනීමැරුම් සොරකම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, ගණනාවකි. ඔහුව සොයා අල්ලා දෙන ලෙස නගරය පුරාම 'වෝන්ටඩ්' දැන්වීම් ද අලවා තිබුණි. කිසිවෙකුට අල්ලා ගත නොහැකිවූ ටුකෝව, කොටු කරගෙන ප්‍රාන්තයේ ශෙරිෆ් ට භාර දී ඩොලර් 1000 ත්‍යාගය ලබා ගත්තේ 'බ්ලන්ඩිය'.

බ්ලන්ඩි යනු නිසි නමක් නැති දක්ෂ වෙඩික්කාරයෙකි. රන්වන් හිස කෙසක් හා කඩවසම් ⁣පෙනුමක් ඇති 'බ්ලන්ඩි', ටුකෝ ව අල්ලා දී ත්‍යාගයත් රැගෙන ගිය අතර, ටුකෝව ප්‍රසිද්ධියේ එල්ලා මරා දැමීමට නියම විය. ටුකෝගේ බෙල්ලේ ලණුවක් ගැට ගසා එය ගසේ අත්තක එල්ලා ටුකෝව අශ්වයෙක් පිට නංවා අශ්වයා අසලින් වෙඩි පහරක් එල්ල කරන විට, එම වෙඩි ශබ්දයට කුලප්පු වන අශ්වයා, දුවන්නට පටන් ගනියි.

එවිට එල්ලා සිටින ටුකෝගේ බෙල්ල හිරවි මැරෙන අන්දමටය එය සකස් කර තිබුණේ. ටුකෝව එසේ එල්ලා අශ්වයාගෙ පිට උඩ නංවා, ශෙරීෆ් විසින් ටුකෝ ගේ චෝදනා ලැයිස්තුව රැස්ව සිටින සියල්ලටම ඇසෙන්නට කියවා, අශ්වයාව කුලප්පු කරන නියායෙන් තබන වෙඩි පහර තබන්නට සැරසෙත්ම බ්ලන්ඩි විසින් සැගවී සිට ටුකෝගේ එල්ලෙන කඹයේ කෙලවරට වෙඩි තැබීය. එකනෙහිම අශ්වයා කුලප්පු වී ටුකෝවත් රැගෙනම වේගයෙන් ඉදිරියට ගියේය.

කැලයක් වැනි ස්ථානයකටය අශ්වයා ටුකෝ ව රැගෙන ගියේ. එතන බ්ලන්ඩි සිටියේය. ටුකෝව ශෙරිෆ් ට බාරදී බ්ලන්ඩිට ලැබුණු මුදල්වලින් හරි අඩක් ටුකෝට දුන් බිලන්ඩි ඉතුරු මුදල තමා තබාගති. මේ අයුරින් ඔවුන් හැම ප්‍රාන්තයකට ගොස් මෙම සෙල්ලම කළේ, ඒ හැම ප්‍රාන්තයක්ම ටුකෝ 'වෝන්ටඩ්' ලැයිස්තුවේ සිටි නිසාය. ඔවුන් ඒ ලැබෙන මුදල් සම සමව බෙදා ගත්තද, ටුකෝ කීවේ, කඹයේ එල්ලී සිටින තමන් විශාල අවධානමක් ගන්නා බවකි. අවස්ථා කීපයකදී එසේ බ්ලන්ඩි දුර සිට තබන වෙඩි පහර තප්පර කීපයකින් එහා මෙහා වී ටුකෝගේ ජීවිතය බේරුණේ අනූ නමයෙනි. මේ හෙයින් ටුකෝ වැඩි පුර මුදල් ඉල්ලු නිසා, බ්ලන්ඩි ටුකෝව කාන්තාරෙක අතරමං කළේ මෙතැන් සිට නගරයට යන්නට හැතැප්ම 40 ක් හෝ 50 ක දුර ප්‍රමාණයක් තිබෙන බවත්,ඒ දුර, කාන්තාරෙ මැදින් තනිවම පයින් යන්නට කියාය.

ඉතාමත් දුෂ්කරව හා දුක්බිතව ටුකෝ කාන්තාරයේ සිට ඒ සා දුරක් ඇවිද නගරයට පැමිණීයේය. එතැන් සිට ඔහු බ්ලන්ඩිව සොයන්නට පෙලඹුනේ මෙි පලිය ගන්නටය. බ්ලන්ඩි ඉන් පසු ටුකෝව අල්ලා දී ගාන කපාගෙන යළි ටුකෝව බේරාගෙන ලැබුණු ගාන සම සමව ටුකෝ සමඟ බෙදා ගන්නට ගියේ නැත. ඒ ටුකෝ වැඩි ගාණක් ඉල්ලූ නිසාය ඔහු වෙනත් අපරධකරුවන්ව අල්ලා දී ගාණ කපාගෙන ඔවුන්ව බේරා, ඔවුන් සමඟ ලැබූ මුදල සම සමව බේරා ගත්තේය. ඔහු ටුකෝව සහමුලින් අමතක කළද, ටුකෝ , බ්ලන්ඩිව ⁣කිසිලෙසකත් අමතක නොකළේ ඔහුව එදා කාන්තාරයේ ගිනි ගහන අව්වේ අතරමං කළ පළිය ගන්නටය.

බ්ලන්ඩි ව සොයා ටුකෝ හැම ප්‍රාන්තයකම අවන්හල්, සුරා සැල් පීරන විට, එක් අවන්හලක අශ්ව ගාලේ බ්ලන්ඩි ගේ අශ්වයා සිටිනු දුටු⁣වේය. ඔහු ඔහුගේ මැර සගයන් සමඟ බ්ලන්ඩි සිටින කාමරයට කඩා පැන්නද, ටුකෝගේ මැර සගයන් බ්ලන්ඩි ගේ වෙඩි පහරවල්වලින් මියැදුනි. එහෙත් ටුකෝ වෙන පැත්තකින් පැමිණ බ්ලන්ඩිව අල්ලා ගෙන ඔහුට තුවක්කුව පෙන්වා බය කර ඔහුව කාමරයේ බාල්කයක එල්ලා මැරීමට තැත් කළේය. ඔය කාල වකවානුවේ ඇමරිකාවේ ප්‍රාන්ත හරහා යුද්ධමය තත්වයක් විය. තැන තැන බෝම්බ පිපිරීම සාමාන්‍ය සිදුවීමක් විය. මෙම අවස්ථාවේද අවන්හලට නුදුරින් බෝම්බයක් පිපිරූ නිසා එහි දෙදරුමට අවන් හලේ බාල්කය කඩාගෙන බිම වැටුණි. එම කඩාවැටීමට බ්ලන්ඩි හා ටුකෝ අයත් විය. ඔවුන් දෙදෙනාම සුන් බුන්වලට යටවුණි. ඉතාමත් අපහසුවෙන් ටුකෝ සුන්බුන් මෑත් කර එළියට එනවිට, බ්ලන්ඩි එතැනින් පැන ගොස් හමාරය. ටුකෝට බ්ලන්ඩිව එවරද මග හැරුණු සේම, ඔහුගේ සගයන් තුන්දෙනාද බ්ලන්ඩි අතින් මිය ගොස් තිබුණි. ටුකෝගේ කේන්තිය දෙගුන තෙගුණ විය.

ඔහු බ්ලන්ඩි සොයා තම ගමන යළි ආරම්භ කළේය. වනාන්තර, තැනි තලා මේ සියල්ල හරහා ටුකෝ සොයා යන අතරමග, සම්පූර්ණ යෙන් නිවුණු සුරුට්ටු, බාගෙට නිවුණු සුරුට්ටු , ⁣තැන් වල තිබුණු අතර, මේ බ්ලන්ඩි විසින් උරන සුරුට්ටු වර්ගය බව ටුකෝට මතක් විය. ඔහු සුරුට්ටු කොට ඉලක්ක කරගෙන ඉදිරියට ගියේය. අවසානයේදී හමුවු සුරුට්ටු කොටේ ගින්දර තවමත් දැල්වෙමින් තිබුණි. ඒ අනුව මෙම සුරුට්ටුව උරා ඇත්තේ මීට විනාඩි කීපයකට ඉහත දී බව ටුකෝට වැටහුණි. එසේ නම් බ්ලන්ඩි මේ ළඟම සිටිය යුතුවේ. ටුකෝ මෙම දැවෙන සුරුට්ටු ව උරා බැලීය. මෙය අනිවාර්යෙන්ම බ්ලන්ඩි ගේ සුරුට්ටුවය.

තව ටිකක් විපරමින් ඉදිරියට ගිය ටුකෝ ට , බ්ලන්ඩි කඳු ගැටයකට මුවා වී ඈත අපරාධකරුවෙකු එල්ලා මරන දර්ශනයක් දෙස තම තුවක්කුව එල්ල කරමින් සිටිනවා දුටුවේය. තමා සමඟ කෙරූ සෙල්ලම ම, බ්ලන්ඩි තවත් අපරාධ කරුවෙකු සමඟ කරන බවක් ටුකෝට වැටහුණි. ඔහු බ්ලන්ඩිට නොදැනෙන්නට ඔහු කිට්ටුවට ගොස් තම තුවක්කුවේ කෙළවර බ්ලන්ඩිගේ මුහුණේ වැද්දුවේය. බ්ලන්ඩි හැරී බලන විට තමාට තුවක්කුව මානා සිටින ටුකෝව දුටුවේය. මෙතැන් සිට තමාට ටුකෝ ගෙන් ගැලවීමක් නොමැති බව බ්ලන්ඩිට වැටහුණි. ටුකෝට අවනත වෙනවා හැරෙන්නට, බ්ලන්ඩි ට වෙන මඟක් තිබු⁣ණේ නැත.

කොකාට වාරයක් ආවා නම් තිත්තයාටද වාරයක් එන බව ටුකෝ දන්නවාද දන්නේ නැත. ටුකෝ ට ලැබුණු මේ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන බ්ලන්ඩිට උපරිම ලෙස වධ හිංසා දෙන්නට ටුකෝ තීරණය කළේය.

ඔහු බ්ලන්ඩිව කාන්තාරයේ ඇවිද්දුවේ වතුර පොදක්වත් නොදෙමිනි. බ්ලන්ඩි ගිනි ගහන අව්වේ ඇවිදින අතර ටුකෝ අශ්වයා පිට නැගී ගියේ කුඩයකුත් ඉහළ ගෙනය. ටුකෝ ගියේ බ්ලන්ඩිව කඹයකින් බැඳ ඇඳගෙන වාගේය. ඔවුන් හැතැප්ම ගණනාවක් එලෙස ගිය අතර, මහා කාන්තාරයේ ගිනි ගහන අව්වේ වතුර බිඳුවක් හෝ නොමැතිව ඇවිදගෙන ගිය බ්ලන්ඩි හොඳටම හෙම්බත් වී කීප විටක්ම බිම ඇද වැටුණි. ටුකෝට අවශ්‍ය වූයේ මෙම කාන්තාරයේ හැතැප්ම ගණනාවක් බ්ලන්ඩිව ඇවිද්දවා මරා දමන්නට විය හැකිය. එසේ බොහෝ දුරක් යනවිටය ඔවුන්ගේ ජීවිතයන් සම්පූර්ණයෙන්ම වෙනස් වූයේ.

ලුසියානූ විසින්සෝනි හා සර්ජියෝ ලියෝන් එක්ව ලියූ මෙම තිර පිටපත ඇත්තටම විශිෂ්ට විය. එයට ටෝනීනෝ දෙල්ලිගේ විශ්මිත වූ කැමරාකරණය එක්වූ විට, එකී රූප රාමු තිරය මත මැවුණේ හරියට ප්‍රේක්ෂකයා ඔවුන් සමඟ එකී පෙදෙස් වල ජීවත් වෙනවා වගේය. කාන්තාරේ ගිනි රශ්මියේ බ්ලන්ඩි පිච්චෙන විට ප්‍රේක්ෂකයන් ට දැනෙන්නේද තමනුත් ඒ කාන්තාර ගිනි අව්වට පිච්චී කර කුට්ටම් වන බවය. එතරම් සජීවී කරනයක්ය ටෝනීනෝ දෙල්ලීගේ කැමරා කරණයෙන් පසක් වූයේ.

කාන්තාරේ යන අත⁣රේ ටුකෝ හා බ්ලන්ඩිගේ ජීවිතය වෙනස් වන්නේ එතනට ආ, අශ්වරෝහකයෙක් නැති අශ්ව කරත්තයක් නිසාය. එකී කරත්තයේ තිබුනේ යුද්ධයෙන් මියැදුණු යුධ සෙබලන් කීප දෙනෙකුගෙ සිරුරුය. එකී සිරුරු කරත්තයේ පටවා අශ්වයන්ට නිදැල්ලෙ යන්නට ඉඩ හරින්නට ඇත. ටුකෝ කෙසේ හෝ මෙම කරත්තය නතර කරගත්තේ කිසියම් වටිනා දෙයක් කොල්ල කා ගන්නට හැකි දැයි බැලීමටය. ඒ වන විට බ්ලන්ඩි මරණාසන්නව සිටි හෙයින් ටුකෝ ඔහුව එතැන තිබූ ගඟක් ළඟ රැන්දවූයේ ඔහුට අවසන් වතුර ටික පොවන්නට නිසා වන්නට ඇත. ගඟත් අශ්ව කරත්තයත් අතර පරතරය මිටර් 500 ක පමණ දුරක් විය. ටුකෝ ළඟ නැවැත්වුණු කරත්තයේ දොර අරින විට, හමුදා සෙබළුන්ගේ මිය ගිය සිරුරු කීපයක් කරත්තයෙන් එළියට විසිවිය. ටුකෝ ඔවුන් ළඟ මුදල්, තුවක්කු අනෙක් වටිනා දේවල් තිබෙනවාදැයි අත පත ගාන්නට විය. ඒ අතරෙදි එක් සෙබළෙකුට යාන්තමට පණ තිබෙන බවක් හා ඔහු යමක් කියන්නට තැත් කරන බවක් ටුකෝ දුටුවේය. එකී පුද්ගලයාගේ නම 'බිල් කාසන් ' විය. අප මෙම කථාවේ ප්‍රධාන චරිතය මෙන්ම ඒන්ජල් අයිස්, මිනී මරමින් සොයන මෙකී පුද්ගලයාව දකින්නෙ මෙතනදීය. මුලින්ම බිල් කාසන් තමාව හදුන්වා දුන්නද, එකී හැඳීන්වීම ටුකෝ ට විශේෂයක් නොවීය. ඔහු වතුර ටිකක් බීමට ඉල්ලුවද, ටුකෝ ඒ පිළිබදව එතරම් ම විමසිලිමත් නොවීය. එහෙත් ඔහු ඩොලර් 200,000 ක් ගැන කියූ පසු ටුකෝ වහා කලබලවී ඔහුගෙන් තව තවත් විස්තර ගන්නට පෙළඹුණි.

බිල් කාසන් කිවේ ඔහු සොරකම් කර ගත් ඩොලර් ලක්ෂ දෙකක් වටිනා රත්තරන් කාසි මලු වගයක් 'සෑන්ඩ් හිල්' නම් මිනී කනත්තක වළලා ඇති බවය. ටුකෝ ඔහුගෙන් ඇසුවේ එම කාසි කුමන මිනිවලක වැළලුවාද කියාය. ⁣එයට හේතුව වූයේ 'සෑන්ඩ් හිල්' මිනී කනත්තේ මිනී වලවල් දහස් ගණන් තිබෙන නිසාය. බිල් කාසන් එය කීමට තැටමුවද, ඊට පෙර ඔහුට වතුර ටිකක් බීමට අවශ්‍ය විය. පෙර නොතිබූ උනන්දුවක් ටුකෝට ඇතිවූ හෙයින් ඔහු වහා ගඟ ළඟට දිව ගියේ බිල් කාසන්ට වතුර ටිකක් පොවා කාසි වැලලූ තැන අසා ගැන්මටය. ටුකෝ ගඟෙන් වතුර ටිකක් ගෙන ආපසු හැරි බිල් කාසන් ළඟට එනවිට, ටුකෝව පුදුමයට පත් කරමින් එතැන සිටියේ අර මරණාසන්නව සිටි බ්ලන්ඩිය. බිල් කාසන් බ්ලන්ඩිට මොනවාදෝ කියනවා ටුකෝ දුටුවේය. ටුකෝ වහා එතැනට දුවගෙන ආවද, ඔහුට පලක් වූයේ නැත. ඒ වන විට බිල් කාසන් තම අවසන් හුස්ම පොද, වායූ ත⁣ලයට එක් කර තිබුණි. ප්‍රේක්ෂකයා බිල් කාසන්ව චිත්‍රපටය තුළ දකිනුයේ එකී තප්පර කීපය පමණි.

ටුකෝ බ්ලන්ඩිගෙන් ඇසුවේ බිල් කාසන් කිසිවක් කීවාද කියාය. බ්ලන්ඩි එයට පිළිතුරු දෙමින් කීවේ , බිල් කාසන් විසින් 'සෑන්ඩ් හිල්'ස් මිනී කනත්ත තුළ සැඟවූ ඩොලර් 200,000 යේ රන් කාසි, තිබෙන මිනීවල ගැන නම හා තොරතුරු කී බවකි.

එතැන් සිට ටුකෝ බ්ලන්ඩිගේ සේවකයා බවට පත්විය. ඔහු බ්ලන්ඩිව තම අශ්වයා පිට නංවා ගෙන නගරයේ රෝහලක⁣ට රැගෙන ගොස් ඔහුව සම්පූර්ණයෙන්ම සුවවී යථා තත්වයට පත් වෙන තෙක් ඔහුට ඇප උපස්ථාන කළේ බ්ලන්ඩි නොමැතිව මිනී වලේ නම සොයා ගැන්මට වෙන මගක් නැති නිසාය.

චිත්‍රපටය සම්පුර්ණයෙන්ම වෙනස් මුහුණු වරක් ගන්නේ ඔය සිදුවීමෙන් පසුවය. ඒ වන විටත් ටුකෝ ඇන්දේ මිය ගිය බිල් කාසන්ගේ යුධ හමුදා ඇඳුමය. සම්පූර්ණයෙන් සුව වූ බ්ලන්ඩි, ටුකෝ සමඟ 'සෑන්ඩ් හිල්' මිනී කනත්තට යන අතරේ ඔවුන්ව හමුදා කඳවුරකට අසුවූ අතර ටික කලක් ඔවුන් දෙදෙනාට සිර කඳවුරේ සිර කරුවන් මෙන් සිටින්නට සිදුවිය. එම සිර කඳවුර භාරව හමුදා නායකයෙකු ලෙස සිටියේ, බිල් කාසන් ව සොයා යෑමෙදී ස්ටීවන් හා බේකර් ව මරා දැමූ 'ඒන්ජල් අයිස්ය'. සිර කරුවන්ගේ පෙරෙට්ටුවේදී කෑ ගසා නම් අසන විට ටුකෝ උස් හඬින් කීවේ තමාගේ නම 'බිල් කාසන්' කියාය. ඒන්ජල් අයිස් වහා හැරී ටුකෝ දෙස බැලුවේ, කලාන්තරයක් තිස්සේ සිට බිල් කාසන්ව ඔහුත් සොයන නිසාය. ටුකෝව දුටු මතින්ම මේ බිල් කාසන් නොවේ යයි ඔහුට සිතුණේ ටුකෝ ගේ තිබූ විසුළු පෙනුමටය. ටුකෝ යුධ හමුදා ඇඳුම ඇඳගෙන සිටියද, යුධ හමුදා පුහුණුව ලැබූ බවක් නම් පෙනෙන්නට තිබුණේ නැත. එහෙත් මොහු බිල් කාසන් ගැන කුමක් හෝ දෙයක් දන්න බවක් නම් ඒන්ජල් අයිස්ට වැටහුණි.

චිත්‍රපටයේදී ,ටුකෝ, බ්ලන්ඩි, හා එන්ජල් අයිස් හෙවත් ද ගුඩ්, ද බෑඩ් සහ ද අග්ලි එක රූප රාමුවකට අසුවෙන්නේ මෙතනදීය.

සිරගෙදරින් නිදහස් වී ටුකෝ හා බ්ලන්ඩි 'සෑන්ඩ් හිල්ස්' මිනී කනත්ත බලා ගියද, අතර මගදී බ්ලන්ඩි ටුකෝට නොදැනෙන්ට ටුකෝගෙන් වෙන් විය. එසේ වෙන් වුණු ඔහු තනිවම කනත්ත බලා ගියේය . ටුකෝද එසේ යන්නට උත්සහා කළද, ටුකෝ පසු පස ඒන්ජල් අයිස් සහ ඔහුගේ සහචරයන් කීප දෙනෙක් පැමිණීය. උප්පරවැට්ටියකින් ඒන්ජල් අයිස්ගේ සහචරයන්ට වෙඩි තබා මරා දැමූ ටුකෝ, ඒන්ජල් අයිස් ව මග හැර වෙන මාර්ගයකින් කනත්තට පැමිණීය.

ටුකෝ කනත්තට පැමිණෙන විට කිසිවෙක් සිටියේ නැත.ඔහු මිනි වලවල් අතරේ පිස්සුවෙන් මෙන් දිව්වද, , එකී මිනි වලවල් දහස් ගණනින් තමනට සොයා ගතයුතු මිනි වල සොයා ගැන්මට නොහැකි වූයේ එම මිනිවලේ නාම පූරුව නොදන්නා හෙයිනි. එය දන්නේ බ්ලන්ඩි පමණි.

ටුකෝ මිනිවලවල් පිරික්සන අතරේ එතැනට බ්ලන්ඩි පැමිණියේය. බ්ලන්ඩි පමණක් නොව ඒන්ජල් අයිස්ද පැමිණීය.

චිත්‍රපටයේ උච්චතම අවස්ථාව එනම් 'ක්ලයිමෙක්ස්' එක එය විය. ටුකෝ කොතෙක් ඇසුවත් බිලන්ඩි කීවේ නැත. අවසානයේදී ඔහු කීවේ බිල් කාසන් ඔහුට කිසිවක් කීවේ නැති බවක්ය. එහෙත් එය ටුකෝවත්, ඒන්ජල් අයිස් වත් විශ්වාස කළේ නැත. එසේ නමක් හෝ තැනක් නොදන්නේ නම් බ්ලන්ඩි මෙම කනත්තට ආයේ කුමකටදැයි ඒන්ජල් අයිස් විමසීය. ඔවුනගේ බහින් බස්වීම දිගු වී බ්ලන්ඩි අතින් වෙඩි කා එන්ජල් අයිස් මිය ගියේය.

ඉන් පසු බ්ලන්ඩි නියම මිනිවල ළඟට ගොස් කීවේ එම මිනී වලේ නමට ගසා ඇති ලෑල්ලට දමා ඇත්තේ 'නෝ නේම්' කියාය. ඔවුන් දෙදෙනාට එය හමු විය. බ්ලන්ඩි ටුකෝට එතන හාරා බලන්නට කීය.

බිල් කාසන් කියූ දෙය නිවැරදිය. එහි මලු 6 ක රත්තරන් කාසි වලලා තිබුණි. ටුකෝ එම මලු 6 ම අතට ගන්නා විට බ්ලන්ඩි වහා තම තුවක්කුව ටුකෝ ගේ, හිසට එල්ල කර ටුකෝ⁣ට කීවේ එතන තිබෙන කඹය ගෙන තම ගෙලට හිර කර, අනිත් කෙළවර ගසේ අත්තක බඳීන්න කියාය. එසේ බැඳ, දිරා පත්වයන සොහොන් කොතක් මත නගින්නට කීය. යම් හෙයකින් එම සොහොන් කොත කඩා වැටුණහොත් ටුකෝගේ බෙල්ල කඹයේ ගැටයට හිරවී මිය යන්නේය. සොහොන් කොත දිරා වැටෙන තෙක් ටුකෝට ජීවත් වීමට ඉඩ ඇතැයි බ්ලන්ඩි කීය. බ්ලන්ඩි රත්තරන් කාසි මලු 6න් 3ක් ගෙල වැලලා සිටින ටුකෝ ළඟ තිබ්බේ ඒ ටුකෝගේ පංගුව කියාය. එසේ කියූ බ්ලන්ඩි තමන්ගේ රන් කාසි මලු තුන තම අශ්වයා පිට උඩ තබා ,ඔහු ද එම අශ්වයා පිට නැගී දුරට යන්නට ගියේය.

ටුකෝ මහ හඬින් වැලපී කීවේ ඔහුව බේරා යන ලෙසය. බ්ලන්ඩි සැහෙන දුරකට තම අසු පිට ගොස් නැවත හැරී තම තුවක්කුව ගෙන ටුකෝගේ කඹයේ එල්ලෙන කෙළවරට වෙඩි තැබීය. එසේ වෙඩි තැබූ බ්ලන්ඩි නැවතත් තම අසු හසුරුවා ගෙන ඉතාමත් වේගයෙන් ගොස් නොපෙනී ගියේ ටුකෝගේ කෑ ගැසීමේ මැද්දේය.

ක්ලින්ට් ඉස්ට් වුඩ් 'බ්ලන්ඩි' හෙවත් 'ද ගුඩ්' ලෙසත්, ලී වෑන් ක්ලිෆ් ' ඒන්ජල් අයිස්' හෙවත් 'ද බෑඩ්' ලෙසත්, එලී වොලච් ' ටුකෝ' හෙවත් 'ද බෑඩ්' ලෙසත් අද්විතීය රංගනයක යෙදුනි.

සර්ජියෝ ලියෝන් ගේ 'ෆිස්ට්ෆුල් ඔෆ් ඩොලර්ස්' හා 'ෆො අ ෆිව් ඩොලර්ස් මෝ' චිත්‍රපටවල ප්‍රධාන චරිතය රඟපෑ ක්ලින්ට් ඉස්ට් වුඩ් ව මෙම චිත්‍රපටයට තෝරා ගත්විට ක්ලින්ට් කීවේ තමාට ඇමරිකානු ක්‍රියාදාම නැත්නම් රහස් පරික්ෂක ඇතුළත් දැවැන්ත චිත්‍රපට වල රඟපෑමට උවමනා හෙයින් මෙම ගොපලු චිත්‍රපට වල යලි රඟපෑමට නොහැකි කියාය. පසුව සර්ජියෝ ලියෝන් හා ඔහුගේ බිරිඳගේ දැඩි ඉල්ලීම මත, ඔහු මෙම චිත්‍රපටයේ පමණක් රඟපෑමට එකඟ වූ අතර එම රඟපෑම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂ 2 හාමාරක් ඉල්ලා සිටියේය. එයට අධ්‍යක්ෂක සර්ජියෝ ලියෝන් දැඩි අසතුට ට පත් වූවද, ඔහුට, ඔහුම ජනප්‍රිය කෙරූ නළු ක්ලින්ට් ඉස්ට්වුඩ් ට යටත් වී එම මුදල ගෙවන්නට සිදුවිය.

'ඒන්ජල් අයිස්' හෙවත් 'ද බෑඩ්' චරිතයට මුලින්ම තෝරා ගත්තේ 'චාර්ල්ස් ⁣බ්‍රොන්සන්' වය. එහෙත් ඒ වන විට ඔහු 'ද ඩර්ටි ඩසන්' චිත්‍රපටයේ රඟපාමින් සිටිය හෙයින් ඔහුට රූ ගත කිරීමේ කාල⁣ය කළමනාකරගැන්මට නොහැකි විය. සර්ජියෝ ලියොන් තම දෙවෙනි චිත්‍රපටය වූ "ෆො අ ෆිව් ඩොලර්ස් මෝ' චිත්‍රපටයේ ක්ලින්ට් ඉස්ට්වුඩ් සමඟ රඟපෑ ' ලී වෑන් ක්ලිෆ් ' ව, 'ඒන්ජල් අයිස්' චරිතය ට තෝරා ගතී .

'ටුකෝ හෙවත් ද අග්ලි' චරිතයට මුලින්ම තෝරාගෙන තිබුණේ සර්ජියෝ ලියොන්ගේම ''ෆිස්ට්ෆුල් ඔෆ් ඩොලර්ස් සහ ' ෆො අ ෆිව් ඩොලර්ස් මෝ' චිත්‍රපටවල රළු චරිත රඟපෑ ඉතාලියානු නළු 'ජියන් මාරියා වොලොන්ටොග්' ය. නමුත් අධ්‍යක්ෂක සර්ජියෝ ලියෝන් නැවතත් සිතුවේ ටුකොගේ චරිතයට තරමක් උසුළු පෙනුමක් ඇති නළුවෙක් යෙදුවොත් ගැලපේවි කියාය. 1962 දී තිරගත වූ '' 'හව් ද වෙස්ට් වෝස් වොන්' චිත්‍රපටයේ රඟපෑ 'එලී වොලච්' නම් ඇමරිකානු නළුවා මෙම චරිතයට ඉතාමත් සුදුසු යැයි සර්ජියො ලියොන්ට සිතුණු අතර ඒ සිතුවිල්ල වඩාත් නිවැරදි යැයි සිතෙන්නෙ ටුකෝ හෙවත් ද බෑඩ් ගේ චරිතය එහී අනෙක් ප්‍රධාන චරිත දෙක වූ ක්ලින්ට් හා ලී වෑන් ක්ලිෆ් පවා අබිබවා එලී වොලච් රඟපෑ ඇති ආකාරය දුටු විටය.

'ද ගුඩ් ද බෑඩ් ඇන්ඩ් ද අග්ලි' චිත්‍රපටය විනාඩි 177ක ධාවන කාලයක් තිබුණි. එය ඉතාලියේ මුල් වරට ප්‍රදර්ශනය වූයේ 1966 දෙසැම්බර් 23 වන දිනය. ඉතාලියේ බෙදා හැරියේ 'ප්‍රඩියුසියෝනි ඊරෝපියානු ඇසෝසියේට් සමාගම මගිනි. ඇමරිකාවේ බෙදා හැරියේ 'යුනයිටඩ් ආර්ටිස්ට්' සමාගම මඟිනි.

'ද ගුඩ් ද බෑඩ් ඇන්ඩ් ද අග්ලි' චිත්‍රපටයේ ඇස්තමෙන්තුව වූයේ ඇමරිකානු ඩොලර් මිලියන 1.2 කි. එහී බොක්ස් ඔෆිස් ආදායම වූයේ ඇමරිකානු ඩොලර් මිලියන 25.1 කි.

සර්ජියෝ ලියොන් අධ්‍යක්ෂණය කළ මේ විශිෂ්ට චිත්‍රපටය 'ද ගුඩ් ද බෑඩ් ඇන්ඩ් ද අග්ලි' නිශ්පාදනය කළේ ඉතාලි ජාතික ඇල්බෙටෝ ග්‍රිමල්ඩ් ය.

දැනට අවුරුදු 55 කට ඉහතදී ප්‍රදර්ශනය වූ මෙම චිත්‍රපටය අදටත් වලංගු වීම නම් විශ්මිතයම ය.

 

[email protected]