චූපාගේ වික්‍රම යළිත්

CHUPA
අප්‍රේල් 20, 2023

උතුරු සහ දකුණු ඇමෙරිකානු මහාද්වීපයන්හි නිර්මාණය වූ ජනකතාවන්හි සඳහන් වන, ඇසින් දැක ඇති බවද කියවෙන, මත්ස්‍යයෙකුගේ බඳු මුහුණකින්ද, සර්පයෙකුගේ බඳු දිවකින් සහ දෑස් වලින්ද යුත් මිනිසෙකු ලෙසින් දෙපයින් ඇවිද යා හැකි, භයංකර පෙනුමැති අද්භූත සත්ත්වයෙකි 'චුපකබ්‍රා'. ගවයින්, එළුවන් ආදී සතුන්ගේ රුධිරය පානය කර ජීවත් වන මේ සත්ත්වයා අන් සතුන්ගේ ලේ උරාබොන බැවින් මෙම නම ලැබී ඇති බව සඳහන් වේ. රූපවාහිනී කතා මාලා, චිත්‍රපට සහ ගීත ඇල්බමයන්හි සඳහන් වන චුපාකබ්‍රා තවමත් කිසිවෙකුට අල්ලාගත නොහැකි වූ සැඟවුණු සත්ත්වයෙක් ද ?

අප්‍රේල් 7 වැනි දින සිට තිරගත වීම ඇරඹි, මෙක්සිකානු අධ්‍යක්ෂවරයකු වන ජෝනස් කරෝන් විසින් අධ්‍යක්ෂණය කරන ලද, ඇමරිකානු ෆැන්ටසි වික්‍රමාන්විත චිත්‍රපටයක් වන 'චුපා' මෙම සත්ත්වයා නැවත කරළියට ගෙන එයි. නමුත් මෙම චිත්‍රපටයේ එන චුපාකබ්‍රා චරිතයෙහි විශේෂයක් වේ. එනම්, ජනකතා වලින් හඳුනාගෙන ඇති භයානක චරිතය වෙනුවට මෙම චිත්‍රපටයෙන් අප අතරට ගෙන්වන්නේ සුරතල් චුපාකබ්‍රා පැටියෙකි. මෙක්සිකෝවේ වෙසෙන සිය මුත්තණුවන් බැලීමට යන පවුලක කුඩා පිරිමි ළමයෙකු හට, මුත්තණුවන්ගේ නිවසේ පැලක සිටින මෙම කුඩා චුපාකබ්‍රා පැටවාට ඔහු විසින් 'චුපා' යන සුරතල් නාමය පට බඳීන අතර ඔහු සිය ඥාති සහෝදර සහෝදරියන් සමඟ චුපා සුරතලයෙන් ඇති දැඩි කරයි. සියල්ල වෙනස් වන්නේ සිය සුරතල් චුපා දඩයම් කරගැනීමට වෙහෙසෙන දඩයක්කරුවෙක් මුණ ගැසීමත් සමඟය. සාහසික දඩයක්කරුගෙන් බේරා සුරතල් චුපා සිය පවුල වෙත භාරදිය හැකි වේද ?

ඩෙමියන් බිචිර්, චාවා ලෙසත්, ක්‍රිස්ටියන් ස්ලේටර් ක්වින් ලෙසත්, ඉවාන් විටන් ඇලෙක්ස් ලෙසත්, ඈෂ්ලි සියරා ලූනා ලෙසත්, නිකොලස් වර්ඩුගෝ මෙමෝ ලෙසත් රඟ දක්වන මෙම චිත්‍රපටය මාකස් රයින්හාර්ට්, ෂෝන් කෙනඩි මුවර්,ජෝ බාර්නාදන්, සහ බ්‍රෙන්ඩන් බෙලෝමෝ යන සිව් දෙනාගේ රචනයක් වන අතර, ක්‍රිස් කොලම්බස්, මයිකල් බර්නාතන්, සහ මාර්ක් රැඩ්ක්ලිෆ් ගේ නිෂ්පාදනයකි, නෙට්ෆ්ලික්ස් ආයතනයේ බෙදාහැරීමකි.

[email protected]