අතුරුදන් වූ පියාගේ අබිරහස

අප්‍රේල් 27, 2023

 

Gaslight

මෙය නරඹන විට ලෙනින් මොරායස්ගේ ‘අබිරහස’ චිත්‍රපටයද සිහිපත් වේ

මීෂා අංශභාග තත්ත්වයට පත් වන්නේ ඇයගේ එක් උපන්දින සාදයකින් පසු සිදු වූ අනතුරක් හේතුවෙනි. එතැන් සිට තම පවුලේ අය සමඟ කිසිදු සබඳකමක් නොදැක්වූ ඇය වසර පහළොවකට පසු මෝර්බි හි මායාගර් මාලිගය නම් ඇගේ නිවසට පැමිණෙන්නේ ආපසු එන ලෙස ඉල්ලා පියා, රතන් සිං ගයික්වාඩ් ගෙන් ලිපියක් ලැබුණු විටදීය. නමුත් පුදුමයට කරුණක් නම් ඇය එන විට ඇගේ පියා අතුරුදහන් වී තිබීමයි. මීෂාගේ කුඩම්මා රුක්මණී ඇයට දන්වා සිටින්නේ ඔහු ව්‍යාපාරික චාරිකාවක් සඳහා පිටත්ව ගොස් ඇති බවත් දින දෙකකින් නැවත පැමිණෙනු ඇති බවත්ය.

නමුත් කුඩම්මා පවසන දෙයට වඩා වැඩි යමක් ඇති බව රෝද පුටුවේ සිටින මීෂා හට දැනේ. ඇයගේ දුරස්ථ ඥාති සොහොයුරෙකු වන රානා ජායි සිං, පියාගේ කළමනාකරු කපිල් සහ පොලිස් නිලධාරියකු වන අශෝක් ඇයට උපකාරයට පැමිණේ. රතන් සිං ගයික්වාඩ්ගේ බලු සුරතලාගේ දැනීමට අනුව නිවසේ පඩිපෙළට දරාගත නොහැකි අබිරහසක් ඇති බව මීෂා වැඩි කල් නොගොස් සොයා ගනී.

එම අභිරහස දැනගත හැකි වන්නේ පසුගිය මාර්තු 31 දින ඩිස්නි ප්ලස් හොට්ස්ටාර්හි නිකුත් කරන ලද Gaslight චිත්‍රපටයෙනි. හින්දි - අභිරහස් - ත්‍රාසජනක චිත්‍රපටයක් වන එය විලියම් ෂේක්ස්පියර්ගේ සුප්‍රසිද්ධ නාට්‍යයක් වන මැක්බත් සහ සෙත් හෝල්ට්ගේ බ්‍රිතාන්‍ය ත්‍රාසජනක චිත්‍රපටය වන ටේස්ට් ඔෆ් ෆියර් වෙත ලිහිල් අනුවර්තනයකි. පවන් කීර්පලනි විසින් අධ්‍යක්ෂණය කරන ලද Gaslight චිත්‍රපටයේ සාරා අලි ඛාන්, වික්‍රාන්ත් මෙසී, රාහුල් දේව් චිත්‍රාන්ගදා සිං, අක්ෂේ ඔබරෝයි ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.

 

[email protected]