පිටර් පෑන්ගේ චමත්කාර ලොව

Peter Pan & Wendy
මැයි 4, 2023

Peter Pan; or, the Boy Who Wouldn't Grow  උන යන නමින් ජේ. එම්. බැරී නම් නාට්‍ය නිර්මාණකරුවා විසින් නිර්මාණය කරන ලද වේදිකා නාට්‍ය අනුසාරයෙන්, ඩිස්නි විසින් 1953 වසරේ නිපදවූ Peter Pan කාටූන් චිත්‍රපටය එකල දැවැන්ත වාණිජමය සාර්ථකත්වයක් ඉසිලූ එකක් විය. ඇ. ඩොලර් මිලියන හතරක පිරිවැයකින් තනා නිමකෙරුණු මෙම චිත්‍රපටය අමෙරිකාවේ සහ කැනඩාවේ පමණක් ඇ. ඩොලර් මිලියන 90 කට ආසන්න ආදායමක් ලබා ඇති බව සඳහන්. එදා මෙදා තුර කුඩා ළමුන් අතර ජනප්‍රිය චරිතයක් වන පීටර් පෑන්ගේ කතාව සැකෙවින් මෙසේය.

වයසට නොයන 'පීටර් පෑන්' නම් ළමයා ගැන කතන්දර පොත් කියවන සිය බාල සොයුරිය වන වෙන්ඩි හට ඒ බොරු කතා අත්හරින ලෙස ඇයගේ වැඩිමහල් සොයුරෝ දෙදෙනා තරවටු කරති. එය නොතකන වෙන්ඩි හට එදින රාත්‍රියේ සැබැවින්ම පීටර් පෑන් මුණගැසේ. නැතිවුණු සිය සෙවණැල්ල සොයමින් පැමිණෙන පීටර්, වෙන්ඩි වෙත පවසන්නේ 'කාලය ගත නොවන' යන තේරුම් ඇති, 'Neverland'  නම් වූ චමත්කාරජනක ලෝකයක් පවතින බවත් වෙන්ඩි වැනි බොහෝ ළමයින් වෙසෙන එහි කිසිවෙක් වයසට නොගොස් සතුටින් සිය ළමා දිවියම ගෙවන බවත්ය. කෙසේ හෝ සිය සහෝදරයනුත් කැමැති කරවාගෙන, ඔවුන්ද සමඟ 'Neverland'  දේශයට පීටර් විසින් වෙන්ඩි කැන්දවාගෙන යනු ලබයි. එහිදී පීටර් විසින් කියා දුන් පරිදිම වයස්ගත නොවන ළමයින් මුණ ගැසීමට වෙන්ඩිට හැකි වේ. කෙසේ නමුත් පීටර්ගෙන් පළි ගැනීමට මාන බලමින් සිටින ඔහුගේ කපිතාන් හුක් නම් වූ දරුණු නාවිකයෙකුද මුණ ගැසෙන අතර ඔහුගෙන් සිදුවන නොයෙකුත් කරදර මධ්‍යයේ වෙන්ඩිට නැවතත් සිය ගම රට බලා යාමටද සිත් වේ.

පළමු කාටූන් පීටර් පෑන් චිත්‍රපටය තිරගත වී වසර 70කට පසු ඩිස්නි විසින්Peter Pan & Wendy  නමින් මෙම චිත්‍රපටය ප්‍රති නිර්මාණය කර ඇති අතර සජීවී ෆැන්ටසි වික්‍රමාන්විත චිත්‍රපටයක් වන මෙය ඩේවිඩ් ලොව්‍රිගේ අධ්‍යක්ෂණයකි.

ඩේවිඩ් ලෝරි සහ ටෝබි හැල්බෲක්ස් තිර රචනය කළ මෙම චිත්‍රපටය ජිම් විටේකර්ගේ නිෂ්පාදනයකි. ජූඩ් ලෝ, ඇලෙක්සැන්ඩර් මොලනි, එවර් ඇන්ඩර්සන්, යාරා ෂාහිඩි, ජෝෂුවා පිකරිං, ජාකොබි ජූප්, මොලී පාකර්, ඇලන් ටුඩික් සහ ජිම් ගෆිගන් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වන මෙහි ධාවන කාලය විනාඩි 106 කි. ඩිස්නි ප්ලස් විසින් බෙදා හැරෙන මෙය අප්‍රේල් 28 වැනිදා සිට තිරගත විය.

 

 

[email protected]