වර්ෂ 2023 ක්වූ September 29 වැනිදා Friday
කැරැලි මැද තුන්කොන් පෙමක චමත්කාරය

රුසියන් ජාතික බොරිස් ලියෝනිඩෝවිච් පස්ටර්නාක්, ලොව ජනප්‍රිය වූයේ විශිෂ්ට කාව්‍ය නිර්මාණකරුවකු හා නවකතාකරුවකු ලෙසය. ' මයි සිස්ටර් මයි ලයිෆ්', 'ද සෙකන්ඩ් බර්ත්', නමින් ඔහු ලියු ග්‍රන්ථයන් ලෝකය පුරා ප්‍රචලිත විය.
කීර්තිමත් ලේඛකයකු වූ ඔහු 1958 දී නෝබල් ත්‍යාගයටද හිමිකම් කීවේය. බොරිස් පස්ටර්නාක් විශ්වය පුරා තව තවත් ප්‍රචලිත වන්නට ඔහු 1957 දී ලියූ 'ඩොක්ටර් ශිවාගෝ' නවකථාව බෙහෙවින් ඉවහල් විය. ඇතැම් විට 'ඩොක්ටර් ශිවාගෝ' නවකථාවේ විශිෂ්ටත්වයත්, එය ලොව පුරා විවිධ භාෂාවන්ට පරිවර්තනය වීමෙන් ලද ජනප්‍රියත්වයත් ඔහුගේ නෝබල් ත්‍යාගයට හේතු වන්නට විය.
බොරිස් පස්ටර්නාක් ගේ 'ඩොක්ටර් ශිවාගෝ' නවකථාව, සිනමාවට උචිත බව මුලින්ම වැටහුණේ ඇමරිකාවේ 'මෙට්රො ගෝල්ඩන් මේයර්' හෙවත් එම්.ජී.එම් චිත්‍රපට සමාගමටය. මෙය 'එපික්' වර්ගයේ සිනමා නිර්මාණයකට වඩා 'එපික්' ශෛලයට 'ක්ලැසික්' වර්ගයේ චිත්‍රපටයක් නිර්මාණය කරන්නේ නම් වඩාත්ම ඵලදායික බවක් ඔවුනට වැටහුණි. මෙම පොතේ විශේෂීත ස්ථානයක් රුසියානු විප්ලවයටත්, රුසියානු සිවිල් යුද්ධයට හා පළමුවැනි ලෝක මහ යුද්ධයටත් රුසියාව සෝවියට් එක්සත් ජන රජය බවට පත් වීමේ සිදුවීමට ඉඩ ලබා දී තිබුණද, එයට වඩා ඒ තුළ ඇති ප්‍රේමණීයත්වය ට තැනක් දීමට, විශේෂයෙන් ඩොක්ටර් යූරි ශිවාගෝ හා ලාරා ගෙ සම්බන්ධයත්, ලාරාගේ හා වික්ටර් ගේ සම්බන්ධයත්, ලාරා හා පාෂා ගේ සම්බන්ධයත්, යූරි ශිවාගෝ හා ටෝන්යා ගේ සම්බන්ධයත්, එකී, අරගල හා යුදමය සිදුවීම් මාධ්‍යයේ ඉදිරිපත් කළහොත් මෙය වටිනා සිනමා පටයක් වන බව එම්.ජී.එම්. සමාගම ට වැටහුණි. ඔවුන් මෙහි මූලික නිෂ්පාදනය භාර කළේ ලොව විශිෂ්ට එමෙන්ම ජනප්‍රිය තම චිත්‍රපට නිෂ්පාදකවරයකු වූ ඉතාලි ජාතික කාලෝ පොන්ටි ටය. ඒ වන විටත් ඔහු තම කාලෝ පොන්ටි නිෂ්පාදන සමාගම ඔස්සේ 1964 වන විට, ඇමරිකානු හා ඉතාලි චිත්‍රපට 50 ක් නිෂ්පාදන කර තිබුණි.
මෙම චිත්‍රපටය කෙරෙන්නේ නම් මෙය අධ්‍යක්ෂණය කිරීමට භාර දිය යුත්තේ ඒ වන විට චිත්‍රපට 13 ක් පමණ අධ්‍යක්ෂණය කළ ඩේවිඩ් ලීන් ට යැයි කාලෝ පොන්ටි තීරණය කළේය.
ඩේවිඩ් ලීන් පූර්ණ සිනමා අධ්‍යක්ෂණයට පැමිණියේ 1940 වර්ෂයේ පමණය. 1964 වර්ෂයේ දී, 'ඩොක්ටර් ශිවාගෝ' චිත්‍රපටයට, අත ගැසීමට පෙර ඔහු අධ්‍යක්ෂණය කර තිබූ චිත්‍රපට ලැයිස්තුව මෙසේය. 'ඉන් වීව් වී සර්ච් (1942), 'දිස් හැපි බ්‍රීඩ්' (1944), 'බිල්කි ස්පිරිට්'(1944), 'බ්‍රීෆ් එන්කවුන්ටර්'(1945), 'ඔලිවර් ටුවිස්ට්'(1948), 'ද පැෂනේට් ෆ්‍රෙන්ඩ්ස්'(1949), ' මැඩිලෙයින්', (1950), 'ද සවුන්ඩ් බැරියර්' (1952) ' හොබ්සොන්ස් චොයිස්' (1954), 'සමර් ටයිම් (1955), 'ද බ්‍රිජ් ඔන්ද රිවර් ක්වායි' (1957), හා 'ලෝරන්ස් ඔෆ් ඇරැබියා' (1962) .
ඒ අනුව බලන කල 'ඩොක්ටර් ශිවාගෝ' ඩේවිඩ් ලීන් ගේ 14 වෙනි චිත්‍රපටය විය. ඉහත සඳහන් චිත්‍රපට ලැයිස්තුව තුළින් 'බ්‍රිෆ් එන්කවුන්ටර්' 'ද ග්‍රේට් එක්ස්පෙක්ටේෂන්', 'ඔලිවර් ටුවිස්ට්', 'ද බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි' ' ලෝරන්ස් ඔෆ් ඇරැබියා' ලංකාව තුළද තිරගත වී ඉමහත් ජනප්‍රියත්වයක් ලබා තිබුණි. 1965 දී තිරගත වූ 'ඩොක්ටර් ශිවාගෝ' චිත්‍රපටයට පසුද ඔහු 1970 දී 'රයන්ස් ඩෝටර්' අධ්‍යක්ෂණය කළ අතර, 1979 දී 'ලොස්ට් ඇන්ඩ් ෆවුන්ඩ්' නිර්මාණය විය. ඔහුගේ අවසන් චිත්‍රපටය වූයේ 1984 තිරගත වූ 'අ පැසේජ් ටු ඉන්දියා' ය.
'ඩොක්ටර් ශිවාගෝ' තිර නාටකය ලියුවේ රොබට් බෝල්ට් ය. ඔහු මීට පෙර ලියූ තිරනාටකයද අධ්‍යක්ෂණය කළේ ඩේවිඩ් ලීන් මය. ඒ 'ලෝරන්ස් ඔෆ් ඇරැබියා' ය. 'ඩොක්ටර් ශිවාගෝ' ට පසු ඔහු 'මෑන් ෆො ඕල් සීසන්' චිත්‍රපටයේ තිරනාටකය ලිවීය. බ්‍රිතාන්‍ය ජාතිකයකු වූ රොබට් බෝල්ට් ගේ අතින් ලියවුණු 'ඩොක්ටර් ශිවාගෝ' තිරනාටකය නමි අද්විතීයම ය.
ඩොක්ටර් ශිවාගෝ චිත්‍රපටය ආරම්භ වන්නේ ජනරාල් යෙව්ග්‍රාප් අන්ඩ්‍රෙයේවිච් ශිවාගෝ තම සහෝදරයෙකු වූ දොස්තර යූරී අන්ඩ්‍රෙයේවිචි ශිවාගෝ හා ලාරා ඇන්ටිපාවෝ ගේ දියණියව සොයා යෑමය. ඒ වන විට දොස්තර යූරි ශිවාගෝ හා ලාරා මියගොස් ඇති අතර, දැං ඔවුනගේ දියණිය යයි නිගමනය කරන ටාන්යා කොමාරෝවා ද විවාහ වන වයසේ තරුණියක්ව සිටියාය. ජනරාල් යෙව්ග්‍රාප් තම සහෝදර දොස්තර යූරි ගැන ටාන්යා කොමාරෝවා ට කියන්නේත්, ඔවුන්ගෙ පින්තූර පෙන්වන්නේත් ඒ මඟින් හෝ ඇයට තම මවගෙ හා පියාගෙ මතකය අවදි වේ යැයි සිතාය.
ඉන් පසු චිත්‍රපටය අතීත කථාවකට සම්බන්ධ වේ. එය කෙළින්ම යූරි ශිවාගෝ ගේ කුඩාම කාලයට රැගෙන යයි. එය ආරම්භ වන්නේ යූරි කුඩා කාලයේම ඔහුගෙ මව මිය යෑමත්,ඇයගේ අවමංගල්‍ය උත්සවයත්, ඉන් පසු කුඩා යූරි තනිවීමත්, තුළින් ය. එකී අවමංගල්‍ය උත්සවයෙන් පසු ඔවුනට හිතවත් පවුලක් වූ, ඇලෙක්සැන්ඩර් හා ඈන් ග්‍රොමේකෝ විසින් යූරි ව දරු කමට හදා ගැන්මට රැඟෙන යයි. යුරිගේ කුඩාම කාලය වැඩෙන්නේ තම සම වයසේ සිටි ඇලෙක්සැන්ඩර් හා ඈන්ගේ එකම දියණිය ටොන්යා ග්‍රොමේකෝ සමඟ ය. පසුව ටොන්යා ව අධ්‍යාපනය සඳහා ප්‍රංශයේ පැරිස් නගරයට යවන අතර, යූරිව දොස්තර කෙනෙකු කිරීමේ අදිටනින් මොස්කව් පාසැලකට දමයි. මොවුනගේ පාසැල් සමය හා වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම හෝ ටොන්යා ගේ පැරිසියේ ඉගෙන ගන්නා ආකාරයන් චිත්‍රපටයේ නොපෙන්වූවාට, කථාව ගලා යෑමේදී එය උද්දීපනය වන්නට විය.
ඒ, වර්ෂ 1913 ය. යූරි තරුණ වියට එළැබී ඇති අතර ඔහු දොස්තර විභාගයෙන්ද සමත් වී දොස්තර වරයෙක් ලෙස පුහුණු වෙමින් සිටි කාලයයි. ඔහු දොස්තර කෙනෙක් වූවද, ඔහුගේ සහජ හැකියාවක් වූ කවි පබැදුමෙන් ඔහු ඉවත් වූයේ නැත. ඉඩක් ලද හැම විටම ඔහු කවි නිර්මාණ කළේය. පුවත්පත්වලට කවි ලියා ඇරියේය. ඒවා බොහෝ විට රුසියාවේ ජාතික පුවත්පත්වල පළවිය.
ටොන්යා තම අධ්‍යාපනය නිම කර පැරිසියේ සිට නැවත මොස්කව් පැමිණියාය. මේ ඔවුන් දෙදෙනා කුඩා කල වෙන්වී අවුරුදු ගණනකට පසු නැවත මුණගැසුණු අවස්ථාවය. ඔවුන් දෙදෙනාම නාඹර තරුණ වයසට එළැඹී තිබුණි. ඇලෙක්සැන්ඩර් හා ඈන් තම දියණිය ටොන්යා ව දොස්තර යූරි ශිවාගෝ ට, විවාහ කර දීමට, මුල සිටම සැලසුම් කර තිබුණි. යූරි හා ටොන්යා ද, උනුන් හා විවාහ වීමට කැමති වී සිටියහ. එහෙයින්, ටොන්යා පැරීසියෙන් ආ පසු සති කීපයකින් ඔවුනගේ විවාහය සිදුවිය.
චිත්‍රපටයේ එක් කථාංගයක් එසේ ගලා යන අතර, එයට පටහැනි තවත් කථාවක් වෙන පැත්තකින් ගලා යන්නට විය. ඒ, ලාරා ඇන්ටිපෝව්, වික්ටර් කොමරොවස්කි හා පවල් ඇන්ටිපෝව් හෙවත් පාෂාගේ කථාවය.
වික්ටර් කොමරොවස්කි මැදිවියේ පසුවූ බලවත් පුද්ගලයෙකි. ඔහු ලාරා ගේ මවගේ මිතුරෙකු සේම, ඇයගේ පෙම්වතා ද විය. එහෙයින් ඔහු නිතරම ඇය ගේ නිවසට එන්නට විය. ඒ අතරේදීය ඔහු ඇයගේ 17 හැවරිදි දියණිය ලාරා සමඟ රහස් සම්බන්ධතාවයකට මුල පිරුවේ. ඇතැම් විට ලාරා මෙය තමාගේ මවට කරන වරදක් බව දැන දැනත් ඔහුට කැමති වුයේ, ඔහුගේ තිබෙන බලවත් කමටත්, ධනවත් කමටත්, එසේම ඔහුට තිබූ බිය නිසාත් විය හැකිය. එලෙසම,ඔහු රූමත් ලාරා ව රැගෙන ගියේ ධනවත් හා බලවත් අය පමණක් යන ආපන ශාලාවන්ටය. ඇනවුම් කළේ මිල අධික කෑම ය, බීවේ ඉහළම වයින්ය. ඔහු ලාරා ට රැගෙන දුන්නේ වෛවර්ණ මෝස්තර සහිත ඉස්තරම්ම ඇඳුම් හා ආභරණ ය. එලෙසම ඔහු ඇයව ඉහළ පෙළේ බාල් නැටුම්වලට පවා රැගෙන ගියේය. ලාරා ද මෙවන් තත්වයන්ට ප්‍රිය නිසා ඔහු හා ඇසුර පවත්වා ගියාය. පවල් හෙවත් පාෂා ඇන්ටිපෝව්ද, ලාරා ව විවාහ කර ගැන්මට බලාපොරොත්තුව සිටියේය. ලාරාද විවාහ වන්නට අදහස් කර සිටියේ පාෂා සමඟ ය.
පාෂා විප්ලවකාරි තරුණයෙක් විය. රුසියන් ධනවාදයට විරුද්ධව සමාජවාදය ස්ථාපිත කරන්නට වෙර දරන තරුණයෙකි පාෂා. ඔහු එකතු වී සිටින රැඩිකල් වාදී පක්ෂය නිතරම අරගල කලේ රුසියන් රජයට විරුද්ධව ය. මේ හෙයින් රජය කල් යල් බලා සිටියේ ඔවුන් සමඟ පැටලෙන්නටය. එය සිදුවුනේ පාෂා ලාගේ පක්ෂය සමාජවාදය ස්ථාපිත කිරීම වස් යෙදුණු සාමකාමි පා ගමන දිනය. රජයේ හමුදාව පා ගමන මැදට පැන එය කඩාකප්පල් කළ අතර එයින් කීප දෙනෙක් මියගොස් බොහෝ අය තුවාල ලැබීය. තුවල ලැබූවන් අතර පාෂාද එක් අයෙකි. තුවාල වූ පාෂා කෙළින්ම ගියේ ලාරාගෙ නිවසටය . ඇය පාෂාගෙ තුවාල දැක බියවී, වහා ඔහුගේ තුවාලවලට බෙහෙත් දැමීය. සියල්ල නිමවුණු පසු පාෂා නැවත යන්නට සැරසී, ලාරා අතට පිස්තෝලයක් දී එය පරිස්සමින් සඟවා තබන ලෙස ඉල්ලීය. ඇය මුලින් අදි මදි කළද, පසුව ඔහුගෙ ඉල්ලීමට අවනත වී එම පිස්තෝලය භාර ගති.
මේ අතර තම දියණිය තම පෙම්වතා සමඟ රහස් සබඳකමක් ගෙන යන බවක් අහුවුණු පසු ලාරාගේ මව වස පානය කර, සිය දිවි හානි කරගන්නට තැත් කළාය.
ඇය අසාධ්‍ය තත්වයේ පසුවන නිසා වික්ටර් වහාම තමා හඳුනන දොස්තර මහචාර්ය වරයෙකුට රහසින් පණිවිඩයක් යවා ඔහුව ගෙන්වා ගත්තේය. මහචාර්යවරයාගෙ දෙවනි දොස්තර වරයා ලෙස පැමිණියේ දොස්තර යූරි ශිවාගෝ ය. වික්ටර් ට මුලින්ම දොස්තර ශිවාගෝ ව මුණ ගැසුණේ එදිනය. මහචාර්ය වරයා හා දොස්තර ශිවාගෝ එක්ව නිසි අයුරින් බෙහෙත් කරමින් ලාරාගේ මව සිටි අසාධ්‍ය තත්ත්වයෙන් ඇයව මුදාගති.
ඉන් දින කීපයකට පසු වික්ටර් විසින් ලාරා ට කීවේ, පාෂාව විවාහ කර ගන්නා අදහස අතහැර තමා සමඟ සිටින ලෙසටය. ලාරා එය දැඩි අයුරින් ප්‍රතික්ෂේප කළ අතර, එයින් කෝපාවිෂ්ට වූ වික්ටර්, ලාරාව දූෂණය කළේය.
එම සිදුවීම ලාරාගේ සිතට තදින් ම බලපෑ ය. ඇය එක් සැදෑවක පාෂා දුන් පිස්තෝලයත් රැගෙන වික්ටර්ව සොයා ඔහුගේ නිවසට ගියේ ඔහුට වෙඩි තැබීමටය. එහෙත් ඔහු එහී නොසිටිනා බවත්, ඔහු නත්තල් සාදයකට ගිය බවත්, ඒ ගිය ස්ථානයත්, එහී සිටි සේවකයා ලාරා ට කීය. ඉන්පසු ඇය එම සාදය තිබෙන තැනට ගියාය. ලාරා එම සාදය තිබෙන පැත්තට යන අයුරු එම මාර්ගයේ කෙළවරක සිටි පාෂා දුටුවේය. ඔහු ඇය පසු පස ගියේ ය. ඇය සාදයේ විනෝදවෙමින් සිටි තැනට ගොස් වික්ටර් ට වෙඩි තැබීය. එහෙත් එය වැදුණේ ඔහුගේ වම් අතටය. ආරක්ෂක භටයෝ ඇයව අල්ලා අත්අඩංගුවට ගත්තද, වික්ටර් ඔවුන්ට කීවේ ඇයව නිදහස් කරන්නට කියාය. එම සාදයේම බාල් නැටුමකට සහභාගි වෙමින් දොස්තර යූරි ශිවාගෝ තම බිරිඳ වූ ටොන්යා ද සිටියහ. ලාරා පසු පස පැමිණි පාෂා ඇයව ආරක්ෂිතව එතැනින් එළියට රැගෙන ගියේය. ඉන් අනතුරුවය දොස්තර යූරි ශිවාගෝ වික්ටර්ගේ අතට බෙහෙත් කිරීමට ඉදිරිපත් වූයේ.
එම සිදුවීමෙන් පසු වික්ටර් ගෙන් සම්පූර්ණයෙන්ම අයින් වූ ලාරා, පාෂා සමඟ විවාහ විය. ඔවුනට කේට් නම් දියණියක් ඉපදුණි.
පළමුවැනි ලෝක යුද්ධ සමය ඇරඹී තිබුණි. දොස්තර යූරි ශිවාගෝ ගේ සහෝදරයා වූ ජනරාල් යෙව්ග්‍රාෆ් ශිවාගෝ බොල්ෂවික්ස් ආණ්ඩු පක්ෂය විසින් රුසියානු හමුදාව යටත් කර ගැනීම පිණිස යැවූ අතර, දොස්තර යූරි ශිවාගෝ ව යුද්ධයේදී තුවාල වන සොල්දාදුවන්ට සාත්තු කිරීම පිණිස 'බැටල් ෆීල්ඩ්' දොස්තර ලෙස පත් කෙරීය.
ලාරා සමඟ විවාහ වී සිටි පාෂා අතුරුදහන් වූයේ මේ කාලයේදීමය. එය සිදුවී තිබුණේ ඔවුන් ජර්මන් හමුදාවට ප්‍රහාර එල්ල කරන අවස්ථාවේදීය. පාෂා ඒ සමඟම මිය යන්නට ඇතැයි අනුමාන කළද, ඔහු මිය ගියා යැයි පිළිගැන්මට ලාරා කැමති වූයේ නැත. ඇය හෙදියක් ලෙස බැඳී පාෂාව සෙවීමට උත්සහා ගත්තාය. ලාරා දොස්තර ශිවාගෝ සමඟ එක්ව 'බැටල් ෆීල්ඩ්' හී වැඩ කළාය. ඔවුන් සියල්ලෝම මාස 6 ක් එක දිගට හමුදා විවෘත රෝහලේ වැඩ කරන්නට විය. එය නියමයක් විය. එකී වකවානුවේම විලාඩිමියර් ලෙනින් මොස්කව් වලට නැවත පැමිණ සෝවියට් එක්සත් අණ්ඩුව හරහා පාලනය කිරීමෙන් රුසියාව තුළ රැඩිකල් වෙනසක් සිදුවෙමින් තිබුණි.
මේ අතර දොස්තර යූරි ශිවාගෝ හා ලාරා අතර ආදර සම්බන්ධය ගොඩනැගුණි. ඔවුනොවුන් ගේ තනි ජීවිතවලට එම තහනම් ඇසුර ඉමහත් අස්වැසිල්ලක් විය. එහෙත් එය එසේ වූවා කියා ශිවාගෝ තම බිරිඳ වූ ටොන්යා ට තිබූ ආදරය හා ළබැදියාව අයින් කළේ නැත. ටොන්යා ඔහුගේ සිතේ නිරතුරුවම රැඳී තිබුණි. ලාරා ද, පාෂා ගැන සිතුවේ එවැනිම සිතුවිල්ලකි.
යුද්ධය නිමවූ පසු 'බැටල් ෆීල්ඩ්' හී වැඩ කෙරූ සියල්ලටම තම නිවෙස්වලට යාමට හැකි විය. ලාරාද, ශිවාගෝ ගෙන් වෙන්වී ගිය අතර, ශිවාගෝ තම පවුල වෙත ගියේය. එහි ගිය පසුය එහී සිදුවී ඇති බොහෝ වෙනස්කම් ඔහු දැනගත්තේ.
ටොන්යාගේ මව, එනම් තම නැන්දණීය, මිය ගොස් ඇති බවත්, සෝවියට් එක්සත් ජනරජය විසින් රුසියාව යටත් විජිතයක් කරගෙන ඇති බවත් දැන් මුළු පාලනයම සෝවියට් ජනරජය විසින් කෙරෙන වගක් දැන ගත්තේ එහි පැමිණියාට පසුවය. එලෙසම ශිවාගෝ, ටොන්යා දරුවා සහ ඇයගෙ පියා එක්ව සිටින මෙම නිවසද සෝවියට් රජය විසින් පවරා ගෙන තිබුණි. ශිවාගෝ රුසියානු රජයට සේවය කරන දොස්තර කෙනෙක් කියා කීවද, එලෙසම දැන් පැමිණියේ 'බැටල් ෆීල්ඩ්' හී දිඟු කාලයක් වැඩ කර සිට යැයි කීවද, එතැන පාලනයේ සිටි සෝවියට් රජයේ නියෝජිතයන් ඒවා මායිම් කළේ නැත. මේ අතර දොස්තර ශිවාගෝ ගේ සහෝදර ජනරාල් යෙව්ග්‍රාෆ් දන්වා එව්වේ දොස්තර විසින් පුවත්පත්වලට ලියූ කවි, සෝවියට් රජය නිර්දය ලෙස විවේචනය කළ අතර ඒවා කොමියුනිස්ට් වාදයට ප්‍රතිවිරෝධ දැක්වූ කවි ලෙස සලකා ඇති බවත්, ඒ හේතුව නිසා දොස්තර ශිවාගෝ හා ඔහුගේ පවුලේ උදවියට, ජීවිත තර්ජන පැමිණීමට බොහෝ සේ ඉඩ ඇති බවත්, ඒ හෙයින් වඩාත්ම නුවණැති දේ මොස්කව් හී නොසිට එයින් පිටවීම බවත්, කියා ඒ සඳහා අවශ්‍ය සියලු ලිපි ලේඛන ද සකස් කර එවා තිබුණි. මේ හෙයින් ඔවුන් සියල්ලම ටොන්යා ගේ පියා වූ ඇලෙක්සැන්ඩර් ග්‍රොමේකෝස් ගේ ගම වූ 'වැරිකිනෝ' බලා යෑමට පිටත් විය. ඔවුන්ට එහී යන්නට සිදුවූයේ 'බොල්ශෙවින්' පාලකයන් විසින් පාලනය කෙරූ දුම්රියකිනි. එය ඉතාමත් දිගු ගමනක් වූ අතර, දුම්රිය තුළ නිදන මැදිරි වල ඔවුනට යෑමට හැකි විය. මෙම දුම්රිය ගමන රුසියාවේ හිමෙන් වැසුණු ගම්මාන පරිසරය මැදින් ගිය සුන්දර ගමනක් විය. නමුත් ඒ සුන්දරත්වය අතරින් භීතියද නොතිබුණා නොව.
දොස්තර ශිවාගෝව හමුදා භටයන් කීපදෙනෙක් අල්ලාගෙන තම හමුදා නායකයා වෙත ඉදිරිපත් කළේ ඔහු දුම්රිය මදකට නැවැත් වූ පසු එයින් බිමට බැස පරිසරය විඳමින් සිටි අවස්ථාවකය.
එහෙත් එතැන වූයේ තවත් දෛවෝපගත සිදුවීමකි. හමුදා භටයන් ශිවාගෝව තම නායකයා ළඟට රැගෙන ගියහ. හමුදා නායකයා බවට පත්වී තිබුණේ, එදා මාර්ගයේ පත්‍රිකා බෙදමින්, පෙළපාලි යමින් සිටි, එලෙසම ලාරාව විවාහ කර ගත්, තවමත් ලාරා විසින් සොයන ඇය ගේ සැමියා වු පාෂාය. ඔහු ඔහුගෙ අරගලය ජය ගෙන ඇති බවක් ශිවාගෝට වැටහුණි. කෙසේ හෝ පාෂා ශිවාගෝව හඳුනා ගත්තේ, එදා ලාරා විසින් වික්ටර්ට වෙඩි තැබූ දවසේ වික්ටර්ගේ වෙඩි වැදුණු අතට බෙහෙත් දැමීමට ඉදිරිපත් වූ නිසාය. ශිවාගෝටද පාෂාව මතක ඒ සිදුවීම මතය. ලාරා තවම ඔහුව සොයන බවක් ශිවාගෝ පාෂාට දැන්විය. එහෙත් පාෂා කීවේ පෞද්ගලීක ජීවිත තබාගෙන අරගල දිනන්නට නොහැකි බවක්ය. කෙසේ හෝ ශිවාගෝ නිවැරදි අහිංසක පුද්ගලයෙක් බව පාෂා දැන සිටියේය. එහෙයින් ඔහු ශිවාගෝව නිදහස් කර හමුදා භටයන් සමඟ නැවත දුම්රියට යැව්වේය. සාමාන්‍යයෙන් මෙතනට ආ කිසිකෙනෙක් නැවත නොයන බවත් මේ නැවත ගිය පළමුවැනි පුද්ගලයා බවත්, ඒ අතින් ශිවාගෝ වාසනාවන්ත බවත් හමුදා භටයෝ පෙරලා එනවිට ශිවාගෝ ට කීහ.
'ඩොක්ටර් ශිවාගෝ' චිත්‍රපටය වෙනත් තලයකට පරිවර්තනය වෙන්නෙ දොස්තර යූරි ශිවාගෝ ටොන්යා දරුවා හා ඇයගෙ පියා වූ ඇලෙක්සැන්ඩර් ගෙ මුල් ගම්මානය වූ 'වැරිකිනෝ'වලට ජීවත්වීමට ගියාට පසුවය. මෙම චිත්‍රපටයේ විශිෂ්ට වූ පසුබිම් තල අප දකින්නේ මෙතැන් සිටය. එය දකින්නට ආරම්භ වන්නේද ඔවුන් දුම්රියෙන් මෙම ගම්මානයට එන අතරෙදීමය. මුළු පරිසරයම හිමෙන් වැසී තිබුණි. දුම්රිය ඇදෙන්නෙ මේ හිම වැස්සෙන මාර්ගයන් අතරින්ය.
දුම්රියෙන් යන අතරේ දොස්තර යූරි ශිවාගෝ දුම්රියේ කව්ළුව හැර පරිසරය දෙස බලමින් යන අපුරුවූ දර්ශනයක් චිත්‍රපටයේ තිබුණි. මොස්කව් නගරයේ සිට ගම්මානයට එන අතර මග දකින මෙම හිමෙන් වැසුණු පරිසරය එම චිත්‍රපටය රූ ගත කළ කැමරා අධ්‍යක්ෂක ෆ්‍රෙඩි යංග් විසින් සිදු කර ඇත්තේ අරුමැසිම ප්‍රතිහාර්ය ක් යැයි සිතේ. දුම්රියේ හිරවී යන යූරි ශිවාගෝ කවුළුව තුළින් දකින මෙකී සුන්දර වූ පරිසරය ට බද්ධ වන්නේ එයට දැඩිව වශී වූවාක් මෙනි. එම වශී වීම ප්‍රේක්ෂකයන් ටද එයාකාරයෙන්ම දැනෙන ලෙසය ෆ්‍රෙඩී යංග් කැමරා ගත කර තිබුණේ. එලෙසම මෙම දර්ශනවලට අනුකූලව විශ්මජනක සංගීතයක් සැපයූ සංගීත අධ්‍යක්ෂ මොරිස් ජාර් මෙලොවට පහළ වූ තවත් ප්‍රතිහාර්යක් යැයි සිතේ.
'වැරිකිනෝ' ගම්මානය සුන්දර වූවාට එය බොහෝ තැන් ජනශුන්‍ය වී පැවතුණි. එය නිතරම පාළු වූ ස්වභාවයක් ගත්තේය. එම පාළු ස්වභාවය බිඳීන්නට දෝ හැම රැයකදීම හිවලුන් හූ හඬ නඟන්නට විය. ඇතැම් දිනවල හිවලුන් ඔවුන් සිටි නිවස අද්දරටද පැමිණෙන්නට විය.
ලාරා ව අහම්බෙන් ශිවාගෝට මුණ ගැසුණේ මේ අතරේදීය. ඒ මුණ ගැසීමේදී ඔවුනතර තිබූ පරණ සම්බන්ධය නැවත අලුත් විය. ලාරා ඒ වන විට, වැරිකිනෝ ගම්මානයට පැමිණ අවුරුද්දක් පමණ වූ අතර ඇගේ කුඩා දියණිය ගම්මානයට නුදුරින් තිබූ කුඩා නගරයක පාසැලකට යන්නට විය. යූරි ශිවාගෝ ඉන්පසු නිතරම ලාරා ව සොයා යන්නට විය. මේ අතරේදී ශිවාගෝ ගේ බිරිඳ වූ ටොන්යා ද තවත් දරු ප්‍රසුත්තියකට සැරසුණි. ඇයගේ උදරය දරු ගැබින් විශාල වේගන එන අතරේදී දොස්තර ශිවාගෝ ට සිතුණේ ලාරා හා සම්බන්ධ ය නවත්වා දමා ටොන්යා වෙනුවෙන් අවධානය යොමු කළ යුතු බවකි. එහෙයින් ඒ බව කියා මේ සම්බන්ධ ය නවත්වා දැමිය යුතු යයි සිතූ ශිවාගෝ තම අසුපිට නැගී ලාරාව හමුවීමට ගියේය. එසේ ලාරාගෙ නිවසට ගොස් සියල්ල පවසා සම්බන්ධය බිඳ දමා යළි තම නිවසට එන අතරේ රුසියානු රැඩිකල් සංවිධානයක කල්ලියක් ශිවාගෝව පැහැර ගතී. ඒ පැහැර ගත්තේ ඔවුන් සෝවියට් රජය සමඟ කැරලි ගසා අරගල කරන විට තුවාල වන ඔවුන්ගේ මිනිසුන් ට වෛද්‍ය සේවාවන් ලබා දීමට ය. ඒ පැහැර ගැනීම ඔහුගෙ ජීවිතය තව තවත් අඩාල කළේය. එක දිගට අවුරුදු 2 කක්ම ඔහුට ඔවුන් සමඟ සිටින්නට සිදුවිය . ඒ සිටින්නට සිදුවූයේ පිටස්තර ලෝකය සමඟ කිසිදු සම්බන්ධයකින් තොරවය. එහෙයින් ඔහුට ටොන්යා සමඟ වත්, ලාරා සමඟ වත් සම්බන්ධවීමට නොහැකි විය.
අවුරුදු 2 කට පසු කැරලිකරුවන් ඔහුට නිදහස දුන්නෙ ඒ වන විට කැරලි කාරයන්ගේ බහුතරයක්ම සටන් නිසා විනාශ වූ හෙයිනි. ඔවුන්ට තව දුරටත් සටන් කිරීමට ශක්තියක් හා පිරිසක් නොවූ නිසා, සංවිධානය විසිරුණි. ශිවාගෝ හිම කාන්තාරය තරණය කරමින් ලාරාගෙ නිවසට පැමිණියේය.
ඒවනවිට ඔහු හිම කුණාටුවලට අසුවූ නිසාත්, ඉමහත් සේ අබල දුබල වී සිටියේය. ලාරා ඔහුව තමා ළඟ තබාගනිමින් සාත්තු කර යථා තත්වයට ගෙන ඒමට සමත් විය. ටොන්යා විසින් ලාරාට ලිපියක් සීල් කර එවා තිබුණේ කවදා හෝ දිනයක ශිවාගෝව මුණ ගැසුණහොත් මෙම ලිපිය ඔහුගේ අතට පත් කරන ලෙසටය. එම ලිපිය මාස 6 ක් පමණ පැරණි විය. එකී ලිපිය අනුව දරු ප්‍රසුත්තියේදී ටොන්යා ගැහැනු දරුවකු බිහි කෙරූ අතර ඇයගේ නම ඇනා විය. සෝවියට් එක්සත් ජනරජය විසින් ටොන්යාගෙ මුළු පවුලම රටින් පිටුවහල් කෙරූ අතර ඔවුන් ප්‍රංශය ට ගොස් එහී පැරිස් නගරයේ ජීවිතය යළි ගොඩනගාගෙන ඇත.
නැවත කිසිදිනයක ටොන්යා ව, තමාගෙ දරු දෙදෙනාව හා තම මාමණ්ඩිය ඇලෙක්සැන්ඩර් ව දකින්නට නොලැබෙන බව දැන් ශිවාගෝට විශ්වාසය. ලාරා ටද පාෂාව යළි හමුනොවන බව ස්ථීර විය. ශිවාගෝ හා ලාරා ගෙ පරණ ආදර බැඳීම යළි අලුත් විය. ඔවුන් දෙදෙනා එක්ව ජීවත් වන්නට විය.
එක් රාත්‍රියක හදිසියේම බලාපොරොත්තු නොවූ අයුරින් වික්ටර් කොමරොවස්කි ලාරාව සොයා ආ විට, ඇය සමඟ ශිවාගෝ සිටින බව දැක පුදුම විය. එලෙසම ඔහු කියා සිටියේ ලාරාගේ සැමියා පාෂා දිවිනසා ගත් බවත්, ඔහුගේ මිනිය පාරක තිබී හමුවූ බවත්, සෝවියට් රජයට විරුද්ධව කැරලි ගැසූ නායකයෙක් නිසා ඔහු මියගියද ඔහු සම්බන්ධ හැම කෙනා ගැනම සෝවියට් රජය අවධානයෙන් සිටින බවත් ඒ නිසා ලාරා ඔහුගේ බිරිඳ නිසා ඇය ගැන රජය සොයමින් සිටින බවක්ය. ලාරටත්, ශිවාගෝටත් රටින් පිටුවහල්වීමට තමාට උපකාර කළ හැකි බවක් වික්ටර් කීය. එහෙත් එයට ශිවාගෝවත් ලාරාවත් කැමති වූයේ නැත. මෙය ඔහු ලාරාව රැගෙන යාමට කරන උප්පරවැට්ටියක් යැයි සිතූ ශිවාගෝ ඔහුව නිවසින් එලවා දැමීය.
නමුත් දෙවනි වර ඔහු පැමිණ විට ඔහු කී දෙය සත්‍ය බවත් තවත් ලාරා මෙහි සිටියහොත් ඇය හා ඇයගේ දියණියට අනතුරක් සිදුවෙන්නට ඉඩ ඇති බවක් ශිවාගෝටද වැටහුණී. එහෙයින් ලාරාට වික්ටර් සමඟ යෑමට ශිවාගෝ ඉඩ දුනී. වික්ටර් සමඟ දුම්රියේ යන අතර වාරයේ ඇය වික්ටර්ට කීවේ තමාට ශිවාගෝ ගෙන් දරුවෙක් පිළිසිදී ඇති බවක් ය.
ශිවාගෝ මොස්කව්වල නැවතුණි. කාලය අවුරුද්දක් පමණ ගත වුණි. දිනක් ශිවාගෝ මොස්කව් සිට දුම්රියකින් යන විට දුම්රිය කව්ළුවෙන් ලාරා ඇවිදගෙන යනවා දුටුවේය. ඒ වන විට දුම්රියද එම නැවතුමේ නැවැත්වුණි. වහා දුම්රියෙන් බැස ගත් ශිවාගෝ, ලාරාගෙ නම කියමින් ඇය පසු පස ගියද ඔහුගේ ආමන්ත්‍රණය ඇයට ඇසුණේ නැත. එවිටම ශිවාගෝගෙ හෘද ස්පන්දනය වැඩි වී හෘදාබාධයකට හැරුනී.
දොස්තර යූරි ශිවාගෝ ගේ අවමංගල්‍යයෙන් පසු ලාරාව හා ශිවාගෝ ගේ දරුවාව සෙවීමට උත්සහ කළේ ඔහුගේ සොහොයුරු ජනරාල් යෙව්ග්‍රාප් ශිවාගෝ ය. එහෙත් ඔහුට ඔවුන් ව සොයා ගැන්මට නොහැකි විය. ලාරා කොහේ හෝ කම්කරුවන් සිටින කඳවුරක මිය යන්නට ඇතැයි ඔහු අනුමාන කළේය.
ටාන්‍යා මොවුන්ගේ දරුවෙක් යයි යෙව්ග්‍රාප් සිතන්න ට පෙලඹුණේ, ඇය දෙමාපියන් සොයා ගත නොහැකි වූ අනාථ තරුණියක් වූ නිසාත්, ඇයගේ මතකයන් විවර කරන විට ඇය විස්තර කරන ඇයගේ මව බොහෝ දුරට ලාරාට සමාන නිසාය. යෙව්ග්‍රාප් ගෙ කථාව ටාන්‍යා අසා සිටියද, ලාරා හා ශිවාගෝ ගේ පින්තූරු දුටුවද ඔවුන් දෙදෙනා තමාගෙ මව හා පියා ලෙස පිළිගන්නට ටාන්‍ය මැළි කමක් දැක්විය. නැවත ටාන්‍යා තම පෙම්වතා සමඟ යන්නට සැරසෙන විට, ඇයගේ අතේ තිබෙන 'බලලයිකා' සංගීත භාණ්ඩය යෙව්ග්‍රාප් දිටීය. ටාන්‍යාගේ පෙම්වතා කීවේ ඇය මෙම භාණ්ඩය අපූරුවට වාදනය කරන බවත්, රුසියාවේ හොඳම බලලයිකා සංගීත භාණ්ඩය වාදන කරන අය අතර ඇයද සිටින බවත්, ඇය එය කිසිවකගෙන් ඉගෙන නොගෙන සහජ හැකියාවෙන්ම වාදනය කරන බවත් ය.
යෙව්ග්‍රාප් ට කුඩා කාලයේදී, ඔවුන්ගේ මව, යූරි ශිවාගෝට 'බලලයිකාව' ක් ගෙනත් දුන් බවත්, ඔහු එය කිසිවකගෙන් ඉගෙන නොගෙන ඔහුගේ සහජ හැකියාවෙන්ම වාදනය කළ බව සිහි විය. එසේ නම් ඔහුගේ නිගමනය නිවැරදිය. මේ ටාන්‍යා යනු තම සහෝදර දොස්තර යූරි ශිවාගෝගේම දියණිය බව දැන් නම් යෙව්ග්‍රාප් ට විශ්වාසය. ඔහු ඒ බවක් ඇයට කීමට හිස එසෙව්වද, ඔහු ට දකින්නට ලැබුණේ 'බලලයිකා' වත් තම කරේ එල්ලාගෙන තම පෙම්වතා සමඟ ඈත දුර යන ටාන්‍යා වය.
ඔමාර් ශෙරිෆ් නම් වූ ඒ ශ්‍රේෂ්ඨ ඊජිප්තියානු රංගවේදීයා විශිෂ්ට ලෙස 'දොස්තර යූරි ශිවාගෝ' ගේ චරිතය ට පණ පෙවීය. ජූලි ක්‍රිස්ටි 'ලාරා ඇන්ටිපෝව් ' වූ අතර, 'ටොන්යා' වූයේ ජෙරල්ඩීන් චැප්ලින් ය . ඇලෙක් ගුයිනස්, 'ජනරාල් යෙව්ග්‍රාප් ශිකාගෝ' වූ අතර රොඩ් ස්ටයිගර් 'වික්ටර් කොමොරොවස්කී' ලෙස රඟපෑවේය. ටොම් කර්ටේනි 'පාෂා' විය. 'ඇලෙක්සැන්ඩර් ග්‍රොමේකෝ' වූයේ රැල්ෆ් රිචඩ්සන් ය. රීටා ටුෂින්ගම් 'ටාන්‍යා' ගේ චරිතය රඟපෑවා ය.
'ඩොක්ටර් ශිවාගෝ' ඇමරිකාවේ තිරගත කිරීම ආරම්භ කළේ 1965 වසරේ දෙසැම්බර් 22 වැනි දිනය. එය එංගලන්තයේ 1966 අප්‍රේල් 26 වෙනි දින සිට තිරගත විය. 1966 දෙසැම්බර් 10 වන දින ඉතාලි ප්‍රදර්ශනය ආරම්භ විය. යළි 1999 සැප්තැම්බර් 28 වන දින ඇමරිකාවේ දෙවනි වරටත් තිරගත කිරීම ආරම්භ කළේය.
විනාඩි 193 ක එනම් පැය 3 කුත් විනාඩි 13 ක ධාවන කාලයෙන් යුක්තවූ 'ඩොක්ටර් ශිවාගෝ' හී එකල ඇස්තමේන්තුව ඇමරිකානු ඩොලර් මිලියන 11කි. මුල් වටයෙන් ඇමරිකාවෙන් හා කැනඩාවෙන් ලද බොක්ස් ඔෆිස් ආදායම වූයේ ඇමරිකානු ඩොලර් මිලියන 111.7 කි. ලොව අනෙක් රටවල්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 248.2 ක ක ආදායමක් ලැබීය.
38 වෙනි ඇමරිකානු ඇකඩමි (ඔස්කාර්) සම්මාන උලෙළේදී 'ඩොක්ටර් ශිවාගෝ ' චිත්‍රපටය ප්‍රධාන සම්මාන 5 ක් දිනාගති.
ඒ 'හොඳම තිර නාටකය - රොබට් බෝල්ට්, ' හොඳම සංගීත අධ්‍යක්ෂක මොරිස් ජාර් , 'හොඳම කැමරා අධ්‍යක්ෂක ෆ්‍රෙඩි යංග් ට ය. ඉතිරි සම්මාන දෙක හොඳම කලා අධ්‍යක්ෂණය ට හා හොඳම ඇඳුම් නිර්මාණය ටය. එලෙසම මෙය හොඳම චිත්‍රපටය- කාලෝ පොන්ටි, හොඳම අධ්‍යක්ෂ - ඩේවිඩ් ලීන් සම්මාන සඳහා නිර්දේෂ විය.
38 වෙනි ඇකඩමි (ඔස්කාර්) සම්මාන උලෙළේදී හොඳම චිත්‍රපටයට, චිත්‍රපට දෙකක් තේරුණු අතර, ඒ 'ඩොක්ටර් ශිවාගෝ ' හා ' ද සවුන්ඩ් ඔෆ් මියුසික් ය'. ජූරියේ 10 දෙනෙක් සිටි අතර 5 දෙනෙක් 'ඩොක්ටර් ශිවාගෝ ' ට පක්ෂ විය. අනෙක් 5 දෙනා 'ද සවුන්ඩ් ඔෆ් මියුසික් ' චිත්‍රපටයට පක්ෂ ව ලකුණු කළහ. එලෙස සම සමව ලකුණු එකතු වුණද, විනිශ්චය මණ්ඩලය හොඳම චිත්‍රපටය ලෙස සම්මානය දුන්නේ ' ද සවුන්ඩ් ඔෆ් මියුසික් ' චිත්‍රපටය ටය.
එහෙත් කාලෝ පොන්ටි නිෂ්පාදනය කළ ඩේවිඩ් ලීන් අධ්‍යක්ෂණය කළ 'ඩොක්ටර් ශිවාගෝ ' චිත්‍රපටය 'ද සවුන්ඩ් ඔෆ් මියුසික් ' චිත්‍රපටය ට වඩා බොහෝ ඉදිරියෙන් තිබූ බවක් එතැන සිටි බොහෝ අයගේ මතය විය.