වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
බොලිවුඩ් මහා සිනමා මංගල්‍යය

බොලිවුඩයේ තරු අහසේ තරු පරයන කාන්තියෙන් බබළන උත්කර්ෂවත් රාත්‍රිය 2023 අප්‍රේල් මාසයේ 27 වැනිදා රාත්‍රියේ දී උදාවිණි. 2022 දී තිරගතවුණු හින්දි සිනමාපට අතරින් විශිෂ්ට නිර්මාණ අතරින් අති විශිෂ්ට නිර්මාණ සහ නිර්මාණකරුවන් හැට අට වැනි Hyundai ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළේදී සම්මානනීය විය. මෙවර සම්මාන උලෙළ පැවැත් වුණේ Jio World Centre හිදීය. සල්මන් ඛාන්, ආයුෂ්මාන් කුරානා සහ මනීෂ් පෝල් කලා මංගල්‍යය මෙහෙයවූයේ ටයිගර් ෂෙරොෆ්, විකී කෞෂාල්, කර්තික් ආර්යන්, ජැකලින් ෆර්නැන්ඩස්, ජාන්වී කපූර්, වරුන් ධවාන් සහ ගෝවින්ද නර්තනයෙන් රංගනයෙන් උලෙළ චමත්කාර කරද්දී ය. සල්මන් ඛාන් සම්මාන උලෙළක් මෙහෙයවූයේ ප්‍රථම වරට ය.
68 වැනි සම්මාන උලෙළේ සුපිරි ජයග්‍රාහකයා වූයේ ගන්ගුබායි කාතියාවාඩි (Gangubai Kathiawadi) ය. සම්මාන 10 ක හිමිකාරත්වය ලැබීමට එය සමත්වූ අතර බධායි දෝ (Badhaai Do) සම්මාන හයකට ද බ්‍රහ්මස්ත්‍ර ප්‍රථම කොටස - ශිවා (Brahmastra: Part One - Shiva) සම්මාන 5 ක ද ජයග්‍රාහකයා විය.
අභිමානවත් සම්මාන ලාභීන්
ගන්ගුබායි කාතියාවාඩි (Gangubai Kathiawadi) සිනමා පටය හොඳම සිනමා පටය වූ අතර හොදම අධ්‍යක්ෂවරයා ලෙස සංජේ ලීලා බන්සාලි සම්මානයට පාත්‍රවිය. තිර රචකයකු, අධ්‍යක්ෂවරයකු, තනු නිර්මාපකයකු ලෙස ෆිල්ම්ෆෙයාර්, ජාතික සම්මානය ඇතුළු සම්මාන ගණනකට හිමිකම් කියන හැට හැවිරිදි බන්සාලි මෙවර හිමිකර ගත්තේ 12 වැනි ෆිල්ම්ෆෙයාර් සම්මානයයි. හොඳම අධ්‍යක්ෂවරයා ලෙස වැඩි ම සම්මාන ගණනකට හිමිකම් කියන්නේ සංජේ ලීලා බන්සාලිම ය. ඔහු පස් වරක් හොඳම අධ්‍යක්ෂවරයා ලෙස ෆිල්ම්ෆෙයාර් සම්මානයට පාත්‍රවී තිබෙයි.
හොඳම නිළිය ආලියා
ආලියා බාත් ගන්ගුබායි කාතියාවාඩි සිනමා පටයේ ගන්ගුබායි කාතියාවාඩි නම් පාතාල රැජන ගේ චරිතයට ළාබාල වැඩි බවට සිනමා පටය තිරගත වීමට පෙර අදහස් පැවතුණ ද සිනමා පටය තිරගතවූ පසු එය 2022 වසරේ වැඩිම ආදායමක් ලැබූ සිනමා පටය සේම ආලියා ගේ රංගනය විචාරක, ප්‍රේක්ෂක පැසසුමට වඩාත් ලක්වූ සිනමා පටය බවට පත් විය. වයස අවුරුදු නවයේදී ආලියා සංජේ ලීලා බන්සාලි ගේ බ්ලැක් සිනමා පටයේ ළමා චරිතය සදහා රංගන පරීක්ෂණයට පෙනී සිටිය ද ඇය ගේ අධ්‍යාපනය ගැන සිතා අධ්‍යක්ෂවරයා ඇය සිනමා පටයට නො ගත්තත් කෙදින හෝ ඇය බොලිවුඩයේ රාජිනියක වන බව සිතිණි. ඔහු ගේ අදහස සැබෑ කළ ආලියා වත්මන් බොලිවුඩ් සිනමාවේ ඇය ගේ පරපුරේ සිනමා රාජිනිය වන්නීය. වත්මන් පරපුරේ බන්සාලි ගේ ප්‍රියතම තාරකාව වන්නේ ද ඇය ය. ආලියා ඉදිරියටත් සංජේ ලීලා බන්සාලි ගේ නිර්මාණවලට දායක වීමට බලාපොරොත්තු වන්නී ය. මේ ආලියා හොඳම නිළිය ලෙසින් ලබා ගන්නා පස්වැනි ෆිල්ම්ෆෙයාර් සම්මානයයි.
ගන්ගුබායි කාතියාවාඩි සිනමා පටයට හිමිවූ අනෙක් සම්මාන
හොඳම දෙබස් රචනයට ප්‍රකාශ් කපාඩියා සහ උත්කර්ෂණී වාෂිත්තා ද හොඳම වේශ නිරූපණයට ශිතල් ෂර්මා ද හොඳම නිෂ්පාදන සැලසුම් සඳහා සුබ්‍රාතා චක්‍රබෝර්ති සහ අමිත් රේ ද හොඳම පසුතල වාදනයට සන්චිත් බල්හාරා සහ අන්කිත් බල්හාරා ද හොඳම කැමරාකරණයට සුදීප් චැටර්ජි ද ගන්ගුබායි කාතියාවාඩි සිනමා පටය ට දුන් විශිෂ්ට දායකත්වය වෙනුවෙන් ෆිල්ම්ෆෙයාර් සම්මානයෙන් පිදුම් ලැබූහ.
හොඳම නළුවා රාජ්කුමාර් රාඕ
‘බධායි දෝ’ සිනමා පටයේ ශර්දුල් තාකූර් පොලිස් නිලධාරියා ලෙස කළ රංගනයට රාජ්කුමාර් රාඕ සම්මානයට පාත්‍රවිණි. තිස් අට හැවිරිදි රාජ්කුමාර් හිමිකර ගත් සිව්වැනි ෆිල්ම්ෆෙයාර් සම්මානය වෙයි.
බධායි දෝ හොදම විචාරක සිනමා පටය වූ අතර හොඳම සහාය නිළිය ලෙසින් එහි රැගූ ශීබා චාද්දා සම්මානයට පාත්‍ර විණි. බධායි දෝ තිර රචනයට හොඳම තිර රචකයා ලෙසින් සම්මානනීය වූයේ අක්ෂත් ගිල්ඩියල්, සුමන් අධිකාරි සහ හර්ෂවර්ධන් කුල්කර්නි ය. හොඳම කතාව වෙනුවෙන් බධායි දෝ කතාවේ නිර්මාතෘන් වන අක්ෂත් ගිල්ඩියල් සහ සුමන් අධිකාරිය.
විචාරක අංශයෙන් හොඳම නිළියන් දෙදෙනෙක්
බධායි දෝ සිනමා පටයේ සුමන් ගේ චරිතය නිරූපණය කළ භූමි පෙද්නෙකර් සහ බූල් භුලයියා 2 හි රැගූ තාබු හොදම නිළියන් ලෙස විචාරක සම්මානයට පාත්‍රවිණි.
බ්‍රහ්මස්ත්‍ර- පළමු කොටස - ශිවා දිනූ සම්මාන
හොදම ගායකයා ලෙස කේසාරියා ගීතය ගැයූ අජිත් සිං සම්මානනීය විය. හොඳම ගේය පද රචනයට අම්තාබ් භට්ටාචාර්ය සම්මාන ලැබුවේ කේසාරියා පද රචනයට ය. හොදම සංගීත ඇල්බමය වෙනුවෙන් ප්‍රීතම් සම්මාන ලැබුවේ බ්‍රහ්මස්ත්‍ර වෙනුවෙනි. ඒ සිනමා පටයේ හොඳම හඩ සැලසුම් කළ බිෂ්වදීප් දිපක් චැටර්ජි ඒ අංශයේ සම්මාන හිමිකරුවන් විය.
සෙසු ප්‍රධාන සම්මාන
ජග් ජග් ජීයෝ සිනමා පටයේ අනිල් කපූර්
හොදම පසුබිම් ගායිකාව - කවිතා සෙත් ඇය ජග් ජග් ජීයෝ සිනමා පටයට ගැයූ රන්ගිසාරි වෙනුවෙන් සම්මානයට පාත්‍ර විය.
හොඳම නළුවා (විචාරක) - වද් සිනමා රංගනයට සංජේ මිශ්‍රා
හොදම නවක අධ්‍යක්ෂ -
වද් අදියුරුවරුන් වූ ජජස්පාල් සිං සන්ධු සහ රජීව් බාන්වාල්
හොදම නවක නළුවා - ජුන්ඩ් රංගනයට අන්කුෂ් ජෙඩම්
හොදම නවක නිළිය - ආනෙක් රංගනයට ඇන්ඩ්‍රියා කෙවිචූසා
හොදම සංස්කරණය - ඇන් අක්ෂණ් හීරෝ සිනමා පටය සංස්කරණයට නිනාද් කානොල්කර්
හොදම ක්‍රියාදාමය - වික්‍රම් වෙධා සිනමා පටයට පර්වේස් ශායික්
යාවජීව සම්මානය - ප්‍රේම් චොප්රා
සිනමා පට 380ක වසර 60කට අධික කාලයක් රගපා ඇති ප්‍රේම් චොප්රා දැන් 87 වැනි වියේ පසු වන්නේ ය. ඔහු බොලිවුඩයේ වඩාත් ජනප්‍රිය වූයේ දුෂ්ට චරිත නිරූපණය කරන්නකු ලෙස ය.
ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළ හින්දි සිනමාවේ ඔස්කාර් සම්මාන උලෙළ හා සමාන ය. 1954 වසරේ සිට පැවැත්වෙන මේ පැරැණිත ම අභිමානවත් සිනමා උලෙළේදී කාල වර්ණ නාරි දේහය සංකේතවත් කරන සම්මානය කෙදිනක දෝතට ගැනීම සෑම තරුවක ගේම තාරකාවකගේම අභිලාසය ය.
සේයාරූ - අන්තර්ජාලයෙනි