ඒකාකාර නොවන සත්‍යය පිළිබඳ සංකීර්ණ කියැවීමක්

ජුනි 15, 2023

පරිසරය ශුෂ්ක ය. දැඩි හිරුරැස් පොළොවට පතිත වන්නේ පීඩාව දෙගුණ තෙගුණ කරමිනි. එහෙත් මිනිස් පුළුටක් පේන තෙක් මානයකවත් නැත. මාර්ගය පාළු ය. කිලෝ මීටර ගණනාවක් ඈතට එය දිවේ. එහි කෙළවර කුමක්දැයි කිසිවකුත් නො දනිති. ඇරඹුම කොහේදැයි දන්නවුන් ද නොමැත. එහෙත් කුමක් හෝ අනපේක්ෂිත යමක් සිදු විය හැකි යැයි ප්‍රේක්ෂකයාට සිතේ. නො එසේ නම් මෙබඳු නිරූපණයක කිසිදු අවශ්‍යතාවක් සිනමාකරු ප්‍රභාත් අගම්පොඩිට නැත.

කෙමෙන් ඇදෙන මෝටර් රථය තුළ සිටින දෙදෙනාට නම් අව් රශ්මියේ බලපෑමක් නොමැති හැඩ ය. එය වායු සමීකරණය කළ රථයක් යැයි සිතේ. තරුණ යුවළ සිටින්නේ නිසි එල්ලයකින් තොරව යි. සිනමාකරු ප්‍රභාත් පසුව පවසන පරිදි තරුණ පුරුෂයා විවාහකයෙකි. ව්‍යාපාරිකයෙකි. තරුණ කාන්තාව ඔහුගේ පෙම්බරිය යි. ඇගේ සැමියා නො රටක ය. ළඟදීම මෙරටට පැමිණෙන බව ද සඳහන් ය. මේ ගමන ඔවුන් යන්නේ නිල අඹු සැමි යුවළක් මෙනි. කිසියම් හැඟීම්බර මොහොතක දී මාර්ගයේ ගමන් කරමින් සිටි තැනැත්තකු රියේ ගැටී මිය යයි. ප්‍රභාත් මේ සිනමාපටය - ‘විය සිදුරු’ නිල වශයෙන්ම අරඹන්නේ මෙතැන් සිට ය. මේ දක්වා ප්‍රේක්ෂකයා කුතුහලයෙන් යුතුව තමා ආසන්නයේ ම රඳවා තබා ගැනීමට ඔහු සමත් වෙයි. ඔහුගේ මීළඟ අභිප්‍රාය වන්නේ ප්‍රේක්ෂකයා තවදුරටත් රඳවා තබා ගැනීම යි. එය අතිශය අසීරු ප්‍රයත්නයක් ය යන්න ඔහුට රහසක් නො වේ. ශේෂව සිටින විචක්ෂණශීලී ප්‍රේක්ෂක ප්‍රජාව මුළුමනින්ම දිනා ගැනීමේ ආකාර වුව තීරණය කරන්නේ සමහරවිට සිනමාකරුට ජය ගැනීම අපහසු සාධක ය.

අනතුරෙන් පසුව යුවළ පළා යන්නේ සිනමාපටය වඩා ගැඹුරු ඉසව්වකට ගෙන යමිනි. ප්‍රේක්ෂකයා සුලබ සන්ත්‍රාසයෙන් ඔබ්බට යොමු කරමිනි. පළමු සිදුවීමට පසුව ඒ හා බැඳුණු තවත් සිදුවීමක් සිනමාකරු ප්‍රභාත් ගෙන හැර පාන්නේ නව සන්ත්‍රාසයක් සඳහා ඉඩ හසර පාදා දීම අරමුණු කොට ගෙන ය. රිය අනතුර වසන් කරන්නට නම් යම් මුදලක් ඇවැසි බව යමකු පවස යි. ඒ සඳහා පැමිණි විට සිදුවන්නේ තරුණ කාන්තාව දරුණු ප්‍රහාරයකින් මිය යාම ය.

සිනමාකරු ප්‍රභාත් ‘විය සිදුරු’ තුළට එහෙම පිටින් ම අවතීර්ණවන්නේ මේ සිදුවීමෙන් අනතුරුව යි. ‘විය සිදුරු’ සංකීර්ණ සිනමාපටයක් සේ හඳුනා ගත හැකිවන්නේ ද මෙතැනදී ය. මෙය තහවුරු කෙරෙන්නේ එක්තරා ආගන්තුක මුහුණුවරකින් යුතු වැඩිහිටි නීතීඥයකු ගේ පැමිණීමත් සමඟිනි. ඔහු අර තරුණ පුරුෂයා නොයෙන් අන්දමින් ප්‍රශ්න කරමින් සත්‍යය කුමක්දැයි නිශ්චය කර ගැනීමට වෙහෙසෙන්නේ සිනමාපටයේ රූප රචනය හා රූප පෙළ ගැස්වීම සම්බන්ධයෙන් නව කතිකාවක් රැගෙන ඒමට සමගාමීව ය.

මෙහෙයින් දත හැකි වන්නේ සම්මත හා සුපුරුදු වෘත්තාන්ත සිනමාපටයක් නිර්මාණය කිරීමේ අදහසක් සිනමාකරු ප්‍රභාත් විෂයෙහි නොමැති බව ය. නීතීඥවරයාගේ ප්‍රශ්න කිරීම් හමුවේ තරුණ යුවළ සම්බන්ධ පළමු හා දෙවන සිදුවීම් ප්‍රතිවිවරණයකට ලක් කෙරේ. සමස්ත සිනමාපටය ම දිග හැරෙන්නේ මෙහිලා අනාවරණය වන කරුණු සනිටුහන් කරමිනි. කෙසේ වුවද මේ පරම සත්‍යයමදැයි යන අදහස ප්‍රේක්ෂකයා තුළ පැන නඟින බව පෙනේ. සිනමාකරු ප්‍රභාත් ද මෙම අදහස සහේතුක කිරීමේ ව්‍යායාමයක නිරතව සිටී.

කිසි විටෙකත් නො විසඳෙන ප්‍රශ්න කිහිපයක් ද ප්‍රභාත් විසින් ගෙන එනු ලබන්නේ කිසිදු ආයාසයකින් තොරව ය. එක් ප්‍රශ්නයක් වන්නේ රිය අනතුරට ලක් වන තැනැත්තාගේ සෙරෙප්පු යුගල එතැනින් ගමන් කරන රථයේ රියදුරාගේ අවධානයට ලක් නො වූයේ මන්දැයි යන්න ය. මීළඟ ප්‍රශ්නය වන්නේ එම රියදුරා නිශ්චිත හේතුවකින් තොරව අදිසි මිනිසකු බවට පත්කරලන්නේ මන්දැයි යන්න ය. තවත් ප්‍රශ්නයක් වන්නේ රිය අනතුර සිදු ස්ථානයේ භුමි දර්ශන සටහන් කළ ඡායාරූප සමුච්චයේ ප්‍රභවය කුමක්ද යන්න ය.

මේ ප්‍රශ්න පරම සත්‍යය, සත්‍යය හා ව්‍යාජ සත්‍යය පිළිබඳ සිනමාපටයේ කියැවීම සවිමත් කරලනු පිණිස නො වලහා උපයෝගී කර ගන්නා සැටියකි. ඉන් නො නැවතී සත්‍යය යන්න ඒකාකාර නොවන වග අවධාරණය කිරීමට ද මේවා සහභාගී කර ගැනේ. සත්‍යය නියත වශයෙන්ම සාපේක්ෂ වූවක් ය යන කරණය ද මෙහිලා බැහැර කළ නො හැක්කක් ලෙසිනුයි ඉස්මතු කරන්නේ. සිනමාකරු මේ ඔස්සේ පවසන්නේ එකම සිදුවීමක් ආකාර ගණනාවකින් ම විදාරණය කළ හැකි බව ය. එහි සීමාවක් නොමැති බව ය. එමෙන්ම මෙතැන සිදුවීම් කිහිපයක් ම පවතින්නට වුව ඉඩ ඇති බව ය.

මෙතැන දී සිනමාකරු ප්‍රභාත් පෙනී සිටින්නේ සම්මත වෘත්තාන්ත සිනමාකරුවකු ලෙසින් ම නො වේ. යම් පමණක හෝ විකල්ප වෘත්තාන්ත සිනමාකරුවකු මෙනි. සම්මත වෘත්තාන්තයක් වෙතින් දක්නට ලැබෙන මූලිකාංග සමඟ එකඟතා ඇතිකර ගැනීමට විකල්ප වෘත්තාන්ත සිනමාකරුවකුට අසීරු වේ. එබඳු විටෙක සිදුවන්නේ විකල්ප පිවිසුම් වඩා සරල අවස්ථා කරා පැමිණීම බව ඔහු හොඳීන්ම දන්නවා විය යුතු ය.

සිනමාපටය නැරඹීමෙන් පසුව ප්‍රේක්ෂකයා කිසියම් ව්‍යාකූල තත්ත්වයකට පත්වෙයි. සත්‍යය පිළිබඳ සිනමාකරුවාගේ අරුත් ගැන්වීම යළිත් වරක් ප්‍රේක්ෂක සිත් කලඹන්නට පටන් ගනී . පෙරදී සඳහන් කළ ප්‍රශ්න කිහිපය කෙරෙහි ප්‍රේක්ෂක අවධානය යොමු නො වෙනවා ම නො වේ. නමුත් ඒ ඔස්සේ ගමන් කිරීමේ ඉඩක් පාදා දීමට ප්‍රභාත් කිසිදු උත්සාහයක් නො දරයි. එබඳු උත්සහයක් දෘශ්‍යමාන වන්නේ නම් සිනමාපටය කරා සම්මත වෘත්තාන්ත ලක්ෂණ පැමිණීමේ හැකියාවක් තිබෙන වග ඔහුට රහසක් නො වේ. එහෙයින් ප්‍රභාත්ගේ මේ තීරණය සිනමාපටයේ වාසියට හේතුවක් බඳු ය. එනමුදු සිනමාපටය තාර්කිකව විවරණයට පැමිණෙන ප්‍රේක්ෂකයකුට ඉන් දුරස් වීම අසීරු බව පැහැදිලි ය.

සම්මතය හා විකල්පය පිළිබඳ සඳහන් කිරීම් ඉදිරි අදියරක දී සපුරා ම වෙනස් ලක්ෂණ පෙන්නුම් කරන්නට ඉඩ තිබෙන බව නො රහසකි. එනම් සම්මතය විකල්පයක් විය හැකි බව යි. විකල්පය සම්මතයක් විය හැකි බව යි. ප්‍රභාත් මේ මොහොතේ දී වෑයම් කරන්නේ සිය විකල්පය, විකල්පයක් සේ රැක ගන්නට ය. අනාගතය පිළිබඳ පුරෝකථන ඉදිරිපත් නො කරන්නට ය.

‘විය සිදුරු’ බොහෝ දුරට සිනමාවට අලුතින්ම එක්වන පිරිසකගේ කාර්යයක් සේ හැඳීන්වීම අනුචිත නො වේ. මේ ප්‍රභාත්ගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වුව ද සිනමාවේ ප්‍රබල ප්‍රකාශන සමත්කම අවබෝධ කර ගැනීම සම්බන්ධයෙන් ඔහු තුළ ඇති වැටහීම සුළු කොට නො තැකිය යුතු ය. රූපණ කාර්යයේ දී පමණි නවක හා ප්‍රවීණ තිදෙනෙකු හමුවන්නේ. මේ තිදෙනා ම - කලණ ගුණසේකර, ශලනි තාරකා හා ලක්ෂ්මන් මෙන්ඩිස් සිනමාපටයේ තේමාව හා ස්වභාවය පිළිබඳ දැනුම්වත් ව සිටි බව පෙනේ.

‘විය සිදුරු’ බඳු සිනමාපට, සිනමාව සමඟ නිරන්තර සම්බන්ධතා පවත්වන කිසිවකුටත් දුරවබෝධ නො වන බව ද කිව යුතු ය. මෙය වෙනත් සිනමාපට සම්බන්ධයෙන් ද අදාළ වන්නක් වේ. මේ අනුව සෘජු අනුකරණ, වක්‍ර අනුකරණ, ඇසුරු කිරීම්, හඳුනා ගැනීම් ආදිය සිනමාවේ ආවේණික ලක්ෂණයක් සේ දත හැකි වන බව ද පැහැදිලි ය. ප්‍රභාත් ද මේ යථාර්ථයට මුහුණ දෙයි. කෙසේ නමුත් සිනමාව යනු ජීවිතය, සමාජය හා පුද්ගලයා පිළිබඳ නව ඥානයක් ප්‍රේක්ෂකයා වෙත සපයන මාධ්‍යයක් ය යන එකඟතාව මත පිහිටා සිනමා අධ්‍යක්ෂණයෙහි නිරත වන්නවුන් ස්වීයත්වය යන්න සාපේක්ෂව හෝ සාක්ෂාත් කරගත යුත්තක් ම වේ. එසේ නො වීම දෙස තුලනාත්මකව බැලීම සමස්තයක් සේ ගත හැකි පියවරක් නො වන බව ද කිව යුතු ය. එනම් ‘විය සිදුරු’ සම්බන්ධයෙන් ඊට අදාළ විනිශ්චයක් ලබා දිය යුතු බව යි.

මෙයින් ප්‍රභාත්ගේ මේ ප්‍රයත්නය අවතක්සේරු නො කළ යුතු ය. සිනමාවට නවක පිරිසක් සමඟ මෙබඳු සිනමාපටයක් නිර්මාණය කිරීම මහත් වූ අභියෝගයක් ය යන්න ද මෙහිලා වැදගත් වන කාරණයකි. එසේම වැඩි ප්‍රේක්ෂක සහභාගීත්වයක් අපේක්ෂාවෙන් දෘශ්‍යමාන ආකර්ෂණීය අංග එක් කර ගැනීමේ තීන්දුවකට ද ඔහු නො පැමිණෙ යි. සිනමාවේ හැඩ, රුව හා ගුණ පිළිබඳ තමා සමඟ එක්වූ සිසු පිරිසට ඔහු විසින් මෙසේ ලබා දෙනු ලබන අත්දැකීම අවතක්සේරු නො කළ යුතුය. ඒ අරුතෙන් ගත කළ ඔහුට එල්ල වන උක්ත චෝදනා හා ප්‍රශ්න කිරීම් දෙස විකල්ප ඇසකින් බැලීම අසීරු නො වේ.

 

[email protected]