වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
බයිබලය ඇසුරෙන් බිහි වූ විස්මිත දසුන් රස මුසු වූ

සිසිල් බී ඩි මිල් ගේ සම්පූර්ණ නම වූයේ සිසිල් බ්ලවුන්ට් ඩී මිල් ය. 1881 අගෝ 12 වන දින උපත ලද ඔහු 1914 සිට 1958 දක්වා ඇමරිකානු සිනමා නිෂ්පාදකවරයකු, අධ්‍යක්ෂකවරයකු, තිර රචකයෙකු, හා සංස්කාරකයෙකු ලෙස වෘත්තිමය අන්දමින් නිරත වී ලෝකයේ අංක එකේ සිනමා කරුවකු විය. එකී කාලය තුළ ඔහු චිත්‍රපට 70 නිර්මාණය කළේය. එයට නිහඬ චිත්‍රපට 52 කක් හා ශබ්ද චිත්‍රපට 18 ක් ඇතුළත් විය. 1956 දී නිර්මාණය කර, ප්‍රදර්ශනය වූ 'ද ටෙන් කමාන්ඩ්මන්ට්ස්' ඔහුගේ අවසන් චිත්‍රපටය විය.
සිසිල්. බී. ඩි මිල් ඇමරිකාව තුළ හඳුන්වන්නේ ඇමරිකානු සිනමාවේ පියා ලෙසටය. ඔහු කලා ලෝකයට අවතීර්ණ වූයේ 1900 දීය. ඒ, වේදිකා නළුවකු ලෙසටය. ඉන්පසු ඔහු වේදිකා නාට්‍ය පිටපත් රචකයකු හා නාට්‍ය නිෂ්පාදකවරයකු ලෙස තම වපසරිය පුළුල් කර ගති. ඉන් වසර 14 කට පසු එනම් 1914 දී ඔහු සිනමාවට සම්බන්ධ විය. ඔහුගේ ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂණය වූයේ 'ද ස්කුආ මෑන් ය'. එය නිහඬ චිත්‍රපටයකි. 1923 දී ඔහු ඔහුගේ ප්‍රථම බයිබල් චිත්‍රපටය වූ ' ද ටෙන් කමන්ඩ්මන්ස්' අධ්‍යක්ෂණය කර ප්‍රදර්ශනය කළේ ය. එයද 'නිහඬ' චිත්‍රපටයකි. තියඩෝල් රොබට්ස්, සමඟ චාර්ල්ස් ඩී රෝච් එහී මෝසස් හා රැමේසිස් ගේ චරිතවලට පණ පෙවීය. එය 1923 කාල වකවානුවේ දි, ඉහළම ජනප්‍රියත්වයක් හිමි කරගත් චිත්‍රපටයක් විය. ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක ඇස්තමේන්තුවකට නිෂ්පාදනය වුණු මේ චිත්‍රපටය ප්‍රථම වටයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 4.7 ක ආදායමක් ලබන්නට හැකි විය.
1927 වර්ෂයේ දී සිසිල් බී ද මිල්, තවත් බයිබල් අශ්‍රිත කථාවක් සිනමාවට නැංවිය. ඒ 'ද කිංග් ඔෆ් ද කිංග්ස් 'ය. එයද නිහඬ චිත්‍රපටයකි.
ශබ්ද චිත්‍රපටවලට ඔහු අවතීර්ණ වූයේ 1929 යේ දීය. ඒ 'ඩයිනමයිට්' චිත්‍රපටයත් සමඟ ය. 1934 දී ඔහු 'ක්ලියෝපැට්රා' අධ්‍යක්ෂණය කර ප්‍රදර්ශනය කරන විට ඔහු ශබ්ද චිත්‍රපට 6 ක් ම අධ්‍යක්ෂණය කර තිබුණි. (1963 වසරේ නිර්මාණය කළ 'ක්ලියෝපැට්රා' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ජෝශප් එල්, මැන්ක්ලිවික්ස්ට් ය. එය සිසිල් බී ඩි මිල් අධ්‍යක්ෂණය කළ 'ක්ලියෝපැට්රා' චිත්‍රපටය සමඟ සම්බන්ධයක් නැත.)
'සැම්සන් ඇන්ඩ් ඩිලයිලා' සිසිල් බී ඩි මීල් බයිබලය අශ්‍රිතව අධ්‍යක්ෂණය කෙරූ තවත් දැවැන්ත චිත්‍රපටය කි. එය 1949 වසරේ දී ප්‍රදර්ශනය විය. ඉන්පසු 1954 දී 'ද ග්‍රේටස්ට් ශෝ ඔන් අර්ත්' නම් සර්කස් කණ්ඩායමක් පසුබිම් කර ගත් චිත්‍රපටයක් නිර්මාණය කර, ප්‍රදර්ශනය කළේය. එය ට මිනිසුන්, ගැහැනුන් දහස් ගණන්, සතුන් සිය ගණන්, රෝඩ් කාර් රථ සිය ගනන් සහභාගි කර ගති. එවර ඇමරිකානු ඇකඩමි සම්මාන උලෙළේදී හොඳම චිත්‍රපටය හා හොඳම කථාවට සම්මාන ලැබුවේ එම චිත්‍රපටයටය. එලෙසම එය හොඳම අධ්‍යක්ෂක ඇතුළු සම්මාන කීපයකටම නිර්දේශ විය.
සිසිල් බී ඩි මිල් 'ද ටෙන්කමාන්ඩ්මන්ට්ස්' ශබ්ද චිත්‍රපටය ඇරඹුයේ ඉන් පසුවය.
පෙන්සිල්වානියේ මිලිටෙරි විද්‍යාලයේ හා ඇමරිකාවේ 'ඇකඩමි ඔෆ් ඩ්‍රැමටික් ඇන්ඩ් ආර්ට්ස්' හී ඉගෙන ගත් සිසිල් බී.ඩි.මෙල්, 1899 සිට 1958 සිනමාව හා කලාවේ කාර්ය ශූර්ය වී සිටියේ ය.
'ද ටෙන් කමාන්ඩ්මන්ට්ස්' චිත්‍රපටය නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කළ සිසිල් බී ද මිල්, 1956 වසරේ එය තිරගත කරමින් එහී අධි සාර්ථකත්වය ද දැක ඉන් අවුරුදු 3 කට පසු එනම් 1959 ජනවාරි 21 වන දින මිය ගියේය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 77 ක් විය. ඔහුගේ සිරුර 'හොලිවුඩ් ෆො එවර් සෙමිට්‍රි' හී මිහිදන් කර ඇත.
බයිබලයේ පුරාණ ගිවිසුමේ සඳහන් පරිදී ලොව මැවූ දෙවියන් වහන්සේ විසින් , දසපනත බාර දෙන්නේ 'මෝසස්' ටය. දෙවියන් වහන්සේ ගේ එකී මහඟු පණිවිඩය ජනතාව අතරට ගෙන යාමට එතුමන් විසින් තෝරා ගන්නේ මෝසස් වය.
එකල ඊජිප්තු ජාතිකයන් යනු බලවත් ජන කොට්ඨාසයක් ය. මුළු ලෝකයම පාලනයට නතු වන්නේ පාරාවෝ රජු යටතේ ය. 'පාරාවෝ' යනු තනතුරකි. රජවරුන් මාරු වුණද , ඒ හැම රජකෙනෙක්ම අර තනතුර යටතේ ලෝකය පාලනය කළ යුතුය. එවිට එම තනතුරට පත් වන හැම රජ කෙනෙක්ම පාරාවෝ රජු වේ. එකල පාරාවෝ පාලනය ඉතාමත් දරදඬු විය. රජවරු සහ ඔවුනගේ පරපුරට මෙලොව තිබෙන හැම සුව පහසුවක්, සැපතක්, සතුටක් හා විනෝදයක් අයිති විය යුතු අතර, අනෙක් ජනතාව ඔවුනට සේවය කළ යුතු වේ. කුලහීනයන් සේ සලකන හීබෲ ජාතිකයන් සියල්ලම ඔවුනගේ වහලුන් වේ. රටක වහලුන් යනු මිහිපිට අපායකටත් වඩා දුක්බිත ව ජීවත් වන කොට්ඨාසයක් ය. වහලුන්ට තිබූ එකම බලාපොරොත්තුව, ඔවුනට නොපෙනෙන, නොඇසෙන, කිසිදිනක දැන නැති දෙවියෙක් ගැන තිබෙන අපේක්ෂාව පමණි. දෙවියන් පැමිණ තමන්ව නිදහස් කරගෙන යන බව පමණක් ඔවුන් දැඩිව විශ්වාස කරගෙන, ඒ ධෛරයෙන් යුද හේවායන්ගෙන් කස පහරවල් කමින්, තමන්ටවත් උසුලා ගත නොහැකි තරම් බර වැඩවල නිරත වෙයි. දිනකට මේ වහලුන් ගණනාවක් මියයති. ඒ මෙම බර වැඩ උසුලා ගැන්මට නොහැකිව, එසේත් නැතිනම් යුද හේවායන්ගේ උදහසට ලක්වීමෙන් මරා දැමීමෙන්ය. රජ පරපුරේ කිසිවකට වහල්ලු ගැන කිසිදු හැඟීමක් තිබුණේ නැත. ඔවුන් ට වහලුන් යනු තමන් ගෙ සැප විහරණයන් වෙනුවෙන් වැඩ කර මිය යා යුතු ජන කොට්ඨාසයක් ය. එලෙසම ඕනෑම හේවා භටයකුට, තමා නොරිස්සන්නේ නම් වහලුන්ව මරා දැමිය හැකිය.
'ද ටෙන් කමාන්ඩ්මන්ට්ස්' චිත්‍රපටය පුරාවටම දක්නට ලැබෙනුයේ මේ රාජකීය පැලැන්තියත්, වහලුත් අතර ඇති ගැටුමය. පාරාවෝ රජ පෙළපතේ කිසිවෙක් දෙවියන් කෙනෙක් සිටින බවක් කෙලෙසකවත් පිළිගත්තේ නැත. ඔවුන් කියනුයේ එසේ දෙවියන් කෙනෙක් සිටී නම් ඔහු ද පාරාවෝ රජ හා ඔවුනගේ පාලනයට යටත් බවය. ඔවුන් ඒ තරම් ම බලවත්ය. 'ද ටෙන්කමාන්ඩ්මන්ට්ස්' කථාව තුළින්, මේ දෙවියන් හා රජ පෙළපත තුළ ඇතිවන ගැටුමද, ඉස්මතු වී පෙනුණි.
හීබෲ ජාතිකයන් අතරින් කෙනෙක් ඉපදී ඔහු මේ වහලුන් මුදවා ගෙන දෙවියන් වහන්සේගේ පොරොන්දු දේශයට රැගෙන යන බවක් රාජකීය අනාවැකි නක්ශාස්ත්‍රකරුවන් කී නිසා, එකල පාරාවෝ රජු බිය විය. එහෙයින් එතැන් සිට හීබෲ ජාතිකයන් ට උපදින සියලුම බිලිදු පිරිමි ළමයින් ව මරා දමන්න ට පාරාවෝ රජ අණ කළේය. හමුදා භටයෝ හැම හීබෲ නිවෙසකට ගොස් අලුත ඉපදුණු බිලිදු පිරිමි දරුවන්ව හිත් පිත් නැති අන්දමට මරා දැම්මේ එම බිලිදුන් බිහි කෙරූ මව්වරුන්ගේ විලාප ද නොතකා ය.
යොචබෙල් නම් එක් හිබෲ ස්ත්‍රියකටත් පිරිමි දරුවෙක් ඉපදුණි. ඇයට කෙසේ හෝ මේ දරුවා ව රැක ගැන්මට උවමනා විය. ඇය එම දරුවා ව පන් කොල පෙට්ටියක බහා, නයිල් ගඟේ පා කර හැර, තම කුඩා දියණිය වූ මීරියම් ට කීවේ ඒ පසු පස සැඟවී ගොස් මේ පෙට්ටිය කා අතට පත් වේද කියා දැන ගන්නා ලෙසය.
එම පෙට්ටිය හමුවූයේ ඊට ටිකක් නුදුරින් තිබූ රාජකීය පොකුණේ දිය කෙළි සෙල්ලම් කරමින් සිටි පාරාවෝ ගේ සොහොයුරිය වූ 'බිතියා' රජ කුමරියටය.
බිතියා විවාහක වූවද, ඇයගේ රාජකීය සැමියා ඊට සති කීපයකට පෙර මිය ගොස් තිබුණි. ඇය විවාහ වී තිබුණේද ඉතාමත් මෑතකදී ය. එහෙයින් ඇයට දරුවෙක් ලැබීමට තරම් කාලයක් නොවීය.
පෙට්ටිය ඇර බැලුවිට, ඒ තුළ සිටියේ හුරතල් කොලු පැටවෙකි. බිතියා කුමරිය මේ කුඩා බිලිදාව තම දරුවකු ලෙස හදා වඩා ගන්නට තීරණය කළාය. මේ දරුවා හීබෲ ජාතිකයන්ට අයත් කෙනෙක් බව හදුනා ගත්තේ බිතියා කුමරිය සමඟ සිටි ඇයගේ ආවතේව කාරිය වූ 'මෙම්නට්'ය. ඇය එය හඳුනගත්තේ එම පෙට්ටියේ දමා තිබූ හිබෲ ජාතිකයන්ට ආවේණික වූ සාළුවෙනි. ඇය ඒ බවක් බිතියා කුමරියට කීවද, එතුමිය ඇයට කීවේ මේ රහස කිසිවකට නොකියන ලෙසය. මෙම්නට්ද මෙය කිසිවකට නොකියන ලෙස පොරොන්දු විය. ගංගාවක් දිගේ පාවී ආ නිසා බිතියා මෙම බිළිදාට 'මෝසස්' යන නම තැබීය. මේ සියල්ලම සැඟවී බලා සිටි කුඩා බිලිදා ගේ සොහොයුරි මීරියම් නිවසට ගොස් තමා දුටු සියලුම සිදුවීම් තම මව වූ යොචබෙල් ට කීවාය. ඇය සැනසුම් සුසුමක් හෙළුවේ ඉන්පසුවය. මේ සියල්ල දෙවියන් වහන්සේගේ සැලැස්ම යැයි ඇය තීරණය කළාය.
මෝසස් කුමාරයා තරුණ වියට එළැඹෙන්නට විය. පාරාවෝ රජු සිතුවේ මෝසස් ඇත්තටම තම සොහොයුරියගේ පුත්‍රයා කියාය. පාරාවෝ රජුත්, ඔහුගේ සොහොයුරිය බිතියා කුමරිය සිටියේ තැන් දෙකකය. ඔවුන් නිතරම හමුවන්නේ ද නැත. එහෙයින් ඇය ගැබ් ගත්තාද, නැද්ද එසේත් නැත්නම් දරුවෙක් ප්‍රසුත්ත කළාද නැද්ද කියා හෝ දැන ගන්නේ ඇය ම පැමිණ පැවසූ පසුව ය.
කෙසේ හෝ මෝසස් තම සොහොයුරියගේ මියගිය සැමියාවට දාවා ඉපදුණු දරුවෙක් ලෙස පාරාවෝ රජුද පිළිගතී.
පාරාවෝ රජුගේ පුත්‍රයා රැමේසෙස් කුමාරයා ය. සාමාන්‍යයෙන් ඊළග පාරාවෝ රජ ඔටුන්න හිමිවෙන්නේ පාරාවෝ රජු ගෙ පුත්‍රයාට වුවද, මොසෙස් විසින් ඉතියෝපියාවට විරුද්ධව සටන් කර ජයගැනීමත්, රෝම නගරය ඔහු විසින් ප්‍රතිසංස්කරණය, කරවන ආකාරය අනුව ත්, ඊළග පාරාවෝ රජ විය යුතු විය යුත්තේ මෝසස් යයි පාරාවෝ රජ තීරණය කළාය. එලෙසම ප්‍රබල එමෙන්ම රූමත් රජ කුමාරිය වූ 'නෙෆ්රෙති' අයිති විය යුත්තේ ද මෝසස්ට මය. රැමේසෙස් ගේ සිතේ මොසස් ගැන ද්වේශයක් පිළිසිදුණේ මෙතැන් සිටය. කවදා හෝ පාරාවෝ රජ කිරුළත්, නෙෆ්රෙති කුමාරිය ත් තමන් සතු කර ගන්නා බව ඔහු ද අධිෂ්ඨාන කර ගති. එයට අවස්ථාවක් එන තෙක් ඔහු ලක ලෑස්ති වී සිටියේ ය.
පාරාවෝ රජුගේ බලසම්පන්න ඥාතිවර පවුලක උපන් 'නෙෆ්රෙති' කා සමඟ ආදරයෙන් බැඳුණ ද, ඇය විවාහ විය යුත්තේ පත්වන පාරාවෝ රජු සමඟය. මෝසස් පාරාවො රජූ වූවත්, නොවූවත් ඇය ආදරයෙන් බැඳුනේ මොසස් සමඟය. එය ඇත්තෙන්ම උමතු ආදරයක් විය. ඉන් පසු ඇය හැල හැප්පීම් ගණනාවකට මුහුණ දුන්නද ඇය මොසස්ට කරන ආදරය කිසිදු දිනයක අත්හැරියේ නැත.
'ද ටෙන්කමාන්ඩ්මන්ට්ස්' කථාවේ මුල් කොටස ගලා ගියේ ඒ අයුරිනි.
දස පනත දෙවියන් වහන්සේ විසින් මෝසස් ට ලබා දුන්නා යැයි සඳහන් වන්නේ ක්‍රිස්තු පුර්ව 1300 ටත් පෙර ය.
ශුද්ධවූ බයිබලය අනුසාරයෙන්, ඩොරති ක්ලාක් විල්සන් විසින් ලියූ 'ප්‍රින්ස් ඔෆ් ඊජිප්ට්', එලෙසම ජේ.එච්.ඉන්ග්‍රැහැම් රචනා කෙරූ 'පිලර් ඔෆ් ෆයර්', සහ ඒ.ඊ.සෞදත් ලියූ 'ඔන් ඊගල්ස් වින්ග්ස්', කෘතීන් ඇසුරෙන් එයිනියස් මැකෙන්සි, ජෙසි එල් ලාස්කි ජූනියර්, ජැක් හැරිස්, හා ෆෙඩ්රික් එම් ප්‍රෑන්ක් විසින් එක්ව ලියූ තිරනාටකයට අනුව 'ද ටෙන් කමාන්ඩ්මන්ට්ස්' දැවැන්ත චිත්‍රපටය නිර්මාණය වුණි. එහි සම්පූර්ණ ධාවන කාලය පැය 3 කුත් විනාඩි 40 ක් විය.
සිසිල් බී. ඩි මිල් ගේම නිෂ්පාදන සමාගමින් මිලි මීටර් 70 දැවැන්ත තිරයට ගෙන ආ 'ද ටෙන් කමාන්ඩ්මන්ට්ස්' හී එකල ඇස්තමේන්තුව වූයේ ඇමරිකානු ඩොලර් මිලියන 13 කි. එහෙත් එය මුල් වටයේ පමණක් ලැබූ බොක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 125 කටත් අධික විය. 'ද ටෙන්කමාන්ඩ්මන්ට්ස්' චිත්‍රපටය මුළු ලොව පුරාම බෙදා හැරියේ පැරමවුන්ට් චිත්‍රපට සමාගම ය.
රෝම නගරය නව සැලසුමට ගොඩනැඟීම භාර වූයේ මෝසස්ට ය. ඔහු එය පාරාවෝ රජුගේ ජුබිලිය දින විවෘත කිරීමට සැලසුම් කරගෙන සිටියේය. දහස් ගණන් හිබෲ ජාතික වහලුන් එම කාර්යයට උර දී සිටියහ.
ගල් කැටයම්කරුවකු වූ ජෝෂුවා රෝම සොල්දාදුවන් සමඟ පැටලුණේ මහළු ස්ත්‍රියක්, වහලුන් සිය ගනනක් විසින් තල්ලු කර ගෙන එන ගල් කුලුණකට යට වෙන්නට යන අවස්ථා වේ ඇයව බේරාගැන්මට ඉදිරිපත් වන විට ය. සොල්දාදුවන් ජෝෂුවාව ද මරන්නට උත්සහ කළ අතර, ඔහු වහා එතනින් බේරී දිව ගියේ එළිමහන් මන්දීරයේ වැඩ නිරීක්ෂණය කරමින් සිටින මෝසස් කුමාරයාට මේ බව කියන්න ටය. මෝසස් වහා පැමිණ මහලු ස්ත්‍රියගේ වස්ත්‍රය, ගල් කුලුණට අසුවූ කොටස තම අත තිබූ පිහියෙන් කපා ඇයව බේරා ගතී. මේ ගල් කුලුණට අසු වී අනතුරකට පත් වන්නට ගියේ තමාගේ මව වූ යොශබලා බව මෝසස් නොදැන සිටි අතර, මේ තමාව බේරා ගත් කුමාරයා එදා තමා පන් කොළ පෙට්ටියක දමා නයිල් ගඟේ පා කර හැරිය තමාගේ පුත්‍රයා බව යොශබෙලා දැන සිටියේ නැත.
මෝසස් හිබෲ වහලුන්ට දක්වන කරුණාවත්, හිබෲ මහලු ස්ත්‍රියක් වු යොශබෙලා ව හදිසි අනතුරින් බේරා ගැනීමත් අනුව මේ නක්ශාස්ත්‍ර කරුවන් මතු කෙරූ ඒ අනාවැකියේ කී පරිදී, වහලුන් ව බේරා ගැන්මට පැමිණ තැනැත්තා දැයි යම් කිසි සැකයක සේයාවක් රැමේසෙස් ගේ සිතේ ඇඳුණි.
මෝසස් ට පාරාවෝ රජ කිරුළු ලැබෙන බව ස්ථීර වීමත්, නෙෆ්රෙති කුමරිය ව, මෝසස් විසින් විවාහ කරගන්නට යන බව දැනගත් බිතියා රැජිනගේ ආවතේව කාරිය වූ 'මෙම්නට්' තමා බිතියා රැජිනට එදා දුන් පොරොන්දුව කඩ කරමින් මෙතෙක් කල් රැක ගෙන සිටි රහස එළි කරන්න ට, මෙම්නට් තීරණය කළේ බලවත් වූ ඊජිප්තු රාජධානියත්, කුලවත් වංශවත් නෙෆ්රෙති කුමරියත් හීබෲ ජාතික වහල් පෙළපතකින් පැමිණෙන මිනිසෙකු ට යෑම බලා සිටින්නට නොහැකි නිසාය. මෙමනට් මේ සියලු විස්තරය නෙෆ්රෙති කුමරියගේ කනේ තිබ්බේ එදා නයිල් ගඟේ පාවී ආ පෙට්ට්යේ කුඩා ළමයා සමග තිබූ හීබෲ ජාතිකයන් හදුනා ගත හැකි සාළුවද ඉදිරිපත් කරමිනි.
මෙම්නට් මෙම විස්තරය නෙෆ්රෙති කුමරියට කීවේ, වහල් කුලයක කෙනෙකු රජ වෙනවා දැකීමෙි ඊරිසියාව ට විය හැකිය. ඇතැම් විට මෙම්නට් සිතුවේ නෙෆ්රෙති කුමරිය මෙය දැනගත් වහාම මොසස් හා තිබෙන සම්බන්ධය අත් හැර, මෙම රහස පාරාවෝ රජුටද කියා මෝසස් ට මරණය අත් පත් කර දීම හෝ ඔහුව රටින් පිටුවහල් කෙරෙනු ඇතැයි කියාය. එහෙත් සිදු වූයේ කිසිවෙක් නොසිතූ දෙයකි. නෙෆ්රෙති කුමරිය මෙය ඇසූ සැණින්ම කළේ වෙනත් කෙනෙකුට මේ රහස යෑමට ඉඩ නොහැරෙනු වස්, මෙම්නට් ව උඩු මහලේ සඳළු තලයෙන් පහලට තල්ලු කර මරා දැමීමය.
මෝසස් ට, මෙමනට් ගේ හදිසි මරණය ප්‍රශ්නයක් විය. ඔහු එය නෙෆ්රෙති කුමරිය ගෙන් විමසු විට, ඇය මුලින් කීවේ, මෙම්නට් සඳළු තලයෙන් පැන සිය දිවි හානි කර ගත් බවය. එයට නිශ්චිත හේතුව ඇය පවා නොදන්නා බවය. එහෙත් එය මෝසස් විශ්වාස කළේ නැත. එහෙයින් ඔහු එය නැවත නැවතත් නෙෆ්රෙති කුමරියගෙන් ඇසූ විට, ඇය තමාට මෙම්නට් කියූ දේ ඔහුට කී අතර, මෙම රහස මෙතැනින්ම වළලා දැමිය යුතු නිසා, තමා විසින් මෙමනට් ව සඳලු තලෙන් තල්ලු කර මරා දැමූ බවය.
'ද ටෙන්කමාන්ඩ්මන්ස්' චිත්‍රපටය උඩුකුරු යටිකුරු වුණේ මෙතැන් සිටය. චිත්‍රපටයේ එතෙක් ගෙන ආ රිද්මය දැඩි වූයෙත්, වේගවත් වූයේත්, මෙම සිදුවීමත් සමඟ ය.
මෝසස්, තම මව යැයි සිතූ, මෙතෙක් තමාට සියලු රජ සැප සම්පත් දී, තමාගේම පුතු ලෙස ලෝකයාට හදුන්වා දුන් බිතියා රැජිනගෙන්, මේ සියල්ල ගැන විමසුවද ඇය එයට නිසි පිළිතුරු දුන්නේ නැත. බිතියා රැජින, මෝසස්ට නොදන්වා හොර රහසේම මෝසස් ගේ ඇත්ත මව වූ යොශබෙලා සොයා ගොස්, ඔවුනට මෙම නගරයෙන් පිටව යාමට අණ කරමින්, එසේ යාමට සියලු දේ සකසා දුනි. එලෙසම මොසස් අනිවාර්යෙන් ම, යොශබෙලා සොයා එන බව දන්නා බිතියා රැජින යොශබෙලා ට කීවේ මෙම කථාව බොරුවක් බවත්, යොශබෙලා ඔහුගේ මව නොවන බවත් කියන ලෙසටය. ඒ ගැන ඔවුන් දෙදෙනා කථා කරන අවස්ථා වේම මෝසස් එතැනට පැමිණියේ ය. එහෙයින් බිතියා රැජින ගේ සැලැස්ම ව්‍යවර්ථ විය.
'ද ටෙන් කමෙන්ඩ්මන්ට්ස්' කථා ශාරය තුළ දර්ශනයෙන් දර්ශනයට ඇතිවන විවිධාකාර සිදුවීම් නිසා, එහී කුතුහලය දැඩි විය. විශේෂයෙන් ම තමා ඊජිප්තු රජ පෙළපතකින් නොපැමිණෙන තැනැත්තෙක් බවත්, තමා වහල් කමට නියුතු හිබෲ පවුලකින් පැමිණි කෙනෙක් බව මොසස් විසින් දැනගත් පසු ඇතිවන සිදුවීම් මාලාවන් සිසිල් බී.ඩි.මිල් තම චිත්‍රපටය තුළින් ඉදිරිපත් කළේ, දැඩි කුතුහලයත් සමඟිනි. එම කුතුහලය දෙගුණ, තෙගුණ වූයේ මෙම සිදුවීමත් සමඟය.
මෝසස් යථාර්තය වැළද ගතී. ඔහු රජ මැඳුරෙන් නික්ම ගොස් තම හීබෲ පවුල සමඟ එක්වූවා පමණක් නොව, හිබෲ ජනයාට උරුම වූ වහල් සේවයට වහලෙක් සේ එක්වී පාරාවෝ ගේ අධිරාජ්‍යය ට සේවය කරන්නට විය.
මෝසස්ගේ නියම තතු දැනගත් පසු පාරාවෝ රජ, තම ඊළඟ රජ කම රැමේසෙස් ට ලබා දුන්නා පමණක් නොව, රාජකීය සම්ප්‍රදායානුකූලව නෙෆ්රෙති කුමරිය වත් රැමේසෙස් ට විවාහ කර දුනී. මෝසස් ගේ නම ඊජිප්තු රාජධානිය තුළ සඳහන් වී ඇති හැම ඵලකයකින් ම මකා දැමීය.
පාරාවෝ මහ රජු මිය යන අවස්ථාවේදීද, ඔහු දුක් වූයේ මෝසස් ගැනය. එහෙත් රාජකීය සම්ප්‍රදායනුකූල ව, ඔහුට ඒ පිළිබඳව කිසිවක් කිරීමට නොහැකි විය. ඔහු ට කළ හැකිව තිබූ එකම දෙය නම් ඔහු මියයන අවස්ථාවේ ' මෝසස්, මෝසස්, මෝසස්' යනුවෙන් ආමාන්ත්‍රණය කිරීම පමණි. එයින් රැමේසෙස් වටහා ගත්තේ, තමාට වඩා හිබෲ ජාතිකයෙක් වූවත්, මෝසස් ට තම පියා හදවතින් ප්‍රිය කරන බවකි. රැමේසෙස් තුළ මෝසස් වෙනුවෙන් තිබූ ද්වේශය තව තවත් වැඩි විය. ඔහු පාරාවෝ රාජ කිරුළු තම හිස මත පලදා ගත් සැණින් ම, ඔහුගේ මුල්ම කාර්ය කළේ මෝසස්ව අල්ලා හිර කර තැබීමය. ඉන්පසු ඔහු මෝසස් ව ඊජිප්තුවෙන් පිටමන් කළේ කාන්තාර හා වනාන්තර ගහණවූ තැනකට ය. රැමේසෙස් මෝසස්ව පිට කරන විට, කීවේ මෙම වනාන්තරයේ වැඩිපුරම ඇත්තේ සරපයන් හා ගෝනුස්සන් කියාය. එම වනාන්තරයට පිට කෙරූ කිසිවෙක් නැවත මේ ලෝකයේ යළි එළිය දකින්නේ නැත. රැමේසෙස් , මෝසෙස්ට හිබෲ වරුන් අඳීන ලෝගුව අන්දවා, අතට දිඟු සැරයටියක් දී වනාන්තරයට පිටමං කළේ සරපයන් සහ ගෝණුස්සන් විසින් මෝසස් ට කළ යුතු දේ කරාවි කියාය.
වනාන්තරයේ අතී දුෂ්කර වූ ගමනක මොසස් යෙදුණ ද, රැමේසෙස් කී ලෙස, ඔහුට සරපයන් හා ගෝනුස්සන් දෂ්ට කර නැත. ඔහුගේ ගමන නැවතුණේ දියණියන් හත් දෙනෙකු සිටින ශීක් ජාතිකයෙකු වූ 'ජෙත්රෝ' ළඟය. ජෙත්රෝ, ඒබ්‍රහාම් දෙවියන් වහන්සේ ව අදහන්නෙකි. එතැන් සිට මෝසස් ඔවුන් සමඟ ජීවත් වූවා පමණක් නොව, ජෙත්රෝගේ වැඩිමහල් දියණිය වූ 'සෙප්හොරා' ව ද විවාහ කර ගතී.
රැමේසෙස් පාරාවෝ රජුගේ වහල් කඳවුරේ සිට හෙම්බත් වූ ජෝෂුවා මෝසස් ව සොයාගෙන ඔහු ගිය වනාන්තරය තුළ දුෂ්කර ගමනක නිරත විය. අවසානයේදී ජෝෂුවාට මෝසස් ව මුණ ගැසුණි. එතැන් පටන් ජෝෂුවා සිටියේ මෝසස්, ඔහුගේ බිරිඳ, හා කුඩා මෝසස් සමඟය.
ඊජිප්තුවේ රැමේසෙස් පාරාවෝ රජු යටතේ වහල් සේවයේ යෙදෙමින් අපා දුක් විඳීන තම හිබෘ ජාතිකයන් බේරා පොරොන්දු දේශය ට ගෙන ඒමය, මෝසස් ගේ ප්‍රධානතම ඉලක්කය. කිසි දිනෙක දෙවියන් වහන්සේ ව දැක නැති, එතුමන්ගේ හඬ අසා නැති, මෝසස් නොදුටු, නොඇසෙන, දෙවියන් ගැන විශ්වාසයක් තබා ගැන්මට එතරම් කැමැත්තක් තිබුණේ නැත. එහෙත් ඔහුගේ බිරිඳ සෙප්හොරා දෙවියන් වහන්සේ ගැන දැඩි විශ්වාසයක් තිබුණි. ඇය නිසා, මෝසස් ද එලෙස විශ්වාසයක් ඇති කර ගන්නට උත්සහා කළේය.
රැමේසෙස් පාරාවෝ ළඟ සිටින වහලුන්ව මුදවා ගැන්මට තමාට තනිවම කළ හැක්කක් නොවන බව මෝසස් ට වැටහිණි. සෙප්හොරා කීවේ දෙවියන් වහන්සේට කන්නලව් කරන්නට කියාය. දිනක් මෝසස්, සෙප්හොරා හා කුඩා මෝසස් ව ජෝෂුවා ළඟ නවත්වා, කන්දේ මුදුන් කෙළවරට ගියේ දෙවියන් වහන්සේට කන්නලව් කිරීමටය. එහිදී ඔහුට දින ගණනාවක් සිටින්නට සිදු විය. අවසානයේ ඔහු දෙවියන් වහන්සේ ගේ හඬ අසන්නට හෝ ඉල්ලුවේය. දිනක් එක් වරම විශාල ගිනිජාලාවක් මෙන් ඇතිවී එතැනින් හඬක් නික්මෙන්නට විය. ඒ දෙවියන් වහන්සේ ගේ හඬ ය. එතුමාණෝ මොසස්ට කථා කොට කීවේ, ඊජිප්තුවට ගොස් තම සෙනඟ ව පාරාවෝ රජුගෙන් ඉල්ලා සිටින ලෙසත්, ඔහු ඒ ඉල්ලීමට කන් නුදුන්නහොත්, දෙවියන් වහන්සේ ගැන විශ්වාසයක් තබන ලෙසත්ය. එලෙසම එම සෙනඟ පොරොන්දු දේශය ට රැගෙන ඒමට එතුමාණෝ තෝරා ගත්තේ මෝසස් ව බව ඔහුට දැන්වූහ. එපමණක් ද නොව, දෙවියන් වහන්සේ විසින් ලෝක වාසින්ට පනවන ලද 'දස පනත' බාර දෙන්නේද මෝසස් ට යැයි එතුමාණෝ පැවසූ සේක.
දෙවියන් වහන්සේගේ වචන අසා නැවත කන්දෙන් පහළට බසින මෝසස්ගේ බාහිර ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබුණි. ඔහු අවුරුදු ගණනාවක් පසු කර මහලු බවට පත්වී තිබූ අතර, ඔහුගෙ හිස කෙස් සහ රැවුලද සුදු පාට වර්ණයට හැරී තිබුණි. මොසස් ගේ මේ වෙනස දැක විස්මයට පත්වූ සෙප්හොරා හා ජෝෂුවා, මොසස්ට දෙවියන් වහන්සේ විසින් කථා කර ඇති බවක් වටහා ගතී. දෙවියන් වහන්සේ විසින් පැවසූ සියල්ලම මෝසස් සෙප්හොරා හා ජෝෂුවාට කියා, එවලේම ජෝෂුවා සමඟ ඊජිප්තුව බලා පිටත් වූයේ තම ජනයාව වහල් බවින් මුදවා ගෙන පොරොන්දු දේශයට රැගෙන ඒමටය.
මෝසස් හා ජෝෂුවා කෙළින්ම ගියේ රැමේසෙස් පාරාවෝ මුණ ගැසීමට ය. මෝසස් යහතින් ජීවත් වනු දැක රැමේසෙස් පාරාවෝ පුදුම වූවද, නෙෆ්රෙති රැජිනිය කිසිසෙත් පුදුම නොවුනේ මෝසස් ඉතාමත් බලවත් පුද්ගලයෙක් බව ඇය දැන සිටි නිසාය. මෝසස්, රැමේසෙස් පාරාවෝ ගෙන් වහල් ජනතාව ව නිදහස් කර දෙන ලෙස ඉල්ලුව ද, රැමේසෙස් පාරාවො එයට අවනත වූයේ නැත. මෝසස් තම අතේ තිබූ එදා රැම්සෙස් විසින් දුන් දිඟු කෙවිට බිම දැමීය. එය විෂඝෝර සර්පයෙකු බවට පරිවර්තනය විය. මේවා බාලගණයේ මැජික් යැයි කියා රැමේසෙස් මෝසෙස් ටත්, දෙවියන් වහන්සේටත් අපහස කළේය. එපමණක් නොව, ඔහු ඔහුගේ රාජකීය මැජික් කරුවන් යොදවා කෙවිටවල් දෙකක් බිම දමා ඒවා සරපයන් දෙදෙනෙකුට පරිවර්තනය කළේ මෝසස් ගේ දෙවියන්ට අභියෝග කරන්නටය. මෝසස් ගේ කෙවිටෙන් මැවුණු නාගයා, රැමේසෙස් ගේ විජ්ජා කරුවන් විසින් මැවූ නාගයන් දෙදෙනාව ගිල දැම්මේය. මෝසස් නැවත නාගයා අතට ගත් සැණින් එය කෙවිට බවට පත් විය. අවසානයේදී මෝසස් කීවේ, වහලුන් සේ සිටින තම ජනතාව නිදහස් නොකෙරුවහොත් දෙවියන් වහන්සේ බොහෝ දරුණු දේ කරාවී කියාය. ඊට වඩා හොඳ විජ්ජා කරුවන් තමා ළඟ සිටිනවා කියා රැමේසෙස් උදමි ඇනීය.
දෙවියන් වහන්සේ විසින් වසංගතයක් එව්වේ ඉන් පසුවය. එම වසංගතයෙන් සියලුම පවුල් හි පළමුවන පිරිමි දරුවා මියයන බව දෙවියන් වහන්සේ මෝසස් හරහා දැනුම් දුන් සේක. එම වසංගතයෙන් රජ මැදුරේ බොහෝ අය මියගිය අතර, රැමේසෙස් ගේ එකම පුතුද වසංගතයට අසුවී මරණාසන්න වී සිටියේය. එයට රැමේසෙස් බිය විය. ඔහු වහා මෝසස් ට කථා කොට, වහලුන් ව මුදා ගෙන, මේ රටෙත් නොසිට ඔවුන් වත් රැගෙන යන ලෙස කී අතර, මේ වසංගතය නවත්වා දෙන ලෙස ඉල්ලුවේය. එහෙත් මෝසස්ගේ දෙවියන් වහන්සේ බලවත් කියා පිළිගන්නට නම් ඔහු අකමැති විය. මෝසස් තම ජනතාව ව වහල් බවින් මුදා ගෙන ඔවුන්ගේ හරක බාන හා ඔවුන් ඇති කරන සතුන් ද ගෙන පොරොන්දු දේශය බලා පිටත් විය.
රැමේසෙස් ගේ පුත් කුමරා එම වසංගතයෙන් මියගියේය. රැමේසෙස්, ඔහු අදහන දේව ප්‍රතිරූපය ඉදිරියේ තම මියගිය දරුවාව තබා කන්නලව් කළේ තම පුතුට යළි පණ දෙන්නට කියාය. නෙෆ්රෙති කුමරිය එය දැක කිවේ හරක් හිසක් තිබෙන මේ මැටි රූපයට මිය ගිය කෙනෙකුට පණ දෙන්නට බලයක් නැති බව ය.
තම එකම පුත් කුමරා මරා ගත්තේ මෝසස් ගේ දෙවියන් වහන්සේ නිසා, රැමේසෙස් මෝසස් සමඟ යළිත් වෛර බැඳ ගතී. නෙෆ්රෙති කුමරිය කීවේ මෝසස් ගේ තිබෙන බල පරාක්‍රමයට රැමේසෙස් ට කිසිම දෙයක් කිරීමට නොහැකි බවය. කඩුවක් අතට ගත් ඇය එය රැමේසෙස් අතට දී හැකි නමි මෝසස් සොයා ගොස් ඔහුගෙ ලේ මේ කඩුවේ තවරා ගෙන එන ලෙස අභියෝග කළාය. රැමේසෙස් ඒ අභියෝගය පිළිගෙන ඔහුගේ යුද සේනංකයත් සමඟ පොරොන්දු දේශය බලා යන මෝසස්, ජෝෂුවා හා ඔහුගේ ජනතාව ව හඹා ගියේ ඔවුන් ව මරා දමන්නට ය.
මෝසස් තම සෙනඟ සමඟ රතු මුහුද තෙක් ගමන් කරන්නට විය. රැමේසෙස් හා ඔහුගේ සේනංකය මෝසස් හා ඔහුගෙ ජනතාවට ළං වන්නට විය. එහෙත් දෙවියන් වහන්සේ රැමේසෙස් හා සේනංකයට මෝසස් ලා වෙත ළංවෙන්නට ඉඩ නොහැර, ඔවුන් මැදට විශාල ගිනිජාලාවක් මැවීය.
ගිනි ජාලාව ඇවිළුණ ද, එය නිවී ගිය පසු සේනාංකය පැමිණ තමන්ව මරා දමාවී යැයි මෝසස්ගේ ජනතාව බිය වූයේ මේ විශාල රතු මුහුද තරණය කිරීමට මඟක් නොමැති නිසාය. එහෙත් මෝසස් ජනතාවට කීවේ දෙවියන් වහන්සේ ව විශ්වාස කරන ලෙසටය. මෝසස් දෙවියන් වහන්සේට දැත් ඉහළට ඔසවා කීවේ මෙයින් බේරී යාමට මාර්ගයක් සාදා දෙන ලෙසය.
දෙවියන් වහන්සේ රතු මුහුද දෙබෑ කර, මුහුද මැදින් යාමට මාර්ගය සාදා දුනි. විස්මයට පත්වූ ජනතාව වහ වහා එම මාවත දිගේ තම හරක බාන හා සතුන් සමඟ එතෙර වන්නට විය. ඔවුන් ගමනේ හරි අඩක් ම එනවිට, අර ගිනි ජාලාව නිවී ගියේය. රැම්සෙස් හැරෙන්නට, ඔහුගෙ යුද සේනංකය, දෙබෑවූ මුහුද දිගේ ජනතාව ව ලුහු බඳීන්නට විය. ඒ වන විට මෝසස් ඇතූළු ජනතාව මුහුදින් එතෙර වී හමාරය. සේනාංකය හරියටම මුහුද මැදට ආ පසු දෙවියන් වහන්සේ විසින් රතු මුහුද යළි යා කරන සේක. එකී මුළු සේනාවම මුහුදුබත් වී විනාශ වී ගියෝ ය. රැමේසෙස් හා සේනාධිපතියෙක් පමණක් ඉතුරු විය.
'ද ටෙන්කමාන්ඩ්මන්ට්ස්' චිත්‍රපටයේ විශ්මිතම දර්ශනය වූයේ මේ රතු මුහුද, දෙබෑ කිරීම හා යළි, යා කිරීමය. එය මිලි මීටර් 70 දැවැන්ත තිරයේ නරඹන විට දැනුණු එකි විශ්මය නම් කිසිවිටකත් අමතක නොවේ. එකල ඩිජිටල් තාක්ෂණයක් නොමැතිව වුවද, ජෝන් පී හූල්ටන් තම දෘෂ්ටි ප්‍රයෝගවලින් පෙන්වූ විස්මය, අදටත් විස්මිතයම ය.
මේ රතු මුහුද දෙබෑ කරන හා යාවෙන දර්ශනය පමණක් රූ ගත කර, එයට විශේෂ දෘෂ්ටි ප්‍රයෝග එකතු කර, සම්පූර්ණ කිරීමට මාස 6 ක පමණ කාලයක් ගතවී තිබුණි. එකල, ඩිජිටල් හෝ වෙන කිසිදු තාක්ෂණීක ක්‍රම වේදයක් නොතිබූ නිසා සියල්ලම කළ යුතුව තිබුණේ 'මැනුවල්' ක්‍රමයටය. එය එකල හැටියට ඉතාමත් දුෂ්කර වූ රූ ගත කිරීමක් විය. මෙය ඊජිප්තු රතු මුහුදේ අඩක් රූ ගත කළ අතර, මුහුද දෙබෑවන හා යාවන දර්ශන රූ ගත කළේ හොලිවුඩ් හී පැරමවුන්ට් චිත්‍රාගාරයේ තුළ ඉදි කෙරූ විශාල වූ වතුර ටැංකි වලය. එහිදී එක පැත්තකට ත්‍රිකෝණාකාරව වතුර ගැලුම් තුන්ලක්ෂ හැටදාහක් පමණ එක වරකට මුදා හැරීය. එලෙසම පැරමවුන්ට් චිත්‍රාගාරයේ විශේෂිත ව නිර්මාණය කළ විශාල දිය ඇලි උපයෝගී කර ගෙන මෙම මුහුද දෙබෑ වීම රූ ගත කෙරිණ. මුහුද දෙබෑවන විට එය දෙපැත්තෙන් උඩට උඩට ගොස් නැවතී මැදින් හිස් පාරක් සෑදීමත්, ඒ තුළින් මොසස් ගේ ජනයා ගමන් කිරීමත්
ඔවුන් ගමනාන්තයට ගිය පසු යුද භට සේනාව ඒ හරහා එන විට යළි දෙපැත්තට වූ මුහුදු රැළි නැවත යා වීම රූ ගත කළේ ඒ කෘතිම දිය ඇලි හරහාය. මෙය කොතෙක් විස්තර කළද, එක්වර නොතේරෙන තරමටම විස්මිත වූ නිර්මාණය ක් විය. මේ සියල්ලම තාත්වීක ලෙස නිර්මාණය කළ නිසා එයට දිඟු කාලයක් මෙන්ම විශාල මුදල් ප්‍රමාණයක් වැයවෙන්නට විය.
එතැන් සිට 'ද ටෙන්කමාන්ඩ්මන්ට්ස්' චිත්‍රපටය වෙනත් තලයකට පරිවර්තනය වන්නට විය.
තම යුධ ජයග්‍රහණය බලාපොරොත්තු වූ රැමේසෙස් ඔහු ගේ යුද සේනංකය ඇතුළු සියලු දෙයම නැති කර ගෙන නැවත මාළිගාවට පැමිණියේ තනිවමය. ඔහු හිස් අතින් පැමිණි පසු නෙෆ්රෙති රැජින ඇසුවේ මොසස්ගේ ලේ තැවරුණු කඩුව ගැනය. රැමේසෙස් ට පිළිතුරු නැතිවිය. කිසිවකටත් මෝසස් ට අතවත් තබන්නට බැරි බව නෙෆ්රෙති රැජින දැන ගෙන සිටියාය. අවසානයේ දී රැමේසෙස් කීවේ මෝසස් ගේ දෙවියන් වහන්සේ සත්‍ය යි කියාය.
මේ අතර මෝසස් තම ජනතාව හා ඔවුන් සමඟ ආ සතුන් පොරොන්දු දේශයේ නවත් වා තබා, එතන තිබු කඳු මුදුනට තනිවම ගියේ දෙවියන් වහන්සේගේ කැඳවීමටය. ඒ දෙවියන් වහන්සේ විසින් ප්‍රදානය කරන 'දස පනත' භාර ගැන්මටය. එම කන්දේ මෝසස්ට දින හතළිහකටත් වඩා සිටින්නට සිදු විය.
මෝසස් ව බලාපොරොත්තුවෙන් සිටි ජනතාව නැවත මෝසස් නොඑනු ඇතැයි සිතා, වසු පැටවෙකුගේ රූපයක් රත්තරනින් අඹා මේ අලුත් දෙවියෙක් කියා එයට වන්දනාමාන කරන්නට විය.
කන්දෙන් පහළ එලෙස සිදුවන විට, කන්ද මුදුනේ දෙවියන් වහන්සේ විසින් ගල් කුලක ගින්දර ආධාරයෙන් 'දස පනත' ලියූ සේක. මෝසස් එකී ගල් පතුර ගලවා ගෙන, පහළට පැමිණයේ දෙවියන් වහන්සේ දුන් දසපනත ජනයාට දැන්වීමටය. එහෙත් මෙතෙක් දෙවියන් වහන්සේ විසින් හැම අවස්ථාවකම, අතී දුෂ්කර අවස්ථාවල ආරක්ෂා කෙරූ අන්දම, ඉතා ඉක්මනින් අමතක කර, ඔවුනොවුන් විසින් අඹා ගත් ව්‍යාජ දෙවියකුට වන්දමාන කරන අන්දම දැක තම අතේ තිබූ දස පනතින්ම, අර ව්‍යාජ දේව රූපයට දමා ගැසුවේ, එතන සිටින ජනයාත් විනාශ වී යන ආකාරයටය.
පැය තුනහාමාරකටත් අධික කාලයක් ධාවනය වූ 'ද ටෙන්කමාන්ඩ්මන්ට්ස්' දැවැන්ත චිත්‍රපටය අවසන් වූයේ ඒ අයුරිනි.
' බෙන්හර් චිත්‍රපටයේ ජුඩා බෙන්හර් ට රඟපෑ චාල්ස්ටන් හෙස්ටන් ම මෝසස් චරිතය රඟපෑවේය. එලෙසම දෙවියන් වහන්සේගේ හඬ පසුබිමින් ප්‍රචාරය කළේද චාල්ස්ටන් හෙස්ටන් ය. රැමේසෙස් වූයේ යූල් බ්‍රයිනර් ය. ඔහුගේ දක්ෂ රඟපෑම් ඇතැම් තැන්වල චාල්ස්ටන් හෙස්ටන් රඟපෑ මෝසස් ගේ චරිතයද අබිබවා ගියේය.
නෙෆ්රෙති කුමරිය ලෙස ඈන් බැක්ස්ටර් ද, ජෝෂුවා ලෙස ජෝන් ඩෙරික් ද සෙසු ප්‍රධාන චරිතවලට පණ දුනී. රඟපෑම් අබිබවා දෘෂ්ටි ප්‍රයෝග වලින් මුළු චිත්‍රපටයම විස්මිත කර තිබුණි.
'ද ටෙන්කමාන්ඩ්මන්ට්ස්' එකල, එනම් 1956, වසරේ වැඩිම ආදායමක් ලද චිත්‍රපටය විය. ඇමරිකානු ඩොලර් මිලියන 13,ක් වියදම් කර තැනූ 'ද ටෙන් කමාන්ඩ්මන්ට්ස්' චිත්‍රපටය පළමු වටයේ ප්‍රදර්ශනයේ දීම, ඇමරිකාව තුළින් ලද ශුද්ධ ලාබය ඇමරිකානු ඩොලර් මිලියන 185 ක් විය.
එවර ඇකඩමි ඔස්කාර් සම්මාන උලෙළේ දී, හොඳම දෘෂ්ටි ප්‍රයෝගය ට හිමි සම්මානය හිමි වූයේ 'ද ටෙන්කමාන්ඩ්මන්ට්ස්' හී දෘෂ්ටි ප්‍රයෝග නිර්මාණ හා අධ්‍යක්ෂණය කළ ජෝන් පී හූල්ටන් ට ය.
'ද ටෙන්කමාන්ඩ්මන්ට්ස්' ' ඇකඩමි ඔස්කාර් සම්මාන උලෙළේදී 'හොඳම චිත්‍රපටය', 'හොඳම ශබ්ද පටිගත කිරීම' හා 'හොඳම වර්ණ කලා අධ්‍යක්ෂණය' ට නිර්දේශ විය. නමුත් එහී රඟපෑ කිසිදු රංගන ශිල්පියෙක් රංගනය උදෙසා සම්මාන නොලැබූ අතර, අවම වශයෙන් නිර්දේශ නොවීය. එහෙත් 'නැෂනල් බෝඩ් ඔෆ් රිවිව්', සම්මාන උලෙළේ දී රැමේසෙස් ලෙස රඟ පෑ යූල් බ්‍රයිනර් 'ද ටෙන්කමාන්ඩ්මන්ට්ස්' වෙනුවෙන් හොඳම නළුවා ලෙස සම්මාන ලැබීය.
ලංකාවේ ද, ලිබර්ටි සිනමාහලේ, මිලි මීටර් 70 ප්‍රමාණයේ දැවැන්ත තිරයේ 'ටොඩ් ඕ' ශබ්ද සමඟින් 'ද ටෙන්කමාන්ඩ්මන්ට්ස්' තිරගත වූ අතර, එය ඉහළම ජනප්‍රියත්වයක් ලැබීය. විශේෂයෙන් බොහෝ දර්ශන පාසැල් සඳහා වෙන් කර තිබුණු අතර ඒවා සිසු සිසුවියන්ගෙන් පිරී තිබුණි. කතෝලික නොවන අන් ආගම්වල අය පවා ඉමහත් උනන්දුවකින් නැරඹූ චිත්‍රපටයකි 'ද ටෙන් කමන්ඩ්මන්ට්ස්'.
එතෙක් මෙතෙක් ලෝකයේ බිහිවූ විශිෂ්ටතම චිත්‍රපට ගොන්න අතරට එකතු වූ 'ද ටෙන්කමාන්ඩ්මන්ට්ස්' චිත්‍රපටය අබිබවන්නට එවන් ක්‍රිස්තියනි ඉතිහාස කථා චිත්‍රපටයක් තවමත් බිහිවූවාද යන්න විමර්ශන යට භාජනය විය යුතු ම කරුණකි.