ඇලෙක්ස් ඔවන්ස් උන්මාදය FLASHDANCE

ජූලි 6, 2023

චිත්‍රපටයක් ඇමරිකානු ඩොලර් මිලියන 7 කට ඇස්තිමේන්තු කර, එය ප්‍රථම වටයෙන් බොක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 201.5 ක් ඉපැයුවා යනු එම චිත්‍රපටය මොන තරම් ආකර්ෂණය විය යුතු වේද?

හොලිවුඩ් යටගියාව ලිපි පෙළ තුළින් 47 වන චිත්‍රපටය ලෙස ඉදිරිපත් කරනුයේ එලෙස ආකර්ෂණය වූ චිත්‍රපටයකි. ඒ වර්ෂ 1983 අප්‍රේල් 15 වෙනි දින සිට ඇමරිකාව පුරා තිරගත කිරීම ආරම්භ කෙරූ ඒඩ්‍රියන් ලීන් අධ්‍යක්ෂණය කළ, ඇමරිකානු 'රොමැන්ටික්, මියුසික් හා ඩාන්සිං' චිත්‍රපටයක් වූ 'ෆ්ලෑෂ් ඩාන්ස්' ය.

'ෆ්ලෑෂ් ඩාන්ස්' නම සිහිවන විටම, සවන පුරා පිරී යනුයේ එයට ඇමරිකානු ගායිකා 'අයිරින් කාරා' ගැයූ ' 'Whata Feeling' ('වට් අ ෆීලින්ග්') ගීතයයි.

ඇත්තෙන්ම එම ගීතය චිත්‍රපටයට ගෙන ආවේ විශාලම ආලෝකයක්ය. ගීතයක් චිත්‍රපටයකට මේ තරම් විශ්මිත කාර්යයක් කළ හැකිද, යන්න විමර්ශනය කළ යුත්තේ, 'ෆ්ලෑෂ් ඩාන්ස්' චිත්‍රපටය, ලෝකයේ ඉහළම තලයකට ගෙන ඒමට, තුඩු දුන් තවත් ප්‍රබලම සාක්ෂියක් වූ නිසා ය. එනම් එම වසරේ ඇමරිකානු ඇකඩමි සම්මාන උලෙළෙ හොඳම ස්වතන්ත්‍ර ගීතය ලෙස සම්මාන ලැබුවේද, එම වසරේ ලොව විශාලතම එමෙන්ම ප්‍රබලතම සංගීත සම්මාන උලෙළ වන 'ග්‍රැමි සම්මාන' උලේළේ හොඳම නිර්මාණිත ගීතය ට හිමි සම්මානය හිමි වූයේද 'වටර් ෆීලින්ග්'' ගීතයටය. එලෙසම මෙම වසරේ පැවැත්වූ අනෙක් ලොව ජනප්‍රිය මෙන්ම ප්‍රබලතම ගීත සම්මාන බොහොමයක් ලබා ගත්තේද, 'වටර් ෆීලින්ග්' ගීතයයි.

එලෙස ගායිකා අයිරින් කාරා තම 'වටර් ෆීලින්ග්' ගීතයෙන් චිත්‍රපටය හරහා ලොව කලඹන විට , ෆ්ලෑෂ් ඩාන්ස්' චිත්‍රපටය ගැන කීමට තව තවත් විශේෂත්වයන් රාශියක් විය. බොහෝ විට මෙතරම් ප්‍රේක්ෂක අවධානයක් දිනා ගැන්මට මෙම චිත්‍රපටය හේතු වූයේ මෙම විශේෂත්වයන් නිසා විය හැකිය. මෙහී මූලික විශේෂත්වය වූයේ 'ඇලෙක්ස් ඕව්'ය. ඇත්තටම, ඇය, එතෙක් මෙතෙක් කිසිදු චිත්‍රපටයකින් හමු නොවූ චරිතයක් විය. 19 හැවිරිදි වූ ඇයගේ හැඩ,රුව 80 දශකයට අනූකූලුවූ මෝස්තර නිරූපිකාවක් බදු විය. ඇය තම කොණ්ඩය සකස් කර ගත්තේ ඒ දශකයේ කොණ්ඩා නිරූපිකාවන් සකස් කර ගන්නා ආකාරයටය. ඇඳුම් පැලඳුම් ඇන්දේද, ඒ යුගයේ නවීනත්වයට සරිලන සේය. ඇයගේ එකම අරමුණ වූයේ 'නවීන බැලේ නැටුම් ශිල්පිනියක් වීමටය'. නමුත් ඇයට බැලේ නැටුම් ක්‍රමානුකූලව ඉගෙන ගැන්මට අවස්ථාවක් ලැබුණේ නැත. එහෙයින් ඇය තම පුහුණුව තමා විසින්ම, තමනට දැනෙන අයුරින් කරන්නට හුරු පුරුදු විය.

ඇලෙක්ස් ඕව් ගේ අනෙක් විශේෂත්වය වූයේ ඇයගේ රැකියාව ය. මෙතරම් සුන්දර වූ, මෙතරම් නවීන නිරූපිකාවක් බඳු වූ ඇය කළේ, 'වෙල්ඩිං' වැඩය. ඇය යකඩ හා ආශ්‍රිත වානේ කර්මාන්ත ශාලාවක, ලේත් වෑල්ඩිං වලට සම්බන්ධ රැකියවක නියුතු වූ අතර, රාත්‍රියේ ඇය ජීවත් වන නගරය අසල තිබූ රාත්‍රි සමාජශාලාවක නැටුම් ඉදිරිපත් කරමින් අමතර මුදලක් සොයා ගත්තා පමණක් නොව, එතැනදී තම නැටුම් පුහුණුව තව තවත් වැඩි දියුණු කර ගත්තා ය.

අනෙක් විශේෂත්වය වූයේ ඇය නැවති සිටින නිවසය. එය අත් හැර දැමූ කන්ටේනරයක කොටසක් විය. අද වුවද බොහෝ ඇමරිකානුවන් එසේ කන්ටේනර් තම නිවෙස් වලට පරිවර්ථනය කර ගෙන ඇත. ඇලෙක්ස් ඕව් ද එලෙස පරිවර්තනය කෙරු නිවසක ජීවත් වූයේ ඇයගේ සුරතල් බල්ලෙකු සමඟ ය.

'ෆ්ලෑෂ් ඩාන්ස්' චිත්‍රපටයේ ඇලෙක්ස් ඕව් හරහා කථා රචක පෙන්වීමට උත්සහ කළේ වෙනස් තලයන් හී ජීවන රටාවන් ය. ඒ වෙනස් තලය කථා රචකයා ඒ අයුරින් මැව්වේ ප්‍රේක්ෂකයන් ට නැවුම් අත්දැකීමක් හරහා ඇලෙක්ස් ඕව් ගෙ චරිතය ඔවුනගේ සිත් වලට කා වැද්දීමට විය හැක. ඇත්තෙන්ම එය සාර්ථක විය. 80 දශකයේ ලොව ප්‍රේක්ෂකයන් අතරේ ඇලෙක්ස් ඕව් උන්මාදයක් විය.

ඒ 'බ්‍රේක් ඩාන්ස්' නම් නැටුම් ශෛලයක් ලොවට ආ අලුත ය. එය මුළු ලොව පුරාවටම යෞවනයන් අතරේ පැතිරී ගියේය. මයිකල් ජැක්සන් 'බිලි ජීන්' , 'බීට් ඉට්' 'ත්‍රිලර්' වැනි ගීත වීඩියෝ හරහා මෙම නැටුම් ශෛලය ලොව වටා ප්‍රචලිත ක⁣ළේය. 'ෆ්ලෑෂ් ඩාන්ස්' ඒ බ්‍රේක් ඩාන්ස් ⁣⁣ශෛලිය ට 'බැලේ' නැටුම් මිශ්‍ර කරමින් ඇලෙක්ස් ඕව් තුළින් ඉදිරියට ගෙන ගියේ තවත් නැටුම් සම්ප්‍රදායක් ලොවට හදුන්වා දෙමිනි.

ඇලෙක්ස් ට 'නික් හර්ලි' ව හමුවන්නේ තමා වැඩ කරන වානේ කම්හල තුළදී ය.

නික් හර්ලි යනු ඇලෙක්ස්,වෙල්ඩර් කෙනෙක් ලෙස වැඩ කරන කම්හලේ හිමිකරුය. නික්, ඇලෙක්ස් ගැන උනන්දුවක් දැක්වූවද, ඇය නිතරම එය මග හරින්නට උත්සහා ගත්තේ, ඇය ඔහුගේ සේවිකාව වන නිසා විය හැකිය.

ඇලෙක්ස් ගේ හොඳම යෙහෙළිය වූයේ 'ජෙනී' ය. ඇය අවන් හලක 'වේටර්වරියක්' විය. එලෙසම ඇය 'ෆිගර් ස්කේටර්' කෙනෙක් වීමට පුහුණු වෙමින් සිටියාය. ජෙනීගේ පෙම්වතා රිචී ය. ඔහු කෙටි ඇනවුම් කෝකියෙක් විය. ඔහු සිනමාවේ, රූපවාහිනියේ හෝ වේදිකාවේ ස්ථාවර විකට චරිතයක් වීමට බලාපොරොත්තුවෙන් සිටි යෞවනයෙකි.

ඇලෙක්ස්ට දැන් නැටුම් උපදේශිකාවක් සිටී. ඇය විශ්‍රාමික නර්තන ශිල්පිනී, හැනා ලෝන්ග්ය. ඇයගෙන් උපදෙස් ලබා ගත් පසු ඇලෙක්ස් ,පීටර්ස්බර්ග් සංරක්ෂණාගාරයේ නැටුම් ප්‍රදර්ශනයට අයදුම් කරන්නට සිතුවාය එහෙත් එහී ඇති රීති මාලාව තුළ ඉල්ලා ඇති පෙර නර්තන අත්දැකීම්, සහ අධ්‍යාපනය ලැයිස්තුගත කිරීම ඇතුළත් වන අයැදුම් කිරීමේ ක්‍රියාවලියේ විෂය පථය නිසා ඇය එයට අයදුම් කිරීමට බිය විය. එහෙයින් ඇය එම මධ්‍යාස්ථනයට පැමිණියද, එයට අයදුම් නොකර පිටව යන්නට විය.

'ජොනි සී,' ද ඇලෙක්ස් ගැන බලාපොරොත්තුවෙන් සිටින තරමක රස්තියාදු කාර බොරු චණ්ඩියෙක් විය. දිනක් ඇලෙක්ස් තම නැටුම් පෙන්වමින් අමතර ආදායමක් උපයන රාත්‍රී සමාජශාලාවෙන් එම නර්තනය නිම කර ජෙනී ගේ පෙම්වතා වූ රිචී සමඟ එළියට එනවිට, ජොනි සී හා ඔහුගේ ආරක්ෂකයා වූ සිසිල් එකතුවී රිචීට හා ඇලක්ස්ට පහර දුනී. එය නික් හර්ලි දැක ඔහු විසින් ජොනි සී ට හා සිසිල් ට පහර දී රිචී ව හා ඇලෙක්ස්ව බේරා ගතී. පසුව නික් විසින් ඇලෙක්ස්ව ඇයගේ නිවසට හැරලීය. එදින සිට නික් හා ඇලෙක්ස් අතර ආදර සම්බන්ධයක් ගොඩනැගුණි.

මේ අතර ජෙනී ගේ පෙම්වතා රිචී ඇයව අත හැර දමා ලොස් ඇන්ජලිස් බලා ගියේ ඔහුගේ වාසනාව උරගා බැලීමට ය. එම දිනවලම ජෙනි 'ෆිගර් ස්කෙටින්' තරඟයකට ඉදිරිපත් වූවද, ඇය ඇගේ රංගනය අතරතුර දෙවරක් බිම ඇද වැටුණි. ඇය අයිස් මතම දිගාවී සිටියාය. ෆිගර් ස්කේටින් තරඟවලින් තමා අසාර්ථක බව වැටහීමත්, තම පෙම්වතා රිචි තමාව අත්හැර දැමීමත් නිසා දැඩි සිත් තැවුලට පත් ජෙනී, තමාගේ පෙම්වතා වූ රිචි ට හා ඇලෙක්ස්ට පහර දුන් ජොනි සී සමඟ පෙම් සම්බන්ධතාවයක් ආරම්භ කර, සැන්සිබාර් හී ඔහුගේ 'ස්ට්‍රිපර්' කෙනෙක් ලෙස වැඩ කරන්නට විය. මෙම ආරංචිය ඇලෙක්ස් ට ආරංචි වූ වහාම ජෙනී ව සොයා ගොස් ඇයව සැන්සිබාර් වලින් පිටතට ඇද දැමීය. එයට ජෙනීට කේන්ති ගියද, ඇලෙක්ස් විසින් ඇයට ඇය කළ දේ හී බරපතළ කම තේරූම් කර දුන් පසු ජෙනී තම වරද පිළිගත්තාය.

නික් තවත් තරුණියක් සමඟ ඔහුගේ නිවසේ සිටින බවක් දිනක් අහම්බෙන් ඇලෙක්ස් දකී. ඇයට කේන්ති ගොස් ඇය ගලකින් ඔහුගේ නිවසේ ජනේලයකට ගසයි. පසුව ඒ නික්ගෙන් වෙන්වූ ඔහුගේ පළමු බිරිඳ බවත්, ඇය පැමිණ ඇත්තේ කිසියම් වූ පුණ්‍ය කටයුත්තක් සඳහා බව ඇය දැන ගනී. දෙදෙනා දෙදෙනාව තේරුම් ගනිමින් ඇලෙක්ස් හා නික් යළි සමඟි වේ.

මේ අතර, නික් , විසින් ඇලෙක්ස්ට යළිත් පීටර්ස්බර්ග් හී නැටුම් සංරක්ෂණ සංදර්ශනයට අයැදුම් කිරීමට උනන්දු කරවයි. ඇලෙක්ස්ට, මුලින්ම මුහුණ දීමට තිබුණේ මුල් ප්‍රාථමීක වටයේ තරඟය ය. නික් තමාගේ හැඳුනම් කම් මත එහී විනිශ්චය මණ්ඩලයට දන්වා සිටියේ ඇලෙක්ස්ව ප්‍රාථමික වටයෙන් සමත් කර දෙන ලෙසටය. එය දැනගත් පසු ඇලෙක්ස්ට නික් ගැන ඇතිවුණේ කිව නොහැකි තරහවකි. ඇය එකහෙළාම කීවේ තමා තරඟයෙන් අනෙක් වටයට යන්නේ තමාගේ දක්ෂ කමින් මිස, කිසිවකගේ කර මතින් නොවේ කියාය. ඒ හෙයින් ඇය මූලික තරඟයට සහභාගි වීම අත්හැරීයාය.

ඇලෙක්ස්ගේ විශ්‍රාමික නැටුම් උපදේශිකාව වූ 'හැනා' මිය යන්නේ මේ අතරේදීය. එම මිය යාම ඇයගේ වයස නිසා, ස්වභාවිකව සිදුවූවද, එය ඇලෙක්ස්ට තදින්ම බලපාන්නට විය. හැනා ගේ උපදේශිකත්වය නොමැතිව නැටුම්වලින් තමන්ට අනාගතයක් නැතැයි ඇලෙක්ස් ට සිතුණි.

එහෙත් අවසානයේදී ඇය පීටර්ස්බර්ග් සංරක්ෂණාගාරයේ නැටුම් ප්‍රසංගයට ඇතුල් විය හැකි මූලික වටයට තමාගේ හැකියාවෙන් පමණක් ඉදිරිපත් වන්නට තීරණය කළාය.

මුල් වටයේදී දෙවරක්ම ඇය පසු බට විය. ඇයට තම පාද හැසුරවීම නුහුරු විය. එහෙත් ඇය තමා පීටර්ස්බර්ග් වීදිවල දැක ඇති 'බ්‍රේක් ඩාන්සින්' නැටුම් අධ්‍යයනය කර පුහුණු වූ චලනයන්ගෙන් සමන්විත, නර්තන අංගයක්, අයිරින් කාරා පසුබිමින් ගැයූ ' වටර් ෆීලින්ග්' ගීතයට අතී සාර්ථක ව නිම කර, විනිශ්චය මණ්ඩලයේ ලකුණු පුවරුවේ ඉහළම ලකුණු ලබා ගැන්මට සමත් විය.

ඇලෙක්ස් ඉතාමත් ප්‍රීතියෙන් නාට්‍යාගාරයෙන් පිටතට එනවිට ඇය දුටුවේ රෝස මල් කළඹක් අතැතිව ඇයට ශුභ පැතීමට බලා සිටින ඇයගේ ආදරවන්තයා නික් හර්ලි ය.

'ෆ්ලෑෂ් ඩාන්ස්' කථාව ලියුවේ ටොම් හෙඩ්ලිය. ටොම් ප්‍රචලිත වී සිටියේ ලෝකයේ විශිෂ්ට ගායක ගායිකාවන්ගේ මියුසික් වීඩියෝ වලට තිර නාටක ලිවීමෙනි. මයිකල් ජැක්සන්, බාර්බ්‍රා ස්ට්‍රයිසන්ඩ්, ජෝන් පෝල් ගෝඩ්, ශෝන් පේන් වැනි අයගේ වීඩියෝ තිර නාටක ඔහු අතින් ලියවුණි. ටොම් හෙඩ්ලි 'ෆ්ලෑෂ් ඩාන්ස්' කථාව උකහා ගත්තේ ඇමරිකාවේ 80 දශකයේ සිටි ආකර්ෂණීය නැටුම් ශිල්පිනියන් දෙදෙනෙකු වූ 'ජීනා හේලි,' සහ 'මොරීන් මාර්ඩර්' ගේ චරිත කථාවන් ඇසුරෙනි. ටොම් හෙඩ්ලි තම 'ෆ්ලෑෂ් ඩාන්ස්' තිර කථාව ලොස් ඇන්ජලිස් හී නිෂ්පාදන සමාගකට ඇමරිකානු ඩොලර් ලක්ෂ 3 කට විකුණුවේය. එයින් ඔහු එක් අයෙකුට ඩොලර් 2,500 ගණනේ ජීනා හේලි ට හා මොරින් මාර්ඩර් ට ගෙවා දම්මේ, ඔවුනගේ ජිවිත කථාවෙන් මෙම කථාව ලියූ නිසාය. පසුව එම සමාගම, එම තිර කථාව පොලිග්‍රෑම් චිත්‍රපට සමාගමට විකුණු අතර,එයිනුත් පසුව එය පැරමවුන්ට් චිත්‍රපට සමාගම මිලදී ගතී. එසේ මිලදී ගත්තද, පැරමවුන්ට් සමාගම, එය චිත්‍රපට ගත නොකර අවුරුදු 2 ක් පමණ ඔවුන් ළඟ තබා ගත්තේ මෙම කථාවෙන් චිත්‍රපටයක් කිරීමෙන් පාඩු විය හැකි බව සිතාය. එහෙත් පැරමවුන්ට් චිත්‍රපට සමාගමේ එවකට රැකියාවේ නියුතුව සිටි 'ඩොන් සිම්ප්සන්' මෙම කථාව දැක මෙය චිත්‍රපටයකට ඉතාමත් සුදුසු බව වටහා ගතී. එහෙයින් ඔහු පැරමවුන්ට් සමාගමෙන් අස් වී, තවත් චිත්‍රපට නිෂ්පාදකයෙකු වූ 'ජෙරි බ්‍රක්හෙයිමර්' ව එකතු කර ගත්තේ මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීමටය. ඔවුන් මෙම තිර රචනය 'ජෝ එස්ටර්හස්' ට භාර දුන්නේ යළි මෙහී තිර රචනය ලිවීමටය. 'ෆ්ලෑෂ් ඩාන්ස්' චිත්‍රප⁣ටයේ නාමවලියේ තිර නාටකය යටතේ 'ටොම් හාඩ්ලි'- හා ජෝ එස්ටර්හස් කියා සඳහන් වන්නේ ඒ නිසාය.

'ෆ්ලෑෂ් ඩාන්ස්' චිත්‍රපටය මුලින්ම අධ්‍යක්ෂණය කිරීමට තෝරා ගත්තේ කැනේඩියානු චිත්‍රපට අධ්‍යක්ෂකයකු වූ 'ඩේවිඩ් ක්‍රොනන්බර්ග් ව ය. එහෙත් ඔහුට එවකට තිබූ වැඩ අධික කම නිසා එය ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වූ 'බ්‍රයන් ඩී පල්මා' ට භාර කළේය. එහෙත් ඔහුද එසමයේ 'ස්කාෆේස්' චිත්‍රපටයේ අධ්‍යක්ෂණයට හිර වී සිටියේය. ඒඩ්‍රියන් ලීන්ට චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට භාර දුන්නේ ඉන් පසුවය. එයටද හේතුවක් තිබුණි. එම කාලයේම ඒඩ්‍රියන් ඇමරිකානු රූපවාහිනියට හා බ්‍රිතාන්‍ය රූපවාහිනියට වෙළඳ දැන්වීම් කීපයක් නිර්මාණය කර තිබුණි. ඒ අතරේ ඔහු බ්‍රිතාන්‍ය රූපවාහිනියට ' බෲටස් ජීන්ස්' වෙනුවෙන් කළ නිර්මාණය 'ෆ්ලෑෂ් ඩාන්ස්' නිෂ්පාදකවරුන් හා තිරනාටකවරුන් බලාපොරොත්තු වුනූ 'ෆ්ලෑෂ් ඩාන්ස්' ⁣ශෛලයේම එකක් විය. ඒඩ්‍රියන් ලීන් ට, 'ෆ්ලැෂ් ඩාන්ස්' භාර දීමට මූලික හේතුව ඒ 'බෲටස් ජීන්ස්' වෙළඳ දැන්වීම ය.

ඒඩ්‍රියන් ලීන් 'ෆ්ලෑෂ් ඩාන්ස්' චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට භාර ගත්තේ ඔහුට චිත්‍රපට නිෂ්පාදනාගාර හා සමාගම් සමඟ කිට්ටු සබඳකමක් තබා ගැන්මට උවමනා වූ නිසාය. ඒ ඔහුගේ ඊළඟ චිත්‍රපටය වූ '9 1/2 වීක්ස්' චිත්‍රපටය අනුමත කර ගැනීම සඳහාය.

'ෆ්ලෑෂ් ඩාන්ස්' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ 'ඇලෙක්ස් ඕව්න්ස්' ගේ චරිතයට, නිළියන් තිදෙනෙකුව තෝරා ගත් අතර, ඔවුන් නම් 'ඩෙමි මුවර්', 'ලෙස්ලි වින්ග්' හා 'ජෙනිෆර් බීල්ස්' ය. අවසානයේදී තිර පරික්ෂණයෙන් පසු අධ්‍යක්ෂක ඒඩ්‍රියන් ලීන් විසින් තෝරා ගත්තේ 'ජෙනිෆර් බීල්ස්' වය.

ජෙනිෆර් බීල්ස් ඇමරිකාවේ දකුණු චිකාගෝවල ඉපදුණේ 1963 දෙසැම්බර් 19 වන දිනයේය. ඇමරිකාවේ යාලේ විශ්ව විද්‍යාලයේ තම උපාධිය සම්පූර්ණ කර ගත් ජෙනිෆර් තම වෘත්තිය සඳහා තෝරා ගත්තේ රඟපෑමය. එහෙත් ඇය ඇගේ මුල්ම රැකියාව වශයෙන් කළේ අයිස් ක්‍රීම් හලක වේටර්වරියක් වශයෙනි. ඒ වන විට ඇයට වයස අවුරුදු 13 ක් පමණ විය. එහෙත් එහී අයිති කරු සිතුවේ ඇයට වයස අවුරුදු 16 ක් පමණ ඇතැයි කියාය. ඒ ඇයගේ උස නිසාය. ජෙනිෆර් බීල්ස් මුලින්ම ඇමරිකානු සිනමාවට එකතු වූයේ 1980 දී තිරගත වූ⁣ ටෝනි බිල් අධ්‍යක්ෂණය කළ 'මයි බොඩි ගාඩ්' චිත්‍රපටයෙන් ය. එය කුඩා චරිතයක් විය. අවම වශයෙන් ඇයගේ නම එහී පෝස්ටරයේ වත් සඳහන් වූයේ නැත. ඇයට ඇයගේ වාසනාව උරගා බලන්නට තවත් අවුරුදු 3 ක් බලා සිටින්නට සිදු විය. ඒ ඇය ප්‍රධාන චරිතය රඟපෑ 'ෆ්ලෑෂ් ඩාන්ස්' තිරගත වන තෙක් ය. 'ෆ්ලෑෂ් ඩාන්ස්' රූ ගත කර අවසන් වූ පසුත් ඇය යාලේ විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනයේ නිරත විය. 'ෆ්ලෑෂ් ඩාන්ස්' නොසිතු විරූ ලෙස ජනප්‍රිය වූවා සේම, බොහෝ නිෂ්පාදක, අධ්‍යක්ෂක මෙන්ම ඇමරිකාවේ දැවැන්ත සිනමා සමාගම් ජෙනිෆර් බීල්ස් ගැන තම අවධානය යොමු කළේය. එතැනින් පටන් ගත් ඇගේ සිනමා ජීවිතය, 2023 මෙම වසර වන තෙක්ම ඇය රඟපෑමෙන් සක්‍රිය වූ සේම , මේ වන විටත් චිත්‍රපට 64 ක රඟපා ඇත. 'වැම්පයර් කිස්', 'ඩේස් ඔෆ් ඩිස්කෝ', 'ඩෙවිල් ඉන් අ බ්ලු ඩ්‍රස්', 'ද බුක් ඔෆ් එලී' 'බිෆොර් අයි ෆෝල්' , 'පෘෆ්', 'ටේකන්' වැනි චිත්‍රපට ඒ අතරේ විය. රූපවාහිනි කථා මාලා 25 ක පමණ මෙම වසර වන තෙක් රඟපා ඇත. 'ෆේරිටේල් තියටර්', 2000 මලිබු රෝඩ්' , 'ද හන්ගර්', 'ෆ්‍රේසර්', 'ලෝ ඇන්ඩ් ඕර්ඩර්',' ද චිකාගෝ කෝඩ්', ' ද ලාස්ට් ටයිකූන්', 'ස්ටාර් වෝස්' වැනි රූපවාහිනි කථා මාලා එයට ඇතුළත් විය.

'නික් හර්ලි' ගේ චරිතයට මුලින්ම තෝරා ගත්තේ සංගීතඥයකු, ගායකයකු හා නළුවකු වූ 'ජීන් සිමන්ස්' වය. එහෙත් ඔහුගේ පෙනුම එම චරිතයට නොගැළපෙන බවක් දැනුණු නිසා ඒ වෙනුවට වෙනත් නළුවන් දෙදෙනෙක් යෝජනා විය. ඒ 'කෙවින් කොස්ට්නර්', හා 'මයිකල් ⁣නූරි' ය. දෙදෙනාගෙන් වඩාත්ම සුදුස්සාව එම චරිතයට තෝරා ගත් අතර , එම අවස්ථාව ලැබුණේ මයිකල් නූරි ටය.

1945 වර්ෂයේ දෙසැම්බර් 9 වෙනි දින ඇමරිකාවේ වොෂින්ටන් හී ඉපදුණු, මයිකල් නූරී ගේ ප්‍රථම චිත්‍රපටය වූයේ 1969 වසරේ තිරගත වූ ලැරි පීර්ස් අධ්‍යක්ෂණය කළ රිචඩ් බෙන්ජමින්, ඇලි මැක්ග්‍රෝ, රඟපෑ 'ගුඩ් බායි කොලොම්බස්'ය. ඔහු එහී රඟපෑවේ සුළු චරිතයකි. ඔහුගේ නම එහී නාමවලියට එකතු වුණාදැයි ද සැක සහිත ය. 1969 සිට ඔහුට ඔහුගේ දෙවන චිත්‍රපටය වූ 'ගැන්ග්ස්ටර් වෝ' තිරගත කරන තෙක් අවුරුදු 12ක් බලා සිටීමට සිදුවිය. ඒ එම චිත්‍රපටය 1981 දී තිරගත වූ නිසාය.ඔහු එහී රඟපෑවේ ප්‍රධාන චරිතය යි. ඔහු රඟපෑ 'ෆ්ලෑෂ් ඩාන්ස්' තිරගත වූයේ ඉන්පසුවය. 'ෆ්ලෑෂ් ඩාන්ස්'හී ඔහු ප්‍රධානතම චරිතය රඟපෑවද, ප්‍රේක්ෂක අවධානය මුළුමනින් ම ගියේ ජෙනිෆර් බීල්ස් වෙතටය. ඉන්පසු ඔහු 2018 වන තෙක් චිත්‍රපට 40 ක පමණ රඟපෑවද, අන්තර්ජාතික ප්‍රේක්ෂකයන් ගේ අවධානය දිනා ගත් චිත්‍රපට ඒ අතරේ තිබුණාදැයි සැක සහිතය. චිත්‍රපට වලට වඩා ඔහු රඟපෑවේ ටෙලි චිත්‍රපට හා කථා මාලාවලය. ඔහු ටෙලි කථා 78 ක පමණ මේ වන විට රඟපෑ ඇත. එහෙයින් ඔහු සිනමා නළුවෙකු ලෙස හඳුන්වා දෙනවාට වඩා ටෙලි නාට්‍යය නළුවකු ලෙස හැඳීන්විය හැකිය.

අයිරින් කාරා ගැයූ 'වටර් ෆීලින්ග්' ගීතයට අමතරව තවත් අපූරුවූ ගීත කීපයක් 'ෆ්ලෑෂ් ඩාන්ස්' චිත්‍රපටයට ඇතුළත් විය. ඒවා මුලු විශ්වය පුරා විහිදී එක රැයින් ජනප්‍රිය වූ ගීතයන් ය.

ඒවා නම් 'ජෝ එස්පොසිටෝ' ගායනා කළ

'ලේඩි ලේඩි ලේඩි', ගීතයත්, ලෝරා බ්‍රැනිගන් ගේ 'ග්ලෝරියා' හා 'ඉමැජිනේෂන්', යන ගීත යුගලත් , කිම් කාර්නස් ගේ 'අයි ල් බී හියර්, වෙයාර් ද හාර්ට් ඊස්' ගීතයත් ය. ඒවා අදටත්, තව ශත වර්ෂ ගණනාවකටත් සරිලන ගීතයන් වූ අතර 'ජියෝජියෝ මොරොඩර්' නම් වූ ඉතාලි සංගීතඥයා මෙහී සංගීත අධ්‍යක්ෂක විය. මේ සියලු මනරම් ගී තනු ඔහු ගේ විශිෂ්ට නිර්මාණ විය.

'ෆොක්සස්', '9 1/2 වීක්ස්', 'ෆේටල් ඇට්‍රැක්ෂන්', 'ජේකොබ්ස් ලැඩර්', 'ඉන්ඩීසන්ට් ප්‍රොපොසල්', 'ලොලිටා', 'අන් ෆේත් ෆුල්', 'ඩීප් වෝටර්', වැනි විශිෂ්ට එමෙන්ම ජනප්‍රියතම චිත්‍රපට ගොන්නක් අධ්‍යක්ෂණය කළ 'ඒඩ්‍රියන් ලීන්' ගේ 'ෆ්ලෑෂ් ඩාන්ස්' නම් අපූර්වූ සුන්දරතම නැටුම් හා සංගීත ආදර කථාව තව යුග යුග ගණනාවකට හෝ සරලන අන්දමට නැවුම් වී එන චිත්‍රපටයක් විය.

'First when there's nothing
But a slow glowing dream
That your fear seems to hide
Deep in side your mind
All alone I have cried
Silent tears full of pride
In a world made of steel
Made of Stone
 
Well I hear the music 
Close my eyes feel the rhythm
Wrap around take a hold of my heart
 
What a feeling, Being's believing
I can have it all, 
now I am dancing for my life