වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
ලිබියානු නිදහස් අරගලයේ කැරැලිකරුවාගේ කතාව

වර්ෂ 1929 දී, ඉතාලි පැසිස්ට් ආඥාදායක, බෙනිටෝ මුසෝලිනි,තම ඉතාලි විජිතකරණයට ලිබියාව යටත් කර ගැන්ම සඳහා සටන් කිරීමට සැරසෙයි. මුසෝලිනි ඔහුගේ 6 වෙනි ආණ්ඩුකාරයා ලෙස ‘ජෙනරාල් රොඩොල්ෆෝ ග්‍රාසියානිව’ පත් කරයි. එලෙසම ග්‍රාසියානි, කීර්තිමත් ලෙස පිළිගත් සොල්දාදුවකු සහ පැසිස්ට්වාදි ග්‍රැන්ඩේට කැරැල්ල මර්දනය කර, රෝම අධිරාජ්‍ය තුළ විසුරුවා හරින ලද තේජස ප්‍රතිෂ්ඨාපනය කළ හැකි බව මුසෝලිනි විශ්වාස කළේය.
වෘත්තියෙන් ගුරුවරයකු වූ ලිබියාවේ ‘ඔමාර් අල් මුක්තාර්’, ෆැසිස්ට්වාදීන්ට එරෙහී ප්‍රතිවිරෝධයට නායකත්වය දී තම ජීවිත කාලය තුළ ජයගත නොහැකි යුද්ධයකට කැප වී සිටියේය.
ජෙනරාල් ග්‍රාසියානි ලිබියාව පාලනය කෙරෙනුයේ රාජකීය ඉතාලි හමුදාව බලයෙනි. පළමුවරට කාන්තාරයේ යුද ටැංකි හා ගුවන් යානා භාවිතා වූයේ ග්‍රාසියානි ගේ පාලනය යටතේය. මෙහිදී ඉතාලියානුවන්ගෙන් ලිබියානුවන් ට බොහෝ කුරිරුකම් සිදු විය. ඒ අතරේදී යුධ සිරකරුවන් ව මරා දැමීම, භෝග විනාශ කිරීම හා කටු කම්බි සහිත වූ ගාල් කඳවුරුවල ජනගහනය සිරගත කිරීම් වැනි දෑ ද විය.
‘ලයන් ඔෆ් ද ඩෙසර්ට්’ චිත්‍රපටය ආරම්භ වන්නේ චිත්‍රපටයේ ඓතිහාසික සන්දර්භය ප්‍රේක්ෂකයා ට හඳුන්වා දීමෙනි. මෙම හඳුන්වා දීමේ දර්ශනය ඉතාලියේ ෆැසිස්ට්වාදයේ නැගීම සහ එය ලිබියාවට ඛේදජනක ලෙස බලපෑ ආකාරය ඉදිරිපත් කරන ඓතිහාසික වාර්තාවල කොටසකි. එලෙසම මෙම චිත්‍රපටයේ එන චරිත හා සිදුවීම් සැබෑ ඒවා බවත් ඒවා ඓතිහාසික කරුණු මත පදනම් වූ බවත් සඳහන් වේ.
හැඳීන්වීමෙන් පසු පළමු දර්ශනය ආරම්භ වන්නේ ඉතාලියේ ෆැසිස්ට් පක්ෂය නිර්මාණය කළ ඉතාලියේ මුසෝලිනි, ලිබියාවේ දී ඔහුගේ ජෙනරාල්වරුන්ගේ පරාජයන් ගැන පැමිණිලි කිරීමෙනි. වසර 20 ක අසාර්ථකත්වයකින් පසු ලිබියානු ප්‍රතිවිරෝධය, මැඩ පැවැත්වීම සඳහා සහ හොඳම ඉතාලි ජෙනරාල්වරුන් පස් දෙනෙකු අහිමිවීමෙන් පසුවය මුසෝලිනි ඔහුගේ වඩාත්ම දක්ෂ ජෙනරාල් ග්‍රාසියානි ව ලිබියාවට යැව්වේ. මෙම දර්ශනයෙන් පසුව, ඉතාලි යටත් විජිත සමයේ සටන් කැරලිකරවකු බවට පත් වූ පැරණි ගුරුවරයා වන ‘ඕමාර් අල් මුක්තාර්’ ලිබියාවේ තම තරුණ සිසුන්ට උගන්වන දර්ශනයකට පරිවර්තනය වේ.
ජෙනරාල් ග්‍රාසියානි, ලිබියාවට ගොස් කැරැල්ල මැඬලීමේ ව්‍යාපාරය ආරම්භ කරයි. ලිබියානුවන් තම රට ආරක්ෂා කර ගැනීම සඳහා විශාල කැප කිරීම් කරන්නට විය. එහෙත් ඔවුන් සතු වූයේ ඉතාමත් ප්‍රාථමීක ආයුධ ය. ඒවා මෙවන් යාන්ත්‍රීක යුද්ධයකට නොගැලපෙන ඒවා විය. එසේ වූවද ඔවුහු දිගටම සටන් කළහ. ඔවුන් අඩු ආයුධ සම්පත් තබාගෙන වුවද, සාර්ථකව සටන් කළ හෙයින්, ඉතාලියානුවන්ට වසර 20ක් පුරාවටම යුද්ධයෙන් පූර්ණ ජයග්‍රහණය ක් ලබා ගැනීමට නොහැකි විය. ග්‍රාසියානි කිසියම් හෝ ජයග්‍රහණයක් අත් පත් කර ගත්තේ නම් ඒ වංචාව, රැවටීම, යුද නීති උල්ලංඝනය කිරීම, සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ ඔවුන් සතුව තිබූ ප්‍රබල යුධ උපාංග වූ යුධ ටැංකි හා ගුවන් යානා භාවිතා කිරීමෙන් පමණි.
ඔමාර් අල් මුක්තාර් ප්‍රතිරෝධක ව්‍යාපාරයට නායකත්වය දීම තුළ ඔහු ඔහුගේ ප්‍රඥාව විහිදා දක්වයි. ඔහු ලිබියාව මුදා ගැනීම සඳහා ඉතාලියානුවන් සමඟ සාකච්ඡාවලට එළැඹෙන නමුත් ඔවුන් සමඟ කිසි විටෙකත් ගනු දෙනුවකට නොපැමිනුණේ ඔවුන් කාලය දිනා ගැනීම සඳහා පමණක් සාකච්ජා කරන බව පෙනී සිටින බැවිනි. ග්‍රසියානි ඔමාර් මුක්තාර් ගේ සැලකිය යුතු සහන ඉල්ලා සිටි අතර, මුක්තාර්ගේ ප්‍රතිරෝධ ව්‍යාපාරය අවසන් කරන්නේ නම් ඔහුට ද්‍රව්‍යවාදී ත්‍යාග කිහිපයක් පොරොන්දු වේ. එහෙත් ඔමාර් මුක්තාර් ඒවා අලුයම ලා කෙළ පිඩක් සේ බැහැර කළේය
ලිබියානුවන්ට නවීන අවි ආයුධ නොතිබුණද, ගරිල්ලා සටන් කිරීමෙිදී, ඔවුන්ගේ දක්ෂකම්, ග්‍රාසියානි හඳුනා ගෙන තිබුණි. එක් තැනකදී ඔමාර් මුක්තාර් අනාරක්ෂිතව සිටි ඉතාලි තරුණ නිලධාරියකු මරා දැමීම ප්‍රතික්ෂේප කරයි. ඒ වෙනුවට ඔහුට ඉතාලියට ගෙන යාම සඳහා ඉතාලි කොඩිය ලබා දෙයි. අල්වා ගත් සොල්දාදුවන්ව මරා දැමීම ඉස්ලාම් ආගම විසින් තහනම් කරන බවත්, තම මව් බිම වෙනුවෙන් පමණක් සටන් කරන ලෙස ඉල්ලා සිටින බවත්, යුද්ධයට වෛර කිරීමට මුස්ලිම්වරුන්ට උගන්වන බවත් ඔමාර් මුක්තාර් පවසන්නට විය.
ඔමාර් මුක්තාර් ලිබියාව වෙනුවෙන් තම දිවි පවා පූජා කරන බවක් ග්‍රාසියානි පවා දැන සිටියේය. එහෙයින් ඔහු ඔමාර් මුක්තාර් ව කැරලිකරුවෙකු ලෙස අල්ලා ගැනීමට උත්සහා කළේය. එහෙත් මුක්තාර් ගේ නීතිඥ කපිතාන් ලොන්ටානෝ ප්‍රකාශ කළේ ඔමාර් මුක්තාර් කිසි දිනයක ඉතාලි පාලනය පිළිගෙන නැති නිසා ඔහුව කැරලිකරුවකු ලෙස නඩු විභාග කළ නොහැකි බවත් ඒ වෙනුවට යුද සිරකරුවෙකු ලෙස තබා ගත හැකි බවය. එමඟින් නඩු තීන්දුවේදී ඔහුව එල්ලා මැරීමෙන් ගලවා ගත හැකි බවකි, නිතිඥ කපිතාන් ලොන්ටානෝ තර්ක කළේ. එහෙත් විනිසුරුවරයා එය ප්‍රතික්ෂේප කළේය.
ලිබියාව පුරාවටම ඔමාර් මුක්තාර් ගේ ජනප්‍රියත්වය මෙන්ම ඔහුගේ බලපරාක්‍රමය විහිදා ඇති බවක්, ග්‍රාසියානි ඇතුළු ඉතාලි හමුදාව දැන ගෙන සිටියහ. එය මුසෝලිනි පවා දැනගෙන සිටියේය. එලෙසම ඔමාර් මුක්තාර්ව කොටු කිරීම, සිර ගත කිරීම පමණක් කිරීමෙන් මෙම අවුරුදු 20ක් තිස්සේ විසඳුමකින් තොරව තිබූ යුද්ධය නොනවතින බව ග්‍රාසියානි දැන ගෙන සිටියේය. ඔමාර් මුක්තාර් යනු ලිබියාවේ එකම ගැලවුමි කරු බවත්, මෙම යුද්ධයෙන් ඔමාර් මුක්තාර් සිටින තාක් කල් කවදා හෝ ලිබියාව ජයග්‍රහණය කරන බවක් ලිබියානුවෝ දැන ගෙන සිටියහ. අවි ආයුධවලට වඩා ප්‍රඥාව ආයුධයක් කර ගත් ඔමාර් මුක්තාර් සමඟ මෙම යුද්ධය ජයග්‍රහණය කරන්නට අපහසු බව ග්‍රාසියානි ට වැටහී තිබුණි. තමා ගැන අධි විශ්වාසයෙන් සිටි මුසෝලිනි ට පවා මුහුණ දීමට නොහැකි තත්වයක් ග්‍රාසියානිට ඇතිවිය. කළ යුතු එකම දේ කැරලිකාර නායකයකු ලෙස ඔමාර් මුක්තාර් ව අත් අඩංගුවට ගෙන ඔහුව එල්ලා මරා දැමීමය. එහෙත් එය සිදුවිය යුත්තේ නඩු විභාගයකිනි.
ඉතාලි හමුදා නියෝජිතයන් සමඟ මෙම යුද්ධය ලිබියාවේ නිදහස ස්ථාපිත කරන අන්දමින් අවසන් කිරීමට ඔමාර් මුක්තාර් සාකච්ඡා වට කීපයක්ම ගෙන ගියාද ඒවා සාර්ථක වූයේ නැත. ලිබියාවට පූර්ණ නිදහස දීමට මුසෝලිනි කැමති වූයේ නැත. ඔහුට අවශ්‍ය වූයේ ලිබියාව ඉතාලිය විසින් පාලනය කරවීමටය. ඔමාර් මුක්තාර් කිසි විටෙකත් එයට කැමති වූයේ නැත. ඔහු ලිබියානුවන්ට පොරොන්දු වූයේ තම දේශයේ නිදහස රැක දෙන බවත්, ඒ වෙනුවෙන් ඕනෑම යුද්ධයකට මුහුණ දීමේ හැකියාව තමා සතු බවය.
චිත්‍රපටය තුළ එය මැනවින් පිළිඹිබු වන්නෙ මුල් දර්ශන පෙළ සිටමය. ලිබියාවෙ ඔමාර් මුක්තාර් සිටින ගමිමානයට ග්‍රාසියානි විසින් ඉතාලි හමුදාව යවයි. ඒ ඔමාර් මුක්තාර් ව අල්වා ගෙන ග්‍රාසියානි වෙත ගෙන ඒමට බවය හැගෙන්නේ. එහෙත් එම අවස්ථාවේ ඔමාර් මුක්තාර් හෝ ඔහුගේ කැරලි කණ්ඩායම එහි නොසිටියහ. ඉතාලි හමුදාව පැමිණ ගම්මානයේ අහිංසකව ජීවත්ව සිටින ලිබියානුවන් අල්වා ගෙන ඔවුනට වචනෙකින් හෝ විරුද්ධ වන අයට වෙඩි තබා මරා දමා, ඔවුනගේ නිවෙස් වල තිබූ ධාන්‍ය, බෝග පාරේ ගොඩ ගසා ගිනි තබා, එතැන සිටි තරුණයන්ව වහල් කමටත්, තරුණියන්ව සෙබළුන්ගේ ලිංගීක අවශ්‍යතාවයන්ටත් රැගෙන යයි. ගම්මානය එසේ විනාශ කෙරූ ඔවුන් ඉන්පසු කෙළින් ම යනුයේ ඔමාර් මුක්තාර් හා ඔහුගේ කැරලි කණ්ඩායම සැඟවී ඇතැයි සිටින තැන සොයා ය. ඒ කාන්තාරය හරහා ය. ඒ වන විට ඔමාර් මුක්තාර්ට එම ආරංචිය පැමිණ තිබුණි.ඔවුන් උපක්‍රමශීලිව ඔවුනට මුහුණ දී ඒ සියලු ඉතාලි හමුදාව මරා දමයි. එසේ මරා දමා ඔවුන් තම ගම්මානයට ගොස් ඔවුන්ගේ ජනතාව ගේ දුක සැප බැලීය. එහෙත් මින් පසු ඉතාලි හමුදාව එන්නේ මීටත් වඩා සන්නද්ධ ව පිරිස් හා ආයුධ බලය වැඩි කර ගෙන බව ඔහු නොදැන සිටියා නොවේ. එලෙසම ඔවුන් එන්නේ තමාව කොටු කර ගැන්මටය. ඔහු නැතිවුවහොත් ඔවුන් මෙම ජනතාවට හිංසා, පීඩා පමණක් නොව, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්ව මරා දැමීමද නියත වශයෙන් සිදු වනු ඇත. එහෙත් ඔමාර් මුක්තාර් ට තම වැසියන් සමඟ මෙහී සිටිය නොහැකිය. ඒ ඔහුට, තම පිරිස සමඟ ඊළඟට එන ඉතාලි හමුදාව පරාජය කිරීමට ලෑස්ති කළ යුතුය. එහෙයින් ඔවුන් නැවතත් ඔවුනගේ රහස් ස්ථාන වලට ගියේ තව තවත් තම පිරිස සන්නද්ධ කිරීමට ය.
ඒ අතරේදී ඉතාලි හමුදාව නැවතත් පිරිස් බලය වැඩි කරමින් මෙම ගම්මානයට කඩා වැදුණි. එවරද ඔවුන් පැමිණියේ ඔමාර් මුක්තාර් ව රැගෙන යාමටය. නමුත් ඔවුනට ඔහුව හමුවුණේ නැත. ඒ නිසා එම ගම්මානය ගිනිබත් කර, සමහර පිරිමින්ව මරා දමා සිටින අනෙක් සියල්ලම ඔහු රැගෙන ගියහ. ඉන් ටික වේලාවකට පසු ඔමාර් මුක්තාර් ගේ කණ්ඩායම, ගම්මානයට පැමිණියහ. ගමිමානය ගිනි තබා තිබෙන අයුරු ඔවුන් දුටුහ. එලෙසම වැඩිහිටි, ළමා, ගැහැනු, පිරිමි ඒ සියල්ලෝම ඉතාලි හමුදාව විසින් රැගෙන ගොස් ඇති බවත් ඔවුන් දුටුවෝය. ඔවුන් වහා ඉතාලි හමුදාව ලුහු බැඳ ගියහ. අතර මඟදී ඔවුන්ට, හමුදාව මුණ ගැසුණි. දෙපිරිස අතර ඇතිවූ ද්වන්ධ යුද්ධයෙන් ඔමාර් මුක්තාර්ගේ කැරැලි කණ්ඩායම, එතැන සිටි ඉතාලි හමුදාවේ බොහෝ දෙනෙක් මරා දමා ඉතාලි හමුදාව විසින් පැහැර ගෙන යන මුක්තාර්ගේ සියලු ගමිවැසියන්ව, බේරා ගති.
තත්ත්වය දරුණු අතට පත්වන විට ඉතාලි හමුදා නායකයන් ඔමාර් මුක්තාර් සමඟ සාකච්ඡා කිරීමට දිනයක් යොදා ගති. ඇත්තෙන්ම එය දැඩි ලෙස උවමනා කම තිබුණේ 'මේජර් කර්නල් ඩයෝඩිස්ට'ය. ඔහු ජෙනරාල් ග්‍රාසියානි ට පහදා දුන්නේ මේ යුද්ධය ඒකාධිපති වියරුවෙන් දිගින් දිගට කෙරීමෙන් විශාල විනාශයක් වන බවත්, සිදුවන එකම දේ දෙපැත්තේම මිනිසුන් විශාල ප්‍රමාණයක් මිය යන බවක්, හා දේපළ විනාශ වීමක් පමණක් බවය. මේජර් ඩයෝඩිස් මෙම ප්‍රශ්නය දෙස මධ්‍යස්ථවත්, සානුකම්පිතවත් බැලූ යුක්ති සහගත කෙනෙකි. ඔහු තවත් ඉතාලියානු මේජර්වරුන් කීප දෙනෙක් සමඟ එක්වී, ඔමාර් මුක්තාර් සමඟ සාකච්ඡා වටයක් ලෑස්ති කළේ මෙම ප්‍රශ්නයට මානුෂික විසඳුමක් ලබා ගැන්මටය. එහෙත් ඉතාලි හමුදාවේ එතැන නියෝජනය කළ අනෙක් මේජර්වරු ඔමාර් මුක්තාර්ව බොහොම සිල්ලර අන්දමට බිලි බා ගන්නට සැරසුණේ ජෙනරාල් ග්‍රාසියානි ගේ කීමටය. මේජර් ඩයෝඩිස් දෙපැත්තටම බලපාන සාධාරණ ඉල්ලීම් මඟින් ප්‍රශ්නයට නිසි විසඳුම සෙව්වද, අනෙක් මේජර් වරුන් කීවේ, ඔමාර් මුක්තාර්ට සුඛෝපභෝගි ලෙස ජීවත් වීමට නිවසකුත්, ඇමරිකානු ඩොලර් පනස්දහසක මුදලක් මාස් පතා ඉතාලියානු ආණ්ඩුව ගෙවීමට කැමති බවත් වැනි කථාය. ඔවුන් ඒවා දීමෙන් ඔමාර් මුක්තාර් වැන්නෙක්ගෙන් ඉල්ලා සිටියේ මෙම යුද්ධය නතර කර ලිබියාව ඉතාලි රජයට පාලනය කරන්නට ඉඩ දෙන ලෙසය. ඔමාර් මුක්තාර් කීවේ තමන්ට අවශ්‍ය ලිබියාව ඉතාලි පාලනයෙන් ඉවත් කර, තම රට නිදහස් රටක් කර දෙන ලෙසය. එය සිදුවන තෙක් තමන් සහ තමන්ගේ කණ්ඩායම සටන් කරන බවය.
සාකච්ඡා බිඳ වැටුණේ එලෙසය. ඔමාර් මුක්තාර් ගෙන්, නිසි විසඳුම් නොමැති නම් යුද්ධය දිගටම කර ගෙන යන බව කීවිට, මේජර් ඩයෝඩිස් හැරෙන්නට අනෙක් කර්නල්වරු කීවේ, ඔමාර් මුක්තාර් මෝඩ තීරණයක් ගත් බවය. ඔහු නවීන ආයුධ වලින් සන්නද්ධ වූ නවීන හමුදාවත් සමඟ හැප්පීම පහසු යැයි සිතන්නේ නම් එය ඔහුගේ අනුවණකම බවය.
එතැන් සිට ජනරාල් ග්‍රාසියානි ගේ ඉතාලි හමුදාව, ගුවනින් මෙන්ම, යුද ට්‍රක් රථවලින් පැමිණ ලිබියාවට එක දිගට පහර දුනි. ඔමාර් මුක්තාර් ගේ කණ්ඩායමද, උපක්‍රමශීලිව ඔවුන් ට මුහුණ දුන්නද, මෙවර සටනේදී බොහෝ ලිබියානුවන් මිය ගියහ. එලෙසම ඉතාලි හමුදා භටයින් ඔමාර් මුක්තාර් ගේ අශ්වයාට වෙඩි තබා ඔහුව බිම වට්ටවා, කොටු කර ගති. ඉන්පසු ඔහුව දම්වැල්වලින් ගැට ගසා ගෙන ගොස් සිර ගත කළහ. ඔමාර් මුක්තාර්ව සිර ගත කළ බව දැනගත් වහාම, ඔහු බැලීමට හිර කුටියට මුලින්ම ගියේ මේජර් ඩයෝඩිස් ය. ඔහු වහා යුද භටයන්ට නියෝග කළේ ඔමාර් මුක්තාර් ව බැඳ ඇති දම්වැල් සියල්ලම ගලවා ඔහුගේ අත් පා නිදහස් කරන ලෙසය. ඉන් පසු ඔහු බොහෝ කාරුණිකව ඔමාර් මුක්තාර් ඇසුවේ ඔහුගෙන් තව අවශ්‍ය උපකාර මොනවාද කියාය. ඔහු එතරම්ම කරුණාවන්ත වය, ඔමාර් මුක්තාර් සමඟ කථා කළේ.
පසු දින ඔමාර් මුක්තාර්ව, ජෙනරාල් ග්‍රාසියානි ළඟට රැගෙන ගියේ දෙකකුලත් දම්වැල් වලින් බැඳය. ග්‍රාසියානි යනු මොන තරම් උද්ධච්ච මිනිසෙකුද යන්න තේරෙන්නේ එම රූප රාමුව තුළය. කාන්තාරයේ සිංහයෙකු සේ සිටි ඔමාර් මුක්තාර් නැමැති සුවිශේෂි මිනිසා අතට පයට දම්වැල් විලංගු මැද, ග්‍රාසියානි ගේ කාමරයට දමා දොරවල් වැසූ පසුත්, ග්‍රාසියානි කළේ කිසිවෙක් තම කාමරයට නොපැමිණිනාක් මෙන් බොරුවට ලිපි ලේඛන වලට අත්සන් තබමින් ඔමාර් මුක්තාව ගණන් නොගෙන විනාඩි කීපයක්, ඇතැම් විට පැය කාලක් පමණ තැබීමය.
ග්‍රසියානි හැකි තාක් උත්සහ කළේ මුක්තාර් ලවා මෙම සටන නතර කර ඉතාලියට පක්ෂපාත කර ගැන්මටය. ඔහු, මුක්තාර්ට හොඳීන් කීය, තර්ජන ස්වරයෙන් කීය. එහෙත් මුක්තාර් කීවේ, තමන් හා ලිබියානු වැසියන් කිසි දිනයක ඉතාලි පාලනයට යටත් නොවන බවය. එලෙසම තමන් මේ සටන් කරනුයේ ඉදිරි පරපුරට නිදහස් රටක් ලබාදීමේ අවංක අරමුණෙන් කියාය. එහෙයින්, මොනම හේතුවකටවත්, මොනම තර්ජනයකටවත්, තමන් ගේ සටන නවත්වන්නේ නැති බවය. ඔහුව මරා දැමුවත්, ඔහුගේ කණ්ඩායම මෙම සටන දිගටම ගෙන යන බව ඔමාර් මුක්තාර් ග්‍රාසියානි ට අවධාරණයෙන්ම කීය.
ඉන්පසු ග්‍රාසියානි කළේ ඔමාර් මුක්තාර් ව, ඉතාලි හමුදා අධිකරණයට පැමිණවීමය. එය ඒකාධිපති අධිකරණයක් විය. සියල්ලෝම ඉතාලි හමුදාවේ අයය. එහෙයින් ඔමාර් මුක්තාර්ට ගැලවීමක් තිබුණේ නැත. ඔවුන් ඔවුනට ඇවැසි තීරණ ගත්තේ, ඔමාර් මුක්තාර් කැරලි කරුවෙකු සේම ඉතාලියානුවන් මරා දැමූ මිනීමරුවෙක් ලෙස හංවඩු ගසමිනි. ඔවුන් ඔමාර් මුක්තාර්ව ගෙල හිර කර එල්ලා මරා දමන තීන්දුව දුනී. එයට විරුද්ධ වූ එකම පුද්ගලයා මේජර් ඩයෝඩිස් පමණි. ඔහු කවදත් ඔමාර් මුක්තාර්ට ගරු කළේය. ඔහුගේ නිදහස අපේක්ෂා කළේය. එහෙත් මේ අවස්ථාවේදී ඔහුටද කළ හැකි කිසිවක් තිබුණේ නැත.
එතෙක් ඇදි ඇදී ආ චිත්‍රපටය ප්‍රාණවත් වූයේ මෙතැන් සිටය. ඔමාර් මුක්තාර් එල්ලා මරණ දර්ශනය විනාඩි කීපයක් පමණක් ගියද, එය මුළු චිත්‍රපටය ම සක්‍රීය කළේය. අධ්‍යක්ෂක වැඩි අවධානයක් එම දර්ශනයට ලබා දුන්නාද, නැත්නම් ඔහු ඔහුගේ උපරිම දැනුම එතනට යෙදෙව්වාද? ඒ කෙසේ වෙතත් ඔහු ඔහුගේ විශිෂ්ටත්වය මැනවින් පෙන්නුවේ එම අවසාන දර්ශනය තුළින්ය. එයට ඔහු හරි අපූරු සංකේතයක් එකතු කර ගතී. ඒ ඔමාර් මුක්තාර් ගේ පුංචි රවුම් කණ්ණාඩි දෙකය. එය ඔහුට දෙන්නේ ග්‍රාසියානි ය. එදා මුක්තාර්ගේ අශ්වයාට වෙඩි තබද්දි මුක්තාර් බිම වැටෙන විට, එම කණ්නාඩි කුට්ටම ද බිම වැටෙන්නට ඇත. එය එතැන සිටි ඉතාලි යුධ භටයෙක් එය අහුලා ග්‍රාසියානිට දෙන්නට ඇත. මුක්තාර්, තමාව එල්ලන්නට යන ස්ථානයට ගියේ ඒ කණ්ණාඩි දෙක දමාගෙනය. එහෙත් එල්ලන්න විනාඩි කිහිපයකට පෙර ඔහු එය අතට ගත්තේය. චිත්‍රපටය තුළ වඩාත් අවධානය දිනාගත්තේ 'අලි' නම් කුඩා දරුවාය. ඔහුගේ පියා ඔමාර් මුක්තාගේ කැරලි කණ්ඩායමේ සමාජිකයෙකු වූ අතර, ඔහු පළමු සටන් වලදී ඉතාලියානුවන්ගෙ වෙඩි පහර වලින් මිය ගියේය. එතැන් සිට පුංචි 'අලි' ඔමාර් මුක්තාර්ගේ දැඩි සෙනෙහසට පාත්‍ර වුණි.
ඒ අතර ඔහු ගේ මව ද ඉතාලි හමුදාව විසින් එල්ලා මරා දමන ලදී. ඉන් පසු කුඩා අලී හැදුනේ ‘මාබ්‍රෝකා’ ළඟය. ඔමාර් මුක්තාර්ව එල්ලන අවස්ථාවේ ඇය, අලීව ද එතැනට රැගෙන ආවාය. මුක්තාර්, එල්ලා දැමීමට විනාඩි කීපයකට පෙර, ඔහු ට පෙනුණේ කුඩා අලී මාබ්‍රෝකා සමඟ සිටින අයුරුය. ඔමාර් මුක්තාර් අලී දෙස බලා දයාබරිත සිනහවක් පෑවේය. කුඩා අලීට මේ කිසිවක් තේරුම් ගත නොහැකිය. එසැනින්ම ඔමාර් මුක්තාර් ගේ ගෙලට තොන්ඩුව වැටුණි. තවත් මොහොතකින් ඔහු ගේ ගෙල හිර වි, අවසන් හුස්ම පොද සුළඟ හා මුසු විය. ඔහුගේ අතේ තිබූ කණ්ණාඩි කුට්ටම බිමට වැටුණි. කුඩා අලී දුව ගොස් එම කණ්නාඩි කුට්ටම අහුලා ගතී. මුළු චිත්‍රපටයේ වටිනාම සිනමාත්මක දර්ශනය එය විය.
ඔමාර් මුක්තාර් මිය ගිය පසු, ඉතාලි පාලනයද පෙරලුණි. මුසෝලිනි ගෙන් බලය ගිලිහුණි. ඉන්පසු ආ පාලකයන් ජෙනරාල් ග්‍රාසියානි ව සිර ගත කළහ. ග්‍රාසියානි සිර කඳවුරේම මිය ගියේය.
‘ලයන් ඔෆ් ද ඩෙසර්ට්’ ඉතාලියේ පෙන්වීම එකල අග්‍රාමාත්‍ය වූ ජියුලියෝ අන්ඩ්‍රියෝටි තහනම් කළේය. ඔහු කිවේ මෙම චිත්‍රපටයෙන් ඉතාලි යුද හමුදාවට කැලලක් වන බවය. එහෙත් ඉන් වසර 22 ක කට පසු, එනම් 2009 ජුනි 11 වන දින ඉතාලි රූපවාහිනියේ 'ස්කයි ඉතාලි' නාලිකාවේ ‘ලයන් ඔෆ් ද ඩෙසර්ට්’ චිත්‍රපටය විකාශනය විය. එවකට ලිබියාවේ නායක මුයාමාර් ගඩාෆි ගේ ඉතාලි සංචාරය වෙනුවෙන් එසේ විකාශය වූ අතර, එය විකාශය කිරීමට අනුග්‍රහ දැක්වූයේද මුයාමර් ගඩාෆිගේ රජය ය.
‘ඇන්තනී ක්වීන්’, ඔමාර් මුක්තාර් ලෙස විශිෂ්ටතම රඟපෑමක් ඉදිරිපත් කර තිබූ අතර, එයට සමගාමිව ජෙනරාල් ග්‍රාසියානි ලෙස ඔලිවර් රීඩ් උසස් රඟපෑමක නිරත විය. ‘රොඩ් ස්ටයිගර්’ මුසෝලිනි ලෙසත්, අයිරින් පපාස් මාබ්‍රෝකා ලෙසත් ‘ඉහාබ් වර්ෆාලි’ කුඩා අලි ලෙස කළ රඟපෑම් ප්‍රශස්ත විය. චිත්‍රපටයේ තවත් කැපී පෙනෙන රඟපෑමක් ඉදිරිපත් වූයේ ඉතාලි නළුවෙකු වූ ‘රැෆ් වැලොන්’ ගෙනි. චිත්‍රපටයේ මේජර් ඩයෝඩිස් වූයේ ඔහුය.
‘ලයන් ඔෆ් ද ඩෙසර්ට්’ නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කළේ ‘මුස්තාපා අකාඩ්’ය. ඔහු අරාබි ජාතිකයෙකි. පසු කලෙක ඔහු ලෝකයේ ජනප්‍රිය වූයේ ‘සිරියාන්-ඇමරිකන්’ චිත්‍රපට නිෂ්පාදක හා අධ්‍යක්ෂකවරයකු ලෙසටය. ඔහු නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කළ මුල්ම චිත්‍රපටය වූයේ ‘ද මෙසේජ්’ය. එය 1976 වසරේ තිරගත කළ අතර, එහී ප්‍රධාන චරිතය රඟපෑවේද, ඇන්තනී කුවින් සහ අයිරින් පපාස් මය. ඉන්පසු ඔහු 'හලෝවින්' චිත්‍රපටයේ විධායක නිෂ්පාදකයා විය. ඒ 1978 වසරේදීය. ‘ලයන් ඔෆ් ද ඩෙසර්ට්’ නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කළේ ඉන්පසුවය. ඔහු ‘හලෝවින්’ චිත්‍රපට 7 ක පමණ විධායක නිෂ්පාදකයෙක් විය. කෙසේ වෙතත් ඔහු අධ්‍යක්ෂණය කළේ නම් චිත්‍රපට දෙකක් පමණි. ඒ ඉහත කී ලෙස ‘ද මෙසේජ්’ හා ‘ලයන් ඔෆ් ද ඩෙසර්ට්’ ය. 2005 වසරේදී ඔහු තම දියණිය වූ රිමා අකාඩ් මොන්ලා සමඟ අමාන් හී ග්‍රෑන්ඩ් හයට් හෝටලයේ ලොබියේ සිටින විට, අමාන් නගරයට දැමූ බෝම්බ වලට ගොදුරු වී දෙදෙනාම මිය ගිය හ.
ඇන්තනි කුවින්, ඔලිවර් රීඩ්, රැෆ් වැලන් සහ රොඩ් ස්ටයිගර් යන නළුවන් හතර දෙනා පිළිවළින් ඔමාර් මුක්තාර්, ජෙනරාල් ග්‍රාසියානි, මේජර් ඩයෝඩිස් සහ මුසෝලිනි ගේ චරිත එකිනෙකාට නොපරයන ලෙස විශිෂ්ට ව ඉදිරිපත් කළද, ඇන්තනී කුවින් තම ඔමාර් මුක්තා චරිතය තිරය මත ජීවමාන කෙරූ ඒ රංගන ප්‍රතිභා සුවිශේෂිත්වය අනෙක් තිදෙනා අබිභවා යන්නාක් විය. ඔහු එම චරිතයේදී ඔහු ඔහුවම හසුරුවා ගන්නා ආකාරයත්, ඔමාර් මුක්තාර් නම් ජීවමාන චරිතයට ඇතුල් වී එකී චරිතය, අභ්‍යන්තරවත්, බාහිර වත් අධ්‍යයනය කර, එහී සියුම් තැන් නිවැරදිව ස්පර්ශ කර, තම හඩේ රිද්මය පවා එකී චරිතයට අනුකූලව පාලනය කරමින් ඉදිරිපත් කරන විලාශය, එම වසරේ ඇකඩමි සම්මාන උලෙළේ සම්මානයක් නොලැබීම හෝ අවම වශයෙන් නිර්දේශයට හෝ ලක් නොවීම නම් පුදුමයට පත් විය යුතු කරුණක් මය.
‘ලයන් ඔෆ් ද ඩෙසර්ට්’ චිත්‍රපටයට ලොව හැම වෘත්තිමය සිනමා විචාරකයන්ගෙන් ලැබුණේ ඉතාමත් උසස් ප්‍රතිචාරයන්ය. එහෙත් චිත්‍රපටය ආර්ථීක අතින් විශාල ලෙස පාඩු විය.
දත්ත අනුව පෙන්වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 35 ක ඇස්තිමේන්තු වට ලැබූ ආදායම ඩොලර් මිලියන 1.5 ක් බවය. එය කොතෙක් දුරට නිවැරැදිදැයි තර්කයක් පැන නැගුණද, මෙය නැරඹූ පසු සිතට එන්නේ ‘ලයන් ඔෆ් ද ඩෙසර්ට්’ චිත්‍රපටය හැම සිනමා රසිකයෙක් විසින් නැරැඹිය යුතු ම චිත්‍රපටයක් කියාය.